සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක්

සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක්

*********************************************

සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන පරීක්ෂණයක්

(07.02.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පළාතේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සිසුන්ට ලබාදෙන පෙරහුරු පරීක්ෂණ විභාගයේ හෙට (08) පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රය කලින් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග අංශය විසින්.

මීට දින කිහිපයකට පෙර මෙලෙස අදාළ ගණිතය ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රශ්න පත්‍රය ප්‍රදේශයේ සිසුන් සහ දෙමව්පියන් බොහෝ දෙනෙකු අතර, වට්ස්ඇප් මාර්ගයෙන් හුවමාරු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පැවසුවේ පාසලට සිසුන් ගෙන්වීමෙන් පමණක් අදාළ පෙරහුරු විභාගය පැවැත්විය යුතු බවට උපදෙස් ලබා දුන් බවයි.

මෙම සිද්ධිය තුලින්, ඇතැම් පාසල් අදාළ උපදෙස් උල්ලංඝනය කර ඇති බව පෙනී ගොස් ඇතැයි ද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් මේ වනවිට පර්යේෂණයක් ආරම්භ වී ඇති අතර, යම් විදුහල්පතිවරයෙකු ලබාදුන් උපදෙස් අනුව, කටයුතු කර නොමැති නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවයි මධ්‍යම පළාත් අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා අවධාරණය කළේ ෴

***************************************

(07.02.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අපරාධයක් සිදුකර අධිකරණයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ගේ ඡායාරූප ඉදිරියේදී මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘සතුටෙන් ජීවත් වන පවුලක්. විනයගරුක සහ බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා’ යන තේමාව යටතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම යටතේ වන නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද (07) එක්වෙමින්.

මහරගම යොවුන් රඟහලේ පැවති උත්සවයට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියා.

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන මෙම ප්‍රජා පොලිස් ක්‍රමය මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති අතර, එමගින් මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කෙරෙනු ඇති ෴

***************************************

(07.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මාසයේ මෙරට තේ මිලෙහි සාමාන්‍ය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ජනවාරි මාසයේ තේ කිලෝග්‍රෑමයකට රුපියල් 645 යි ශත 02 ක සාමාන්‍ය මිලක් හිමිවී ඇති අතර, එය පසුගිය වසරේ ජනවාරි මාසය හා සසඳන විට රුපියල් 56 යි ශත 17ක වර්ධනයක්.

කෙසේ නමුත්, දෙසැම්බර් මාසය හා සසඳන විට ජනවාරි මාසයේදී තේ මිල ඉහළ ගොස් ඇත්තේ නාමික වශයෙන්.

ජනවාරි මාසයේ ඉහළ කඳුකරයේ තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 77 යි ශත 43 කින් ඉහළ ගොස් ඇති අතර, මධ්‍යම කලාපීය තේ මිල රුපියල් 90 යි ශත 75 කින් ඉහළ ගොස් තිබෙනවා.

පහත රට තේ මිල ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇත්තේ රුපියල් 44 යි ශත 30 කින් ෴

***************************************

(07.02.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන ආර්ථිකයක් තුලින් මෙරට ස්වයංපෝෂිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුලින් රට ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයට ඇතිව සිය රාජකාරි කටයුතු සිදුකරන ලෙසයි.

මෙරට ලූණු අවශ්‍යතාවයෙන් සියයට 22 ක් නිෂ්පාදනය කෙරෙන අතර ඉතිරි ප්‍රමාණය ආනයනය කෙරෙනවා.

ඒ සඳහා වාර්ෂිකව බිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැයවීම හේතුවෙන් මේ වසරේදී ළුෑණු අස්වැන්න සියයට 35 ක් දක්වා ඉහළ දැමීමට ද 2023 දී එය සියයට 60 ක් දක්වා වර්ධනය කළ යුතු බවට ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

(07.02.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මඩොල්සිම, පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් තොරතුරක් ලැබී නොමැති බව අප වාර්තාකරු සඳහන් කළා.

පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් සිටියදී ඊයේ (06) රාත්‍රියේ මෙම පුද්ගලයා අතුරුදන්ව තිබෙනවා.

ප්‍රදේශය තුල පවත්නා වර්ෂාව සහ අධික මීදුම තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයා සොයන මෙහෙයුම් කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර එම පුද්ගලයා වැටෙන්නට ඇතැයි සැකකෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි දෙසීයක (200) පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කර ඇතත් පවත්නා මීදුම හේතුවෙන් කිසිවක් දර්ශනය වී නැහැ.

කෙසේ වෙත්ත ප්‍රපාතයට පහළින් වූ ලුණුගල පොලිස් බල ප්‍රදේශයට අයත් කොටසේ සෝදිසි මෙහෙයුම් සඳහා තවත් පිරිසක් පිටත්කර යවා ඇති අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා ෴

***************************************

(07.02.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) රාත්‍රී 10 සිට අනිද්දා (09) පස්වරු 04 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද සහ හැදල පාරේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ෴

***************************************

(07.02.2021 – 16:24 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල – මාලිබොඩ – දික්ඇල්ල කන්ද ප්‍රාථමික විදුහලේදී පැවති ජනපති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී දුන් පොරොන්දුවකට අනුව මාලිබොඩ – පොත්දෙණිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජනපතිවරයා කළ දැනුම් දීමට පැය 24 ක් ගතවීමටත් මත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ පොදු කාර්ය ඉංජිනේරු බල සේනාවේ පළමුවන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් මෙම කටයුතු ආරම්භ කළ බවයි යුද හමුදාව සඳහන් කළේ ෴

***************************************

(07.02.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගීකර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනියට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුනේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන අයෙක් සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 09 හැවිරිදි පුත්‍රයායි.

ඔවුන් අද (07) උදෑසන 09:55 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 651 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මොවුන් ඉදිරිපත් කළ ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු, මොවුන් සතුව තිබූ ජර්මානු වීසා බලපත්‍ර ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර තිබූ ඒවා බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ ෴

***************************************

(07.02.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ නොවීම නිසා, දිවයින පුරා දුම්රිය ධාවනය අඩාල වීමේ අවදානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

***************************************

(07.02.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

තම පොලිස් නිල ඇඳුම වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසනවා.

මීට දින කිහිපයකට පෙර බද්ද්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගන්නා ලද ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුගේ මුහුණු පොත පරික්ෂා කිරිමේදී සැකකරු පොලිස් නිල ඇඳුමින් සැරසි සිටින ඡායාරුපයක් එහි පළකර තිබූ අයුරු දැකගන්නට ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී එම පොලිස් නිල ඇඳුම හිමි අදාල කොස්තාපල්වරයා හඳුනා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

පසුව අදාල කොස්තාල්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථවේ නිල ඇඳුම වෙනත් අයෙකුට ලබාදිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්වල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා ෴

@@@@@@@@@@@@@@@

(07.02.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ මෙරට පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ ගුණ සිහිකිරීමේ වැඩසටහනක් වව්නියාව නගරයේදී සිදුකෙරුණේ දෙමළ ජනතාවගේ සහභාගීත්වයෙන්.

ද්‍රවිඩ දේශපාලඥයන් උතුරු පළාතේ විරෝධතා පවත්වන පසුබිමක දෙමළ ජනතාව වෛද්‍ය දන්තනාරායන මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම විශේෂත්වයක්.

ඔවුන් ඒ වෙනුවෙන් බැනරයක් සහ ඡායාරූපයක් සකස් කර පහන් දල්වා පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.

වව්නියාව දමිළ ජනතා සංසදය ප්‍රමුඛ මානවවාදී වව්නියාවේ දෙමළ ජනතාව මෙම ගුණ සැමරුම සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මේ අතර, මෙරට කොරෝනා අවදානම දෙගුණ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මේ අතර, කල්පිටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පාසල් වෑන් රියේ ඇය සමඟ ගමන්ගත් ගුරුවරුන් 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම, යක්කලමුල්ල – නාකියාදෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක කැවිලි සෑදිම සඳහා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට පෙර මංගල උත්සවයේ මනමාලයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

මෙරටින් ඊයේ (06) හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 726 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බදුල්ලෙන් ඊයේ (06) දිනයේදී කොරෝනා ආසාදිතයින් 197 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඉන් බහුතර සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහියංගණය ගැමුණුපුර ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවෙන්.

ඒ අනුව එම කර්මාන්තශාලාවෙන් නව ආසාදිතයින් 185 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ ඉන් හඳුනා ගැණුනු ආසාදිතයින් සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගියා.

බස්නාහිර පළාතෙන් ඊයේ (06) හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 268 ක් වන අතර, එය කොළඹ දිස්ත්‍රික්කයෙන් 116 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 101 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 51 ක් ලෙස බෙදී ගොස් තිබුණා.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 68,576 ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 62,894 ක් ෴

[ සේයාරූ ]

+++++++++++++++++

(07.02.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් අවදානමත් සමග ශ්‍රී පාද වන්දනාවට වන්දනාකරුවන් නොපැමිණීම නිසා තමන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි නල්ලතන්නිය ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙරටින් තුරන් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් සමන් දේව ප්‍රතිමාව ඉදිරිපිට දේව පූජාවක්ද පැවැත්වුවා.

මේ වසර සඳහා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් වන්දනාකරුවන්ට සෞඛ්‍ය අංශ විසින් ශ්‍රී පාද වන්දනා කිරීමට නොපැමිණෙන ලෙස දන්වා ඇත්තේ පවතින කොවිඩ්-19 අවදානම හේතුවෙන්.

මෙලෙස වන්දනාකරුවන් නොපැමිණීමෙන් හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදිව සිටිනවා.

පෞද්ගලික අංශයේද සහය ඇතිව ශ්‍රී පාද හැටන් මාර්ගය විෂබීජහරණය කිරීමටත්, වන්දනාකරුවන්ට නිසි නිරෝධායන උපදෙස්වලට අනුව ශ්‍රී පාදය කරුණා කිරීමට අවස්ථාව වන්දනාකරුවන්ට ලබාදිය හැකි නිසාත් එම මාර්ගය ඔස්සේ ඉදිරියේදී හෝ වන්දනාකරුවන්ට පැමිණීමට අවස්ථාව ලබාදෙන්නැයි ව්‍යාපාරික ප්‍රජාව ඉල්ලා සිටිනවා.

මේ අතර, කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් කරන ලෙස ආයාචනා කරමින් නල්ලතන්නිය නාගදීප විහාරස්ථානයේ පිහිටි සමන් දේව ප්‍රතිමාව අබියස ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් එකව විශේෂ දේව පූජාවක්ද පැවැත්වුවා.

+++++++++++++++++++++

(07.02.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 807ක් සුවය ලබා අද (07) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ, අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63,000 සීමාව ඉක්මවා ගියා.

මේ වනවිට වාර්තාවන සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 63,401 ක් ලෙසයි.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4824 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *