ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි?

*********************************************

ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි?

(08.02.2021 – 22:06 +0530 – lankaleadnews.com)

වියත් මග සාමාජිකයන් වන ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය ප්‍රියත් බන්දු යන දෙපළ වරාය සටන ඉදිරියට යන අතර තුර ඒ සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදී සේවක සටන මැද්දට පැන වරාය සේවකයන් අවසාන එකඟතාවයකට පැමිණ නොතිබූ ලියවිල්ලක් කෙසේ හෝ වරාය සේවකයන්ගෙන් රැගෙන ගොස් එම සටන දිය කිරීමේ උත්සහායක නිරත වූ බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ඉරිදා ලංකාදිප පුවත් පතට ලිපියක් ලියමින් මේ බව ප්‍රකාශ කරයි. සම්පූර්ණ ලිපිය පහතින්.

ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරනු ලැබූ සහයෝගීතා ගිවිසුමට පටහැනිව පසුගිය සඳුදා (1-2-2021 දින) අමාත්‍ය මණ්ඩල විසින් තීන්දුවක් ගනු ලැබූ බවත්, ඒ නිසා එම තීන්දුව පිළිනොගන්නා බවටත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලය තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඊට හේතුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම 100% ක්ම වරාය අධිකාරියේ අයිතිය යටතේ සිදුකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කිරීමය. ඊට පෙර එම පර්යන්තය කළමණාකරණය කිරීම සඳහා පිහිටුවනු ලබන සමාගමේ කොටස් අයිතියෙන් 49% ක් සහ කළමණාකරණ අයිතිය ඉන්දියාවේ අධානි සමාගමට ලබාදෙන බවට වර්තමාන රජය විසින් තීන්දුවක් ගෙන තිබුණි. එම තීන්දුව මූලික වශයෙන් සාධාරණීකරණය කරනු ලැබුවේ ඉහත සඳහන් කළ සහයෝගීතා ගිවිසුම මඟින් ඇති කරන බැඳීම හුවා දැක්වීම මඟිනි. නමුත් නීති විශාරදයින්ගේ මතය අනුව එම ගිවිසුම මඟින් නීතිමය බැඳීමක් ඇති නොවන අතර තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පමණක් වේදිකාවක් ඒ මඟින් නිර්මාණය වේ. අදාළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එම පර්යන්තය කළමණාකරණය කිරීම සඳහා අධානි සමාගම විසින් ඉදිරිපත් කරන කොන්දේසි වලට ශ්‍රී ලංකාවේ රජය එකඟ නොවන්නේ නම් එම ගිවිසුම අහෝසි වේ.

නමුත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය අත්පත් කර ගැනීම සඳහා ගන්නා වූ උත්සහාය තුල එම පීඩනයට මුහුණ දීම ඉතා දුෂ්කර වනු ඇති බවට විවාදයක් නැත. ඒ අනුව නැගෙනහිර පර්යන්තය අධානි සමාගමට ලබා නොදීම සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් ගනු ලැබූ තීන්දුව සමතුලිත කිරීම සඳහා කොළඹ දකුණු වරාය තුළ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සඳහා සාකච්ඡා කළ යුතු බවට අමාත්‍ය මණ්ඩල විසින් තීන්දු කරනු ලැබීය. ආණ්ඩුවේ තීන්දු දෙකම එකම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා ගැනීම මඟින් එම “බැලන්ස් කිරීමේ” න්‍යාය වටහාගත හැක. එසේ මිනිස් බිල්ලක් ඉල්ලන යක්ෂයෙකුට කුකුල් බිල්ලක් ලබා දී බේරීමට හැකිනම් එය දියුණු රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයක් ලෙස යමෙකු විසින් විග්‍රහ කිරීමට ඉඩ ඇත. ඉන්දියාව එසේ කුකුල් බිල්ලකට එකඟ නොවන බවට තර්ජනයක් කරනු ලබන්නේ අනාගතයේ මිනිස් බිල්ලක් ලබා ගැනීම සහතික කර ගැනීම සඳහා විය හැක. නමුත් අවසානයේදී ඉන්දියාව කුකුල් බිල්ල ලබා ගැනීමට එකඟ වන බවට විවාදයක් නැත. සෞභාග්‍යයේ දැක්ම නම් වූ ලියවිල්ල මඟින් බටහිර පර්යන්තය රාජ්‍ය පුද්ගලික ආයෝජන පදනම යටතේ සංවර්ධනය කිරීමට ආණ්ඩුව විසින් පොරොන්දුවක් ලබා දී ඇති බව සහ ඊට මහජන කැමැත්ත ලැබී ඇති බව පවසමින් ආණ්ඩුවේ පාර්ශව එම තීන්දුව සාධාරණීකරණය කරනු ලබයි.

නමුත් ඊට පෙර ආණ්ඩුව විසින් නැගෙනහිර පර්යන්තය කෙසේ හෝ ඉන්දියාවේ අධානි සමාගමට පැවරීමට දැඩි තීන්දුවක් ගෙන තිබුණි. එම තීන්දුව වෙනස් කිරීමට සිදු වූයේ වරායේ වෘත්තීය සමිති 23 ක් සහ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග ඊට එරෙහි දැඩි විරෝධයක් පළ කිරීම නිසාය. එම විරෝධතා නොසලකා හැරීමට සහ ඇතැම් විට විවිධ ක්‍රමවේද හරහා දියකර හැරීමට ආණ්ඩුවේ පාර්ශව විසින් ප්‍රභල උත්සහායක් ගනු ලැබීය. නමුත් එම උත්සහාය අත්හැර දැමීමට සිදු වන්නේ මූලික වශයෙන් ආණ්ඩුවේ නියෝජනය වන දේශපාලන පක්ෂ 10 ක් විසින් ආණ්ඩුවේ තීන්දුවට එරෙහිව අවි එසවීම නිසා බව වටහා ගැනීම අමාරු නැත. නැගෙනහිර පර්යන්ත විරෝධය මුල් කර ගෙන එවැනි දේශපාලන බලවේගයක් නිර්මාණය වීම අනතුරුදායක බව වටහා ගැනීම සඳහා පොදුජන පෙරමුණේ ප්‍රභලයින්ට පර්යේෂණ කිරීමට අවශ්‍ය වන්නේ නැත. අවම ‘දේශපාලන ඉවක්’ ඇති නායකයෙකුට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ වැන්නෙකුට ඒ බව වටහා ගැනීම අමාරු නැත.

කෙසේ වෙතත් දැඩි තීන්දුවක සිට පසුව තීන්දුව වෙනස් කිරීමට සිදුවීම තුල ආණ්ඩුවේ පෞර්ෂයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගත් උපක්‍රමය වූයේ වියත්මග සංවිධානයේ නායකයින් දෙපළක් වරායේ උද්ඝෝෂණය අතරමැදට පැන යම් පොරොන්දුවක් ලබා දීමය. එම පොරොන්දුව ලිඛිත පොරොන්දුවක් නොවූ අතර එම නායකයින් ඊට පෙර වරාය සටනට දායක වූ හෝ විවෘතව සමාජය ඉදිරියේ ඊට ආශිර්වාද කළ අය නොවේ. විශේෂයෙන්ම වරාය වෘතීය සමිති විසින් අමාත්‍යමණ්ඩලය විසින් පත්කළ “සාකච්ඡා කමිටුව” ලබාදුන් යෝජනා වලට නිල පිළිතුරක් ලබා නොමැති තත්වයක් යටතේ වියත්මග නායකයින් විසින් එවැනි පොරොන්දුවක් ලබා දීම ආචාරධර්ම වලට පටහැනි බවට විවාදයක් නැත. කෙසේ වෙතත් වාචික පොරොන්දුව අනුව සහ ආණ්ඩුවේ ඉහළ නායකයෙකුගේ ලිඛිත පොරොන්දුවක් නොමැති තත්වයක් යටතේ වරාය වෘතීය සමිති එකමුතුවෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. බොහෝ විට ඒ සඳහා සටන තුල සිටින යම් කිසිවෙකු විසින් යම් මඟ පෙන්වීමක් සහ පූර්ව එකඟතාවයක් ලබා දී තිබුණා විය හැක.

අවසානයේදී අදාළ ලිපියට වරාය සටනේ සියළු පාර්ශව වල අනුමැතිය ලබා ගැනීමට පෙර එම ලිපියේ පිටපතක් ආණ්ඩුවට බාර දී තිබුණි. එම ලිපිය මඟින් කියවුනේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරිය මඟින් සංවර්ධනය කරන්නේ නම් බටහිර පර්යන්තය රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට වරාය වෘත්ති සමිති තම අනුකූලතාවය ලබා දෙන බවය. ඒ මඟින් බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම ආණ්ඩුවේ තීන්දුවක් නොවන බව තහවුරු කිරීමට සහ එහි වරද වෘතීය සමිති පිට පැටවීමට අදාළ පාර්ශව කටයුතු කළ බව ඉතා පැහැදිළිය. ඊට අමතරව ඒ මඟින් අමතර ප්‍රතිලාභී දෙකක් ද ආණ්ඩුව අපේක්ෂා කළා විය හැක. පළමු වැන්න වෘතිය සමිති අතර ගැටුමක් ඇති කිරීමය. දෙවැන්න නැගෙනහිර පර්යන්ත සටන ජයග්‍රහණයෙන් අවසන් නොවූ බව සහ එම සටන පාවා දුන් බවට මතයක් ඇති කිරීමය.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අධානි සමාගමට පවරාදීමට දැනුම්වත්ව සහ කුමන්ත්‍රණකාරීව කටයුතු කළ පිරිස් වලට එවැනි මතයක් සමාජගත කිරීම මඟින් තමන්ගේ අනාගත සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් සපුරා ගැනීමට හැකියාව ලැබේ. එනම් අනාගතයේදී වර්තමාන ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් යටතේ සංවර්ධනය කරනු ලැබූ නැගෙනහිර පර්යන්තය වෙනත් ආකාරයකට පුද්ගලීකරණය කිරීමට අවස්ථාව උදාකර ගැනීමය. ඒ සඳහා වරාය වෘතීය සමිති බේද කිරීම සහ ඔවුන් නැගෙනහිර පර්යන්ත සටන ජයග්‍රහණය නොකළ බව තහවුරු කිරීම වැදගත් වේ. එවැනි තත්වයක් තුළ එම දෙවන උත්සහායට එරෙහිව විරෝධතා පැන නැගීමේ හැකියාව අඩුවේ. නැගෙනහිර පර්යන්තය යනු ඉන්දියාව පැත්තෙන් කෙසේ හෝ අත්පත් කර ගත යුතු ඉතා වටිනා උපාය මාර්ගික දේපළකි. එම පර්යන්තය සහ ඊට යාබඳව ඇති ශ්‍රී ලංකාවේ මහා පරිමාන පුද්ගලික සමාගමක් විසින් කළමණාකරණය කරනු ලබන දකුණු ආසියා මුවදොර (SAGT) පර්යන්තය ඒකාබද්ධ කළ විට එය ලෝකයේ තිබෙන වැඩිම කාර්යක්ෂමතාව සහිත පර්යන්ත 06 අතරට ඇතුල් වේ.

ඒ නිසා ඒ මහා වටිනා දේපළ හිලව්වට තමා විසින් සම්පූර්ණයෙන්ම ඉදිකොට වසර 35 කට පසුව ශ්‍රී ලංකාවට ආපසු බාරදිය යුතු බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාව අධානි සමාගම එකඟ වනු ඇතැයි සරලව කල්පනා කළ නොහැක. නමුත් තමාට උපායමාර්ගිකව වඩා වැදගත් සහ ලාභදායි ව්‍යාපෘතිය අහිමි වුවද කොළඹ වරාය තුල පයතබා ගැනීම ඉන්දියාවට උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් වේ. එම නිසා විවිධ ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමෙන් පසුව බටහිර පර්යන්තය සඳහා තමාට වඩා වාසිදායක ලෙස ගිවිසුමකට එළඹීමට ඉන්දියාව උත්සහා කරනු ඇත. නමුත් ඉදිකොට භාවිතාකොට ආපසු බාරදීම (BOT) පදනම යටතේ චීනයට ලබා දී ඇති දකුණු පර්යන්තයට අදාළ කොන්දේසි වලට වඩා වාසිදායක කොන්දේසි යටතේ බටහිර පර්යන්තය ලබා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැත. ඊට වරාය සේවකයින් මෙන්ම චීනයද විරෝධාය පළ කරනු ඇත. එම නිසා ඉන්දියාව විසින් තේරීමට ඉඩ තිබෙන උපායමාර්ගය වන්නේ බටහිර පර්යන්තය තම අතට ගන්නා අතර එය කාලය අඳිමින් ඉදි කරන අතර නැවත වටයකින් වෙනත් ක්‍රමයකට නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීම සඳහා උත්සහා දැරීමය.

මීට පෙර 2014 දී සකස් කළ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමුද්‍රිය සංවර්ධන සැලැස්ම අනුව නැගෙනහිර පර්යන්තය අවසන් කිරීමට සැලසුම් කරනු ලැබුවේ 2016 වසරේදී වන අතර බටහිර පර්යන්තය අවසන් කළ යුතු වූයේ 2020 වසරේදීය. චීනය විසින් සංවර්ධනය කළ දකුණු පර්යන්තය සැලසුම් කළ පරිධි 2014 දී අවසන් කළද නැගෙනහිර සහ බටහිර පර්යන්ත අවසන් කිරීමට නොහැකි වන්නේ ඉන්දියාව විසින් ඒවා අත්පත් කර ගැනීම සඳහා යොදාගනු ලැබූ උපාය උපක්‍රම නිසාය. ඉන්දියාව පැත්තෙන් ගත් විට එක් පැත්තකින් ඔවුන් සතුව ප්‍රධාන වරායවල් 13 ක් තිබුණද ඉන්දියානු උප මහද්වීපයේ බහාලුම් ප්‍රතිඅපනයන ව්‍යාපාරයෙන් ඔවුනට අත්පත්කර ගැනීමට හැකි වන්නේ 4% ක් පමණි. එහෙත් ශ්‍රී ලංකාව සතුව 35% ක් ඇත. ස්භාවධර්මය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති එම වාසිදායක තත්වය උදුරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැත. එම තත්වය යම් පමණකට හෝ වෙනස් කිරීම සඳහා අධානි සමාගමට කොටස් 67% සහිතව සංවර්ධනය කෙරෙන ඉන්දියාවේ විසින්ජන් වරාය අදියර තුනකින් ඉදි කළද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සතු වාසිදායක තත්වය අත්පත්කරගත නොහැක.

අනෙක් පැත්තෙන් ගත් විට ඉන්දියාව විසින් කොළඹ වරාය තුල පය තබා ගැනීම සඳහා උපරිම උත්සහායක් දරනු ලබන්නේ චීනය විසින් ඉන්දු පැසිෆික් සාගර කලාපය තුළ කරනු ලබන අත්පත් කර ගැනීම් වලට මුහුණ දීම සඳහාය. එම සාගර කලාපය තුල ඉන්දු ඇමෙරිකානු යුද සන්ධානය විසින් චීනයට එරෙහිව දියත් කරනු ලබන උපායමාර්ගික යුද උපක්‍රම වලට මුහුණ දීම සඳහා චීනය විසින් වරාය ත්‍රිත්වයකින් යුතු යුද උපායමාර්ගයක් තෝරා ඇත. එය හැඳින්වෙන්නේ මුතුමාල ‍පොට යනුවෙනි. එය යුද විශේෂඥයින් විසින් හඳුන්වන්නේ ඉන්දියාවේ ගෙලට දමා ඇති තොණ්ඩුවක් ලෙසය. පළමු මුතු ඇටය වන්නේ චීනය විසින් සංවර්ධනය කරන අරාබි මුහුදු කලාපය ඉලක්කකොටගත් පකිස්තානයේ ගොව්ඩාර් වරාය වන අතර එම වරායේ සිට චීනයේ ප්‍රධාන මාර්ග පද්ධතියට ඇතුල්වීම සඳහා කි.මී 1500 ක මහා මාර්ගයක්, තෙල් නලයක් සහ ගෑස් නලයක් ඉදි කරනු ලබයි. ඒ සඳහා වන පිරිවැය ඇ.ඩො මිලියන 50,000 කි. චීනය විසින් අත්පත්කොට ගෙන දෙවන මුතු ඇටය බෙංගාල බොක්ක ඉලක්ක කොට ගත් බුරුමයේ කියෝප්‍රක් වරාය වන අතර එම වරායේ සිට චීනයේ කැන්මින් දක්වා කි.මී 800 ක මහා මාර්ගයක් සහ තෙල් සහ ගෑස් නල ඉදි කෙරේ.

චීනය තමා සතුකොට ගෙන ඇති සහ වටිනාම මුතු ඇටය හම්බන්තොට වරාය බවට විවාදයක් නැත. දැනට එම වරායේ විභවයෙන් සංවර්ධනය කොට ඇත්තේ 15% – 20% අතර ප්‍රමාණයක් පමණි. ඒ අනුව අනාගත විභවය පැහැදිළි වේ. එම වරාය ඉදි කිරීමට එරෙහිව ඉන්දියාවට වඩා සිංගප්පූරුව විසින් විවිධ බාධක පනවනු ලැබූ බව රහසක් නොවේ. ඒ සඳහා ප්‍රභල රාජ්‍ය නිලධාරීන් යොදා ගත් බව එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ යම් ප්‍රකාශයකින් පැහැදිළි විය. එදා සිට සහ අද්ත් වරායවල් විකිණීම පිටුපස හස්තයක් ලෙස සැලකෙන නිලධාරියෙකු විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීනයෙන් ණය ගැනීම වැළැක්වීම හෝ පමා කිරීම සඳහා ප්‍රභල උත්සහායක් ගත් බවට සාක්ෂි ඇත. හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම වෙනුවට ආසියානු සංවර්ධන බැංකුව හරහා ණය මුදලක් ලබා ගනිමින් කොළඹ දකුණු වරාය සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ එම සැලසුමේ කොටස් ලෙස බව පැහැදිළිය. ඒ මඟින් අද සිදුවන ආකාරයට ඉන්දියානු මැදිහත්වීමටද ඉඩ ලැබේ.

සිංගප්පූරුව පැත්තෙන් ගත් විට එම වරාය විසින් ඉන්දියානු උපමහාද්වීපයේ ප්‍රති අපනයන ව්‍යාපරයෙන් 60% ආසන්න ප්‍රමාණයක් අත්පත්කොට ගෙන ඇත. ඊට අමතරව නාවික ගමනාගමනයට අවශ්‍ය සේවා සැපයීම පැත්තෙන් ගත් විට ප්‍රමුඛයා වන්නේ සිංගප්පූරු වරායයි. නමුත් අනාගතයේදී තායිලන්තයේ “ක්‍රා” නමින් හැඳින්වෙන මුහුදු ඇළ මාර්ගය ආරම්භ වූ විට දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා ගමන් කරන ලෝකයේ නාවික සටන්වලින් 80% සිදුවන ප්‍රධානතම මුහුදු මාර්ගය මළක්කා සමුද්‍ර සන්ධිය සහ සිංගප්පූරු වරාය මඟහැරයන ආකාරයට වෙනස්වනු ඇත. ඒ මඟින් එම මාර්ගයේ දුර මුහුදු සැතපුම් 1800 කින් අඩුවන අතර ඒ නිසා සිංගප්පූරු වරාය බරපතල අර්බුදයකට ලක්වනු ඇත. එම තත්වය ඉන්දියාව සහ සිංගප්පූරුව එක්ව මුහුණදිය යුතු තත්වයකි. ඉන්දියාව විසින් කොළඹ වරාය අත්පත්කර ගැනීම සඳහා ගනු ලබන උත්සහාය විග්‍රහකරගත යුත්තේ එම මහා පින්තූරයට සාපේක්ෂවය.

ඒ අනුව ඊට මුහුණදීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති තීන්දුව ප්‍රශස්ත මට්ටමින් ලඟාවන්නේ ආණ්ඩුව පොරොන්දු වී ඇති ආකාරයට නැගෙනහිර පර්යන්තය වසර 3 කින් නිමකොට කොළඹ වරායේ මෙහෙයුම් වලින් 70% තමා සතු කොට ගත හොත් පමණි. ඒ නිසා ඉන්දියාව බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ පය තබාගෙන සිටින අතර එක් පැත්තකින් එම පර්යන්තය නැවත වටයකින් අත්පත්කර ගැනීමට හෝ තම ඒජන්තයින් ලවා එම ව්‍යාපෘතිය කල් දමමින් ඇදගෙන යාමට උත්සහා දරනු ඇත. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සඳහා තිරය පිටුපස බලපෑම් කළ ඉහළ නිලධාරීන් සහ දැනටමත් කොළඹ වරායේ දකුණු මුවදොර (SAGT) පර්යන්තය අත්පත්කොට ගෙන සිටින පෞද්ගලික සමාගම, එක්ව නැවත වටයකින් පුද්ගලීකරණ ව්‍යාපෘතියක් යටතේ උත්සහා දැරීමට ඉඩ ඇත. එහිදී එම පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය එක්කොට ලෝකයේ ප්‍රමුඛතම පර්යන්තයක් නිර්මාණය කිරීමේ නාමයෙන් එම පාවාදීම සාධාරණීකරණය කිරීමටඉඩ ඇත. එය වැළැක්වීම සඳහා වරාය අධිකාරියේ සේවකයින් විසින් ආණ්ඩුවට ලබාදුන් ඉහත සඳහන් කළ ලිපිය මඟින් කොන්දේසියක් පැනවුවද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඒ බව සඳහන් නොවීය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

***************************************

භාණ්ඩ 27 ක මිල පාලනයට වෙලද ඇමති ව්‍යාපාරිකයන් සමග නීති විරෝධී එකගතාවක.. සීනි පාලන මිල 88 යි.. අඩුකල සහන මිල 99 යි..

(08.02.2021 – 18:48 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වෙළද අමාත්‍යවරයා විසින් භාණ්ඩ 27 ක මිල පාලනය සදහා ව්‍යාපාරිකයන් සමග ඇතිකරගත් එකගතාවය නීති විරෝධීයි..

පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති පාලන මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම සදහා වන එකතගාවයක් වෙළද අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධි ක්‍රියාවකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිල රුපියල් 99.00 කි මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම හ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සදහා ද පාලන මිලක් නියම කර ඇත. ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි. මෙම දූෂණයට එරෙහිව අප සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

භාණ්ඩ මිල පාලනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියාමගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම අප දැඩිව හෙළ දකින අතර භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සදහා ව්‍යාපාරිකයින් අතර එකගතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27 ට පාලන මිලක් පනවා ඇති භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිල පාලනය කිරීම සදහා වෙළද අමාත්‍යවරයාට ඇති නොහැකියාම මනාව පෙන්නුම් කරන්නකි. අනෙක් අතට වෙළද අමාත්‍යවරයා සිය නිරුවත සිය අතින් වසා ගැනීමට උත්සහ කිරීමකි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළද සැළකින්ම සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

***************************************

නෑනා පැහැරගෙන මරා දැමීමට තැත් කළ මස්සිනා අත්අඩංගුවට

(08.02.2021 – 08:48 +0530 – lankadeepa.lk)

තම බිරිඳගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කර මරා දැමීමට සූදානම් වූ හිටපු හමුදා සෙබලෙක් ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ පැය 24 ක් තුළදී අද (08) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

සැකකරුගේ බිරිඳගෙ මවගෙන් (නැන්දණියගෙන්) ලද පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකී වී ඇත.

පැහැරගැනීමට ලක්වූ තරුණිය මිරිහාන, මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, තම මව සමග ඇරැව්වල, පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සොහොයුරිය බැලීමට පැමිණ එම නිවසේ නැවතී සිටිය දී සැකකරු විසින් මෙම තරුණිය සූක්ෂම ලෙස පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

තරුණිය මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ රසකැවිලි අලෙවි සැලක සේවය කරන අතර එම ආයතනයට සේවය සඳහා යවන මුවාවෙන් සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් සුඛෝපබෝගී මෝටර් රථයකින් මෙම තරුණිය රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කීය.

සේවා ස්ථානය වෙත රැගෙන යන බව පවසා මෝටර් රථයෙන් ගෙනගිය තරුණිය ඇරැව්වල ප්‍රදේශයේ සිට පිළියන්දල දෙසට රැගෙන යමින් සිටියදී තරුණිය විසින් සැකකරුට වැරදි මාර්ගයක ගමන් ගන්නා බව වටහා දීමේ දී මෝටර් රථය මාර්ගය පසෙක නවතා සැකකරු සඟවාගෙන සිටි තියුණු උල් පිහියක් රැගෙන ඝාතනය කොට සඟවා දමන බව පවසමින් බියවද්දා තරුණිය කොළඹ ප්‍රදේශයේ නගර කිහිපයකට ගෙන යමින් වාහනය තුළ රඳවාගෙන සිට ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරු පැහැර ගත් තරුණිය ද රැගෙන රත්නපුර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ සවිකර තිබු ජී.පී.එස් තාක්ෂණය උපකරණය ඔස්සේ වාහනයේ තිබෙන තැන සොයා ගත් පොලිස් නිලධාරීන් විසින් වහාම රත්නපුර ප්‍රදේශයට ගමන් කර සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී පැහැර ගත් තරුණියද එහි සිටි බව පොලිසිය පැවසීය.

සැකකරු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත්, කලක පටන් සැකකරු හා බිරිඳ අතර තිබෙන පවුල් ආරවුලකට පලිගැනීමක් වශයෙන් බිරිඳගේ නැගණිය පැහැරගෙන ගොස් අතවර සිදුකර මරා දැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරගත් බවද පොලීසිය පැවසීය.

සැකකරු 32 වැනි වියේ පසුවන එක්දරු පියෙක් බවත් මෝටර් රථය දෛනික කුලී පදනම මත රුපියල් 4000/=ක මුදලකට බොරලැස්ගමුවේ පිහිටි ආයතනයකින් ලබා ගෙන තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

***************************************

පාස්කු ප්‍රහාරය : සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද? ප්‍රහාරය “පිටුපස සිටියේ ඉන්දියාව” ද?

(08.02.2021 – bbc.com/sinhala)

තමන් බලයට පත්වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ දුන් ප්‍රධානම ප්‍රතිඥා දෙකකි.

බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය.

මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

“රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා,” ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි.

ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකරු හෝ මහ මොළකරුවන්’ කවුද? එයට අනුබල දුන්නේ කවුද?

‘ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ’

ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, අඩුම තරමින් එක් සැකකාරියක් ඉන්දියාවට පලා ගොස් තිබේ.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ “මහ මොලකරු” හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසම හමුවේ අවසාන දින කිහිපයේ දී සාක්ෂි දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන් ද සැක කරන බවය.

ඔහු ඒ බව කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව විමසූ අවස්ථාවේදී ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිස් විමර්ශන භාරව සිටි නිලධාරියාය.

සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව ඊට පෙරාතුව ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන “අසම්පූර්ණ” බවත් අවධාරණය කළේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සඳහන් කළේ, “ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්,” යනුවෙන් විස්තර කළේය.

“අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්.”

“මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව”

ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ.

එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, “මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව,” යනුවෙනි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය :

• හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය

• කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ

• ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත’ යන්නය

• 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය

• එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ

• කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා’ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි

• ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ

• පොලිසිය මෙතෙක් ‘සාරා’ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය

• ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි

• එම “ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ

• නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ,” යනුවෙන් පැවසීය.

“ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ.”

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශයෙන් අනතුරුව, මාධ්‍යවේදියෙක් කළ විමසීමකට පිළිතුරු දුන් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් “පොලිසිය විසින් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා” මේ වනවිට සැකකරුවන් 32 කුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ගොනු කොට තිබෙන බවය.

තවත් සැකකරුවන් 241 රැඳවුම් සහ රිමාන්ඩ් භාරයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාවේ ඔත්තු සේවය ද සමඟ සම්බන්ධ වී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සහ “අන්තර්ජාතික ජාලයක් ඇති කොට” තිබෙන බවක් සඳහන් කළ නමුත් ‘සාරා’ ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ ද යන්න ගැන අමාත්‍ය සරත් වීරසේකර සෘජු පිළිතුරක් නොදුන්නේය.

සරෝජ් පතිරණ
BBC සිංහල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *