වන විනාශයන් සිදුකරන පුද්ගලයන්ට දැඩි නීති – ආරක්ෂක ලේකම්

වන විනාශයන් සිදුකරන පුද්ගලයන්ට දැඩි නීති – ආරක්ෂක ලේකම්

*********************************************

වන විනාශයන් සිදුකරන පුද්ගලයන්ට දැඩි නීති – ආරක්ෂක ලේකම්

(17.02.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බලය අයථා ලෙස භාවිත කරමින් වන විනාශයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

මේ අතර මීරිගම – හල්පේ කන්දකැලේ කන්දෙහි පස් කැපීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ‘සිංහලේ අපි ජාතික සංවිධානයේ’ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුලු පිරිසක් ඊයේ (16) එහි ගොස් තිබුණා.

කෙසේ වෙතත් සියලුම දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අද (17) පැවති සමුළුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ දිවයිනේ සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී ද සාකච්ඡා වූ බවයි.

***************************************

(17.02.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

බූස්ස – රුපීවල ප්‍රදේශයේ දී පසුගිය 6 වන දා විශ්‍රාමික ගුරුවරියක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පොල් කඩන පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මුදල් කොල්ල කෑමේ අරමුණෙන් අදාළ විශ්‍රාමික ගුරුවරිය ඝාතනය කර ඇති අතර, අනෙක් පුද්ගලයා සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බවට අනාවරණ වී තිබෙනවා.

මොහු සමග මෙම ඝාතනවලට සම්බන්ධ වූ තවත් අයෙකු සොයා විමර්ශනයක් සිදුකරන බවයි රත්ගම පොලීසිය කියා සිටියේ ෴

***************************************

(17.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ මෙරට ප්‍රථම උෂ්ණත්ව හා තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආචාර්ය හර්ෂ ද සිල්වා හා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර පැවැත්වුණා.

ඒ, වෙළඳ අමාත්‍යාංශයේදී.

උෂ්ණත්ව හා තෙතමනය පාලිත මෙම නව කෘෂි ගබඩා සංකීර්ණය ස්ථාපිත වන්නේ දඹුල්ල ප්‍රදේශයේ යි.

මෙරට තුළ දැනට සිදුවන කෘෂිකාර්මික නිෂ්පාදන සඳහාවන හානියෙන් 40% ක් පමණ අවම කරගැනීමට මෙම ගබඩා සංකීර්ණය හරහා හැකියාවක් පවතිනවා.

මෙහි ඉදිකිරීම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිදුකෙරුණේ වෙළඳ අමාත්‍යාංශයේදි.

***************************************

(17.02.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීමෙන් සිර දඬුවම් විඳීමට සිදුවූ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

***************************************

(17.02.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 4 තුල කිරිපිටි ඇතුළු සියලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය නවතා රටතුල නිෂ්පාදනය කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දට සහතික මිලක සහල් ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

***************************************

(17.02.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

වට්ටකන්ඩල්, සමගිපුර, කරඩිපුවල්, මයිලන්කුලම ඇතුළු ප්‍රදේශ රැසක ගැබිණි මව්වරුන් සහ දරුවන්ගේ සායන පැවැත්වීම සඳහා මීට වසර 16 කට පමණ ඉහතදී විශාල පිරිවැයක් දරමින් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා.

මේ වන විට එම ගොඩනැගිල්ලේ බිත්ති පුපුරායාමෙන් දැඩි අවධානම් තත්ත්වයකට පත්ව ඇති අතර වහලයේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් වැසි දිනවලදීද දැඩි පීඩා විදීමට සිදුව ඇති බවයි මව්වරුන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ සායන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැති බවයි.

ප්‍රදේශ රැසක කුඩා දරුවන් සහ මව්වරුන් දහස් ගණනකට විශාල සේවයක් සපයන මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(17.02.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එක් ව සිටි කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සංකීර්ණයේ අද (17) පැවති උත්සවයකදීයි.

මෙහිදි අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ඉරිදා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සමග පැවති සාකච්ජාවකදී මේ පිළිබදව එකඟතාවකට පැමිණි බවයි.

මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ප්‍රකාශයක් නිකුත් කළ අතර, ලක් රජය සමග සාකච්ජා කරනු ලැබුවේ අදාළ තෙල් ටැංකි දෙරටටම වාසි දායක වන අයුරින් සංවර්ධනය සහ මෙහෙයවීම සම්බන්ධයෙන් බවයි බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකවරයා එමඟින් දක්වා තිබුණේ.

තවද ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂණය සම්බන්ධයෙන් ඉන්දීයාව ප්‍රමුඛතාව ලබාදෙන බවද ඔහු කියා සිටියා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ක් පවතින අතර ඉන් 15 ක් මේ වන විටත් මෙහෙයවනු ලබන්නේ ඉන්දියාවේ අයි.ඕ.සි සමාගම මගින්. ඉතිරි තෙල් ටැංකි 84 සංවර්ධනය සම්බන්ධයෙන් දෙරට අතර දිගුකාලීන සාකච්ජා පැවත්වෙනවා.

ඉන් තෙල් ටැංකි 10 ක් මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට පසුගිය යහපාලන රජය සමයේදී සැලසුම් කළද එය අසාර්ථක වුණා.

***************************************

(17.02.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය හා ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය පහතින් :

***************************************

(17.02.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කුඩාගම සහ තවත් වතු නිවාස කිහිපයක් ආශ්‍රිතව සැරිසරන දිවියෙකු අල්ලා රක්ෂිතයකට මුදාහරින ලෙසට බලධාරින්ට දැනුම් දුන්නද තවමත් ඊට විසඳුම් ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කුඩාගම, කැම්ප්වැලි හාත්තු නිවස ආශ්‍රිත ප්‍රදේශවල මෙම දිවියා රාත්‍රි කාලයේදී සැරිසැරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි බියට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

නිවාස කිහිපයක ඇති කරන සුනඛයන් කිහිපදෙනෙකුද මේ වනවිට දිවියාගේ ග්‍රහණයට ලක්ව ඇති බව සඳහන් ෴

***************************************

(17.02.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

වත්තල – දික්ඕවිට ධීවර වරායේ බහුදින යාත්‍රාවක තිබූ කිලෝ ග්‍රෑම් 600 ක් බරැති මාළු තොගයක් සොරකම් කර තිබෙනවා.

ඊයේ (16) රාත්‍රීයේ මෙම සොරකම සිදුකර ඇති අතර, එහි වටිනාකම කොපමණ ද යන්න මෙතෙක් තක්සේරු කර නැහැ.

කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

***************************************

(17.02.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේදී විශ්වවිද්‍යාලවලට සිසුන් 10,579 දෙනෙකු වැඩිපුර බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වෛද්‍ය විද්‍යාවලට 481 දෙනෙකු, ඉංජිනේරු පීඨයට 565 දෙනෙකු, විද්‍යා විෂය ධාරාවට 2973 දෙනෙකු, තාක්ෂණ විෂය ධාරාවට 1099 දෙනෙකු, කළමණාකරණ හා වානිජ විෂය ධාරාවට 1803 දෙනෙකු, කලා අංශයට 1680 දෙනෙකු සහ සෞන්දර්ය විෂය ධාරාවට 318 දෙනෙකු වශයෙන් අලුතින් සිසුන් බඳවා ගන්නා බවයි ෴

***************************************

(17.02.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

රැකියා ස්ථානයේ රාජකාරී අවසන් කර නිවසට ගිය තරුණයෙකුගේ මළ සිරුරක් නාවලපිටිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී හමුවීම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

මහවැලි ගඟේ තිබී මෙලෙස ගොඩගෙන ඇත්තේ නාවලපිටිය ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක්.

ඔහු නාවලපිටිය නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක සේවය කරමින් සිට ඇති අතර ඊයේ (16) රාත්‍රී 8 ට පමණ සේවය අවසන් කර නිවස කරා පා ගමනින් ගොස් තිබෙනවා.

තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවෙස් හිමියන් කළ සොයා බැලීමකදී සිරුර බව්වාගම ප්‍රදේශයේ ඉදිකර ඇති පාලම අසල මහවැලි ගඟේ තිබී සොයා ගැනුණා.

මෙය ඝාතනයක් ද, සියදිවි නසා ගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

***************************************

(17.02.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ විවෘත වුණා.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10 ක විදුලියක් ජනනය කරන කෙරවළපිටිය ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 600-800 ත් අතර ප්‍රමාණයක් දහනය කිරීමට නියමිතයි ෴

***************************************

(17.02.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ගොවි සංවිධාන 86 ක් එක්ව ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට ඉන්දියාවේ අරගලයේ නිරත ගොවි නායකයින්ගේද සහය හිමිව තිබෙනවා.

වලව – වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය අද (17) දින සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වෙමින් එම සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ ඉන්දීය ගොවි නායකයින් තමන්ට සහය පළ කරන බවට දැනුම් දුන් බවයි ෴

***************************************

(17.02.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලෙහි ගැටළු පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (17) පැවති ‘අළු බදාදා දේව මෙහෙය’ට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දීම දෙවියන් වහන්සේගේ අධිකරණයට භාරදිය යුතු බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අද (17) පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

(17.02.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික මගී බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (17) සිට දැඩි කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයන ලෙසට නිකුත් කළ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එහෙත් බොහෝ බස් රථ හිමියන් එය උල්ලංඝනය කරමින් නියමිත ප්‍රමාණය ඉක්මවා මගීන් බස් රථයට නංවාගෙන, ඉහළ නැංවූ ගාස්තු අය කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙසට පැනවූ කොන්දේසිය හේතුවෙන් බස් රථ හිමියන්ට සිදුවන පාඩුව අවම කිරීම සඳහා සාමාන්‍ය ගාස්තුව සියයට විස්සකින් (20%) වැඩි කිරීමටයි පසුගියදා රජය තීරණය කළේ ෴

++++++++++++++++++++

(17.02.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 747 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,176 දක්වා ඉහළ ගියා ෴

අද (17) දිනයේත් මේ දක්වා කාළය තුළ කොරෝනා ආසාදිතයන් 369 දෙනෙකු අලුතින් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යව මේ වනවිට දැක්වෙන්නේ 71,545 ලෙසයි ෴

++++++++++++++++++++

(17.02.2021 – 18:10 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේ දෙන එන්නත ලබන සතියේ දිවයිනට.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානයක් ලෙස පිරිනැමෙන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් මාත්‍රා දෙලක්ෂ හැට හතර දහසක් (2,64,000) මේ මස අවසන් සතියේ මෙරටට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළ බව වැඩ බලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කොළඹදී අද (17) පස්වරුවේ මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තවත් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ මාත්‍රා ලක්ෂ පහක් (5,00,000) මිලදී ගැනීම සඳහා අද (17) දිනයේ පියවර ගත් බවයි ෴

නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්තවීම හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා පණවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද (17) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ නිරෝධායන සහ කොවිඩ් පරීක්ෂාවන්ට යටත්ව මෙම තහනම ඉවත් කර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *