ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

*********************************************

ලක් රජය, මෝදි සහ අමිත් ෂාගේ නිල ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

(16.02.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානියෙකු සිදුකළ ප්‍රකාශය පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරයෙන් පසු රජයේ නිළ ස්ථාවරය ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු එහි පිටපතක් කාදිනල් හිමිපාණන්ට ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආර්ථික තත්ත්වය මත රට වසා දැමීමක් සිදුකළ නොහැකි බව ද අමාත්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

***************************************

(16.02.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ජනතා සුබ සිද්ධිය උදෙසා ජනතා බදු මුදලින්ම ආරම්භ කෙරෙන ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුනොවීම හේතුවෙන් අපහසුතාවට පත්වීමට සිදුවන්නේ ජනතාවටමයි.

ඊට කදිම උදාහරණයක් සපයන ව්‍යාපෘතියක් පිළිබඳ මීගහකිවුල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වනවා.

එම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තල්දෙන, කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න, මාලිගාතැන්න ඇතුළු ගම්මාන රැසක ජනතාවට බදුලු ඔය තරණය කිරීමට සිදුව ඇත්තේ, කර වටක් ජලයේ බැසගෙනයි.

ඒ, මීට වසර 2 කට පෙර පසුගිය රජය සමයේදී ඉදිකිරීම් ඇරඹුණු පාලමේ වැඩ මෙතෙක් අවසන් නොකිරීම හේතුවෙන්.

පවතින තත්ත්වය හමුවේ තල්දෙන ගම්මානයේ මියගිය කාන්තාවකගේ මෘත දේහය සුසානභූමිය වෙත රැගෙන ඒමට ප්‍රදේශවාසීන්ට සිදුවූ‍යේ මෙලෙසයි.

පාලමක් නොමැතිකමින් මෙම ප්‍රදේශයේ ගොවීන්ටද සිය අස්වනු නගරයට ගෙන යාම සඳහා දැඩි අසීරුතා විඳීමට සිදුව තිබෙනවා.

මීගහකිවුල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස‍යේ ගම්මාන රැසකටම අඩුපාඩුවක්ව පවතින මෙම පාලමේ වැඩ අවසන් කිරීමට මතුව ඇති බාධා කඩිනමින් ඉවත් කර, ප්‍රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් සැලසීම බලධාරීන්ගේ වගකීමක්.

එම වගකීම කඩිනමින් ඉටුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(16.02.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ මහ කිතුල සහ මහ කිරුළ ගබඩා ජලාශ දෙක ඉදිකිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ආරම්භ වුණා.

ඒ, පොල්පිතිගම – ඉරුදෙණියාය ප්‍රදේශයේදියි.

මහවැලි මහ සැළැස්මේ අවසන් අදියර යටතේ ආරම්භ කළ මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

පොල්පිතිගම – ඉරුදෙණියාය – කෝන්ගහ මංසන්ධියේ ඉදිවන මහකිතුල ජලාශයේ ධාරිතාව අක්කර අඩි 12,000 ක් වන අතර, මහ කිරුළ ජලාශයේ ගබඩා කිරීමට අපේක්ෂිත ජල ධාරිතාව අක්කර අඩි 8,100 ක්.

***************************************

(16.02.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක කිරීම සඳහා මීට වසරකට පෙර සිට සෞදි අරාබියෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියානු බලපෑමක් – ‘හිරු සලකුණේ’දී ඩිලාන් කියයි

(16.02.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියානු බලපෑමක් වක්‍රව හෝ පවතින බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින්.

මෙහිදී යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් සිදු වූ ආකාරය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

***************************************

(16.02.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සූදානමක් පිළිබඳව ඉන්දීය භාරතීය ජනතා පක්ෂය කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයින් අදහස් පළ කළා.

***************************************

(16.02.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු වැඩබලන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (16) පෙරවරුවේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.

රොෂාන් රණසිංහ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී තිබෙනවා.

***************************************

(16.02.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විදේශීය වෙළඳපලෙන් ඍජුව විදේශ විනිමය මිලදීගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සංස්ථාව මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම මිලදී ගැනීම සිදුකරන බවයි විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ෴

***************************************

(16.02.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය – කොටවෙහෙර – ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයාගැනුනු උපකාරක පන්ති ගුරුවරයාගේ මරණයට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගැනුනු ප්‍රධාන සැකකරුගේ අනුදැනුම මත අදාළ ගුරුවරයා සීදූව ප්‍රදේශයේ මුතුවාඩිය පාලම අසළට ගෙන්වාගෙන ඇත්තේ මෙම කාන්තාව විසින්.

ෆේස්බුක් ඔස්සේ මිතුරු වී තමන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අදාළ ස්ථානයට ගෙන්වා ගත් බවත් ඒ සඳහා සිද්ධියේ ප්‍රධාන සැකකරු රුපියල් ලක්ෂ පහක (5) මුදලක් ලබාදීමට පොරොන්දු වූ බවත් අත්අඩංගුවේ පසුවන කාන්තාව පාපොච්චාරණය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ ගුරුවරයාගේ බිරිඳගේ මව මාතර නගරයේ දේපළ හිමි කාන්තාවක් වන අතර, ඇය ද මීට පෙර ඝාතනය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් විමර්ශනයක් සිදුකරමින් සිටින බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එම සිද්ධියෙන් පසු ඇගේ දියණිය විසින් ඝාතනයට ලක්වූ මෙම උපකාරක පන්ති ගුරුවරයාට අදාළ දේපළ පවරා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ ව්‍යාපාර ලබා ගැනීමේ අරමුණෙන් මෙම ගුරුවරයා ද ඝාතනය කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා කියා සිටියේ.

මේ අතර, දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මිදිගම චින්තක’ නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (15) අත්අඩංගුවට ගත් මොහු ‘ඊසි කෑෂ්’ ක්‍රමයට සහ බැංකු ගිණුම්වලින් මුදල් ලබාගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30 ක් සහ එම ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර වාරියපොල – වැල්ලැගල පුරාණ රජමහා විහාරයේ පිටුපස ගල්තලාවක් මත පිහිටි ගසක පුද්ගලයෙකු ගෙල වැළලාගෙන තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර මෙම මරණය සිදු වී ඇති අතර මේ වන විට සිරුර අධික ලෙස දිරා පත්ව තිබෙනවා.

එමෙන්ම සිරුරේ දණහිසින් පහළ කොටස සතුන් විසින් කා දමා ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ.

***************************************

(16.02.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ක් ළඟ තබාගෙන සිටි නුගේගොඩ – ගම්සභා හන්දිය ප්‍රදේශයේ ලැගුම්හලක කළමනාකරකරුවෙකු පොලීසිය අද (16) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 17 දෙනා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදියි.

එමෙන්ම මෙම නඩුවේ 16, 17 සහ 20 වන සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තමන් දැනුවත් තොරතුරු, රහස් ප්‍රකාශයක් ලෙස මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරිමට ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් තුන්දෙනා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ෴

***************************************

(16.02.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31 ක්, බස් රථ 4 ක් සහ වෑන් රථ 10 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා සංකේතාත්මකව භාර දීම අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා.

මෙරට ජපාන තානාපති අකිර සුගියාමා විසින් වාහන භාරදීම සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රුපියල් මිලියන 1250 ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775 කට වටිනාකමින් යුතු වාහන 45 කුයි මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත්තේ.

පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාග කිරීම සිදුකර තිබෙනවා.

***************************************

(16.02.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හඟවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බැවින් ඒවා වහාම රේගු භාරයට ගන්නා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් රජය විසින් මෙරටට ටයිල් ආනයනය නවතා ඇති පසුබිමකයි මෙලෙස ව්‍යාජ ලේඛන සකසා ටයිල් ගෙන්වා ඇත්තේ.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සිදුකළ කැඳවීමට අනුව එම ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයාට විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතා තදින් දෝෂාරෝපණය කර ඇති අතර, ඊට අදාළ ඉදිරි නීතිමය පියවර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

(16.02.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

උදෑසන 08:30 සිට දහවල් 12 දක්වා යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. ඒ අනුව දින 4 ක් මෙම එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කියා සිටියේ මන්ත්‍රී වරප්‍රසාදයක් ලෙස කොරෝනා එන්නත තමන්ට අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ තමා මෙම එන්නත විද ගන්නා බවයි.

එමෙන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේ තමන් ‘ඔක්ස්ෆ්රඩ් ඇස්ට්‍රසෙනෙකා’ එන්නත ලබා ගත් බවයි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා සහ අමාත්‍ය මහින්ද අමරවීර ද යුද හමුදා රෝහලට පැමිණ එන්නත ලබා ගෙන තිබුණා.

මේ අතර බස්නාහිර පළාතේ සියළු බන්ධනාගාරවල නිලධාරීන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද (16) ආරම්භ කෙරුණේ බන්ධනාගාර පුහුණු පාසලේදීයි.

එහිදී නිලධාරීන් 5100 ක් සඳහා මෙම එන්නත ලබාදීමට නියමිතයි. අද (16) වන විට බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4697 ක් වාර්තා වනවා.

ඊයේ (15) දිනයේ මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 774 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 208 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 82 නෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ ස්ථාපිත කර ඇති වෙළඳ සංකීර්ණයේ සියළු කඩ සාප්පු ඊයේ (15) දිනයේ සිට වසා දැමීමට රත්නපුර මහ නගර සභාව පියවර ගෙන තිබුණේ එහි සේවකයන් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව රත්නපුර මහනගර සභාවේ නිළධාරීන් කඩ සාප්පු වසා දමන ලෙසට එහි හිමිකරුවන්ට දැනුම් දී තිබුණා.

එමෙන්ම ගොඩකවෙල සහ රක්වාන යන නගරවල පිහිටා ඇති බැංකු දෙකක (2) සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මීට අමතරව හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අදාළ පාසල අද (16) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අදාළ ගුරුවරිය වලපනේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා ආසාදනය වී තෙල්දෙණිය මහරෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක සිටි හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් මහේෂ් හේමන්ත කුමාර මහතා එහි ප්‍රතිකාර ලැබූ කාලය අතරතුර අනෙක් රෝගීන් සමඟ එක්ව වැසිකිළි පිරිසිදු කිරීම් හා අනෙකුත් රෝගීන්ගේ ඇදුම් පැළදුම් සෝදා පවිත්‍රකොට සමාජයට ආදර්ශයක් ලබාදීමේ පුවතක් ද වාර්තා වුණා.

+++++++++++++++++++++

16-02-2021

+++++++++++++++++++++

(16.02.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුවය ලබා අද (16) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, තවත් ආසාදිතයින් 1018 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 70,429 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1,018 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව සඳහන් වන්නේ 70,429 ක් ලෙසයි ෴

+++++++++++++++++++++

(16.02.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු (5) හමුවීමත් සමඟ ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

එහි සේවය කරන සේවක සේවිකාවන් පස්දෙනෙකුටයි (5) මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ.

මීට පෙර එහි එක් සේවකයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම පිරිස ආසාදිතයින් බවට හඳුනාගැනුනා ෴

+++++++++++++++++++++

(16.02.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට ‘ඔක්ස්ෆ්රඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත අද (16) දිනයේ ලබා දුන් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

යුද හමුදා රෝහලේදී උදෑසන 8 සිට ආරම්භ කෙරුණු එන්නත්කරණය අවසන් වූයේ දහවල් 12 ටයි.

තවත් දින 03 ක කාලයක් මන්ත්‍රීවරුන් සඳහා එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවටයි වාර්තා වන්නේ ෴

අද (16) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 353 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 76,781 ක් ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *