රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

*********************************************

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

(06.02.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක වන මියුරි සමරසිංහ මහත්මිය අද (06) වත්තල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණා.

කලක් පිලිකා රෝගයකින් පීඩා විදි ඇය මියයන විට 81 වන වියේ පසුවුණා.

1939 මාර්තු මස 15 වනදා මොරටුව ප්‍රදේශයේදී උපත ලද ඇය ගුවන් විදුලියේ මාසික රැඟුම සංගීත ප්‍රසංගයෙන් මුල්වරට සිය රංගන ජීවිතයට අත්පොත් තැබුවා.

මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් සිනමාවට අවතීර්ණ වූ ඇය මඩොල් දූව, සාරා, යස ඉසුරු, විරාගය, යහළු යෙහෙළි, යුගාන්තය, මංගල තෑග්ග, යුවතිපති, මාරුතය සහ භව දුක ආදි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.

වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ මියුරි සමරසිංහයන් මෑත කාලයේදී පත්තිනි සහ ඝරසරප වැනි චිත්‍රපටවලට ද සිය රංගනය මුසු කර තිබෙනවා.

බන්දුල විතානගේ මහතා නිර්මාණය කළ එරබඳු මල් තුළින් ටෙලි නාට්‍ය සඳහා පිවිසි ඇය නෑදෑයෝ, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ, ගංගා සහ නිශ්ශංක සහ ඉර පාය වැනි ටෙලි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දුන්නා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.

+++++++++++++

මියුරු සිනහව සඟවාගෙන මියුරි අක්කා දිවි රඟ මඬලින් සමුගනී …………

ප්‍රවීණ වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වන මියුරි සමරසිංහ අද දින සිය ජීවිත ගමනට සමුදුන්නාය.

කලක් පිළිකා රෝගය සමග ජීවිතය වෙනුවෙන් සටන් වදිමින් සිටි ඇය, ඉතා වේදනාත්මකව තම අසනීප තත්ත්වය පිළිබඳව ඉකුත් කාලයේ අදහස් දක්වා තිබූ අයුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ දුටිමි.

ගුවන් විදුලියේ “මාසික රැඟුම” සංගීත ප්‍රසංගයේ මුල්වරට රැඟුම් පෑ ඇය “මිරිඟුව” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වූවාය. ඉන් මතු “මඩොල් දූව”, “සාරා”, “යස ඉසුරු”, “විරාගය”, “යහළු යෙහෙළි”, “යුගාන්තය”, “මංගල තෑග්ග”, “යුවතිපති”, “මාරුතය” සහ “භව දුක” ආදී චිත්‍රපට රැසක චරිත මැවුවාය.

වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ මියුරි සමරසිංහයන් මෑතයුගයේ “පත්තිනි” සහ “ඝරසරප” වැනි චිත්‍රපටවල රංගනය කළාය. බන්දුල විතානගේ නිර්මාණය කළ “එරබදු මල්” තුළින් පුංචි තිරයට ප්‍රවිශ්ට වූ ඇය “නෑදෑයෝ”, “දූ දරුවෝ”, “ගිරය”, “යස් බොස්” සහ “අසල්වැසියෝ” ආදී ජනකාන්ත නාට්‍ය රැසක රැඟුම් භාග්‍ය ලද ඇය රාජ්‍ය නාට්‍ය සම්මානලාභිනියක් ලෙස රංගනයෙහි ප්‍රකටය.

මා ඉතා හිතවත්ව ඇසුරු කළ නිහතමානී කලාකරිණියක් වන ඇයගේ මවිසින් ගනු ලැබූ සේයා සටහන් කිහිපයක් ඇයට මෙලෙසින් උපහාරයක් සේ පළ කරමි. ඉකුත් කාලයේ ධර්මශක්ති සමාජ සේවා පදනම මගින් ප්‍රදානය කළ ගෞරව සම්මාන ප්‍රදානයකදී මා සමගින් ඇය ද සම්මානිත වූ අතර එදින ගත් ඇගේ සේයාරූද මේ සමග පළ කරමි.

ඇයට නිවන් සුව වැඩි ඈතක නොවේවායි පතන අතරම ඇය වෙනුවෙන් ඇගේ පවුලේ ඥාති හිතවතුන් වෙන් මගේ සාතිශය සංවේගය පළ කරමි !!!

FB : Dayan Witharana

***************************************

(06.02.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යකරණය යටතේ එළිමහන් ප්‍රසංග පැවැත්වීමටද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර ලබාදෙන ලෙස කලාකරුවන් සහ ප්‍රසංග සංවිධායකයන් ඉල්ලීමක් කරනවා.

රටේ සෑම අංශයක්ම විවෘතව පවතින තත්වයක් තුළ ප්‍රසංග වේදිකාවට පමණක් වාරණයක් පනවා ඇති බවයි ප්‍රසංග සම්බන්ධීකාරක, කලා හා සංස්කෘතික කටයුතු සංගමයේ ලේකම් තිස්ස ලියනගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම, ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති ෆ්ලෑෂ් බෑක් නායක, රොෂාන් ප්‍රනාන්දු මහතා ද කොරෝනා වසංගත තත්වයත් සමඟ කලාකරුවන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

මේ අතර සංගීත කණ්ඩායම් 120 කගෙන් සමන්විත සංගීත කණ්ඩායම් සංසදයේ සභාපති සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය මහතා ද ඉල්ලා සිටියේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසයි.

ගායක ගායිකා සංසදයේ සභාපති ගායන ශිල්පී විශාරද ජානක වික්‍රමසිංහ මහතා ද හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් සඳහන් කළේ මෙම කර්මාන්තයෙන් යැපෙන කලාකරුවන් ඇතුළු පාර්ශවවල ජීවන තත්ත්වය පවත්වාගෙන යාම සඳහා රජය යම් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.

***************************************

(06.02.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 කට වැඩි ප්‍රමාණයක් සමඟ දෙදෙනෙකු ඉරට්ටපෙරියකුලම් – අවුසදපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 220 ක් පොලීසිය විසින් ඊයේ (05) සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙමටගොඩ සහ මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන්.

***************************************

(06.02.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ ඒකකයේ නිලධාරීන් බව හඟවමින් විමර්ශන කටයුත්තක් සඳහා පැමිණියේ යැයි පවසා ඉකුත් (03) වනදා පැමිණි පිරිසක් නිවසක මුදල් කොල්ලයක් සිදුකර තිබෙනවා.

කටුගස්තොට පොලිස් වසමේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පුද්ගලයින් 4 දෙනෙකු එලේස පැමිණ එම කොල්ලය සිදුකර තිබුණා.

රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් එහිදී කොල්ලකා පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට එම සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ ආකාරයෙන් කොල්ලකරුවන් නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

යම් අවස්ථාවක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යැයි පැවසූවොත් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතිය ජනතාවට ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

***************************************

(06.02.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ ශ්‍රී සුබ්‍රමනියම් කෝවිලෙහි ගින්නක් හටගෙන තිබෙනවා.

වත්තල පොලීසිය සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවමේ රථ 4 ක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

කෝවිලෙහි මුළුතැන්ගෙයි ගින්න හටගෙන ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ ෴

***************************************

(06.02.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පාසල් ළමයින් අතර ජංගම දුරකථන භාවිතය සාමාන්‍යකරණයවීම නිසා දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය ප්‍රකාශ කළා.

ඇය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දරුවන්ගේ මොළයේ සෛලවලට සහ ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කර බවයි.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පාසල් ඉගෙනුම් කටයුතු ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීම නිසා පාසල් දරුවන් අතර ජංගම දුරකථන ජනප්‍රිය මෙවලමක් බවට පත්ව තිබෙනවා.

ඉගෙනුම් කටයුතු අවසන් වීමෙන් පසු ජංගම දුරකථනය දරුවන්ගෙන් ඈත් කර තැබීමට දෙමව්පියන් වග බලා ගත යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය කියා සිටියේ.

එමෙන්ම, දරුවන් අන්තර්ජාලය සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ඇය පෙන්වා දුන්නා ෴

***************************************

(06.02.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් ස්වාධීනව තීන්දු ගැනීමට මෙරටට හැකියාව පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ එහි සිදුකරන කැණීම් සඳහා වෙනත් ජාත්‍යන්තර ආයතනවල අවසරයක් අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම, හානියට පත්ව ඇති උතුරු – නැගෙනහිර පිහිටි පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සිදුකළ යුතුව ඇති බවද ඔහු සඳහන් කළා.

එම මාධ්‍ය හමුවට එක්වූ පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කළේ උතුරේ ඇතැම් දේශපාලනඥයින් එහි කැණීම් පිළිබදව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි.

මේ අතර, දඹදෙනිය රාජධානියට අයත් නාරම්මල – දම්පැලැස්ස – පීල්ලකන්ද රක්ෂිත ප්‍රදේශයේ අනවසර පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න ඇතුළු තවත් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (06) එම ස්ථානයට පැමිණියා.

ඉන් අනනතුරුව මේ සම්බන්ධයෙන් ඔවුන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන් අතර, එහිදී අමාත්‍යවරයා පීල්ලකන්ද පස් කැපීම නතර කිරීමට කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

(06.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආර්ථිකයක් ගොඩනැගීමකින් තොරව ජාතිකත්වය ගොඩනැගීමෙන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දැරණියගල – මාලිබොඩ – දික්ඇල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මේ වන විට පැවැත්වෙන ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින්.

***************************************

(06.02.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මෙරටට වැඩි විදේශ විනිමයක් ගෙන දෙන කුළු බඩු අතුරින් කරාබුනැටි සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

කෙසේ වෙතත්, නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට කරාබුනැටි ගොවීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

හාරිස්පත්තුව, පූජාපිටිය, අකුරණ, ගලගෙදර, පාතදුම්බර, යටිනුවර, උඩුනුවර සහ හතරලියද්ද යන ප්‍රදේශවල වැඩි වශයෙන් කරාබුනැටි වගාවන් සිදුකෙරෙන අතර, මිලක් නොමැතිවීම නිසා ඒවා අතහැර දැමීමට සිදුව ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

@@@@@@@@@@@@@@@

(06.02.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සතිපොළ, මත්ස්‍ය ලෑලි හා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අද (06) දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

නිරෝධායන පනතේ සඳහන් මුව ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නීති උල්ලංගණය කළ පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (07) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++++

(06.02.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සියළු දෙනා සීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (05) රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ පැමිණි එම පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා ෴

++++++++++++++++++

(06.02.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය ආරම්භයෙන් පසු මෙරටට ළඟා වූ පළමු කසකස්ථාන සංචාරකයින් පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (06) දිවයිනට පැමිණියා.

සංචාරකයින් ගෙන්වීමේ රජයේ වැඩපිළිවෙලට අනුව මෙලෙස පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 165 ක්.

කසකස්ථාන ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මෙම සංචාරකයින් නිරෝධායනය සඳහා පෞද්ගලික හෝටලයක් වෙත යොමු කර තිබෙනවා ෴

++++++++++++++++++++

(06.02.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මහියංගණය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලා දෙකක (2) සේවක සේවිකාවන් 284 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ දහසකට (1000) වැඩි පිරිසක් නිවෙස් තුළ නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මහියංගණය, හසලක, රිදීමාලියද්ද සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පිරිස් මෙලෙස නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳව මහියංගණය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත තොරතුරු වාර්තාකර තිබෙනවා.

එමඟින් ඉල්ලා ඇත්තේ දැනට පවතින තත්වය සැළකිල්ලට ගනිමින් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා හුදකලා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි.

(06.02.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ – හතරේ කණුව ප්‍රදේශයෙන් ඊයේ (05) කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ එම ප්‍රදේශයේ වෙළඳසැල් රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම වෙන්නප්පුව නගරයේ වෙළඳසැලක ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන් 28 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බවයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

වවුනියාව නගර සභාව විසින් පාලනය කරන එළවළු අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විෂබීජහරණයට ලක් කොට දෛනික කටයුතු සිදුකිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ අවස්ථාව සළසා දෙන ලෙසට ඉල්ලමින් එළවළු වෙළෙන්දන් සහ සැපයුම්කරුවන් පිරිසක් අද (06) උදෑසන විරෝධතාවක නිරතවුණා.

ඒ, වවුනියාව – හොරොව්පතාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ෴

(06.02.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පවත්වාගෙන යන සැමන් නිෂ්පාදන කර්මාන්තශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

මීට අමතරව හැටන් – පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 4 ක දරුවෙකුට සහ කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඔවුන් දෙදෙනා පසුගිය 22 වනදා බහරේනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අය බව සඳහන්.

මේ අතර ඊයේ (05) දිනයේදීත් වැඩිම ආසාදිතයින් කොළඹින්.

ඊයේ (05) දිනයේදීත් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 158 ක්.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 105 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 94 ක් වාර්තාවී තිබෙනවා ෴

(06.02.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පවතින වසංගත තත්වය හමුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රමය වෙනුවට පාසල් පාදක තක්සේරු ක්‍රමයක් හරහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඊට අදාළ දැනුවත් කිරීම් ද සිදුකර ඇති බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *