බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට

බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට

*********************************************

බලපිටියේ පන්සලකින් කප්පම් ඉල්ලූ – ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඕ.අයි.සී. ඇතුළු 05 ක් අත්අඩංගුවට

(19.02.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බව පවසමින් බලපිටිය – පාතේගම – යෝගාශ්‍රම විහාරාධිපති හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා නෝර්වුඩ් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් පෙරේදා (17) රාත්‍රියේ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව පවසමින් එම පරීක්ෂණ කිරීම නතර කිරීම සඳහා අල්ලස් ඉල්ලා තිබුණා.

එසේ නොමැති නම් තමන් වහන්සේව පොලීසියට රැගෙන යාමට සිදුවන බවටයි විහාරාධිපති හිමියන්ට එම කණ්ඩායම දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී විහාරස්ථානයේ සිටි වෙනත් පුද්ගලයෙකු මේ පිලිබදව පොලීසිය දැනුවත් කර ඇති අතර එහිදී පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග අදාළ පිරිස පළා ගොස් තිබුණා.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී බලපිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදී මොවුන් ඊයේ (18) අත්අඩංගුවට ගත්තා.

මේ අතර, මීටියාගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු අමානුෂික අන්දමින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා එල්ල වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද අධිකරණයට භාර වීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට සැඟව සිටීමට සහය ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට එරෙහිව ද කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(19.02.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කසළ තේ කිලෝග්‍රෑම් දස දහසක් (10,000) කන්ටේනරයකින් සහ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු (2) යක්කල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වෙලම්බොඩ ප්‍රදේශයේ සිට කොළඹට මේවා ප්‍රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) උදෑසනයි.

සැකකරුවන් 41 වන වියේ පසුවන බවයි වාර්තාවන්නේ ෴

***************************************

(19.02.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

අලුතින් අනාවරණය කරගනු ලබන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන නිධන් හාරන පුද්ගලයින් හෝ වෙනත් කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළේ එම තත්ත්වය ඉතා කණගාටුදායක බවයි.

විදෙස් රටවල පවතින පුරාවිද්‍යා වටිනාකමක් සහිත ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට පෙර මෙරට පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ද්‍රව්‍ය සහ ස්ථාන රැක ගැනීම කඩිනමින් කළ යුතු බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

(19.02.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මස්කෙලිය – ඕල්ටන් යාය වතු අධිකාරීවරයාට සහ සහකාර අධිකාරීවරයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 8 දෙනා ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ (18) හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොවුන් අතර කාන්තාවන් 7 දෙනෙකු ද වනවා.

පසුගිය 17 වන දා මස්කෙලිය – ඕල්ටන් වතු යායේ වතු අධිකාරීවරයාගේ නිළ නිවසට කඩා වැදුණු ඔවුන් නිවසට පහර දී අලාභ හානි සිදුකර වතු අධිකාරීවරයාට සහ සහකාර අධිකාරීවරයාට පහර දී තිබුණා.

ප්‍රකෝප වූ පිරිස මොවුන්ව ගොම වතුරවලින් නහවා ඇති අතර, පසුව ඔවුන් දෙදෙනා දික්ඔය මූලික රෝහලට ඇතුළත් වී ඇත්තේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා පසුගිය 3 වන දා පැවති වර්ජනය හේතුවෙන් ඉතිරිව තිබූ අමු තේ දළු ඊට පසුදින ඇඹරීමට කටයුතු කරන ලෙසට වතු අධිකාරීවරයා සහ සහකාර අධිකාරීවරයා සේවකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ හේතුවෙන් වතු සමාගමට රුපියල් ලක්ෂ 15 ක අලාභයක් සිදුවූ බව පවසමින් වතු අධිකාරීවරයා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ හේතුවෙනුයි වතු අධිකාරීවරුන් සහ සේවකයින් අතර අර්බුදය හටගෙන ඇත්තේ.

එම අර්බුදය උත්සන්න වීම හේතුවෙන් මෙම පහර දීම සිදුව තිබෙනවා ෴

***************************************

නාසා රොබෝව සාර්ථකව රතු ග්‍රහයා මතට

(19.02.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රතු ග්‍රහයා හෙවත් අඟහරු වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසනවා.

ඒ, එහි සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි.

ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් රෝද හයකින් (6) යුත් මෙම රොබෝ යානය මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු වන අතර, මෙය වසර දෙකක් (2) අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ඇති.

එමඟින් ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.

එමෙන්ම රතු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් අරමුණක්.

***************************************

(19.02.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරු හේතුවෙන් ඊයේ (18) දිනයේදී 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් හතරදෙනෙකු (4) මියගොස් ඇත්තේ ඊයේ (18) දිනයේදීම සිදුවූ රිය අනතුරුවලින් අතර, අනෙක් පුද්ගලයින් හත්දෙනා (7) මීට පෙර දිනවලදී සිදුවූ රිය අනතුරු හේතුවෙන් රෝහල්ගතව සිට මියගිය පුද්ගලයින් වනවා.

මේ ඒ පිළිබඳව පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා :

***************************************

(19.02.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙක හමාරකට (2½) අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිරිබත්ගොඩ – මාකොළ සහ බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකු (2) සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 185 ක් මාකොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්.

ඔවුන් සතුව තිබී රුපියල් 3,52,000 ක් මුදලක්ද සොයාගෙන ඇති අතර, ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝ එක හමාරකට (1½) අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යුවලක් බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ඊයේ (18) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම යුවළ සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි (1) ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය පසුගිය දා පානදුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සලිඳු නැමැත්තාට අයත් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ තවත් වැටලීමකදී ගංජා ග්‍රෑම් 500 ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පිටකොටුව – ගුණසිංහපුර – ඩයස් මාවතේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත දුම්වැටි 40,000 ක් ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් සොයාගෙන තිබෙනවා.

දුම්වැටි තොගය සමග 23 හැවිරිදි සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා පිටකොටුව කේසර් වීථියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක සේවකයෙකු වන අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එම වෙළඳසැලේ කළමනාකරු විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(19.02.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

නිරන්තරයෙන් රිය අනතුරු සිදුවන කහතුඩුව – රිලාවල මංසන්ධිය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (18) සිදුකළ අනාවරණයත් සමඟ එම ස්ථානයට විදුලි ආලෝක සංඥා පද්ධතියක් සවි කිරීම සඳහා අවධානය යොමුවී තිබෙනවා.

එය සවි කරන තෙක් රිය අනතුරු අඩු කිරීමේ අරමුණෙන් තාවකාලික ලෙස විසදුමක් යෙදීමට ද මේ වන විට කටයුතු කර ඇති බවයි කහතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

රිලාවල මං සන්ධියේ නිරන්තරයෙන් අනතුරු සිදුවන ස්ථානයක් බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ අවස්ථා ගණනාවකදී මීට පෙර සිට අනාවරණ කළා.

මෙලෙස සිදුවන රිය අනතුරු පිළිබදව ජනතාව ද අදහස් දක්වමින් ඉල්ලා සිටියේ මේ සඳහා ස්ථීර විසදුමක් ලබාදෙන ලෙසටයි.

කෙසේ වෙතත්, රිලාවල මංසන්ධිය සඳහා විදුලි සංඥා පද්ධතියක් ලබා ගැනීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

රිළාවල මංසන්දියේ සිදුවන නොනවතින අනතුරු පිළිබඳව ඊයේ දිනයේ අප ගෙන ආ වාර්තාව පහතින් :

***************************************

(19.02.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – ගුණසිංහපුර – ඩයස් මාවතේ මහල් නිවාස සංකීර්ණයක නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම දුම්වැටි තොගය සමග 23 හැවිරිදි සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා පිටකොටුව කේසර් වීථියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක සේවකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එම වෙළඳසැලේ කළමනාකරු විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(19.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන නිල් මහා හටන හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරඟ සංවිධායකවරුන් සඳහන් කළේ වාර්ෂික ටෙස්ට් තරඟය මැයි මස 06, 07 සහ 08 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම එක්දින තරඟය මැයි මස 10 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති අතර එය මෙවර 20 යි 20 තරඟයක් ලෙසයි පැවැත්වීමට අපේක්ෂා කරන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නරඹන්නන්ගේ සහභාගීත්වයකින් තොරව මෙම තරඟය පැවැත්වෙනු ඇති ෴

***************************************

(19.02.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අතින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් වුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එය දිනෙන් දින විනාශවීම් තර්ජනයට මුහුණ දී තිබෙනවා.

බෙන්තර ගඟ සිමාවේ පිහිටි එවන් වූ කඩොලාන පරිසර පද්ධතියක් මේ.

බෙන්තොට කොටුවබැද්දහේන කඩි ගොවිපල ප්‍රදේශය බෙන්තර ගං ඉවුරේ සිට පිහිටි අක්කර 7 ක් පමණ විශාල වපසරියක් පුරා පැතිර පවතින්නක්.

ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වයට මෙන්ම පරිසර තුලිතතාව පවත්වා ගැනීමට මහඟු කාර්යක් ඉටු කරන මෙම පද්ධිතය කිසියම් පුද්ගලයෙකු විසින් හෝටලයක් ඉදි කිරීම සඳහා මිලදී ගෙන ඇති බවටයි ගම් වැසියන් චෝදනා කරන්නේ.

බෙන්තර ගඟේ ජල පෝෂක ප්‍රදේශයට හානි පමුණුවමින් සිදු කරනා මෙම පරිසර විනාශය මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ ඇස ගැටී නැහැ.

ගම්වැසියන් චෝදනා කරන්නේ කඩොලානේ ගස් කපන පුද්ගලයින්ට ව්‍යාපාරිකයා විසින් වැඩි වැටුප් ලබා දී එම කටයුත්ත සිදු කරන බවයි.

බෙන්තර ගඟ සීමාවේ පිහිටි කඩොලාන පරිසර පද්ධතියට හානි පමුණුවමින් සිදු කරනා මෙම විනාශය පිලිබඳ කඩිනමින් අවධානය යොමු කර නිසි විසඳුමක් ලබා දෙන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

@@@@@@@@@@@@@@

(19.02.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයෙකු එහි දෙවන මාත්‍රාව ලබා ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

පළමු මාත්‍රාව ලබාදී සති 10 ත් 12 ත් අතර කාලය තුළ එහි දෙවන මාත්‍රාව ලබාදීමට බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව ඊයේ (18) ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගැනීම සිදුකළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමේ වැඩසටහනේ අවසන් දිනය අදයි (19).

පසුගිය දින තුන (3) තුළ එන්නත ලබාගැනීම සඳහා කථානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ තිබුණා.

එමෙන්ම, බන්ධනාගාරවල නිලධාරීන්ට අද (19) දිනයේදීත් කොරෝනා එන්නත ලබාදීම බන්ධනාගාර පුහුණු පාසලේදී සිදුකෙරෙනවා.

පසුගිය දින 3 පුරාවටම එන්නත ලබාදුන් අතර මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 1700 කට වැඩි පිරිසකට එන්නත ලබාදී ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 4725 ක් වාර්තා වනවා.

මේ අතර, ඊයේ (18) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 514 ක් වාර්තා වීම සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 78,420 දක්වා ඉහල ගියා.

ඊයේ (18) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 501 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 13 දෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ (18) හඳුනා ගැණුනා.

එමෙන්ම නව මරණ 08 වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගියා.

මියගිය අය අතර අවුරුදු 20 ක තරුණියක්ද වනවා ෴

++++++++++++++++++++++

(19.02.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

වසර 5 කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ.

එමෙන්ම එය 2019 වසරට සාපේක්ෂව සියයට 70 ක පහළ යාමක්.

ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරස බලපෑම හේතුවෙන් මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම අවම වී ඇති බවටයි.

ඊට හේතුව රට වසා දමා තිබූ කාලසීමාව තුළ මෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු අවම වීමයි.

පසුගිය වසරේ කොරෝනා රෝගීන් 31,084 ක් වාර්තා වී ඇති අතර, 2019 වසරේ වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105,049 ක්.

මෙම වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2362 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 1441 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 187 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 111 ක් ෴

+++++++++++++++++++++

(19.02.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

දෙහිඕවිට සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 33 දෙනෙකු ඊයේ (18) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් එම කොට්ඨාසයෙන් වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ යනු ඇති.

ඊයේ (18) වාර්තාවූ ආසාදිතයන්ගෙන් 17 දෙනෙකු දෙහිඕවිට – සපුමල්කන්ද වතුයායෙන් හමුවී ඇති අතර, සෙසු ආසාදිතයන් අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් වාර්තාවී ඇති බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

ඔවුන් සියලුදෙනා ඊයේ (18) පස්වරුවේ රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *