කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි

*********************************************

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි

(09.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මෙලෙස සිදුකළ කොල්ලකෑම් 13 ක පමණ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස කොල්ලකෑ අත්බෑග්වලින් ජංගම දුරකථන 16 ක් සොයාගෙන ඇති අතර ඒවායේ තිබූ මුදල් හෙරොයින් මිලදී ගැනීමට වියදම් කළ බවයි කොල්ලකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 23 හැවිරිදි සැකකරු රත්මලාන, කටුකුරුන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු තරුණියකගේ අත්බෑගයක් කොල්ල කා පලායන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

***************************************

(09.02.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා වෙත භාරදී ඇති පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන් වෙතට ද ලබාදෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා.

අගරදගුරු පදවි, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත ඒ පිළිබඳව මේ වනවිට ලිඛිතව දන්වා ඇති බවයි ෴

***************************************

(09.02.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් වොල්බැකියා බැක්ටීරියාව අඩංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල යළිත් ආරම්භ කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් එම වැඩපිලිවෙල පසුගිය කාලයේ අඩපණ වී තිබූ බවයි.

ඒ අනුව යළිත් පසුගිය පළවනදා සිට එය ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, වොල්බැකියා බැක්ටීරියාව අඩංගු ඊඩිස් ඊජිප්ටයි මදුරුවන් මෙලෙස පරිසරයට මුදා හැරෙනවා ෴

***************************************

(09.02.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හැඳින්වුණු, ගම්පහදී පොලිස් වෙඩි පහරින් මියගිය ‘චමී’ හෙවත් ‘චමින්ද සඳමාල් එදිරිසූරිය’ නමැත්තා විවිධ අපරාධ සහ හෙරොයින් ජාවාරම් තුළින් උපයාගත් මුදල් ඇතුළු විශාල වත්කම් රැසක හිමිකරුවෙකු බවට අනාවරණ කෙරුණා.

ඒ, නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය ගම්පහ අංක 01, මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට ඊයේ (08) සිදුකළ කරුණු දැක්වීමකදීයි.

පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ‘සඟවා තිබූ ගිනි අවියක් සහ හෙරොයින් තොගයක් සොයා ගැනීම සඳහා පොලිස් ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී’ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේ ඔහු පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වුණේ පසුගිය අගෝස්තු 23 වනදායි.

මියගිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබුණා.

ඒ අනුව, මෙම සැකකරු කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී ‘සමයං’ නමැති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව චෝදනා එල්ල වී ඇති බව මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නීතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයට අධිකරණයට දැනුම් දුන්නා.

එසේම, මොහු විවිධ අපරාධ සහ කප්පම් ගැනීම ඇතුලු හෙරොයින් ජාවාරම් කිරීමේ නිරතව සිටියදී උපයා ගන්නා ලද මුදල්, වාහන සහ දේපළ ඔහුට අයත්ව පවතින බවත්, තවත් දේපළ මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින්ගේ නමින් මිලට ගෙන ඇති බවට අනාවරණ වී ඇති බවත්, නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත ඇතුළු තවත් පනත් මගින් එම චංචල සහ නිෂ්චල දේපොල රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි නීතිවිරෝධී දේපොල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්නට කරුණු වාර්තා කළේ ෴

***************************************

(09.02.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරු වැටුප අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීමට වැටුප් මණ්ඩලයේ දී ඊයේ (08) අනුමත වුණා.

ඒ අනුව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිස ඊයේ (08) විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට ගොස් ප්‍රශංසා පළ කර තිබෙනවා.

වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900 ක දෛනික වැටුපක් සහ රුපියල් 100 ක දීමනාවක් ලබාදීමට වැටුප් මණ්ඩලය ඊයේ (08) අනුමැතිය ලබා දුන්නා ෴

***************************************

(09.02.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

‘සිලෝන් ටී’ නමින් නිෂ්පාදිත මෙරට පිරිසිදු තේ වර්ග චීනයේ අලෙවිය සඳහා ගිවිසුමකට ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඊයේ (08) අත්සන් තැබුවා.

ඒ, චීනයේ ‘ෆූජියෑන් ස්ටාර්-චයිනා ඉන්ටර්නැෂනල්’ සමාගම සමඟයි.

මෙම ගිවිසුම යටතේ අන්තර්ජාලය ඔස්සේ සහ ඉන් පිටත ‘සිලෝන් ටී’ චීනයේ අලෙවි කිරීමට පියවර ගැනෙනවා.

ෆූජියෑන් ස්ටාර්-චයිනා සමාගම සමඟ එළැඹුණු ගිවිසුම අනුව මේ වසරේදී තේ කිලෝග්‍රෑම් මිලියන 04 ක් පමණ චීනයට අලෙවි කිරීමට හැකිවනු ඇතැයි තේ මණ්ඩලය අපේක්ෂා කරනවා ෴

***************************************

(09.02.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 14 වනදාට යෙදෙන ‘ආදරවන්තයින්ගේ දිනය’ සැමරීම වෙනුවෙන් විවිධ සාද පැවැත්වීමට කටයුතු සංවිධානය සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි සාද සඳහා විවිධ කණ්ඩායම් එකතුවෙමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව නීති විරෝධීව පවත්වන එවැනි සාද සඳහා පැමිණෙන්නන් සහ එම සාද සංවිධායකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව පොලීසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි සාද සඳහා සහභාගී නොවන ලෙසයි.

***************************************

(09.02.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – රඹුක්කන ප්‍රධාන මාර්ගයේ කටුපිටිය ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ මෝටර් රථයක් අනතුරට පත්ව තිබෙනවා.

මෝටර් රථය මාර්ගයෙන් ඉවත පැන අසල තිබූ අධි බලැති විදුලි කණුවක ගැටීමෙන් පසු ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වර්තා වන්නේ.

ගිනි ගැනීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර විදුලි කණුවට ද බරපතල හානි සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු (3) සිට ඇති අතර ඔවුන් බීමතින් සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙක් (2) පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

(09.02.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ වත්තක මුරකරුවකු ලෙස සේවය කරමින් සිටියදී පසුගියදා අභිරහස් ලෙස මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පහරදීමක් බව පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ඊයේ (08) සනාථ කළා.

ඒ අනුව මෙය ඝාතනයක් බවට විශ්වාස කරන අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි සිව්දරු (4) පියෙක්.

මෙම තැනැත්තා පසුගිය දෙවැනි (02) දින අලුයම් කාලයේ සිය නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි අදාල ඉඩමට ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිය සැමියා නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් සිදුකළ සොයා බැලීමකදී ඔහු ඉඩමේ වැටී සිටියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

නාසයෙන් සහ මුඛයෙන් රුධිරය වහනය වෙමින් වැටී සිටි සැමියා එම අවස්ථාවේ රෝහල් ගත කිරීමට බිරිඳ කටයුතු කර ඇති අතර දියවැඩියාව ඇතුළු රෝග රැසකින් පීඩා විදිමින් සිටි ඔහුගේ මරණය පිළිබඳව සැකයක් නොමැති බවටද බිරිඳ පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෘත ශරීරය පුත්තලම මුලික රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කිසියම් අයෙකු විසින් ගෙලට එල්ල කළ දරුණු පහරකින් ගෙල අභ්‍යන්තරයේ සිදුවු මරණීය තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි ෴

***************************************

(09.02.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

බරපතල අපරාධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ විමර්ශන මාස 03 ක් ඇතුළත අවසන් කළ යුතු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

නියමයක් ලෙසින් එම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවට එහිදී දන්වා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, අදාළ විමර්ශන වාර්තා අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

***************************************

(09.02.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ට දුම්කුඩු අලෙවි කළ පුද්ගලයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, හිරිඹුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සන්තකයේ තිබී දුම්කුඩු ග්‍රෑම් 10 බැගින් අඩංගු දුම්කුඩු පැකට් 19 ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුගිය සිකුරාදා ගාල්ල නගරයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකු සන්තකයේ තිබී දුම්කුඩු ග්‍රෑම් 04 ක් සොයා ගැනීමත් සමඟ සිදුකරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ අදාල සිසුවා මෙම සැකකරුගෙන් දුම්කුඩු ලබාගෙන ඇති බවටයි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී පරෙවියන් අලෙවි කරන වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මොහු සිසුන්ට මෙලෙස දුම්කුඩු පැකට් අලෙවිකරන බවට අනාවරණය වී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

(09.02.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහ රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් මරණය ඊයේ (08) වාර්තා වූ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් මහතා පවසනවා.

යාපනය, කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව යාපනය මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එහිදී කොවිඩ් නියුමෝනියාව සහ අංශභාග රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුරු කොවිඩ් මළ සිරුරු අදාහන රෙගුලාසි අනුව අදාහනය කිරීමට නියමිත තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++

(09.02.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 887 දෙනෙකු ඊයේ (08) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ දහසේ (70,000) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 70,235 ලෙසයි.

නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 66,225 ක් දක්වා ඉහළ ගියා.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 5,729 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (08) දිනයේදී තවත් ආසාදිතයින් 740 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 64,141 ක් වනවා.

තවත් කොරෝනා මරණ 09 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ යනවා.

ඒ අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ 15 සහ 12 ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බවයි.

එමෙන්ම, අනුරාධපුරය සහ යාපනය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු (2) ද මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන්.

මීට අමතරව මීගමුව, හොරණ, ගුරුදෙණිය, කුරුණෑගල සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුද මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ නියුමෝනියාව, ශ්වසන පද්ධති අක්‍රීය වීම්, පෙනහළු පිළිකා සහ හෘද රෝගී තත්ත්වයන් ඔවුන් මියයෑමට හේතු ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර, කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරීයා ලෙස විශ්‍රාම යෑමට ආසන්නව සිටි මොණරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව ඊයේ (08) වාර්තා වුණා.

59 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම, කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කළ පසුගිය 29 වනදා සිට ඊයේ (08) දිනය දක්වා කාලය තුළ පුද්ගලයින් 1,67,762 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඊයේ (08) දිනයේදීත් පුද්ගලයින් 5989 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ.

මේ අතර, කුවේට්හි රැකියා සඳහා ගොස් අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කටයුතු පියවරෙන් පියවර සිදුකරන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් ඊයේ (08) ප්‍රකාශ කළා.

ඒ, විදේශ රැකියාවලට ගොස් කුවේට්හි අතරමං වී සිඟමන් යදින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව, හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් කළ විමසීමකදීයි.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ අතහැර දැමීමට රජය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සේවා සංගමය විරෝධය දක්වනවා.

එම සංගමය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරන්නේ පසුගිය වසරේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ පැවති උසස් පෙළ විභාගයට අදාළවද ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වූ බවයි.

ඒ අනුව, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගුරුවරුන් සහ සිසුන්ද සූදානමින් සිටි වකවානුවක එය අත්හැර දමා ඇගයීම් ක්‍රමයක් හඳුන්වාදීමට රජය ගත් තීරණය අනුමත කළ නොහැකි බව ඔවුන් එම ලිපියෙන් සඳහන් කර තිබෙනවා ෴

++++++++++++++++++

(09.02.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකු සිය බිරිඳ සමඟ පළාගොස් සිටියදී කොස්වත්ත – පොතුවටවන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ජාඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන හැඳල පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර, ඉන් අනතුරුව ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++

(09.02.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ මේ වනතෙක් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් දහය (10) ද හුදෙකලාබවින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ග්‍රාම සේවා වසම් හුදෙකලා බවින් නිදහස් කර ඇති බවයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිදුකළ විශේෂ ඉල්ලීමකින් පසු මෙම පියවර ගෙන ඇති අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තවදුරටත් සිය දෛනික කටයුතුවල නිරත වන ලෙස සෞඛ්‍ය අංශ එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

++++++++++++++++++++

(09.02.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශන්හි සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 458 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (09) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 7 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අතරට, ජෝර්දානයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 290 ක් සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි 66 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් දෙකක් (2) මගින් තවත් ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

(09.02.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) දිනයේදී හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 887 දෙනාගෙන් 214 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 208 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181 ක් වාර්තා වනවා.

මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 9025 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර, ඊයේ (08) දිනයේදී සිදුකළ පී.සී.ආර්. සංඛ්‍යාව 12,145 ක් ෴

+++++++++++++++++++

(09.02.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (08) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹින් ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (08) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 208 ක්.

එසේම, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 181 දෙනෙකු ඊයේ (08) වාර්තා වී ඇති අතර, ඔවුන් සියලු දෙනාම මහියංගනයෙන් හඳුනා ගැණුනු අයයි.

කොරෝනා දෙවන (2) රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ ආසාදිතයින් දහසට (1000) වඩා වැඩියෙන් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 09 ක්.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දහසක් (1000), අම්පාරෙන් ආසාදිතයින් 1186 ක්, රත්නපුරයෙන් ආසාදිතයින් 1568 ක්, ගාල්ලෙන් ආසාදිතයින් 1856 සහ කුරුණෑගලින් ආසාදිතයින් 2038 ක් වාර්තා වී තිබෙනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3807 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5325 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13,924 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26,159 දෙනෙකු කොරෝනා දෙවන (2) රැල්ලට අදාළව හඳුනාගෙන ඇති බව සඳහන්.

ඊයේ (08) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත මරණ 09 ක් වාර්තා වූ අතර, එම මරණ දිස්ත්‍රික්ක 08 කින් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

එම මරණ 09 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 365 ක් ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *