‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක්

‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක්

*********************************************

‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය සොයා වැලිගම – දොස්තරවත්තේ මෙහෙයුමක්

(28.02.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

දැනට විදේශ රටකට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රුවන් නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ විසින් තවත් පිරිසක් යොදා මත්ද්‍රව්‍ය තොග සඟවා තබන ලද වැලිගම – ඉමදූව – දොස්තරවත්ත ප්‍රදේශය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ, පසුගිය 25 වනදා රාත්‍රියේ හෙරොයින් කිලෝග්‍රෑම් 25 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනෙකු (2) ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ කරුණුවලට අනුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ 25 වනදා අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු වන අතර, අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් පලාගොස් සිටි සෙබලෙකු බවයි.

ඒ අනුව දොස්තරවත්ත ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එහි වළදමා තිබූ බැරල් කිහිපයක් හමුවී ඇති අතර, ඒවා තුළ මත්ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

[ සේයාරූ ]

***************************************

(28.02.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

සොරකම් කරන ලද යතුරුපැදි මිලදී ගෙන කොටස් කර විකුණන ස්ථානයක් ගල්නෑව – නෑගම ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

එහි තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23 ක්, අමතර කොටස් වර්ග 17 ක්, යතුරුපැදි චැසි දෙකක් (2) සහ එක් (1) එන්ජිමක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (27) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙරට සිදුවන යතුරුපැදි සොරකම්වල ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර ඊයේ (27) දිනයේදී ද එලෙස යතුරුපැදි 6 ක් සොරකම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

ගල්නෑව ප්‍රදේශයන් හමුවූ ස්ථානය එලෙස සොරකම් කරන යතුරුපැදි මිලදී ගන්නා ස්ථානයක් බවටයි සැක කෙරෙන්නේ.

එහිදී හමුවූ අංක තහඩු සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග පරීක්ෂණ සිදුකරන බව අජිත් රෝහණ මහතා කියාසිටියා.

ඔහු ඉල්ලා සිටියේ යතුරුපැදි සොරකම් කිරීමේ සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳ වාර්තා වී ඇති බැවින් යතුරුපැදි ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි.

යතුරුපැදි සොරකම් කිරීමේ ප්‍රවණතාවක් පවතින අතර යතුරුපැදි ගාල් කිරීමේදී ආරක්ෂිත ස්ථාන පමණක් භාවිත කරන ලෙසට ද ඔහු දැනුම්දෙනවා ෴

***************************************

(28.02.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

නෝනාගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මගින් එහි ඉදිකිරීමේ කටයුතු සිදුකර ඇති අතර, කතරගම වන්දනාවේ නිරතවන ජනතාවගේ විවේක පහසුව සඳහාද එය යොදාගත හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එමෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවියද ඊයේ (27) අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.

***************************************

(28.02.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක කර තිබෙනවා.

එහි සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ අතිරේක බස් රථ අවශ්‍ය වේ නම් විදුහල්පතිවරුන් හරහා ඉල්ලුම් කිරීමේ හැකියාවද පවතින බවයි ෴

***************************************

(28.02.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

වාරියපොල කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් කුඩා දරුවන් දෙදෙනෙකු (2) ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

තුවාල ලැබුවන් සහ මියගොස් ඇති දෙදෙනා (2) ත්‍රී රෝද රථයේ ගමන් කළ පිරිසක්.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරා වන අවුරුදු 40 ක පුද්ගලයෙක් සහ ඔහුගේ මව වන අවුරුදු 69 ක් වන කාන්තාවක්.

ත්‍රී රෝද රථ රියදුරාගේ බිරිඳ වන 34 හැවිරිදි කාන්තාව සහ ඇයගේ අවුරුදු 9 ක් සහ 13 ක් වන දියණියන් දෙදෙනා කටුපොත රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

රිය අනතුරට සම්බන්ධ පොලිස් ජිප් රථය කටුපොත පොලිසියට අයත් එකක්.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුරට ඔවුන් ලක්වී ඇත්තේ.

එම ජිප් රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයා ද තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ත්‍රී රෝද රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනා ගමනක නිරතවීම සඳහා පැමිණ සිටි පිරිසක් බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශණයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

[ සේයාරූ ]

***************************************

(28.02.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සුබ පැතීමට ගිය විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ (27) රාත්‍රී බගවන්තලාව ප්‍රදේශයේ වතුයායකදී මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රෝහල්ගතව සිටින විදුහල්පතිවරයා ප්‍රකාශකර ඇත්තේ සිසු සිසුවියන්ට සුබ පැතීම වෙනුවෙන් වතුයායට යන අවස්ථාවේ තම පාසලේම අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් සහ ඔහුගේ දෙමව්පියන් එක්ව පහරදී තුවාල සිදුකළ බවයි.

10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට විනය කඩ කිරීමක් හේතුවෙන් දඩුවම් කිරීමට එරෙහිව මෙම පහරදීම සිදුකළ බව ද ඔහු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර විනය කඩ කිරීමක් හේතුවෙන් විදුහල්පතිවරයා විසින් දඩුවම් කළ බව කියන සිසුවාගේ මව ද ඊයේ (27) රාත්‍රී විදුහල්පතිවරයා තමාට පහරදුන් බව පවසා බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා ෴

***************************************

(28.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම කල්අඩිය හස්තිපුර ප්‍රදේශයේ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (28) අලුයම 43 හැවිරිදි මෙම පුද්ගලයා තම නිවස අසලදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහු තනිව නිවසක ජීවත්ව සිට ඇති අතර මීට පෙර අවස්ථා තුනකදී (3) ද ඔහු වන අලි ප්‍රහාරවලට ලක්ව ඇති අයෙක්.

එක් අවස්ථාවකදී අලියෙකු මෙම පුද්ගලයාගේ පාදයක් පාගා දැමීම හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටි බව ද සඳහන්.

එමෙන්ම මීට පෙර අවස්ථාවන්වලදී වන අලි පහරදීම හේතුවෙන් ඔහු මාස කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබූ බව ද අප වාර්තාකරු කියාසිටියා.

මෙම පුද්ගලයා තනිව නිවසේ ජීවත්වන අතර ඔහුගේ පුත්‍රයා ආණමඩුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව සඳහන්.

ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ අලුයම නිවසින් පිටතට පැමිණි මෙම පුද්ගලයාට සැගවී සිටි වන අලියෙකු පහරදෙන්නට ඇති බවයි.

එමෙන්ම අවස්ථා කිහිපයකදී මෙම ගම්මානයේ පුද්ගලයන් 10 දෙනෙකුට වන අලි පහරදී ඇති අතර ඉන් මෙම පුද්ගලයා ද ඇතුලුව 4 දෙනෙකු මියගොස් ඇතැයි ඔවුන් පෙන්වාදී තිබෙනවා.

ගම්මානයට නුදුරින් ඇති අලි වැට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිරන්තරයෙන් වන අලි ගම්වදින බව ද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

***************************************

(28.02.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දැහැමි සමාජයක් ගොඩනැගීමට දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙලට ඊයේ (27) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම අවස්ථාවට එක්ව සිටි කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අනුශාසනාවක් සිදුකරමින් සඳහන් කළේ දහම් අධ්‍යාපනය තුළින් විනයගරුක සමාජයක් ගොඩනැගිය හැකි බවයි.

මේ අතර අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ඉදිකළ නෝනාගම ජල උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

***************************************

(28.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය මේ වසර මැදදී පැවැත්වීමට අවශ්‍ය සාකච්ඡා මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය සතියේ දී පැවැත්වුණා.

එහිදී මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධන සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් ද පසුගිය දා පවත්වා තිබෙනවා.

එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එම පක්ෂ නායකයන් එකගතාව පළ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයාද මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ඒ සඳහා නීති සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි. සීමානිර්ණය අවසන් කර නොමැති නව පළාත් සභා පනත පාර්ලිමේන්තු යෝජනාවක් මගින් ඉවත් කරගත යුතු අතර එසේත් නොමැති නම් නව පනත තිබියදී පැරණි පනත අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු වෙනවා.

එම නීතිමය තත්වයන් සියල්ල සකස් කළද පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශවල නිර්දේශ ද අත්‍යවශ්‍යයි.

මෙවැනි පසුබිමක් තුළදී ජනාධිපතිවරයා අනිද්දා (02) පස්වරුවේ විශේෂ සාකච්චාවක් කැදවා තිබෙනවා.

ඒ සඳහා පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, නීති විශාරදයන් මෙන්ම, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@

(28.02.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 2,429 දෙනෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ගුවන් මගීන් 855 දෙනෙකු ගුවන් යානා විස්සකින් (20) දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන් 133 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට සහ 81 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණ තිබුණා.

එමෙන්ම පැය 24 ක කාලය තුළ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති ගුවන් මගීන් සංඛ්‍යාව 574 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *