කොමිසමේ වාර්තාවෙ කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

කොමිසමේ වාර්තාවෙ කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ – පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි

*********************************************

කොමිසමේ වාර්තාවෙ කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ – පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(16.02.2021 – colombotoday.com)

= කැකිල්ලේ තීන්දු කොමිසමේ වාර්තාවෙ ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි =

පාස්කු කොමිසමේ වාර්තාව මගින් බොදු බල සේනා තහනම් කිරීමට සහ ඥානසාර හිමිට විරුද්ධව අපරාධ චෝදනා නැගීම සඳහා නිර්දේශ කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව එම සංවිධානයේ නායක පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) රාජගිරිය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමක් සිදුකර සිටියා.

විද්දේ පඳුරට වැදුනේ හාවට

“විද්දේ පඳුරට වැදුනේ හාවට. ඒක තමයි මට වෙලා තියෙන්නේ. මිනිස්සු හිතුවේ නෑනේ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත්කළ කොමිසමේදී අපිව වැරදිකරුවෝ කරන්න. අපි මොනවා කරලද? මම හිතන්නේ නෑ පාස්කු කොමිසමේ වාර්තාවේ කැකිල්ලේ තීන්දු ඇතියි කියලා.” යැයි පැවසූ ඒ හිමියෝ “දැන් වීරයෝ ගොඩක් ඉන්නවා. අපි 2014 ඉඳලා මේ ගැන කිවුවා. අන්තවාදීන් නම් වශයෙන් හෙලිකලා. එදා තමන්ගේ ජනතාව බේරගන්න මුස්ලිම් නායකයන්වත් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න සිංහල නායකයන්වත් කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ. ඒ අය අපිට චෝදනා කර කර හිටියා.” යැයි ඥානසාර හිමි මතකාවර්ජනයක් සිදුකලා.

බොදු බල සේනා වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ සමස්ත රටටම වෙන්න යන ව්‍යවසනයෙන් බේරාගන්න බව අවධාරණය කර සිටි ඥානසාර හිමි දේශපාලන නායකයින් පාස්කු ප්‍රහාරයට පෙර ගොඩනැගුනු සිද්ධි පිළිබඳව ක්‍රියාමාර්ග ගත්තේ නැති බවට චෝදනා කර සිටියා.

“අපිට පේනවා මෙතැන නොවිය යුත්තක් සිද්ධවෙලා තිබෙනවා කියලා. ඒ ඕනෑම දෙකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. මොන මොන න්‍යාය පත්‍ර හිතේ තියාගෙන, තමන්ගේ අනාගත බල දේශපාලන උවමනාවට වාසියක් ගන්න බලාගෙන ඉන්න පල් හොරෙක් කොමිසමට රිංගුවාද කියලා අපි දන්නේ නෑ.”

වැඩි වාර ගණනක් පාස්කු කොමිසමට ගොස් කරත්තයක් බරට තමන්වහන්සේ ළඟ තිබූ තොරතුරු ලබා දුන් බවත් උන්වහන්සේ පැවසූ සේක.

අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ

“බොදු බලේ තහනම් කරන්න හරි අපරාධ චෝදනා නගන්න හරි අවොත් අපි ඒ වෙලාවට බලා ගමු. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. මේක යකාගේ වැඩක්නේ.” යැයි සඳහන් කර සිටි ඥානසාර හිමියෝ ජාතියේ ඉරණම බේරගන්න හිරගෙවල්වල ලගිමින් නින්දා අපහාස ලබමින් සිදුකල කැපකිරීමට ලැබෙන දේ මේයනම් මේ අවිද්‍යාත්මක ක්‍රමවේදය තුල ඒකටත් පුදුම නොවිය යුතු බව පැවසූහ.

පාස්කු කොමිසමේ වාර්තාව ගැන හොයන්න තව කොමිසමක් දාන්න වේවිද?

“දීර්ඝව යමක් මේ වාර්තාව ගැන කියන්න බෑ. මොකද පිටු ලක්ෂයක් තිබෙනවාලු මේ වාර්තාවේ. අපි සංවිධානයක් ලෙස ඉල්ලලා තිබෙනවා මේ වාර්තාවේ අපි සම්බන්ධයෙන් තිබෙන නිර්දේශ අපිට දෙන්න කියලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. මොකද අපි දන්නේ නෑනේ වාර්තාවේ මොනවා තිබෙනවාද කියලා. කොමිසමේ කාට හරි ආරුඩයක් හැදුනද දන්නේ නෑනේ. පුර්වයේ තිබුන හැසිරීමට මේ අවසාන වාර්තාව වෙනකොට මොකද වුනේ කියන එක හොයන්න ඕනේ. මම හිතන්නේ ඒක හොයන්න තව කොමිසමක් පත් කරන්න වෙයි.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කල සේක.

සම්පුර්ණ මාධ්‍ය හමුව :

***************************************

කඩු 6,000 ක් ආනයනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කාදිනල් තුමන් ගොනුකළ පෙත්සම කැඳවන්න නියෝග

(18.02.2021 – colombotoday.com)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000 ක් පමණ මෙරටට ආනයනය කරන ලදැයි කියන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් තුමන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එදින එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නොතිසි නිකුත් කිරීම සිදුකර තිබේ.

පෙත්සම්කාර කාදිනල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000 ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය ෴

***************************************

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා – පූජ්‍ය ආනන්ද සාගර හිමි

(17.02.2021 – colombotoday.com)

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ බදු ගෙවලා නැති බවත් ඔහු විසින් බදු වංචාවක් සිදුකර ඇති බවත් ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

2011 වසරේ නොවැම්බර් 30 වෙනකොට විශාල ප්‍රමාණයක් බදු ගෙවා නැති බැවින් මාසයකට ලක්ෂ 100 ගානේ ගෙවීමට ගිවිසුම් ගත වී අරක්කු සමාගම යලි ආරම්භ කිරීමට උත්සහ ගත් බවත් ජනතා විරෝධය නිසා එය සිදුකර ගැනීමට නොහැකි වූ බවත් පසුව තම අරක්කු සමාගමේ නම වෙනස් කර යලි ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කරන ලදි.

අරක්කු සමාගම යලි ආරම්භ කිරීම වෙනුවෙන් රාජපක්ෂ වරුන්ගේ අගය ප්‍රකාශ කරමින් සිටින්න බව ද පූජ්‍ය ආනන්ද සාගර හිමි අවධාරණය කරන ලදි.

***************************************

“තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා.. ඕවා නවත්ත ගන්න කියල අරුල්ට කියපන්” – සිංහ කොඩිය එස වූ අරුල්ට කොටි තර්ජන

(17.02.2021 – colombotoday.com)

ජාතික කොඩිය ඔසවා යාපනයේ ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කළ තමාට හා පවුලේ අයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු නිවෙසටම පැමිණ තර්ජනය කළ බවට යාපනය සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අරුලානන්දම් අරුල් සිද්ධාර්ථන් ඊයේ (16)දින චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ. “උඹලා මේ දෙමළ ඊළමේ සිංහලයාගේ කොඩිය ඔසවනවාද, තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා. ඕවා නවත්ත ගන්න කියල අරුල්ට කියපන් යැයි තර්ජනය කර තිබෙන බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

චුන්නාකම් ප්‍රදේශයේ තම නිවෙසට අවස්ථා දෙකකදී (2) පැමිණ මොහු තමා සොයා ඇති බවත් තමා නිවෙසේ නොසිටි හෙයින් තම බිරියගේ 56 හැවිරිදි මව වෙත මෙම තර්ජනය සිදුකර ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන් ය.

මෙම පුද්ගලයා හිටපු කොටි බුද්ධි නායකයෙකු බවට තොරතුරු තිබෙන බව ද අරුලානන්දම් අරුල් අප කළ විමසුමකදී කියා සිටියේය ෴

***************************************

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. රුපියල් කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

(18.02.2021 – colombotoday.com)

පෙරේදා (16) දින පැලියගොඩ පොලිස් ස්ථානය සිදුකල විශේෂ වැටලීමකදී පැලියගොඩ, නුගේ පාරේ පිහිටි Renuka Foods PLC ආයතනයට අනුබද්ද සමාගමක් වන Shaw Wallace Ceylon Ltd ආයතනය සතු ආහාර ද්‍රව්‍ය අසුරන කර්මාන්ත ශාලාවක චීනයෙන් ගෙන්වන ලද කල් ඉකුත් වූ ජම්බෝ පීනට් පැකට් නැවත අලුත් ඇසුරුම්වල අසුරමින් සිටියදී හසුවී ඇත.

මෙහිදී කල් ඉකුත් වූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් ජම්බෝ පීනට් පැකට් 118,000 ක් පමණ සොයාගෙන ඇත. ඒවා එම පැකට් වලින් ඉවත් කර, නව කල් ඉකුත්වීමේ දින සහිත පැකට්වල අසුරන අවස්ථාවේදී අදාළ තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට එම ස්ථානය මුද්‍රා තබා පොලිස් නිලධාරින්ද යොදවා ඇති බව නියෝජ්‍යය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (17) සඳහන් කරන ලදි.

අදාළ සමගම විසින් රේණුකා පොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන, Renuka Captain ටින් මාළු, Richlife කිරි නිෂ්පාදන, Renuka Captain සොයා මීට්, Mr. POP නිෂ්පාදන, Mayfair චුයින්ගම්, Renute තේ නිෂ්පාදන, Sun Gold පලතුරු බීම, Rainers රස කාරක සහ Rainers වර්ණ කාරක ආදී වූ විශාල නිෂ්පාදන ප්‍රමාණයක් මෙරට තුල බෙදා හැරීම සිදුකරනු ලබයි.

මේ පිළිබඳව විමසීම සඳහා එම ආයතනය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කල අතර වෙළඳ කළමනාකරු වන රුවන් මහතාට අමතන ලෙස දුරකථන ක්‍රියාකරු විසින් දුරකතන අංකයක් ලබා දුන්නද ඇමතුම සඳහා ඔහු ප්‍රතිචාර දැක්වුවේ නැත.

මීට ඉහතදී ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට මෙම සමාගම විසින් බෙදා හරින ලද ප්‍රමිතියෙන් තොර ජම්බෝ පීනට් වලට විරුද්ධව පැමිණිල්ලක් සිදුකර ඇති අතර යලි එවැනි දේ නොකිරීමේ පොරොන්දුව මත එය සමතයකට පත්ව ඇත.

වෙබ් අඩවි :

[ http://www.renukagroup.com/ ]

[ http://www.renukafoods.com/ ]

***************************************

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල මුදල් හා ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා කොල්ලකයි

(18.02.2021 – colombotoday.com)

විමර්ශන නිලධාරීන් යැයි පවසමින් විහාරස්ථානවල මුදල් හා ඉතා වටිනා බුදුපිළිම සංවිධානාත්මකව කොල්ලකෑ පුද්ගලයින් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලීසිය පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (17) දින දහවල් කාලයේ දී කතරගම නගරයේ පිහිටි විහාරස්ථානයකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තමන් කොළඹ අපරාධ විමර්ශන අංශයකින් යැයි පවසමින් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ බියවද්දා ඇති බවය.

පසුව මංකොල්ලකරුවන් විසින් විහාරස්ථානයේ තිබූ ඉතා වටිනා බුදුපිළිමයක් හා ජංගම දුරකථනයක් ද රැගෙන ගොස් තිබේ.

මේ අතර, ඊයේ (17) රාත්‍රී 7 ට පමණ අහුංගල්ල පොලිස් වසමේ, බලපිටිය පාතේගම විහාරස්ථානයකට පැමිණි කණ්ඩායමක් විසින් තමන් බස්නාහිර පළාතේ විමර්ශන කණ්ඩායමක් යැයි පවසමින් එම විහාරස්ථානයේ වැඩවිසූ ස්වාමීන් වහන්සේ නමකගෙන් මුදල් කොල්ලකා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සිදුවීම් දෙක (2) සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් විමර්ශන නිලධාරීන් සෑම විටම හැඳුනුම්පතක් අතැතිව පැමිණෙන බැවින් එය පරීක්ෂා කර බලා අදාළ විමර්ශන සඳහා සහය දක්වන ලෙසත් කියා සිටියේය ෴

***************************************

කාත්තන්කුඩියේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ

(18.02.2021 – colombotoday.com)

පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් කාන්තන්කුඩි ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා ඊයේ (17) සවස කසල තේ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුනේ විශේෂ කාර්ය සාධක බලකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (17) සවස කාන්තන්කුඩි ප්‍රධාන පාරේ පිහිටි තේ අලෙවි සැලට පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, උප පොලිස් පරීක්ෂක නිශංක සහ බන්ඩාර ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ වැටලීම සිදු කරන ලදි.

වෙළඳසැලේ පිටුපස පවත්වාගෙන යන තේ කම්හලේ හා ගබඩාවේ ඇසුරුම් කර ඇති තේ කුඩු පරීක්ෂා කිරීමේදී එහි කසල තේ විශාල ප්‍රමාණයක් තිබී ඇත.

ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ කසල තේ කුඩු හොඳ තේ කුඩු සමඟ මිශ්‍ර කර සමාගම් කිහිපයක නම් යටතේ අලෙවි කරන බවයි.

වැටලීමෙන් පසු මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ කාන්තන්කුඩි ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියා කැඳවා පරීක්ෂා කර ඇත.

කිලෝග්‍රෑම් 60 බැගින් වූ මලු 100 කට වැඩි ප්‍රමාණයක් ගබඩාවෙන් සොයාගෙන ඇති අතර මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් එම ස්ථානය මුද්‍රා තබා ඇත.

වැඩිදුර පරීක්ෂණ විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරනු ලැබේ ෴

***************************************

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා – පූජ්‍ය අක්මීමන දයාරතන හිමි

(18.02.2021 – colombotoday.com)

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි වෙනුවෙන් කවුරුත් ඡන්දය භාවිතා කර නොමැති බැවින් විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීම සදහා කතා කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බව සිංහල රාවය පක්ෂයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා.

අලි සබ්‍රි කරන්නේ ජනාධිපතිවරයාව විනාශ කිරීමක් බවත් ඔහුගේ පවුලේ උදවියවත් පොහොට්ටුවට ඡන්දය භාවිතා කර නමැති බවත් ඒ හිමියන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඒ හිමියෝ :

***************************************

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

(18.02.2021 – colombotoday.com)

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය කර තිබේ.

පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ උපදෙස් පොලිස්පතිවරයාට ලබාදුන් බවය.

ඒ අනුව නිර්නාමික පැමිණිලිවල අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර වැරදි කළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිස් කොමිසමට ලැබෙන ඇතැම් නාමික පැමිණිලිවල නිසි තොරතුරු සටහන් නොවීමෙන් ඒ පිළිබඳව විමර්ශනයට බාධා මතුව ඇති බව ද පොලිස් කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය.

එබැවින් පැමිණිල්ලක් යොමු කරන්නේ නම් එය විමර්ශනයට හැකි වන පරිදි දත්ත ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *