කොළඹ වරාය බටහිර පර්යන්තයට, ඉන්දීය සහ ජපාන ආයෝජකයින් ගෙන්වීමටත් වෘත්තීය සමිති විරෝධය

කොළඹ වරාය බටහිර පර්යන්තයට, ඉන්දීය සහ ජපාන ආයෝජකයින් ගෙන්වීමටත් වෘත්තීය සමිති විරෝධය

*********************************************

කොළඹ වරාය බටහිර පර්යන්තයට, ඉන්දීය සහ ජපාන ආයෝජකයින් ගෙන්වීමටත් වෘත්තීය සමිති විරෝධය

(17.02.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියා සහ ජපාන ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමට අදාළ දැනුම්දීම් අද (17) සිදුකිරීමට නියමිත බව වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව එම රටවල්වල තානාපති කාර්යාලවලට අදාළ දැනුම්දීම් සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ඔවුන් විසින් නම් කරන ලද ආයෝජකයින් සමඟ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව බටහිර පර්යන්තයේ සියයට 85 ක කොටස් ඉන්දියාවට සහ ජපානයට හිමි වන අතර, වරාය අධිකාරියට හිමි වන්නේ සියයට 15 ක කොටස් ප්‍රමාණයක් පමණයි.

මේ අතර, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ඉන්දියාව සහ ජපානය සම්බන්ධ කර ගැනීමට සිය විරෝධය පළ කරන බවයි.

එමෙන්ම, එම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරගෙන පවත්වාගෙන යන ලෙසට ද ඔවුන් එම නිවේදනය මගින් ඉල්ලා සිටිනවා ෴

***************************************

(17.02.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටියට රැගෙන එන ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ආරම්භ වනවා.

කොළඹ – මහනගර සභාව, ‘වෙස්ටන් පවර් පෞද්ගලික ආයතනය’ සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙමගින් දිනකට මෙගාවොට් 10 ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිතයි.

දිනකට මෙම විදුලි බලාගාරය මගින් මෙට්‍රික් ටොන් 800 ක පමණ නොදිරන කැළි කසල දහනය කර විදුලිය බවට පරිවර්තනය කෙරෙනවා.

ඒ හරහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කැළි කසල ගැටළුවට පිළියම් ලැබෙන බවයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(17.02.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (17) පෙරවරු 8 සිට 12 දක්වා සේවයෙන් බැහැර වනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ‘ටැම්පිටියේ සුගතානන්ද’ ප්‍රකාශ කළේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළුව දීප ව්‍යාප්ති රෝහල් 38 ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි ෴

***************************************

(16.02.2021 – 15:49 +0530 – sinhala.adaderana.lk)

මොරටුව රාවතාවත්ත ඉන්ධන පිරවුම්හළ අසල පිහිටි කහඉර මතින් මාර්ගය හරහා මාරුවීමට උත්සහගත් පුද්ගලයෙකු අනතුරට ලක්කරමින් බස් රථයක් ධාවනය කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ එම අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය.

එම බස්රථයේ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.

මීට පෙරද මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසෆ් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරකට ගැබිණි මවක් සහ ඇය සමග සිටි කුඩා දියණියන් දෙදෙනා මුහුණ දී තිබුණි.

ඉකුත් දෙසැම්බර් 04 වනදා රාත්‍රීයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරුවෙක් වේගය පාලනය කරගත නොහැකිව, පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි ඔවුන්ව අනතුරට ලක්කර තිබුණි.

එම අනතුරෙන් වසරක් වියැති දැරිවියක් සහ 7 හැවිරිදි දැරිවියක් එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔවුන්ගේ මව බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

***************************************

(17.02.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

ලුණු තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ කහ තොගයක් ලොරි රථ දෙකක් (2) සමඟ සැකකරුවන් හතරදෙනෙකු (4) අද (17) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආනමඩුව පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේදී ලුණු පැකට්වලට යටින් උර 19 ක අසුරා අදාළ කහ තොගය ප්‍රවාහනය කිරීමට සැලසුම් තිබුණේ නිකවැරටිය සහ ගම්පොළ ප්‍රදේශවලටයි.

මෙම සැකකරුවන් පුත්තලම සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

(17.02.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව කඩ ඉම් ලකුණු පහත දැමීම සම්බන්ධයෙන් රජය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබෙනවා ෴

***************************************

(17.02.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හඟවමින් ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගය වහාම රේගු භාරයට ගන්නා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අමාත්‍යවරයාට ලද තොරතුරක් මතයි.

දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් රජය විසින් මෙරටට ටයිල් ආනයනය නවතා ඇති පසුබිමක මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසමින් ටයිල් ගෙන්වා තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය විසින් අදාළ ව්‍යාපාරිකයා කැඳවීමට පියවර ගත් අතර එම ආයතනය නියෝජනය කරමින් පැමිණි සිටි පුද්ගලයාට විෂයභාර අමාත්‍යවරයා එය නීති විරෝධී ක්‍රියාවක් බව පැවසුවා.

ඒ අනුව අමාත්‍යවරයා අදාළ ඉදිරි නීතිමය පියවර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නා.

@@@@@@@@@@@@@@@@

(17.02.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම සියයට 10 කින් සහ ආසාදිතයින් වාර්තා වීම සියයට 16 කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 20 කින් අඩු වී ඇති බවයි.

එමෙන්ම, අග්නිදිග ආසියානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 13 කින් සහ ඇමරිකානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම සියයට 16 කින් අඩු වී තිබෙනවා.

යුරෝපා කලාපයේ ආසාදිතයින් වාර්තා වීම ගෙවුණු සතියේ සියයට 16 කින් අඩු වී ඇති බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම සියයට 7 ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 15,714 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24,28,087 ක් ලෙසයි ෴

+++++++++++++++++++++

(17.02.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 389 දෙනෙකු ගුවන් යානා දෙකකින් (2) අද (17) අලුයම දිවයිනට පැමිණියා.

පළමු යානය අබුඩාබි සිට අලුයම 4 ට පමණ දිවයිනට පැමිණි අතර, එහි ශ්‍රී ලාංකිකයින් 238 දෙනෙකු සිට තිබෙනවා.

අනෙක් යානය පැමිණ ඇත්තේ අලුයම 04:55 ට වන අතර ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 151 දෙනෙකු එම යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

කොළඹ නගරයේ ජනතාවට දැනුම්දීමක්

(17.02.2021 – 09:17 +0530 – sinhala.adaderana.lk)

ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතැයි ද වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියේය.

ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය.

“මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිවෙයි” ෴

+++++++++++++++++++++

සෞඛ්‍ය නීති පිළිපදින්නේ නැත්නම් නීති දැඩි කරනවා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

(17.02.2021 – 08:22 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් රෝගීන් වැඩිවෙන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය පාලනය නොකරන බවට චෝදනා එල්ලවන බව ද පැවසූ ඒ මහතා, මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ත්‍රිවිධ හමුදාවට පාලනය කළ හැකි දෙයක් නොවන බවත් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා :

“මිලියන 22 ක් ඉන්න මිනිස්සු පස්සෙන් ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්නේ නැත්නම් අපිට සිද්ධවෙන්වා නීතිරීති දැඩිකරන්න. අපි එතැනට යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති දැඩිලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් උනත් තීරණ ගන්න වෙනවා” ෴

++++++++++++++++++++++

සෞඛ්‍ය නීති පිළිනොපදින මහනුවර ටියුෂන් ගුරුවරු

(17.02.2021 – 07:47 +0530 – sinhala.adaderana.lk)

මහනුවර නගරය ඇතුළු අනෙකුත් නගරවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුමනය නොකරන උපකාරක පන්ති නැවැත්වීමට පියවර ගන්නා ලෙස පොලීසියට උපදෙස් ලබාදුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ අනුව පොලීසියට හා හමුදාවට සිදුකළ විශේෂ ඉල්ලීමක් මත මහනුවර නගරයේ සියලුම උපකාරක පන්ති වහාම පරීක්ෂා කිරීමට නියමිත බව ද ඒ මහතා කියාසිටියේය.

එහිදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින උපකාරක පන්ති වසා දැමීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කළ බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“ලොකු තර්ජනයක් තියෙනවා මේ පන්තිවල ඉන්න ළමයි තමයි දැන් සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු 1 වන දා සිට මුහුණදෙන්නේ. එතකොට විභාගයට යම් අවදානමක් නොවෙන ලෙස අපේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධ්‍යාපන පළාත් අධ්‍යක්ෂතුමා දැනුවත් කළා” ෴

++++++++++++++++++++

(16.02.2021 – 20:42 +0530 – sinhala.adaderana.lk)

පවතින කොවිඩ් අවදානම හමුවේ සියලු පාසල් උත්සව තහනම් කර ඇති පසුබිමක තංගල්ල බාලිකා විද්‍යාලයේ අද (16) උත්සවයක් සංවිධානය කර තිබුණි.

පසුව පොලීසිය පැමිණ අදාළ උත්සවයක් අතරමග නතර කිරීමට පියවරගෙන තිබුණි.

උත්සවය සංවිධාන කර තිබු‍ණේ තංගල්ල කලාපයේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ ස්ථාන මාරුවීම වෙනුවෙනි.

+++++++++++++++++++.

(17.02.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

මත්තල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ගොඩබෑමේ සහ ගුවන් යානා නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කිරීමේ සහනය ලබන ජුලි මස 19 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වූ බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

විශේෂිත කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කුලී ගුවන් ගමන් මෙහෙයුම් දිරිමත් කිරීමේ අරමුණින් පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වන දා රජය විසින් මෙම සහනය ලබාදෙනු ලැබුවා ෴

++++++++++++++++++++

(17.02.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කතානායක මහින්ද යාපා අබේවර්ධන යුද හමුදා රෝහලට ගොස් අද (17) පෙරවරුවේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ තමන් යුද හමුදා රෝහලේදී මෙම එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ.

පෙරවරු 8 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත්කරණ කටයුතු ආරම්භ කළ අතර අද (17) පෙරවරුවේදී රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, ජයන්ත සමරවීර, ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, වීරසුමන වීරසිංහ, ගුණතිලක රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි, රංජිත් බණ්ඩාර සහ කුමාර වෙල්ගම මෙලෙස එන්නත ලබාගෙන තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රෝහිණී කවිරත්න සහ රෝහණ දිසානායක එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් පුද්ගලයන් 57,000 කට ‘ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීමේ වැඩසටහන අද (17) පෙරවරුවේ ආරම්භ කෙරුණා. මේ යටතේ වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් සඳහා මෙම එන්නත ලබාදෙන බවයි වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට දෙවන (2) දිනටත් අද (17) එන්නත ලබාදීම බන්ධනාගාර පුහුණු පාසලේදී ආරම්භ කෙරුණු අතර අද (17) දිනයේදීත් නිලධාරීන් 300 කට පමණ එන්නත ලබාදීමට අපේක්ෂා කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. දැනට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 4717 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවකයන්ට සහ නව මැනිං වෙළඳ සංකීර්ණයේ සේවකයින්ටද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලබාදීම අද (17) ආරම්භ කළා. පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවූ දෙමටගොඩ සහ වනාතමුල්ල යන ප්‍රදේශවල ජනතාවට අදත් (17) කොරෝනා එන්නත ලබාදීම සිදු කෙරෙන බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.

ඊයේ (16) දිනයේ මෙරටින් හඳුනාගැණුනු කොරෝනා ආසාදිතයන් 756 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් එනම් 172 කු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. 168 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 73 දෙනෙකුත් වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් සිසුවාගේ ආශ්‍රිත සිසු සිසුවියන් අටදෙනෙකු (8) සහ ගුරුවරුන් තුන්දෙනෙකු (3) ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි විදුහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර නවතම විදෙස් වාර්තා සඳහන් කළේ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් බ්‍රිතාන්‍ය තුළ පැතිර යන බවට එරට විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇති බවයි. එය, ‘බී වන් 525’ ලෙස හඳුන්වාදී ඇති අතර, එම නව ප්‍රභේදය ආසාදනය වූවන් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *