මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්

මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්

*********************************************

මොහොමඩ් ෂකීල් සහ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ්

(18.02.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාලව අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ එයට අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත්, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් මාර්තු 03 දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

***************************************

2019 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

(18.02.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

***************************************

(18.02.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ප්‍රකාශ කළා.

ඇයට සාධාරණය ඉටු වන තෙක් සටන් කරන බවයි පාර්ලිමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංසදයේ සභාපතිනී රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී පුල්ලේ මහත්මිය සදහන් කළේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළ බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය, පසුගිය වසරේදී පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කළ අතර, ඊට එරෙහිව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වන රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එමගින් ඔවුන් දක්වා තිබුණේ පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාවේ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය පත් කර ඇති බවයි.

අද (18) පැවති මාධ්‍ය හමුවට වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියට අමතරව රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සීතා අරඹේපොළ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර යන මහත්මියන් ද එක්ව සිටියා.

කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසක් නඩු පැවරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි ෴

***************************************

(18.02.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – නැදුන්කර්නි – සේනපිලව් ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයේ තවත් සේවකයෙකු අද (18) ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැණුනා.

මොහු වව්නියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඊයේ (17) සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය නොවන සංවිධාන සේවකයා සමග සමීප සබදතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

නැදුන්කර්නි හි පිහිටි නිවසක් තුළ තිබී ඊයේ (17) ටී එන් ටී වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් සහ පී.ඊ වන් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 600 ක් මෙන්ම පීඩන බෝම්බ කොටස් 148 ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

පළමු සැකකරුද මේවනවිට ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාරයේ පසුවනවා.

එමෙන්ම වවුනියාව – සෙට්ටිකුලම – සින්නතම්පනේ ප්‍රදේශයේ වළ දමා තිබියදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් (2) ද පොලීසිය සොයාගෙන තිබුණේ ඊයේ (17) දිනයේයි.

***************************************

(18.02.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

දෙදින (2) නිල සංචාරය සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලබන 23 වන දා දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු ලබන 24 වන දා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් එම තීරණය දෙරටේ එකඟතාව මත ඉවත් කර ගැනීමට කටයුතු කළ බවට සභානායකවරයා පක්ෂ නායකයින්ට දැනුම් දුන් බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ ෴

***************************************

(18.02.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – තෙල් ටැංකි පද්ධතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් හරහා කළමනාකරණය කිරීමට ඉන්දීය රජය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

ඒ, කොළඹ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කොළොන්නාවේ ඊයේ (17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා අනාවරණ කළේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කළ බවයි.

කෙසේ වෙතත්, ඉන් පැය කිහිපයකට පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශයක් කළ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේ දෙරටටම වාසිදායක ව්‍යාපෘතියක් ලෙස ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීමට සාකච්ඡා කළ බවයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ත්‍රිකුණාමලයේ ඉදිකළ මෙම තෙල් ටැංකි 99 න් 15 ක් මේ වනවිටත් ක්‍රියාත්මක වන්නේ එල්.අයි.ඕ.සී. සමාගම යටතේයි.

2003 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකි වසර 35 ක කාලසීමාවක් සඳහා මෙලෙස එල්.අයි.ඕ.සී. සමාගමට බදු දෙනු ලැබුවා.

***************************************

(18.02.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළ කාලසීමාවේ කිසියම් පිරිසක් මෙරටට ගෙන්වූ කඩු 6000 කින් 5400 ක් මේ වනවිට රට තුල නිදැල්ලේ සැරසරන බව අභියාචනාධිකරණයේදී අද (18) අනාවරණය වුණා.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ මෙම කඩු වලින් 600 ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

ඒවා මොහොමඩ් සත්තාර් නමැත්තා විසින් ගෙන්වා ඇති බවත් පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැත්තාගේ අවශ්‍යතාවයකට මේවා ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙලිව ඇති බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම කඩු 5400 ක් පමණ මේවනවිට රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන අතර ඒවා ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස තම සේවාදායකයා ආරක්ෂක ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව මෙලෙස මෙරටට කඩු ආනයනය කළැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල තත්ත්වය පිළිබදව මාර්තු 05 වනදා අධිකරණයට පැහැදිලි කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු වගඋත්තරකරුවන්ට අද (18) නොතීසි නිකුත් කළා.

පොලිස්පතිවරයාට අමතරව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානි සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිශාන්ත ද සිල්වා සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහි සෙසු වගඋත්තරකරුවන්.

***************************************

සෝමාවතියේ ඇවිදින මායිම් කණු – විමලවීර අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්

(18.02.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරියගේ මෙහෙයවීමෙන් සෝමාවතිය ජාතික උද්‍යානයේ මායිම් කනු වෙනස්කර අක්කර 2000 ක් පමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට කටයුතු කර ඇති බවට ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ’ මහලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (18) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

***************************************

(18.02.2021 – 23:12 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් රැස්කරගත් පුද්ගලයින් නඩුවලින් නිදහස් වූ ආකාරය පිළිබඳව සෙවීම සදහා කොමිසමක් පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවති ජන හමුවක් අමතමින්.

***************************************

(19.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 185 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) මාකොල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රුපියල් 3,52,000 ක්ද සොයාගෙන ඇති අතර, ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවටයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.

එමෙන්ම සැකකරුවන් සතුව තිබී ත්‍රිරෝද රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

ප්‍රදේශ කිහිපයක පැය 16 ක ජල කප්පාදුවක් හෙට (20)

(19.02.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවල මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන ප්‍රදේශයටත් හෙට (20) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

***************************************

(19.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය කර්මාන්තශාලාවක කසළ අංගනයේ ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හයක් (6) යොදවා තිබූ අතර, ඊයේ (18) පස්වරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්ද ගින්න නිවීම සඳහා යොදාගත් බවයි පොලීසිය සඳහන් කළේ ෴

@@@@@@@@@@@@

(18.02.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබාදී සති 10 ත් 12 ත් අතර කාලය තුළ එහි දෙවන මාත්‍රාව ලබාදීමට බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවයි.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නතේ පළමු මාත්‍රාව ලබාදී සති 4 ක් තුළ දෙවන (2) මාත්‍රාව ලබාදිය යුතු බවට මීට පෙර නිර්දේශ කර තිබුණා.

මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබුණු ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත පසුගිය ජනවාරි 29 වනදා සිට ප්‍රමුඛ පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙන්ම අවදානම් ප්‍රදේශ හා පිරිස් ඉලක්ක කර ලබාදීම මේ වනවිට සිදු කෙරෙනවා.

ඒ අනුව මේ දක්වා එන්නත්කරණයට ලක් කර ඇති මුළු සංඛ්‍යාව ලක්ෂ දෙකකට (200,000) අධිකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද තුන්වන (3) දිනටත් එන්නත ලබාදීම යුද හමුදා රෝහලේදී සිදු කෙරුනා. අද (18) දිනයේ එන්නත ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ගීතා කුමාරසිංහ, ශාන් විජේලාල් ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් 425 දෙනෙකුට ද කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.

වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, මහර, මීගමුව, පල්ලන්සේන, වටරැක, බූස්ස සහ කළුතර බන්ධනාගාරවල නිලධාරීන්ට අද (18) දිනයේත් කොරෝනා එන්නත ලබාදුන්නා.

මේ අතර කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් බව පවසමින් පැණියක් නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වනවා.

ඒ සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසා සිටියා. කෙසේ වෙතත් ඔහු සදහන් කළේ තමන් එන්නත ලබා නොගත් බවයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 243 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(18.02.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ජාතික රුධිර සංචිතවල හිඟයක් පවතින බැවින් 011 533 2153 හෝ 011 533 2154 යන දුරකථන අංක ඔස්සේ රුධිරය පරිත්‍යාගය සඳහා වේලාවක් වෙන් කරගන්නා ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ජාතික රුධිර පාරවිලයන සේවය ඉල්ලීමක් කරනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ දිවයින පුරා රුධිර කඳවුරු සංවිධානය වීමේ අඩුවක් ඇති බැවින් මෙලෙස ජාතික රුධිර සංචිත පහත වැටී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ෴

+++++++++++++++++++

(19.02.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණ 08 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 430 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *