දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි

දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි

*********************************************

දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි

(11.02.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ලෝකයට ඉතිරි වී ඇති පැරණිතම ‘කෲඩියා සිලනිකා’ ශාකය ලෙස හඳුනාගෙන ඇති ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මැදිහත් වීම පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී.

ඇතැමෙකු චෝදනා කළේ, ඇය සිය බලතල පිළිබඳව අවබෝධයකින් තොරව අනව්‍යශ ආකාරයට ‘ඉස්මතු වීම’ සඳහා උත්සහ දැරූ බවයි.

ඒ පිළිබඳව අමාත්‍ය සී.බී. රත්නායක මහතා ද පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

දේවානී ජයතිලක මහත්මිය ක්‍රියා කළේ, සිය බලතලවල සීමාව ඉක්මවා යමින් ද?

ඇයට පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති බලතල පිළිබඳව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබේ.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ :

“මේ දිනවල කතාබහට ලක්ව තිබෙන සිද්ධියක් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය පසුගිය ඉරිදා Crudia zeylanica ගස බේරා ගැනීම පිණිස කළ මැදිහත්වීම වේ.

එම ක්‍රියාව කිරීමට ඇයට නීතිමය බලතල නැති බවට සහ එය තමන් සතු බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට යම් පාර්ශව විසින් අදහස් දක්වනු ලැබ තිබෙන බවට කෙරෙන විමසුම් වෙනුවෙන් මෙම ප්‍රතිචාරය පළ කරමි.

වන සංරක්ෂණ ආඥා පනතේ 60 වන වගන්තිය අනුව එම දෙපාර්තමේන්තුවේ සියලු ම වන නිලධාරීන් සාම නිලධාරීන් බවට පත්කර තිබේ.

ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විවිධ වගන්ති මගින් සාම නිලධාරීන් වෙත පිරිනමා තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමට වන නිලධාරීන්ටත් පූර්ණ බලතල හිමිව තිබේ.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තියට අනුව යම් සංඥේය වරදක නිරත වන අයෙකුව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලතල තිබේ.

මීටත් වැඩිමනත් බලතල එහි 35 වන වගන්තියේත් තිබෙන මුත්, එය මේ අවස්ථාවේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත.

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 67 ආ වගන්තිය අනුව එම පනතේ සියලු වරදවල් සංඥේය වරදවල් ලෙස නම්කර තිබේ.

මේ ශාකය වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන 8 වන උප ලේඛනයේ ඇතුළත් නිසා ආරක්ෂිත ශාක විශේෂයකි.

එසේ හෙයින්, මෙම අවස්ථාවේදී අදාළ ගස්වලට හානිකර ක්‍රියාවන්හි යෙදී සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පවා අවශ්‍ය බලතල තිබිණි. නමුත්, එහිදී එවන් දැඩි පියවරක් නොගෙන තිබීම විශේෂත්වයකි.

මීට අමතරව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව එම පනත ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙන නියමිත නිලධාරීන් පත්කිරීමේ බලතල තිබේ. ඒ අනුව 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයක් මගින් වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබේ. එසේ ම වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 66 වන වගන්තිය යටතේදී පසු කාලීනව එම බලතල පොලීසියටත් හිමිව තිබේ.

ඉහතකී 1947-09-24 දිනැති අංක 9773 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාරව පවරා තිබෙන බලතල මගේ නීතිඥ වෘත්තිය කාලය තුළ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ, දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා විසින් 1990 දශකයේදීය. (මට මතක තරමින් 1996 දී). ඒ නුවරඑළියේදී නීතිවිරෝධී ලෙස එකතු කර ගත් ගිනිහොට (Tree Fern) ශාක වැටලීමක් සහ සැකකරුවන්ව වරදකරුවන් බවට පත්කරමින් සාර්ථකව නිමාවූ නඩු කටයුත්තක් වූ සිද්ධියෙනි.

ඉන් පසුව ගෙවී ගිය දශක දෙකකටත් අධික කාලයේදී මෙම නියෝගය අනුව ක්‍රියා කරමින් සාර්ථකව වනජීවීන් රැක ගැනීමට ක්‍රියාකළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවක් ම සිටිති.

මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම පිණිස වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අගනා දායකත්වයේ ආසන්නතම සහ ප්‍රකට ම සිද්ධියත් වේ.

එබැවින් මෙම සිද්ධියේදී නිවැරදි ආකාරයන් ක්‍රියාත්මක වූ දේවානි මහත්මියට මගේ ප්‍රශංශාව සහ ප්‍රණාමය පිරිනමන්නෙමි.”

***************************************

(11.02.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පිරිසකට පිලියන්දල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ඉන්දියාවේදී එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට පොලිසියට දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

2017 වසරේ මැයි 09 වැනිදා පිලියන්දල ප්‍රදේශයේදී වැටලීමක් සඳහා ගිය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු (2) මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.

එම සිද්ධියට අදාළව ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

***************************************

(11.02.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

නිදහස් හා සාධාරණ මැතිවරණ වෙනුවෙන් දැනට පවතින යම් යම් මැතිවරණ නීති සංශෝධනය විය යුතු ආකාරය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මැතිවරණ දිනයේ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පාර්ශව වෙනුවෙන් පූර්ව ඡන්ද ක්‍රමය නව සංශෝධන සහිතව මේ වසර තුලදීම හඳුන්වා දෙන බව ද ඔහු එහිදී සඳහන් කළා ෴

***************************************

(11.02.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වුණා.

ඒ, දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව, ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත කාලයක් සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(11.02.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 කට ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අදාළ සතොස තොග ගබඩා නිරීක්ෂණය කිරීම විෂයභාර අමාත්‍යවරයා විසින් සිදුකෙරුණා.

වැලිසර, බූස්ස, කුරුණෑගල, වේයන්ගොඩ සහ රත්මලාන ඇතුලු ස්ථාන කිහිපයක පිහිටි සතොස තොග ගබඩා මෙලෙස ඊයේ (10) විෂය භාර අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළා.

එහිදී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීම රජයේ අරමුණ බවයි ෴

***************************************

(11.02.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි අවධානය යොමුකරමින් මෙරට ඉදිකෙරෙන දෙවන සූර්යබල උද්‍යානය මාර්තු මස ආරම්භ කරන බව සූර්යබල, සුළං සහ ජලවිදුලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

විකල්ප බලශක්තීන් මගින් විදුලිය ජනනය කිරීම පිණිස සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙලෙස මෙ.වො.100 ක ධාරිතාවයකින් යුත් සූර්යබල උද්‍යානයක් ඉදිකිරීමට සාකච්ඡා කර තිබෙනවා ෴

***************************************

(11.02.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ අසුන්ගෙන තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද (11) පෙරවරු 10 ට ආරම්භ වීමෙන් අනතුරුවයි මෙලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ.

පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාව මේ වනවිට ක්‍රියාත්මකයි.

[ සේයාරූ ]

***************************************

(11.02.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ සිව්දෙනෙකුට (4) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය වළක්වමින් පැනවූ තහනම් නියෝගය සැප්තැම්බර් 7 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා ෴

***************************************

(11.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – උහන – කුමාරිගම ප්‍රදේශයේ වී ගොවීන් තම අස්වැන්න කීඩෑ උවදුරට ගොදුරු වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

2021 මහ කන්නය සදහා පසුගිය නොවැම්බර් මාසයේ වී වැපිරීම සිදු කර ඇති මෙම කෙත් යායවල් ජනවාරි මාසයේ ඇද හැලු‍ණු වර්ෂාව හේතුවෙන් විනාශයට පත්වුණා.

ගොවීන් පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමඟ තම අස්වැන්න කීඩෑ උවදුරට ලක්ව ඇති බවයි.

***************************************

(11.02.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

@@@@@@@@@@@@@@@@

(11.02.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවටම නිර්දේශ කරයි

බ්‍රිතාන්‍යයේ ‘ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රාසෙනෙකා’ කොවිඩ් 19 එන්නත, නව කොරෝනා වෛරස් ප්‍රභේදය පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා අනුමත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එමෙන්ම, එය වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහාද නිර්දේශ කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (10) නිවේදනය කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදයට නිසි රැකවරණයක් ලබා නොදෙන බව පවසමින් එය භාවිත කිරීම අත්හිටුවීමට එරට තීරණය කරනු ලැබුවා.

එමෙන්ම, ජර්මනිය සහ ප්‍රංශය ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට භාවිත නොකරන ලෙස උපදෙස් ලබාදී තිබුණා.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කැතරින් ඕබ්‍රයන් ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස්ගත පුද්ගලයින් තුළද තරුණ පුද්ගලයින්ට සමාන ප්‍රතිශක්තියක් ගොඩනගන බවයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවීමට මුල් වූ දකුණු අප්‍රිකානු අධ්‍යයනය ප්‍රමාණවත් දත්ත මත සිදුකර නොමැති බවයි.

එන්නතේ පූර්ණ ශක්‍යතාව ලබාගැනීම සඳහා සති අටේ (8) සිට දොලහ (12) දක්වා කාලයක් තුළ එහි දෙවන මාත්‍රාවද ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. අනෙකුත් කොරෝනා එන්නත් හා සංසන්දනය කරන විට මිලෙන් අඩු මෙන්ම ගබඩා කිරීම සහ ප්‍රවාහනය ගැටළුවක් නොවන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොරෝනා වෛරස් ගෝලීය එන්නත ලෙස හැඳින්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා ෴

+++++++++++++++++++++

(11.02.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය සඳහා අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සහතිකයක් ලබාදීම තමන් සාදරයෙන් පිළිගන්නා බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, ඔහු පාර්ලිමේන්තුවද අමතනු ඇති. සුල්ෆිකාර් අලි බූතෝ සහ මොහොමඩ් අයුබ් ඛාන්ට පසු එලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන 03 වන පාකිස්තාන නායකයා වන්නේ ඔහුයි ෴

+++++++++++++++++++++

(11.02.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පළමු මාස 09 තුළ මෙරට ගෘහස්ථ පරිභෝජනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

2019 වසරේ එම කාලය තුළ ගෘහස්ථ පරිභෝජනය 4.1% කින් ඉහළ ගිය අතර, පසුගිය වසරේ එය 5% කින් පහත වැටීම විශේෂත්වයක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් පැනවුණු සීමාවන් මීට ප්‍රධාන හේතුව ලෙස සැලකෙනවා.

සාප්පු සවාරි, අවන්හල්වල භෝජන, සංචාරක සහ අනෙකුත් විනෝදාස්වාදයන් සඳහා පැනවුණු සීමාවන් එලෙස ගෘහස්ථ පරිභෝජනය අඩුකර ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, නව සාමාන්‍යකරණයට ජනතාව හුරුවෙමින් සිටින නිසා මේ වසරේ පළමු කාර්තුවේදී ගෘහස්ථ පරිභෝජනය යළි වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා ෴

+++++++++++++++++++++++

(11.02.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 298 ක්. තවත් 255 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81 ක්.

ඊට අමතරව සෙසු දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 321 දෙනෙකු වාර්තා වුණා ෴

+++++++++++++++++++++

(11.02.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශන්හි සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 423 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (11) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 9 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි 45 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් 11 ක් තුලදී 495 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++++++

(11.02.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (10) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 963 දෙනා අතරින් 634 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

එසේම, කොරෝනා ආසාදිතයින් 900 සීමාව ඉක්මවූ අඛණ්ඩ දෙවැනි (2) දිනය ඊයේ (10) සටහන් වුණා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 72,174 ක් වන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 65,644 ක් ලෙසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) ආසාදිතයින් 298 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඉන් 158 දෙනෙක් වාර්තා වූයේ කොළඹ මහ නගරසභා සීමාවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගැණුනු ආසාදිතයින් සංඛ්‍යාව 255 ක්.

ඉන් 76 දෙනෙකුම වාර්තා වූයේ ජා-ඇල ප්‍රදේශයෙන්. මේ අතර ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. පසුගිය 08 වැනිදා ඔහුගේ රියදුරු ඇතුළු ආසාදිතයින් 09 දෙනෙකු ජා-ඇල ප්‍රාදේශීය සභාවෙන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා.

කඳාන පොලිසියේ – ස්ථානාධිපතිවරයා ඇතුළු 09 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර කඳාන පොලිසියේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වනවා.

මේ අතර, කතරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරියා නිදහස් උත්සවයට සහභාගී වීමට පෙර සිදු කළ කොවිඩ් පරීක්ෂාවකදී ආසාදිතයකු නොවන බවට තහවුරු වී තිබූ අතර නැවත කතරගම පැමිණීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ආසාදිතයකු බව හඳුනාගෙන තිබෙනවා.

ගතවූ දිනයේදී දිස්ත්‍රික්ක 21 කින් ආසාදිතයින් හඳුනා ගැණුනු අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 72 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 71 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 32ක් හා මාතර දිස්ත්‍රික්කයෙන් 31 ක් ලෙසද ආසාදිතයින් වාර්තා වුණා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තවදුරටත් බස්නාහිර පළාත කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ කේන්ද්‍රය ලෙස පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *