මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට

මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට

*********************************************

මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් CID අත්අඩංගුවට

(17.02.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීම සම්බන්ධයෙන් අදාළ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 10 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අද (17) පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

***************************************

සුරූපී කතක් සමග 6 ක් කොටුවූ – වට්ස් ඇප් වලින් කළ අමුතු සෙල්ලම

(17.02.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

නිධායනයකින් ලබාගත් රත්‍රං ලබාදිය හැකි බව පවසා ධනවත් ව්‍යාපාරිකයන් රවටා මුදල් කොල්ලකන කල්ලියක් ‘හිරු සී.අයි.ඒ.’ හඹාගියා.

අද (17) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

නිධානයකින් ලබාගත් රත්‍රං බව පවසමින් මෙම දර්ශන වට්ස් ඇප් සමාජ මාධ්‍ය හරහා ධනවත් ව්‍යාපාරිකයන්ට යැවීමටයි සංවිධානාත්මක කල්ලියක් කටයුතු කරන්නේ.

මෙම දර්ශන මෑතකදී ලබාගත් බවට තහවුරු කිරීම සඳහා මෙලෙස දින ප්‍රදර්ශනය කිරීමක්ද ඔවුන් සිදුකරනවා.

ජාවාරම්කරුවන් පවසන්නේ රත්‍රං කිලෝ 30 ක් තමන් සතු අතර ඉන් එක් කිලෝවක් රුපියල් ලක්ෂ 90 කට අලෙවි කරන බවයි.

මෙම රත්‍රං මිලදී ගැනීමට නම් ව්‍යාපාරිකයන් සතු මුදල්ද වට්ස් ඇප් හරහා ජාවාරම්කරුවන්ට පෙන්විය යුතු බවටයි ඔවුන් පවසන්නේ.

ජාවාරම්කරුවන්ගේ අරමුණවන්නේ මුදල් රැගෙන යම් ස්ථානයකට පැමිණි පසු ව්‍යාපාරිකයන් බියවද්දා අදාළ මුදල් රැගෙන පලායාමයි.

මෙම සංවිධානාත්මක අපරාධය පිළිබඳව අප කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අජිත් ප්‍රියන්ත මහතාව දැනුවත් කළා.

ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම කොල්ලකල්ලිය වැටලීමට සැළසුමක් සකස් කළා.

එහිදී කොල්ලකරුවන් ප්‍රකාශ කළේ මුදල් රැගෙන කුරුණෑගල වැව ආසන්නයට පැමිණෙන ලෙසයි.

රාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක් මෙහිදී ගනුදෙනුවේ මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින්නේ රත්‍රං ගනුදෙනුවට පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය වැඩි කිරීම සඳහායි.

පොලිස් නිලධරීන් මුලින්ම එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අනෙක් ජාවාරම්කරුවන්ද මෙම කාන්තාව සිටින ස්ථානයට ගෙන්වා ගැනීමට පොලිසිය සූක්ෂමව කටයුතු කළා.

මෙම වැටලීමේදී රත්‍රං ජාවාරම සඳහා පැමිණි මෝටර් රථයක්, යතුරු පැදියක් මෙන්ම රත්‍රං ජාවාරම සඳහා පැමිණි කාන්තාව ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

***************************************

(17.02.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවකට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ජූලි 31 වැනිදායි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සැකකරුවන් අද (17) අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

මෙම නඩුවට අදාළව පොලිස් පරීක්ෂකවරුන් වන විල්ලවආරච්චි සහ සුසන්න යන දෙදෙනා අතර ඇතිවූ සංවාද ඇතුළත් හඬ පටයට අදාළ සංයුක්ත තැටියක්ද රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කොළඹ අපරාධ කොට්ඨාසය අද (17) පියවර ගත්තා.

ශානි අබේසේකරගේ ද මැදිහත්වීම මත යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළකළා.

***************************************

(17.02.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සබඳතා ඇතිකරගෙන කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (17) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

(17.02.2021 – 22:57 +0530 – hirunews.lk/sinhala)

තම ඉල්ලීම්වලට ඉදිරි දින 5 ඇතුළත විසඳුම් නොලැබුණහොත් එළැඹෙන 23 වැනිදායින් පසු රටපුරා ජාතික සටනක් ආරම්භ කරන බව සත්‍යග්‍රහයේ නියුතු සුරියවැව වල්සපුගල ගොවීන් පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

හම්බන්තොට යෝජිත වන අලි කලමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සුරියවැව වල්සපුගල දී ගොවි සංවිධාන 86 ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට (17) දින 31 ක්.

ඒ අතරතුර ගොවීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පොරොන්දුවක් මත පසුගිය 23 වැනිදා නතර කෙරුණා.

***************************************

(18.02.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – නැදුන්කර්නි – සේනපිලව් ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබෙනවා.

නැදුන්කර්නි හි පිහිටි මෙම පුද්ගලයාගේ කුලී නිවසේ තිබී අදාළ පුපුරණ ද්‍රව්‍ය නැදුන්කර්නි පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබුණේ ඊයේ (17) දිනයේයි.

එහි තිබී ටී.එන්.ටී වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් සහ පී.ඊ.වන් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි (1) ග්‍රෑම් 600 ක් මෙන්ම පීඩන බෝම්බ කොටස් 148 ක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

මොහු 32 හැවිරිදි මුලතිව් ඔඩ්ඩුසුඩාන්හි පදිංචිකරුවෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර වවුනියාව – සෙට්ටිකුලම – සින්නතම්පනේ ප්‍රදේශයේ වළ දමා තිබියදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් (2) පොලීසිය සොයාගෙන තිබෙනවා.

පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම ඇඳුම් කට්ටල දෙක (2) වළදමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

එක් ඇඳුම් කට්ටලයක් තුළ ග්‍රෑම් 400 ක පමණ පුපුරණ ද්‍රව්‍ය තිබූ බවටයි පොලීසිය ප්‍රකාශ කළේ.

වවුනියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක (2) සොයාගෙන ඇත්තේ.

සොයාගත් මෙම ඇඳුම් කට්ටල දෙක (2) අධිකරණ නියෝගයකින් පසුව නිශ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට නියමිතයි ෴

***************************************

(18.02.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් දිවයින පුරා සිදුකරන යතුරුපැදි සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මොවුන් සංවිධානාත්මකව ඊයේ (17) ප්‍රදේශ හයක (6) යතුරුපැදි සොරකම් සිදුකර ඇති බවයි ෴

***************************************

(18.02.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මහා පරිමාණ ගොවිපල ඇති කිරීමට ප්‍රධාන වැවිලි සමාගම් තුනක් (3) සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වසර 3 ක් තුළ දිනකට කිරි ලීටර ලක්ෂයක් නිෂ්පාදනය කිරීම සඳහා ගවයින් 4,500 දෙනෙකු ගෙන ඒමට අදාළ වැවිලි සමාගම් එකඟතාව පළ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

දේශීයව කිරි නිෂ්පාදනය කෙරෙන්නේ සියයට 40 ක ප්‍රමාණයක් වන අතර, රජය වාර්ෂිකව පිටි කිරි ආනයනය සඳහා රුපියල් බිලියන 55 ක මුදලක් වැය කරනු ලබනවා.

පවත්නා දත්ත අනුව කිරි ගවයෙකුගෙන් දිනකට ලබාගත හැක්කේ කිරි ලීටර ප්‍රමාණය 2.5 ක ප්‍රමාණයක් වන අතර, නව වැඩපිළිවෙල යටතේ එය ලීටර පහ (5) දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි ෴

***************************************

(18.02.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා (21) පැය දහය හමාරක (10½) කාලයක් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන ඉරිදා (21) පැය උදෑසන 08:30 සිට පස්වරු හත (07:00) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බේරුවල, බෙන්තොට, බෝම්ඹුවල – පිලමිනාවත්ත, මග්ගොන සහ අලුත්ගම – දර්ගා නගරය යන ප්‍රදේශවලටයි.

මේ අතර අද (18) පෙරවරු 08:30 සිට හෙට (19) අලුයම 02:30 දක්වා පැය 18 ක කාලයක් ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

බෝපේ – පෝද්දල, හපුගල, අක්මීමන, හබරාදූව, කොග්ගල, අහංගම, රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන් ෴

***************************************

(18.02.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිසාව තුළ ඊයේ (17) පැය 5 ක කාලයක් තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් 435 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

බීමත් රියදුරන්, අධික නළා හඩවමින් රථ වාහන ධාවනය කිරීම, අපරික්ෂාකාරි රිය ධාවනය, හිස්වැසුම නොමැතිව යතුරුපැදි ධාවනය සහ රියදුරු බලපත්‍ර ඇතුලු ලියකිවිලි නොමැති පුද්ගලයිනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@@

(17.02.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ දිනක් තුළ ජනතාව සඳහා සිදුකළ පුළුල්ම එන්නත්කරණ වැඩසටහන අද (17) ක්‍රියාත්මක කළේ බස්නාහිර පළාතේ 57,000 කට එන්නත ලබාදෙමින්.

ජනතාව සමඟ සමීපව කටයුතු කරන වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සහ ප්‍රදේශ ඉලක්ක කර ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම පෙරේදා (15) දිනයේදී ආරම්භ කළා.

ඒ අනුව අද (17) දිනයේත් ආර්ථික මධ්‍යස්ථාන, පොදු වෙළදපොළවල් සහ මත්ස්‍ය වෙළදසැල් මෙන්ම ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාතේ ප්‍රදේශවල පුද්ගලයන්ට එන්නත ලබාදීම සිදුකළා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 344 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

අද (17) දිනය තුළ කොවිඩ් මරණ 13 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

++++++++++++++++++++++

(17.02.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ලොව පළමු වරට මිනිසුන් යොදා ගනිමින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් සූදානම් වනවා.

මෙම අධ්‍යයනය ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ නිරෝගී පුද්ගලයන් 90 දෙනෙකු යොදා ගැනිමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ආරක්ෂිත සහ පාලිත පරිසරයක මෙම පිරිසට කොරෝනා වෛරසය එන්නත් කර පසුව එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට පෙර මැලේරියාව, කොළරාව සහ සෙංගමාලය වැනි රෝග සඳහා ද මෙම ක්‍රමය සාර්ථකව යොදාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(17.02.2021 – 22:18 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් එම ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව සඳහා සංචාරක ක්ෂේත්‍රයට අදාළ රේඛීය ආයතන ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත ලබාදීමේදී හෝටල් සේවකයින්, සංචාරක මගපෙන්වන්නන් සහ රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාව ලබාදීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවයි.

එමෙන්ම සංචාරකයින් ආසාදිතයින් නොවන අවස්ථාවලදී පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවටද මෙහිදී යෝජනා වී තිබෙනවා.

සාකච්ඡාවට එක්වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ, මෙරට කොවිඩ් මර්දන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවයි.

++++++++++++++++++++++

(18.02.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ පස්වරුවේ ඉවත් කළා. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා :

එමෙන්ම පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියළු පහසුකම් සැළසීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදියි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ.

මේ අතර විදෙස් සංචාරකයන්ට අදාළ සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කිරීමට කටයුතු කරන පසුබිමක් තුළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නත ලබාදීමේදී තම සේවකයන්ටද ප්‍රමුඛතාව ලබාදෙන ලෙස හෝටල් සේවක මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++++++++

(18.02.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා මරණ 13 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහල ගියා.

මෙය මෙරට කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ.

මීට පෙර මෙරට දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව දැක්වුණේ 9 ක් ලෙසයි. අවුරුදු 46 ත් 86 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු සහ එක් (1) කාන්තාවක් මියගිය අය අතර වනවා.

එමෙන්ම ඊයේ (17) දිනයේ නව ආසාදිතයන් 722 කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77,906 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 713 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 73,870 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්කළේ.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි 9 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස ඊයේ (17) හඳුනාගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 6,308 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 71,176 ක්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට කොරෝනා එන්නත ලබාදීමේ කටයුතු අද (18) දිනයේද සිදු කෙරෙනවා.

එමෙන්ම පාසල් තුළ සංවිධාන කෙරෙන කථික හා විවාද තරග, රුක් රෝපණ වැඩසටහන් වැනි විෂය සමගාමී වැඩසටහන් මෙන්ම විශාල වශයෙන් සිසුන් එක් රැස් නොකරමින් සිදුකරන, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශිත ක්‍රීඩා ඉසව් පැවැත්වීමට අවසර හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(18.02.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව කොළඹ නගරයේ ජනතාව තුළ ප්‍රතිශක්තිය ගොඩනැගී ඇති පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය ආරම්භ කළ පර්යේෂණයේ වාර්තාව ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිතයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ නගරයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් ඔවුන් තුළ ප්‍රතිදේහ ගොඩනැගී ඇත්ද යන්න පිළිබඳව මෙහිදී පර්යේෂණ සිදුකර ඇති බවයි.

එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියටද මෙම පර්යේෂණයේ දත්ත ඵලදායී ලෙස යොදාගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(18.02.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

කසකස්ථානයේ සිට විදේශීය සංචාරකයන් 211 දෙනෙකු රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.

අද (18) උදෑසන 08:19 ට කසකස්ථානයේ සිට ‘ස්කැට් එයාර්’ ගුවන් සේවයට අයත් යානයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *