කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක්

*********************************************

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක්

(10.02.2021 – 9:14 +0530 – hirunews.lk/sinhala)

චීනය ප්‍රමුඛ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 180 ක ණය මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

එමගින් ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා කොරෝනා වෛරස් වසංගතයෙන් පීඩාවට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට සහන සැලසීමට නියමිතයි.

මෙම ණය පහසුකම යටතේ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 90 බැගින් ලැබෙන්නේ ස්වෛරීත්ව ඇපකර යටතේයි.

එමගින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රය සඳහා කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර පහසුකම යටතේ ණය ආධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

***************************************

(10.02.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ කරුංගා කන්ටේනර් නියමිත පටිපාටියෙන් බැහැරව ව්‍යාජ ලෙස සකස් කළ ලිපි ලේඛන යොදා ගනිමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙළි කරන ලද තොරතුරු වලට අනුවයි.

සැකකරු නියමිත ක්‍රමවේද අනුගමනය නොකර තීරු බදු ගෙවීමකින් ද තොරව මෙලෙස කරුංගා කන්ටේනර් 23 ක් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කර ඇති එමගින් රජයට සිදුවූ පාඩුව පිළිබඳව ගණනය කිරීමට නියමිතයි.

සැකකරු අද (10) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තවදුරටත් විමර්ශන සිදුකෙරෙනු ඇති ෴

***************************************

(10.02.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

බුත්තල, ගෝණගංආර, ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කල බවට සැකකෙරෙන වනඅලියෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මොණරාගල වනජීවි නිලධාරීන්ට ඊයේ (09) ලද තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන ඇත.

වයස අවුරුදු විසිපහත් තිහත් (25 – 30) අතර වයසක පසුවන මෙම වනඅලියාගේ උස අඩි හතත් අටත් (7 – 8) අතර වන බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

සිරුරේ ස්ථාන කිහිපයකම වෙඩි වැදීම් දක්නට ලැබුණු බවද වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

මියගිය වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදු කිරීමට නියමිතයි ෴

***************************************

(10.02.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

සාම්පූර් – චන්දනවෙට්ටි ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 8 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) සිදුවූ මෙම අනතුරෙන් මියගිය මුතූර් ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහු මුතූර් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මෙම අනවසර විදුලි රැහැන් ඇට වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට සාම්පූර් පොලීසිය කටයුතු කර තිබෙනවා ෴

***************************************

(10.02.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

යාපනය ශික්ෂණ රෝහලේදී පළමුවරට කළ ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවටයි වාර්තාවන්නේ.

යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතායි මෙම සැත්කම සිදුකර ඇත්තේ.

මෙම සැත්කමට පැය 12 ක කාලයක් ගතවී ඇති බවයි වාර්තා වී ඇත්තේ ෴

***************************************

(10.02.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ බෙදා හැරීම සඳහා සිංගප්පූරු බහු ජාතික සමාගම් 2 ක් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා පොහොර ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ යටතේ ස්විස් – සිංගප්පූර් ඔව්ර්සීස් එන්ටප්‍රයිසස් සහ ඇග්‍රිකල්චරල් රිසෝසස් යන සමාගම් වෙතින් යූරියා මෙට්‍රික් ටොන් 40,500 ක් සහ පොටෑෂ් මෙට්‍රික් ටොන් 13,900 ක් ලබා ගැනෙනවා.

එම පොහොර තොග ලක්පොහොර සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් හරහා බෙදා හැරීමට නියමිතයි ෴

***************************************

(10.02.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකුට (12) පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූවා.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය සහ මීට පෙර හෙබ වූ පදවිය පහතින් :

1 – එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය – දිසා විනිසුරු
2 – ආර්.එල්. ගොඩවෙල මහතා – දිසා විනිසුරු
3 – වී. රාමකමලන් මහතා – දිසා විනිසුරු

4 – යු.ආර්.වී.බී. රණතුංග මහතා – දිසා විනිසුරු
5 – එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
6 – ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා – දිසා විනිසුරු

7 – ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය – අතිරේක දිසා විනිසුරු
8 – එම්.එම්.එම්. මිහාල් මහතා – ප්‍රධාන මහෙස්ත්‍රාත්
9 – මහී විජේවීර මහතා – දිසා විනිසුරු

10 – අයි.පී.ඩී. ලියනගේ මහතා – අතිරේක දිසා විනිසුරු
11 – ජේ. ට්‍රොට්ස්කි මහතා – දිසා විනිසුරු
12 – එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය – රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ

+++++++++++++

***************************************

(10.02.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයක්ට තුඩු දී ඇති ගම්පහ, දාරළුවේ පිහිටි ‘කෲඩියා සෙලනිකා’ වර්ගයේ ශාකය මහා සංඝරත්නය විසින් චීවරයක් පළඳවා සාංඝික කර තිබෙනවා.

ගස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ශාඛය සඟ සතුකළ බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ෴

***************************************

(10.02.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වාරියපොල රජයේ ගොවිපොලේ සේවිකාවන් අද (10) විරෝධතාවක් ආරම්භ කළා.

ඒ තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින්.

සේවිකාවන් 50 දෙනෙකු පමණ එම ගොවිපොලේ සේවය කරන අතර, මේ වනවිට 6 දෙනෙකු එහි ගොඩනැගිල්ලක වහලය මත නැගී විරෝධතාවයේ යෙදෙන බව ද එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ගොවිපොලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සේවිකාවන් දැනට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන බවයි.

ඔවුන් ස්ථිර කිරීමේ කටයුතු වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ යුතු බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.

සේවා සුරක්ෂිතභාවය තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ සුළු පන්න ධීවරයින් සහ වාරියපොල රජයේ ගොවිපල භූමියේ සේවකයින් විරෝධතාවල නිරත වුණා.

ත්‍රිකුණාමලය සුළු පන්න ධීවර කාර්මිකයන් අද (10) පෙරවරුවේ ඔරලෝසු කණුව අභියස විරෝධතාවක නිරත වුණා.

ඒ නීත්‍යානුකූලව තමන්ට හිමි තොටුපලේ නීතිවිරෝධී දැල් භාවිතා කරමින් සිදු කරන මසුන් ඇල්ලීමේ කටයුතු හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් සිදුව ඇතැයි චෝදනා කරමින්.

මෙම විරෝධතාවට සහය පළ කරමින් ත්‍රිකුනාමලය තොග මත්ස්‍ය වෙළද පොලද වසාදමා තිබුණා.

මේ අතර වයඹ පලාත් සභාව මගින් ක්‍රියාත්මක කරන වාරියපොල රජයේ ගොවිපලේ සේවයේ නියුතු කම්කරුවන් 56 දෙනෙකුගේ සේවය ස්ථීර කරදෙන ලෙස ඉල්ලමින් ඔවුන් ගොවිපල භූමියේ වහල මත නැග විරෝධතාවක නිරත වුණා.

ඔවුන් සියලුදෙනා කාන්තාවන් වීමද විශේෂත්වයක්.

මේ අතර රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවාගත් නව සේවකයන් පුහුණු වැඩසටහන සදහා අද (10) පෙරවරුවේ පැමිණියද ඔවුන් ගොවිපල භුමියෙන් ඉවත්ව ගියේ මතුව ඇති ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් ෴

***************************************

(10.02.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන අතර, ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, 2019 වර්ෂයේ උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවට මුහුණදී අසාධාරණයට ලක් වූ සිසුන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය ඉදිරිපිට අද (10) තුන්වන (3) දිනටත් සත්‍යග්‍රහයක නිරත වනවා.

අද (10) පෙරවරුවේ එම ස්ථානයට පොලිස් නිලධාරින් පැමිණ සත්‍යග්‍රහයේ නිරතව සිටින පිරිසට ඉන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබුවා.

එහිදී සත්‍යග්‍රහයේ නිරත සිසුන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අසාධාරණයට ලක්වූ සිසුන් බඳවා ගැනීමට රජය කටයුතු නොකළහොත් අරලියගහ මන්දිරය ඉදිරිපිට අඛන්ඩව සත්‍යග්‍රහයක නිරත වන බවයි ෴

***************************************

(10.02.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ නම් සඳහන් වන බව මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ආචාර්ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

@@@@@@@@@@@@@@

(10.02.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්ථාවරය අද (10) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අග්‍රාමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව යොමුකළ පැනයකට පිළිතුරු ලබාදීමේදීයි.

ඒ අනුව, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීමට අවසර ලබා දෙන බවයි අගමැතිවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර, 2024 වන විට මෙරට කිරි නිෂ්පාදනයෙන් සියයට 85 ක් දේශියව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ කිරි ගවයන් ආනයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අග්‍රාමාත්‍යවරයාගෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරුදීම සඳහා මැදිහත්වෙමින්.

++++++++++++++++++++

(10.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

දිනකදී මෙරටින් හඳුනා ගැණුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ ඊයේ (09) දිනයේ දිස්ත්‍රික්කයකින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙසිය පනස් දෙදෙනෙකු (252) හඳුනාගත් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

එම ආසාදිතයින් අතරින් 39 දෙනෙකු බොරැල්ලෙන් සහ 20 දෙනෙකු වැල්ලම්පිටියෙන් හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) ආසාදිතයින් 227 දෙනෙකු වාර්තා වී ඇති අතර, සපුගස්කන්ද ප්‍රදේශයෙන් සහ මීගමුවෙන් ආසාදිතයින් 28 දෙනා බැගින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

ආසාදිතයින් 16 දෙනෙකු ගම්පහ නගරයෙන් හඳුනාගෙන තිබූ අතර, මේ වනවිට ගම්පහ නගරයේ වෙළඳ සංකීර්ණය සහ අවට පිහිටි වෙළඳසැල් 400 අතරින් 250 ක් පමණ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගිය දින 04 ක කාලය තුළ සිදුකළ පරීක්ෂණවලදී වෙළඳසැල් හිමියන් 58 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟයි.

ඊයේ (09) හඳුනා ගැනුණු ආසාදිතයින් අතරින් 150 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙනුත්, 87 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකුද ඊයේ (09) හඳුනා ගත්තා.

අද (10) පෙරවරුවේ සිදු කළ පරීක්ෂණයකදී පිළියන්දල දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීනියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව ඇයගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් රෝහලේ සෞඛ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා.

976 ක් වූ දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) වාර්තාවීමත් සමඟින් මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,211 ක්.

කොරෝනා ආසාදිත මරණ 05 ක් ඊයේ (09) මෙරටින් වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 370 ක් ලෙසයි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ තාක්ෂණික කණ්ඩායම එම රෝහලේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

‘එක්මෝ තාක්ෂණය’ පිළිබඳව සමාජය තුළ කතිකාවක් ඇතිවූයේ කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ මෙරට පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරයන මහතාගේ අභාවයත් සමඟයි.

ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාවටම එක්මෝ යන්ත්‍ර දෙකක් (2) පමණක් පැවතීම හේතුවෙන් සිය පුතු බේරා ගැනීමට නොහැකි වූ බවයි.

මතුව ඇති තත්ත්වයත් සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ තාක්ෂණික කණ්ඩායම පැවැත්වු රැස්වීමකින් පසුව මාධ්‍ය හමුවක් ද පැවැත්වුණා.

මේ අතර ප්‍රාථමික සත්කාර සේවා වසංගත රෝග සහ කොව්ඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය විවෘත කිරීම රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *