දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා

*********************************************

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතාවට සංගරීගෙන් චෝදනා

(06.02.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව දියත් කර ඇති පා ගමන අද (06) 4 වන දිනට වව්නියාව බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ වුණා.

පසුගිය 3 වනදා පොතුවිල් සිට ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය හෙට (07) යාපනය – පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වීමට නියමිතයි.

මේ අතර උතුර සහ නැගෙනහිර පළාත්වල සිදු කරන මෙම විරෝධතාවලට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරි සිය විරෝධය පළ කර සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් සිදුකරන මෙම උද්ඝෝෂණ හරහා තවදුරටත් දෙමළ වැසියන් රැවටීමකට ලක්වන බවයි.

එම විරෝධතා පෙළපාලියට පාදක වී ඇති යුද්ධයේදී භාරවූ සහ අතුරුදන්වූවන්ට කුමක් වූවාද යන ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට දෙමළ ජාතික සන්ධානයට පසුගිය ආණ්ඩු සමයේ අවශ්‍ය තරම් අවස්ථාව තිබූ බවද ආනන්ද සංගරි පෙන්වා දෙනවා.

එසේ තිබියදී ඊට විසඳුම් ලබා නොදී තවදුරටත් දෙමළ ජනතාව රැවටීමට ලක් කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

***************************************

(06.02.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ඩොට් එල්.කේ. (.lk) ඩොමේන් නාමය යටතේ ලියාපදිංචි වී ඇති මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසද සේනානායක මහතා ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශේෂිත දින ඉලක්ක කරගනිමින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවන බවයි.

නිදහස් දින ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති අතර, ගූගල් ඩොට් එල්කේ (google.lk) වෙබ් අඩවියට පිවිසීමේදී වතු කම්කරුවන්ට රුපියල් දහසක (1000) වැටුප් ලබාදෙන ලෙසට දැක්වෙන බැනරයක්ද දර්ශනය වනවා.

මේ වනවිට එය යථාතත්වයට පත්කර ඇති අතර, තවත් අංශ කිහිපයක කටයුතු යථාතත්වයට පත් කරමින් සිටින බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිට මහතා සඳහන් කළේ ෴

(06.02.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට එල්.කේ. ඩොමේන් නාමය සහිත වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටීම මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බව එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය ප්‍රකාශ කළා.

එහි ඩොමෙයින් රෙජිස්ට්‍රාර් මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ප්‍රකාශ කළේ මෙරට වෙබ් අඩවි 10 කට පමණ අද (06) අලුයම් කාලයේ ඇතිවූ මෙම සිද්ධියෙන් බලපෑම් එල්ලවූ බවයි.

මෙම බිඳ වැටීම බාහිරින් ඇති කළ යම් වෙනසක් හේතුවෙන් සිදුව ඇති නමුත් ඊට හේතුව තවමත් සොයාගැනීමට හැකිවී නැහැ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට වෙබ් අඩවි 10 කට පමණ මෙලෙස බලපෑම් එල්ලවූ අතර, ගූගල් ඩොට් එල් කේ (google.lk) වෙබ් අඩවියට පිවිසීමේදී දැක්වෙන බැනරය ද වෙනස් කර තිබුණා.

එහි අන්තර්ගත වී තිබුණේ වතු කම්කරුවන්ට රුපියල් දහසක (1000) දෛනික වැටුපක් ලබාදිය යුතු බවටයි.

කෙසේ වෙතත්, අද (06) සිදුවූ බිද වැටීම සයිබර් ප්‍රහාරයක් ද යන්න මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බවයි එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සඳහන් කළේ ෴

***************************************

(06.02.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ලාදුරු රෝගය යළි මෙරට තුළ හිස එසවීමේ තත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ගතවූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

ලෙප්රොසි හෙවත් ලාදුරු සැළකෙන්නේ ලෝකයේ පැරණිතම බෝවන රෝගය ලෙසයි.

බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හරහා පැතිර යන ලාදුරු රෝගය වැළඳුණු මෙරට පළමු රෝගියා වාර්තාවුණේ වර්ෂ 1708 දී බස්නාහිර පළාතෙන්. මේ වනවිට ලාදුරු මෙරටින් තුරන්ව ඇති බවට මත පළවුණත් එහි සත්‍යතාවක් නැහැ.

ඒ පිළිබඳව ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මේ වනවිට ලාදුරු රෝගය යළිත් හිස ඔසවා ඇති බවයි.

ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ ලෙස නාසය අවහිරවීම, කට හඬ වෙනස්වීම, නිතර නාසයෙන් දියර ගැලීම සහ නාසයේ පටක ඉදිමීම හඳුනාගත හැකියි.

කිවිසුමකින් පිටවන ශ්‍රාවයක් සම මත ස්පර්ශ වීමෙන් වැළඳෙන ලාදුරු රෝගය අවසන් වන්නේ ප්‍රබල ස්නායු දුර්වලවීමකට ගොදුරු කරමින්.

2009 වසරේ සිට යළිත් ලාදුරු රෝගය මෙරට තුළ යම් වර්ධනයක් පෙන්නුම් කිරීම සුළු කොට තැකිය හැකි තත්වයක් නොවේ.

ලාදුරු යනු තවදුරටත් අත්පාවල ඇඟිලි අහිමිවන, ප්‍රතිකාරයක් නොමැති රෝගයක් නොවේ.

එපමණක් නොව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙකුගෙන් රෝගය බෝවීමේ අවදානමක් නැති බවත් අප සිහි තබාගත යුතුයි.

***************************************

(06.02.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට විකිණීම නතර කිරීමේ ගෞරවය ලැබිය යුත්තේ වෘත්තිය සමිතිවලට මිස ආණ්ඩුවට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මේ අතර වරාය ගැටලුව සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළකළා.

***************************************

(06.02.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව නව නිර්මාණකරුවන්ගෙන් පිරුණු රටක් බවට කිසිදු විවාදයක් නැහැ.

ගාල්ලෙන් ලැබුණු ඊට තවත් කදිම උදාහරණයක් මේ. මේ ඉන්නේ ගාල්ල කනම්පිටිය පෙදෙසේ පදිංචි හාරිස් හුමාම් මහතා. ඔබ මේ දකින්නේ ඉවතලන දැව කැබලිවලට ජීවය දෙමින් ඔහුගේ දෑතින් නිර්මාණය වූ විස්මිත නිර්මාණ කිහිපයක්. ලී මඩුවලින් ඉවත දමන ලී කැබලි සහ පොල් සහ කිතුල් ලී උපයෝගී කරගෙන විවිධ භාණ්ඩ සකසන්නට හාරිස් මහතාට ඇත්තේ අපූරු හැකියාවක්.

2004 වසරේ සුළුවෙන් ඇරඹි කුඩා කම්හලේ මේ වනවිට නිපදවා ඇති නිර්මාණ රාශියක්. තමන්ගේ නිර්මාණ සැකසීමට අවශ්‍ය උපකරණත් හාරිස් මහතා විසින්ම සකස්කර ගැනීම විශේෂත්වයක්.

සංචාරක පාරාදීසයක් වූ ගාල්ල නගරයේද හාරිස්ගේ නිර්මාණවලටත් විදෙස් සංචාරකයින්ගෙන් ලැබී ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

චීනයේ බීජින් නුවර පැවති කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය වෙනුවෙන් අඛණ්ඩව සිව් (4) වසරක් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට හාරිස් මහතා සමත් වුවද මෙරට පැවැත්වෙන ප්‍රදර්ශන තරගවලට සහභාගීවීමට ඉඩකඩ ඇහිරීම පිළිබඳව උපන් වේදනාව වචනවලට පෙරළුවේ මෙලෙසින්.

මෙවැනි නව නිර්මාණකරුවන්ගේ දෑත් මෙන්ම හිතද ශක්තිමත් කරමින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජය ගන්නට ඔවුන්ට අවැසි දේ සපයා දීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද?

***************************************

(06.02.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ගල්ගමුව – කුඩානිතලව වැව අසළ දී ගවයන් බැදීමට ගිය අවස්ථාවේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි කුඩාගල වැව ඇහැටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනවසර විදුලි රැහැන අදින ලද පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(06.02.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පතිරණගේ සම්පත් තෙන්නකෝන්’ හෙවත් ‘ගොනා කෝවිලේ රාජා’ගේ ප්‍රධාන ගෝලයෙකු බොරලැස්ගමුව – නීලම්මහර – ගල්වල පාර ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව 39 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කේරළ ගංජා කිලෝ 4 ක් සහ මුදලින් රුපියල් 60,000 ක් ද සොයා ගැනුනා.

මිනුවන්ගොඩ – බල්ලපාන ප්‍රදේශයේදී පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ‘පතිරණගේ සම්පත් තෙන්නකෝන්’ හෙවත් ‘ගොනා කෝවිලේ රාජා’ නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය වසරේ ජූනි මස 6 වනදායි ෴

***************************************

(06.02.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දැරියක් අපහරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

අවුරුදු 15 යි මාස 10 ක් වයසැති දැරියක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සූරියපුර පොලිසියට පසුගිය වසරේ දෙසැම්බර් මස 2 වනදා ලැබුනු පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදුකර ඇති අතර එහිදී සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථිර ලිපිනයක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් කට්ටඩියෙකු ලෙසට කටයුතු කරන බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.

අදාළ කට්ටඩියා විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් තම වෘත්තිය සිදුකරගෙන ගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ ශාන්ති කර්මයකට පැමිණි අවස්ථාවේදී මොහු එම දැරිය සමඟ සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙන බව සඳහන්.

පසුව දැරිය රැගෙන අදාළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

දැරියගේ මව මේ සම්බන්ධයෙන් කන්තලේ සූරියපුර පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තම ස්වාමිපුරුෂයාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ අදාළ දැරිය අතුරුදන් වී ඇති බව පවසමින්.

දැරියගේ මව සහ පියා වෙන් වෙන්ව ජීවත්වන බවටයි පොලීසිය සඳහන් කළේ.

දැරියගේ මවගේ පැමිණිල්ල මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකාර කට්ටඩියාගේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

වල් කට්ටඩියා

‘සුබසිංහ ආරච්චිගේ ශ්‍රී නමින්ද කුමාර’ නම් සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 859 1195 අංකයෙන් සූරියපුර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ 026 223 4722 අංකයෙන් සූරියපුර පොලිස් ස්ථානයට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ ෴

***************************************

(06.02.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ඉගෙනීම සඳහා වයස අභියෝගයක් නොවන බව ආදර්ශයෙන් තහවුරු කළ 95 හැවිරිදි මිත්තනියක් පිළිබඳව තොරතුරු නාවලපිටිය ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

ලීලාවති ඇස්ලින් ධර්මරත්න නැමති ඇය මෙරට වයසින් වැඩිම විභාග අපේක්ෂිකාවයි.

ප්‍රථමයෙන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයට එක්වූ ඇය පසුව නොතාරිස්වරියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය අද මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධිය වෙනුවෙන් පරීක්ෂණයට මුහුණදීම සඳහායි.

මෙවැනි වයසකදී විභාගයට මුහුණදුන් අදාළ මිත්තනිය ප්‍රකාශ කළේ විභාගය සමත් වුවහොත් කැළණිය විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධි පරීක්ෂණයටද පෙනී සිටින බවයි. අධිෂ්ඨාණය පවතින්නේ නම් කළ නොහැක්කක් නොමැති බවද ඇය කියා සිටියා.

+++++++++++

***************************************

(06.02.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කුමන විවේචන පැවතියද තමන් කටයුතු කරන්නේ තමන්ගේම ක්‍රමවේදයකට අනුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

දැරණියගල – දික්වැල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ අද (06) පැවති ගම සමඟ පිළිසඳර නව (9) වන අදියරට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමන් ජනාධිපති ධුරයට පත්වූයේ මාධ්‍ය සංදර්ශනවලින් නොව රට වෙනුවෙන් සේවය කර බවයි.

වැඩසටහනට එක්ව සිටි ජනතාව යොමු කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

***************************************

Sirasa Lakshapathi Shukra Munawwar in School – මම ආපහු O/L ලියනවා …ෂුක්රා මුනව්වර් සිසුවිය (02.02.2021)

https://www.youtube.com/watch?v=yXCRYmxrGdc

***************************************

(06.02.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ටයිල් ඇතුලු නාන කාමර උපාංග ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයන් තාවකාලිකව අත්හිටවනු ලැබුවේ දේශීය ටයිල් ව්‍යවසායකයින්ගේ ඉල්ලීම සළකා බලමින් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා.

අදාළ සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා පසුගිය තුන්වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර, ඊට පසුදින එය ක්‍රියාත්මක වීම අත්හිටුවීමටයි ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ ෴

***************************************

(06.02.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල නගරයට සහ පෞරාණික ජල බුබුළු තුනකට (3) ජලය සපයන පීල්ලකන්ද රක්ෂිතයේ සිදුකළ නීතිවිරෝධී පස් කැපීමක් සම්බන්ධයෙන් සොයාබැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න ඇතුලු පිරිසක් අද (06) එහි පැමිණියා.

එම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුද එක්ව සිටි අතර, ඔවුන් එහි පැමිණෙන විටත් බොරළු කපා තිබුණා.

මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දුරකථනය ඔස්සේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමතා අදාළ ගැටළුව පිළිබඳව සාකච්ඡා කළා.

පසුව එම ස්ථානයට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද පැමිණි අතර, ඔහු සඳහන් කළේ මෙම බොරළු කැපීම ගැසට් පත්‍රයක් මගින් සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් කුරුණෑගල අද (06) පැවති ජන හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ බොරළු කැපීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇති අතර, එය දේශපාලන වුවමනාවක් සඳහා ඇතමුන් භාවිත කරමින් සිටින බවයි ෴

***************************************

(06.02.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණයට සිදුකළ බලපෑම් සහ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

***************************************

(06.02.2021 – 21:43 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර ගැනීමට ඉඩම් ලබා දිමේදී මහා පරිමාණ වංචාවක් සිදුව තිබෙන බව ‘හිරු සී.අයි.ඒ.’ වෙත එම ප්‍රදේශයේ ජනතාව තොරතුරක් ලබා දුන්නා.

ඒ අනුව අප පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

මේ 2016 වසරේදී හිඟුරක්ගොඩ ශ්‍රී බුද්ධසෝම නාහිමි ගම නමින් ස්ථාපිත කර ඇති ආදර්ශ ගම්මානයක්.

ගම් උදාව වැඩසටහන යටතේ මෙම ඉඩම් ජනතාවට ලබා දී ඇති බව පෙන්වුවද, සැබවින්ම මෙහි ඉඩම් ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හිතවතුන්ටයි.

@@@@@@@@@@@@@

(06.02.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1113 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 62,594 ක්.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 67,850 ක් වාර්තාවී ඇති අතර ඉන් 4913 ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 343 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 343 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සම්සත ආසාදිතයන් සංඛ්‍යාව 68,193 ක් ෴

++++++++++++++++++

(06.02.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මනාලයා ඇතුලු 33 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම මංගල උත්සවයට එක්වූ 139 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.

අම්බලන්ගොඩ පී.එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ පහ (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටද කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ තවත් සිසුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

දරුවාගේ මවට ද කොරෝනා වැළඳී ඇති අතර, ඇයට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව ලැබෙනතෙක් නොසිට දරුවා පාසලට එවා ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 49 කින් අඩුවී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ආසාදිතයන් 14,538 දෙනෙකු කොළඹ නගරය තුළින් වාර්තාවී ඇති බවයි.

මේ අතර බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අද සිට දැඩි සීමාවන්ට යටත්ව රැඳවියෙකුගේ සමීපතම ඥාතියෙකුට අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අතර අද (06) දිනයේදීත් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 343 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 68,193 ක් ලෙසයි.

ගම්පහ පොදු වෙළඳ සංකීර්ණයේ අද (06) සිදුකළ අහඹු ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමුණා.

මෙලෙස රෝගීන් වාර්තාවුණේ වෙළඳසැලේ සිටි පුද්ගලයින් 58 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන සිදුකළ පරීක්ෂණවලදියි.

ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 383 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68,576 ක් දක්වා ඉහළ යනවා ෴

+++++++++++++++++++++

(06.02.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

අද (06) රාත්‍රී 08:30 වන විට කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 160,148 දෙනෙකුට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

අද (06) දිනය තුල පමණක් එන්නත ලබාදී ඇති සංඛ්‍යාව 3838 ක්.

ශ්‍රී ලංකාව තුල කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 29 වනදායි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 8 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 351 ක්.

මේවන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 68,576 ක් වාර්තාවී ඇති අතර ඉන් 5631 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62,594 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *