පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි

*********************************************

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි

(09.02.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර ප්‍රමාදයකින් තොරව තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවයි.

මේ අතර, පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් නුදුරු දිනකදීම විශේෂ කැබිනට් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද (09) ප්‍රකාශ කළා ෴

***************************************

(09.02.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 26,000 ක් දඹුල්ල – කණ්ඩලම පාර ප්‍රදේශයේ ගබඩාවක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (09) සොයා ගත්තා.

ඒවා පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

කන්ටේනරය ආනයනය කළ ව්‍යාපාරිකයා ද එහිදී සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණා.

***************************************

(09.02.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

MICE සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ BMICH ආයතනය ගිවිසුමකට එළඹ තිබෙනවා.

(Put simply, MICE stands for Meetings, Incentives, Conferences & Exhibitions. It is business tourism at its finest, aimed at bringing together top professionals from every sector in an enhanced, tailor-made hospitality setting.)

මෙම ගිවිසුමට අනුව අනාගතයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන MICE ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

MICE සංචාරකයන් සාමාන්‍යයෙන් විවේකය සඳහා පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු කාලයක් තුළදී වැඩි මුදලක් වියදම් කරන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පවසන්නේ.

ඒ අනුව MICE සංචාරකයින්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ පැකේජ නිර්මාණය කරමින් උපායමාර්ගික ප්‍රවේශයක් සලසා ගැනීමට සැලසුම් කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

***************************************

(09.02.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට අදාළව ඊයේ (08) පැවති සාකච්ඡාව සහ ඒ සම්බන්ධයෙන් වන එකඟතාවයන් පිළිබඳව අද (09) පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වුණා.

ස්ථාවර නියෝග යටතේ ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ අතර, ඊට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිතුරු ලබාදීමත් සමඟ සභාවේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

***************************************

(09.02.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද (09) දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත්කළ විනිමය අනුපාතික වලට අනුව, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 196.81 ක් ලෙසයි.

වසරේ මේ දක්වා රුපියලේ අගය සියයට 3.7 කින් අවප්‍රමාණ වී ඇති අතර, පසුගිය ජනවාරි 25 වනදා එය සියයට 5 කින් පමණ අවප්‍රමාණ වුණා ෴

***************************************

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලකට මාධ්‍ය තහනම්වෙයි

(09.02.2021 – 21:27 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයක්ට තුඩු දී ඇති ගම්පහ, දාරළුවේ පිහිටි ‘කෲඩියා සෙලනිකා’ වර්ගයේ ශාකය සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ විද්‍යාත්මක පදනමක් පමණක් මත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ අතර මෙම ශාකය රැක ගැනීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් හඬ නැගූ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

කෲඩියා සෙලනිකා නම් මෙම ශාකය වන සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර තිබෙන්නේ, එය ලෝකයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන්.

නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් එම ශාකය ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට ඉදිරිපත් වූ යෝජනාවත් සමඟ මෙම ශාකය සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුනා.

කෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත්වීම මත පසුගිය දිනෙක මෙම උත්සාහය වැලැකී ගොස් තිබුණා.

මේ අතර වන ජීවි හා වන සංරක්ෂන අමාත්‍යංශය ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් අද (09) එම ගස පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා.

එම අවස්ථාවේදී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාද එම ස්ථානයට පැමිණියා.

කෙසේ වෙතත් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඇති සූදානමක් පිළිබඳ වාර්තා පළ වී තිබුණා.

ඒ පිළිබඳ විමසීමේදී ඇය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් නොකරන ලෙස ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී කාර්යාලයෙන් තමන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.එම්.ඒ. බන්ඩාර මහතා පැවසුවේ අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.

කෲඩියා සෙලනිකා ශාකය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

***************************************

(10.02.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ඕමන්ත ප්‍රදේශයේ නිවසක ලිඳක් තුළ තිබී හත් (7) හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම දරුවා අතුරුදන් ව ඇති බවට ඥාතීන් විසින් සිදුකළ විමර්ශනයකදීයි දරුවාගේ සිරුර ඕමන්ත, නව්වි ප්‍රදේශයේ ලිඳක තිබී සොයාගෙන ඇත්තේ.

ඊයේ (09) දිනයේ මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අනතුරුව රාත්‍රිය වනතෙක් දරුවා නිවසට නොපැමිණීමත් සමඟ දරුවාගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුවයි අසල්වැසි නිවසක ලිඳක තිබී පොලිසිය විසින් දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගොස් ඇති සිසුවාගේ පොත් බෑගය හා වතුර බෝතලය අසල කුඹුරක වැටී තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී ලිඳට වැටී මියගොස් ඇති බවටයි සැකපළකරන්නේ.

දරුවාගේ මළ සිරුර ළිදෙන් ගොඩගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

ඕමන්ත පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

(10.02.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් විශේෂ ගැසට් නිවේදනයකින් අත්හිටුවූ අතර එය විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනය යටතට පත් කර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය මගින් සඳහන් කළේ එම නගර සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ එහි කටයුතු ඉටු කිරීමට විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස පරිපාලන සේවා නිලධාරියෙකු වන ජීවන්ත හේරත් මහතා පත්කර ඇති බවයි.

එමෙන්ම, බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳව අද (10) සිට මාස 03 ක කාල සීමාවක් ඇතුළත පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු වන එච්.එම්.ආර්.අනුර කුමාර මහතා පත්කර තිබෙනවා.

බදුල්ල මහනගර සභාවේ බලය මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර, ඔවුන්ට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 ක්.

මහනගර සභාව තුල සමස්ත සභිකයින් 25 දෙනෙකු සිටින අතර, නිදහස් පක්ෂයේ 5 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ 9 දෙනෙකු සහ නතා විමුක්ති පෙරමුණේ තුන්දෙනෙකු (3) ද ඊට ඇතුළත්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 8 දෙනා සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනො එක්ව එහි බලය තහවුරු කරගෙන තිබුණ ද, පසුගිය කාලයේ නගරාධිපති ධුරය සඳහා අර්බුදයක් හට ගෙන තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ වසර දෙක (2) බැගින් නගරාධිපති ධුරය එම පාර්ශව දෙකට (2) හිමිවිය යුතු බවට ගිවිසුමක් ඇති කර ගැනීම හේතුවෙන්.

ඒ අනුව, නගරාධිපති ධුරය නිදහස් පක්ෂය විසින් ඉල්ලා තිබෙනවා.

එය නොලැබීම හේතුවෙන්, අයවැය සම්මත කර ගැනීමට යාමේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය ලබා දුන්නේ නැහැ.

මේ හේතුවෙන් බදුල්ල මහනගර සභාවේ අයවැය පරාජය වී තිබූ අතර, සභාවේ කටයුතු කරගෙන යාමට අපහසුතා මතුව තිබූ බවයි වාර්තා වන්නේ.

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ආණ්ඩුකාරවරයා ගෙන ඇති තීරණය තමන් පිළිගන්නා බවයි ෴

***************************************

(10.02.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

යාන්ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ගොවීන් සඳහා අලුතින් ඉඩම් ලබා දුන් ‘යාන් ඔය නිම්නය’ වස විසෙන් තොර ගොවිජන කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ත්‍රිකුණාමලය සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරුණි සරවානන්දන් මහත්මිය සිදුකළ විශේෂ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, මින් ඉදිරියට යාන්ඔය නිම්නයට අයත් අක්කර 500 ක භූමි ප්‍රමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා කිසිදු පලිබෝධ නාශකයක් හෝ රසායන ද්‍රව්‍ය යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

@@@@@@@@@@@@@@

(09.02.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

අද (09) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 571 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 70,806 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 912 දෙනෙකු අද (09) දිනයේදී සුවය ලබා පිටව යෑමත් සමඟ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (09) දිනයේදී 65,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 65,053 ක් ලෙසයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5388 ක් පමණයි.

එසේම, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ සිනමා කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකයන් පිරිසක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ ඊයේ (08) සාකච්ඡාවක නිරත වුණා.

එහිදී සිනමා කර්මාන්තයට අදාළ යෝජනාවලියක් ලබාදුන් බවයි ප්‍රවීන සිනමාවේදී ජැක්සන් ඇන්තනී මහතා කියා සිටියේ.

මේ අතර, 2019 වසරේ දෙසැම්බරයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීමට පෙර චීනයේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය වූහාන් නගරයේ පර්යේෂණාගාරයකින් නික්මුණු බවට වන මතය ද එහි ගොස් ඊට අදාළ පර්යේෂණ සිදුකළ එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ප්‍රතික්ෂේප කර තිබුණා ෴

+++++++++++++++++++++

(09.02.2021 – 21:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 370 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

+++++++++++++++++++

(09.02.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 404 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් ආසාදිතයින් 975 දෙනෙකු අද (09) වාර්තා වූ අතර එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

එසේම එය දෛනික ආසාදිතයින් 900 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවද වනවා.

මේ අතර කොවිඩ් ආසාදනය වී සිදු වූ මරණ 05 ක්ද අද වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 370 දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 ආසාදිතයින් 975 දෙනෙකු අද (09) හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛයාව 71,210 ක් දක්වා ඉහළ ගියා.

පුද්ගලයින් 912 දෙනෙකු අද (09) සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 65,053 ක් ලෙසයි.

මේ අතර ජනමාධ්‍යවේදීන් සඳහාද කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඉල්ලීමක් කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේ ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලේඛනගත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් සඳහා කඩිනමින් එන්නත ලබාදෙන බවයි.

++++++++++++++++++++

(10.02.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ (09) ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,211 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 67,200 ක් වනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,788 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (09) දිනයේදී තවත් ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,053 ක් වනවා.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 370 දක්වා ඉහළ යනවා.

ඒ අනුව, කපුලියද්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් තෙල්දෙනිය රෝහලේදී උග්‍ර කොවිඩ් නියුමෝනියාව, බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වය සහ අධි රුධිර පීඩනය හේතුවෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොතලාවල ආරක්ෂක රෝහලේදී මියගොස් තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් ආසාදනය හේතුවෙන් උග්‍ර වූ වකුගඩු ආබාධය සහ ලේ විෂවීමයි.

හෝමාගම මූලික රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් කැටවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කුරුණෑගල පදිංදි 73 හැවිරිදි පුද්ගලයෙකු නාරම්මල දිස්ත්‍රික් රෝහලේදී කොවිඩ් නියුමෝනියාව සහ ඇදුම රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එසේම, කොවිඩ් නියුමෝනියාව, උග්‍ර වූ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් තිබෙනවා.

මේ අතර, ලබන මාසය වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 57 කට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා ඊයේ (09) මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයින් හරහා කොරෝනා වෛරසය පැතිරීමට සහ මෙරට සමාජය තුළින් සංචාරකයින්ට වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි.

එසේම, කොරොනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ව්‍යාප්තිය වැළැක්විමට ප්‍රමුඛ කාර්ය භාර්යක් සිදු කරන ජනමාධ්‍යවේදින්ටද කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ සඳහා වන ඉල්ලීම විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති කොව්ඩි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදියි.

කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කළ පසුගිය 29 වනදා සිට ඊයේ (09) දිනය දක්වා කාලය තුළ පුද්ගලයින් 1,74,193 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ (09) දිනයේදීත් පුද්ගලයින් 6,431 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත්කරණයට සීමා වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳ අවධානය ගිලිහී යාමේ ප්‍රතිඵලයක් ලෙස, කොරෝනා 03 වන රැල්ලක අවදානම මතුව ඇති බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *