කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා

කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා

*********************************************

කිඹුලාඇළේ ගුණා එක්ක ඉන්දියාවෙදි කොටු වුණු අත් දෙකෙන්ම වෙඩි තියන LTTE යේ බුම්මා

(06.02.2021 – mawbima.lk)

මෙරට රැඳෙමින් තම තමන් ජීවත් වූ ප්‍රදේශවල සිය අණසක පතුරුවාලමින් මත්ද්‍රව්‍ය ජාවාරම හා මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නියැළෙමින් සිටි පාතාල කෙරුමන් රැසක්ම මේ වන විට සිටින්නේ වළපල්ලේය. ඒ පාතාල කල්ලි අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් මෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවලින්ය.

මේ බව මැනවින් වටහාගත් මෙරට එවැනි අපරාධවල යෙදුණු පාතාල නායකයන් පොලිසිය ඇතුළු සෙසු ආරක්ෂක අංශවලින් ජීවිතය බේරා ගැනීම සඳහා හොර රහසේ විදේශ රටවලට පැන ගියේ ඔවුන් පසුපස පොලිසිය ඉව අල්ලද්දීය.

මුහුදු මාර්ගයෙන් මෙන්ම ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් මෙලෙස පැන ගිය ඔවුහු විදේශ රටවල සිටින නොයෙකුත් ජාවාරම්කරුවන් හා සම්බන්ධ වෙමින් මෙරටට මත්ද්‍රව්‍ය එවූහ. එම රටවල සිට සිය ගෝලබාලයන් මෙහෙයවමින් මිනිස් ඝාතන සිදුකළහ. තමන්ට විරුද්ධව සිටින තවත් පාතාලයන් වෙඩි තබා ඝාතනය කළේය. මෙය පොලිසියට මෙන්ම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන රජයකටද මහත් හිසරදයක් විය.

ඩුබායි රටේ සිට මෙරට මිනිස් ඝාතන හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ‘මාකඳුරේ මධුෂ්’ හා ඉන්දියාවේදී මියගිය බව කියන ‘අංගොඩ ලොක්කා’ ද මේ අතර මුල්තැනක් ගත්තේය.

දිගින් දිගටම මෙවන් අපරාධ සිදුකරමින් විදේශ ගතව සිටින මෙවැනි පුද්ගලයන් කොටු කරගෙන ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට යුහුසුලු ක්‍රියා කළ යුතු බව රජයට වැටහුණේ මෙම පිරිස් රටට මහත් හිසරදයක් වූ නිසාමය. මේ අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් යවමින් දැනුම් දුන්නේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කොටුකරගැනීම සඳහා මෙවන් අයට ‘රතු වරෙන්තු’ නිකුත් කර ගැනීමට ඔවුන්ට ඇති විවෘත වරෙන්තු ඇතුළත් විස්තර පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත යොමු කරන ලෙසය. ඒ අනුව බස්නාහිර පළාත තුළ අපරාධ සිදුකළ අපරාධ කල්ලි සාමාජිකයන් 25 දෙනකු විදේශගතව සිටින බවත් හෙළි විය.

ඒ අනුව විදේශගතව සිටින මෙම පිරිස් ජාත්‍යන්තර පොලිස් ඒකකවල සහායෙන් කොටුකර ගැනීම සඳහා විවෘත වරෙන්තු හරහා රතු නිවේදන ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ශාඛාව කටයුතු කළේය.

මේ අනුව මෙරට තුළදී විවිධ අපරාධ සිදුකර විදේශීය රටවලට පලාගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව මේ වන විටත් රතු නිවේදන නිකුත් කර ඇති අතර ජාත්‍යන්තර පොලිසිය හරහා මෙම පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයන් 40 දෙනකුට එරෙහිව එල්ල වී ඇත්තේ මෙරටදී සිදුකළ මූල්‍ය අපරාධ හා විවිධ වංචාවන්ය. එමෙන්ම රතු නිවේදන නිකුත් කර ඇති 24 දෙනකු මෙරට තුළ සිදුවූ වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වේ.

‘උදර්පණ නීතිය’ මෙන්ම අන්තර්ජාතික රටවල් අතර ඇති අන්‍යෝන්‍ය ගිවිසුම් මාර්ගයෙන් ද රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්ද මෙම පුද්ගලයන් මෙරටට ගෙන්වීම සිදුකරනු ඇත.

ඉකුත් දිනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි පොලිසියට මෙරට පාතාල කල්ලි ප්‍රබලයකු වූ ‘ධර්මසිරි පෙරේරා’ නොහොත් ‘ඇල්ටෝ ධර්මේ’ කොටුවූයේද ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනයක් නිසාය. මෙරට මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ‘ධර්මේ’ ඩුබායි රටට පැන ගියේ පොලිස් අත්අඩංගුවෙන් බේරීම සඳහාය. ඒත් ඒ අතර ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් මඟින් රතු නිවේදනයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් විය.

මෙහි ආසන්නම සිදුවීම වාර්තා වූයේ පසුගිය 1 වැනිදාය. තමිල්නාඩුව කේන්ද්‍ර කරගෙන ජීවත්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා අපරාධ රැසකට අවශ්‍ය පුද්ගලයකු වූ ‘සින්නයියා ගුණසේකර’ හෙවත් ‘කිඹුලාඇළේ ගුණා’ ඉන්දීය පොලිසියට කොටුවන්නේ මෙරටින් නිකුත් කර තිබූ ‘රතු නිවේදනයක්’ නිසාය.

කිඹුලාඇළේ ගුණා මෙරටින් පලාගියේ මීට වසර 22 කට පෙරය. 1999 දෙසැම්බර් මාසයේදී කොළඹ නගර සභා පිටියේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ රැලියකට සහභාගි වෙමින් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉලක්ක කොටගෙන මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව කිඹුලාඇළේ ගුණාටද චෝදනා එල්ල වී තිබිණි. ඒ මරාගෙන මැරෙන කොටි සාමාජිකයාට නවාතැන් දීම හේතුකොට ගෙනය. රහස් පොලිසිය මොහු සොයන්නට වෙහෙසෙද්දී මුහුදු මාර්ගයෙන් ඔහු ඉන්දියාවට පැන ගියේය.

මෙම සිදුවීමට අමතරව තවත් චෝදනා රැසක් කිඹුලාඇළේ ගුණාට එල්ල වී තිබිණි. මත්ද්‍රව්‍ය ජාවාරම ඉන් එකකි. ඉන්දියාවට පැනගොස් එරට සිට මහා පරිමාණයෙන් කේරළ ගංජා එවීම මොහු දිගින් දිගටම සිදු කළේය. එහෙත් මොහු පොලිසියට කොටුකර ගැනීම සඳහා මෙරට ‘ඉන්ටර්පෝල්’ ශාඛාව රතු නිවේදනයක්ද ලබාගත්තේය. ඒ 2008 වසරේදී බස්නාහිර පළාත් ඇමැතිවරයකු වූ සුනිල් මෙන්ඩිස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන සිටියදී ඉන් පැන යෑමත් සමඟය.

දෙමළ පාතාලයේ කෙරුමකු වූ කිඹුලාඇළේ ගුණා මෝදර කිඹුලාඇළ ප්‍රදේශයේ සිය අණසක පතුරවමින් ජීවත් වූ අයෙකි. ඉන්දියාවට පැන ගොස් මත්ද්‍රව්‍ය ජාලයටද සම්බන්ධ වෙමින් වසර 22 ක් පුරා උපයාගත් කෝටි ගණනක මුදලින් සුපිරි ජීවිතයක් ගත කළ අතර මෙරට ජීවත් වූ බොහොමයක් දෙමළ පාතාල කෙරුමෝ ඉන්දියාවට පැනගොස් මොහුගේ සෙවණ ලබමින් ජීවත් වූහ.

මොහු ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයන් සමඟද මෙරට සිටි එල්ටීටීඊ පිරිස් සමඟද සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙකි. තමිල්නාඩුවේ කුලී පදනම මත වාහන ලබාදීමේ ‘කැබ් සර්විස්’ එකක් කරගෙන ගිය ගුණා ඉන්දීය පොලිසියට කොටු වන්නේ සිය පුතා හා ‘කෙනඩි’ හෙවත් ‘බුම්මා’ යන පුද්ගලයන් සමඟ දිල්ලියේ සිට චෙන්නායි බලා යෑමට සිටියදීය. ඒ ඉන්දීය පොලිසියට ලැබූ ඔත්තුවක් මතය.

මෙම තිදෙනා (3) ගෙන් කිඹුලාඇළේ ගුණා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබීම නිසා මොහු ඇතුළු සෙසු දෙදෙනා (2) ගැනද ඉන්දීය පොලිසිය ශ්‍රී ලංකා ඉන්ටර්පෝල් ශාඛාව දැනුවත් කරන්නට විය.

ඒ දැනුවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසිය හෙළිකරගත්තේ ‘කෙනඩි’ නොහොත් ‘බුම්මා’ ද පොලිසියට අවශ්‍යව සිටි ප්‍රබල සැකකරුවකු බවය. ඒ මිනිස් ඝාතන කිහිපයක් සිදුකිරීමේ චෝදනා මතය. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර ශාඛාව එරට පොලිසියට දැනුම්දුන්නේ ‘ගුණා’ පමණක් නොව බුම්මා ද ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යම සැකකරුවකු බවය.

‘ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු’ නොහොත් ‘ක්‍රිෂන්’ ඉපැදුණේ හැදුණේ වැඩුණේ කොළඹ ජම්පටා වීදියේය. මොහුගේ පියා සිංහල ජාතිකයෙක් වන අතර මව ද්‍රවිඩ කාන්තාවකි. කෙනඩිගේ පියා කොළඹ මාළු කඩේ ලෑල්ලක මාළු වෙළෙඳාමේ නිරත වූ අතර ඔහුට බාල සහෝදරියන් දෙදෙනකු (2) හා බාල සොහොයුරකු (1) විය.

එතරම් දුරට අධ්‍යාපනය නොලැබූ කෙනඩිව බොහෝ අය ඇමැතුවේ ක්‍රිෂන් යන නමිනි. තරුණ වියේදීම පියාගේ අඩිපාරේ යමින් පියාගේ මාළු ලෑල්ල අසල රැඳුණු ඔහුට මිතුරකු මුණගැසිණි. ඔහු කිලිනොච්චියේ පදිංචිකරුවකු විය. ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ කෙනඩි රැකියාවක්ද සොයා ගැනීමේ අරමුණින් කිලිනොච්චියට ගියද අවසානයේ ඔහුට සිදුවූයේ එල්ටීටීඊය හා එක් වීමටය.

එල්ටීටීයේදී ඔහු අවි පුහුණුව උපරිමයෙන් ලබාගත්තේය. හැම ගිනි අවියක්ම ඔහුගේ අතට හුරු විය. අත් දෙකින්ම වෙඩි තැබීමට ඔහු දක්ෂ විය. ඒ වන විට හමුදාව හා කොටි ත්‍රස්තයන් අතර දරුණු සටන් පැවැති අතර මොහු හමුදාවට එරෙහිව සටන් වැදිණි. මොහුගේ දක්ෂකම් අගය කළ වේළුපිල්ලේ ප්‍රභාකරන් පසුව මොහු ‘චාල්ස් ඇන්තනී’ බළකායට බඳවා ගත්තේය. ‘එලිලෝන්’ නමින් එම බළකාය තුළ මොහු හඳුන්වනු ලැබූ අතර එම බළකායේ ප්‍රධාන අරමුණ වූයේ කොටි නායකයාට ආරක්ෂාව සැපයීමය.

චාල්ස් ඇන්තනි බළකායට එක්වූ ඔහු රජයේ හමුදාව සමඟ සටන් වැදී දෙතුන් වතාවක්ම තුවාල ලැබීය. ඒ රජයේ හමුදා විසින් එල්ල කළ කාලතුවක්කු ප්‍රහාර නිසාය.

මෙලෙස එල්ටීටීඊයේ අවසන් සටන්වලට පවා එක්වූ එලිලෝන් යටත් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යුද හමුදාවට භාරවිය. හමුදාවට භාරවීමෙන් පසු ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර කෙරිණි. වසර එකකුත් (1) මාස නවයක් (9) රඳවා ගැනීමේ නියෝග මත ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ඉන්පසු ඔහු බූස්ස කඳවුරට යොමු කරන අතර ‘කොස්ගොඩ සුජී’ නමැත්තා ඔහුට හඳුනාගන්නට ලැබෙන්නේ බූස්ස කඳවුරේ සිටියදීය.

කෙනඩි හා සුජී අතර දැඩි හිතවත්කමක් ඇතිවිය. ඉන් අනතුරුව යළි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන මොහු 2014 වසරේදී පුනරුත්ථාපනය නිමකොට යළි ජම්පටා වීදියට එන්නේ එහි මව හා සහෝදර සහෝදරියන් ජීවත්වන නිසාය.

එහෙත් ඒ වන විට ඇති වූ නොයෙකුත් ප්‍රශ්න නිසා කෙනඩිගේ මව හා සහෝදරයන් ජම්පටා වීදිය අතහැර මෝදර ප්‍රදේශයට ගොස් තිබිණි. පසුව කෙනඩිද මෝදර යන අතර ඔහු මවගෙන් විමසන්නේ මෝදරට පැමිණි හේතුන්ය.

“අනේ පුතේ… උන් අපේ පවුලම මරනවා කියනවා. මල්ලිව බේරගනින් පුතේ” කෙනඩිගේ මව එසේ පැවසීමත් සමඟ ඊට හේතු වූ කරුණු කාරණා තරුණ කෙනඩි පැහැදිලි කරගත්තේය. ඒ වන විට ජම්පටා වීදිය, මෝදර ආදී ප්‍රදේශයන් සිය අණසක පතුරවමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නේ ‘සෙල්වි’ නමැති කාන්තාවක්ය. ඇයට පොලිස් බලය හොඳින් තිබිණි. මේ නිසා ඇයට එරෙහිව කිසිවකු නැඟී සිටියේ නැත. ඇය ‘කුඩු සෙල්වි’ නමින් ප්‍රසිද්ධය. පුතුන් තිදෙනකු (3) ගේ මවක් වූ ඇය සිය සැමියාද සමඟ ජම්පටා වීදියේ රජ කළාය. ඒ නිසා සෙල්වි බලවත් වූවාය. දිනක් සෙල්විගේ පුතකු කෙනඩිගේ නැඟණියකට උසුළු විසුළු කරමින් අතකින්ද ඇද්දේය. මින් බියට පත් ඇය නිවෙසට ගොසින් මේ බව සිය මවටත් කෙනඩිටත් කීවේය. මෙය කෙනඩිට ඉහිලුම් නොදෙන්නක් විය. සෙල්විට පාඩමක් ඉගැන්විය යුතු යැයි කෙනඩි තීරණය කළේය. ඒ සඳහා ඔහුට ආයුධයක් තිබුණේ නැත. ඒ සඳහා ඉදිරිපත් වූයේ ‘පූකුඩුකන්නා’ය. ඒ අනුව 2015 සැප්තැම්බර් 12 වැනිදා බන්ධනාගාරයේ සිට පූකුඩුකන්නා විසින් පුද්ගලයකු අත එවනු ලබන ගිනිඅවියකින් කෙනඩි සෙල්විව මරා දමන්නේ මුළු ජම්පටා වීදියම දෙදරවමිනි.

සෙල්වි ඝාතනය වූ බව දැනගත් පූකුඩුකන්නා දැඩි සතුටට පත්වූ අතර ජම්පටා වීදියේ කුඩු ආරවුල ඇතිව තිබුණේද ඔහු හා සෙල්විත් සමඟය. ඊට පෙර සෙල්වි පූකුඩුකන්නාව පොලිසියට අල්ලා දෙන්නේ සිය පොලිස් බලයද පෙන්වමිනි. එදා පටන් පූකුඩුකන්නාද සිටියේ සෙල්විගෙන් එම පළිය ගැනීමේ අදහසිනි.

කිඹුලාඇළේ ගුණා හා පූකුඩුකන්නා අතරද ඥාති සබඳකමක් ඇත. කිඹුලාඇළේ ගුණාගේ සොහොයුරකු වන ‘පොඩි සුරේෂ්’ විවාහ වී සිටින්නේද පූකුඩුකන්නාගේ නැඟණියක් සමඟිනි. පොඩි සුරේෂ්ද දෙමළ පාතාලයේ ප්‍රබලයෙකි. ඔහුද ඉන්දියාවේ රැඳී සිටින්නෙකි.

සෙල්විට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු කෙනඩි යළි දකුණට පලායන අතර ඔහු යන්නේ ‘කොස්ගොඩ සුජී’ගේ රැකවරණය බලාපොරොත්තුවෙනි. ඒ වනවිට කොස්ගොඩ සුජීද විදේශ රටකට පලාගොස් සිටි අතර කෙනඩිගේ පැමිණීම ගැන දුරකථන මාර්ගයෙන් දැනගන්නා සුජී, කෙනඩි බලා කියා ගන්නා ලෙස පවසන්නේ ඔහුගේ තවත් ගෝලයකු වන ‘මයිකල්’ටය. ඔහු ඌරගස්මංසන්දියේ පදිංචිකරුවෙකි.

එතැන් පටන් මයිකල් සමඟ කාලය ගත කරන කෙනඩි ලවා තම වැඩකොටස කරගන්නට සැලසුම් කරන කොස්ගොඩ සුජී තමාට හිසරදයක් වූ පුද්ගලයකු මරා දමන්නට කෙනඩිට බාරදෙන්නේ මයිකල්ගෙන්ද උදවු ලබාගන්නා ලෙස කියමින්ය.

ඒ අනුව මයිකල් සමඟ බළපිටිය උසාවියට යන කෙනඩි උසාවිය අසලට වී සිටින්නේ නඩුවකට සහභාගි වීම සඳහා උසාවිය ඇතුළට ගිය මයිකල් නඩුව අවසන් කර පිටතට එන තුරුය. ඒ අතර කොස්ගොඩ සුජීගෙන් කෙනඩිට දුරකථන ඇමතුමක් ලැබිණි.

“බයික් එකකින් ‘සුමුදු’ කියලා එකෙක් එයි. එයා උඹට විස්තරේ කියාවි. ඌ මිනිහෙක් පෙන්නයි. උඹට ආයුදෙත් දෙයි. ඌ පෙන්නන එකාට ගහලා දාපන්. මම තව ටිකකින් උඹට කතා කරන්නම්.”

සුජීගේ ඇමතුම නිමවනවාත් සමඟ යතුරුපැදියකින් පැමිණි සුමුදු, කෙනඩිව හමුවන අතර ඔහු වෙඩි තැබීමට අවශ්‍ය පුද්ගලයා කෙනඩිට පෙන්වන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද කෙනඩි අත තබමිනි.

ඒ අනුව සුමුදු විසින් පෙන්වන ලද පුද්ගලයාට කෙනඩි විසින් වෙඩි තබන්නේ දෙවරක් නොසිතාය. එක් පුද්ගලයකුට වෙඩි වදිද්දී ඔහුත් සමඟ සිටි අනෙකා කෙනඩි දෙසට එද්දී ඔහුටද වෙඩි තබන කෙනඩි සුමුදු රැඳී සිටිය යතුරුපැදියට නැඟී පලායන්නට විය.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ ‘පියරත්න’ නමැති කුලියට මිනී මරන අයකු හා ඔහුගේ මිතුරකු වූ ‘චාමින්ද’ නමැත්තාය. පියරත්න බළපිටිය උසාවියට ආවේ ඔහුට එරෙහිව පැවැති නඩුවකට පෙනී සිටීමටය. ඊට සහභාගි වූ පියරත්න සිය මිතුරා සමඟ උසාවිය අසල වූ කඩයකට යන්නේ සිසිල් බීම බෝතලයක් බොන්නටය. වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ එතැනදීය.

ද්විත්ව ඝාතනය ගැන විමර්ශන ඇරැඹුවද තුවක්කුකරු සොයාගැනීමට කිසිදු පොලිසියකට හැකි වූයේ නැතත් වෙඩි තැබීම ගැන සී.සී.ටී.වී. කැමරා දර්ශන පොලිසිය සතුව තිබිණි. එහෙත් ඉන්ද තුවක්කුකරු හඳුනාගත නොහැකි විය.

ඉන් අනතුරුව කොස්ගොඩ සුජීගේ ඉල්ලීම මත කෙනඩි විසින් ඌරගස්මන් හන්දියේ, මීගස්පිටිය ප්‍රදේශයේදී ‘නන්දසිරි සමරසිංහ’ යන අයද වෙඩි තබා ඝාතනය කරන්නට වූ අතර ඒ සඳහා උපයෝගි කරගත්තේද පියරත්න හා චාමින්ද මරා දැමීමට යොදාගත් මයිකෝ පිස්තෝලයමය.

මෙම ඝාතනය පිළිබඳවද විමර්ශන ඇරැඹුණු අතර තුවක්කුකරු කවුදැයි සොයා ගැනීමට කිසිදු පොලිස් ඒකකයකට නොහැකි වූ අතර පොලිසිය අනාවරණය කරගත් එකම කාරණය වූයේ පියරත්න හා සගයාගේ ඝාතනත් නන්දසිරි ඝාතනයත් එකම තුවක්කුකරු විසින් එකම මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් උපයෝගි කරගෙන වෙඩි තබා ඇති බවය. ඒ සිද්ධිය වූ තැන්වල හා මියගිය වූවන්ගේ සිරුරු තුළ තිබූ උණ්ඩ ආධාරයෙනි.

මේ අතර මෙම මිනිස් ඝාතනත් සමඟ දකුණද කැලඹී ගියේය. දකුණේ පාතාලයද මෙයින් භීතියට පත්විය. මේ නාඳුනන තුවක්කුකරු කවුද යන්න කාගෙත් ප්‍රශ්නයත් විමතියක් විය. එහෙත් මියගිය වූවන්ගේ පැටිකිරිය ගැන දන්නා කියන අය පැවසූවේ විදේශගතව සිටින කොස්ගොඩ සුජී විසින් නාඳුනන තුවක්කුකරුවකු ලවා මෙම ඝාතන සිදුකර ඇති බවය.

මේ අතර බොහෝ අය තුවක්කුකරු හැඳින්වූයේ ‘දකුණු පාතාලයේ අබිරහස් වෙඩික්කරු’ ලෙසය. කුමන පොලිස් ඒකකයටවත් මොහු කොටුකර ගැනීමට නොහැකි විය. අවසානයේ මෙහි වගකීම බාරගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ය. ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනාවරණය කරගන්නේ මෙම අබිරහස් වෙඩික්කරු මහත පුද්ගලයකු බවත් ඔහු දෙමළ ජාතිකයකු බවත්ය. ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බවද නිලධාරීන් දැනගෙන තිබිණි.

ඒ අනුව විමර්ශන ඇරැඹූ එස්.ටී.එෆ්. බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ධර්මප්‍රිය මහතා ඇතුළු කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයකින් පසු කෙනඩි කොටුකරගත්තේ ගාල්ල බස් නැවතුමේ රැඳී සිටියදීය. ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයද තිබී සොයා ගැනිණි. පසුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කෙනඩි විසින් සිදුකරන ලද දකුණේ මිනිස් ඝාතන සියල්ල හෙළි වූ අතර එම ඝාතන කොස්ගොඩ සුජීගේ උපදෙස් මත සිදුවූ කළ බවද ඔහු නිලධාරීන්ට කීවේය. පසුව කෙනඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කෙරිණි. ඒ 2016 අප්‍රේල් හත්වැනිදා (07) ය.

මේ වනවිට කෙනඩිට තවත් නමක්ද පටබැඳී තිබිණි. ඒ ‘බුම්මා’ ලෙසිනි. දෙමළ පාතාලයේ බොහෝ අය කෙනඩි හැඳින්වූයේ එම නමිනි.

කලක් මෙසේ බන්ධනාගාරගත වූ බුම්මා හිරෙන් එළියට පැමිණියේ ඊට වසර දෙකකට පසු 2018 මාර්තු මාසයේදීය. ඒ වනවිට බුම්මාගේ මිතුරකු වන පූකුඩුකන්නාද සැඟව සිටි අතර බුම්මාද ගත කළේ රහසිගත ජීවිතයකි.

මේ වනවිට කුඩු සෙල්විගේ මත්කුඩු ජාවාරම සෙල්විගේ පුතුන් විසින් කරගෙන යමින් තිබිණි. ඒත් සෙල්විගෙන් මෙන්ම ඔවුන්ගේ පුතුන් තිදෙනා (3) ගෙන්ද කොයි මොහොතේ හෝ පළිගැනීමට පූකුඩුකන්නාත් බුම්මාත් කටයුතු කරන ලදී.

මේ අතර සෙල්විගේ වැඩිමහල් පුතුද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි අතර එළියේ සිට කුඩු ජාවාරම කරගෙන ගියේ අනෙක් පුතුන්ගේ මෙහෙයවීමෙනි.

සෙල්විගේ සැමියා වූයේ ‘කරුපයියා’ නොහොත් ‘ගනේෂ්’ නමැත්තාය. ඔහු පොල් ව්‍යාපාරයක යෙදෙන්නට වූ අතර ස්කූටි වර්ගයේ බයිසිකලයකින් පැමිණි වෙඩික්කරු ගනේෂ්ට වෙඩි තුනක් (3) තැබුවද ඔහු මරණයට පත්නොවීය. තුවක්කුකරු පලාගිය අතර ගනේෂ් බරපතළ තුවාල ලබා බේරිණි. එහෙත් වැඩි දිනයක් යන්නට මත්තෙන් සෙල්විගේ පුත්තු දැනගත්තේ තම පියාට වෙඩි තැබුවේද ‘බුම්මා’ විසින් බවය.

තම මව මරා දැමීමත් පියාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමත් ගැන උරණ වූ සෙල්විගේ සෙසු පුතුන් බන්ධනාගර ගතව සිටින සිය සොයුරා දැනුවත් කරන්නේ බුම්මාට දැනෙන්නට යමක් කළ යුතු බවය.

“හරි මම දන්න කියන අයියා කෙනෙක් ඉන්නවා එයාට මම කියන්නම්. එයා ෂූටර් කෙනකු එවාවි. එයාව වෙන වැඩවලට දාගන්න එපා. අයියා ඒකට කැමැති නැහැ.”

ඔහු අයියා නමින් හඳුන්වනුයේ ඒ වනවිටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නමක් දරා සිටි ‘කංජිපානි ඉම්රාන්’වය. ඔහු හරහා ඝාතනයක් සැලසුම් වන්නේ ඔය අතරය.

ඒ අනුව 2018 ජූලි මස 08 වැනිදා ජම්පටා වීදියේ තේ කඩයක් පවත්වාගෙන යන අඹුසැමි යුවළක් ඝාතනයට ලක්විය. ‘ක්ලැරිස් පෙරේරා’ නොහොත් ‘ගීතා’ හා ඇගේ සැමියා ‘සෙල්ලයියා සෙල්වරාජ්’ එලෙස මරා දමන්නේ සෙල්විගේ සැමියා වූ ගනේෂ් මරා දැමීමට තැත්කිරීම සඳහා ඔත්තු බැලීමේ චෝදනාව මතය.

මෙම ද්විත්ව ඝාතනයට සහාය ලැබුණේ කංජිපානි ඉම්රාන් හරහාය. තුවක්කුකරු ලැබුණේත් ‘මාකඳුරේ මධුෂ්’ගෙනි. මධුෂ් හා කංජිපානි පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ හිතවතුන්ය.

ඒ වනවිට මධුෂ් හා කංජිපානි සිටියේ ඩුබායි රටේය. එරට සිට මොවුන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය විය. කොළඹ ජම්පටා, මෝදර ප්‍රදේශවල විකුණන්නේ කංජිපානිගේ කුඩුය. සෙල්විගේ පුත්තු ඊට සහාය දෙන්නේය.

කෙසේ වෙතත් මෙම ද්විත්ව ඝාතනයත් සමඟ පිටකොටුවේදී තවත් මිනිස් ඝාතනයක් සිදුවිය. පිටකොටුව ආදිවාල් වීදියේදී මෙලෙස ඝාතනය වූයේ ‘ගනේෂ් ක්‍රිෂ්ණා’ නමැති නාගරික මන්ත්‍රිවරයෙකි. විමර්ශනයේදී හෙළිවූයේ මෙම ඝාතනයත් බුම්මා විසින් සිදුකර ඇති බවය. ඒ බව සී.සී.ටී.වී. කැමරාවලින්ද තහවුරු විය.

පොලිසිය බුම්මා පසුපස යළි පන්නන්නට විය. බුම්මා මේ බව ඉන්දියාවට පැනගොස් සිටි පූකුඩුකන්නාට කීවේය. පූකුඩුකන්නාද කලක් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස සිටියේය. අවි ආයුධ රැසක් සමඟ ඔහු පොලිසියටද කොටුවිය. පුකුඩුකන්නාගේ නැඟෙණිය කිඹුලාඇලේ ගුණාගේ සහෝදරයා හා විවාහ වීමට කලින් පූකුඩුකන්නා ගුණාගේ ළඟම ගෝලයකු විය. ඒ හිතවත්කම පසුව ඥාතිකමට පෙරළිණි.

“උඹට ඔහේ ඉන්න බැරි නම්.. මම බෝට්ටුවක් සෙට් කරන්නම් ගුණා ගාවට වරෙන්..”

පූකුඩුකන්නාගේ හා ගුණාගේ සහායෙන් බුම්මා ඉන්දියාවට පලායන්නේ ඔය අතරය.

මේ අතර සෙල්විගේ පුත්තුන්ට බුම්මා හෝ පූකුඩුකන්නා සොයාගත නොහැකි විය. ඔවුන් කොයි මොහොතේත් සිටියේ සැකයකිනි. ඒ ඔවුන්ගේ ජීවිතවලට මොවුන්ගෙන් හානියක් සිදුවීමට ඉඩ ඇති නිසාය. ඒත් ඔවුන් ගේම අතහැරියේ නැත.

“පූකුඩුකන්නාට දැනෙන්න ගේමක් දෙන්න ඕනෑ.”

ඔවුන් සිය සොහොයුරා දැනුවත් කළේය. එයද කංජිපානි ඉම්රාන් හා මාකඳුරේ මධුෂ්ගේ සැලසුම් අනුව පෙර තුවක්කුකරුගේද ආධාරයෙන් සිදුවිය.

ඒ 2018 අගෝස්තු මස තුන්වැනිදාය. පූකුඩුකන්නාගේ පියා මෝදර කෝවිලට ගොස් ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී මෝදර තැපැල් කාර්යාලය අසලදී නාඳුනන තුවක්කුරුවකු විසින් ඝාතනය කරනු ලැබීය. මෙය පූකුඩුකන්නාට මහත්සේ දුකක් කනගාටුවක් විය. තාත්තා මරපු උන්ගෙන් කෙසේ හෝ පළිගන්නට පූකුඩුකන්නා තීරණය කළේය.

තාත්තාගේ අවමඟුලට සහභාගි වීමට ඔහුට අවශ්‍ය විය. පියාගේ මරණය දැකබලා ගැනීමට යෑම එතරම් හොඳ නැති බවත් සතුරා තමා ඉලක්ක කරගනු ඇති බවත් ඔහු සිතුවේය. එහෙත් පියාගේ අවසන් කටයුතු සියැසින් දැකිය යුතු නිසා පූකුඩුකන්නා බෝට්ටුවක ආධාරයෙන් මෙරටට ආවේය. පියාගේ මරණයට ඔහු පැමිණියේ මහ රෑය. ඒ ප්‍රභූවරයකු පැමිණෙන ආකාරයටය. මළගෙදර පැය භාගයක්වත් නොරැඳුණු ඔහු අවමඟුලට අවශ්‍ය මුදල් ලබාදී යහතින් යළි ඉන්දියාවට ගියේය.

ඉන්දියාවට ගිය පූකුඩුකන්නා හා බුම්මා එරට සිට සෙල්විගේ පුතුන්ටද දැනෙන්නට මිනිස් ඝාතනයක් සැලසුම් කරන්නේය. එය ක්‍රියාත්මක කරන්නේ මෙරට රැඳුණු තුවක්කුකරුවකු හරහාය. ඒ අනුව 2019 ජනවාරි මස 19 වැනිදා මෝටර් රථයකින් ගමන්ගත් පිරිසක් හරස්කොට නතර කළ වාහනයකින් බැසගත් මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් දෙදෙනකු (2) ප්‍රතිවිරුද්ධ රථයේ ඉදිරිපස අසුන්වල සිටි දෙදෙනාට (2) පමණක් ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පැමිණි වාහනයේම නැඟී පලාගියහ.

වෙඩි ප්‍රහාරය එල්ල වූ මෝටර් රියේ සිටි දෙදෙනාම (2) මිය ගියේය. වත්තල, හේකිත්ත පාර කෝවිල අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගියේ ‘චාල්ස්’ නමැත්තකු හා ඔහුගේ මිතුරකු වූ ‘ශිරාන්’ය. චාල්ස් යනු සෙල්විගේ පුතකුගේ බිරියගේ සොහොයුරාය. සෙසු පුද්ගලයා සෙල්විගේ එක් පුතකුගේ කුඩු ජාවාරමේ ගෝලයාය. මෝටර් රියේ සෙල්විගේ එක් පුතකු වන ශිරාන්ගේ බිරිය හා දරු දෙදෙනාද සිටියහ. ඔවුන්ට කිසිදු අයුරකින් හානියක් සිදු නොවීමට තුවක්කකරුවෝ වගබලාගත්හ.

මෙම ඝාතනයද ඉන්දියාවේ සිට පූකුඩුකන්නා හා බුම්මා, ‘පොඩි සුරේෂ්’ යන අයවලුන්ගේ සැලසුමක් මත සිදුවූයේ පූකුඩුකන්නාගේ පියාගේ ඝාතනයට රිටර්න් එකක හැටියටය. මීට කලින් බුම්මා හිරෙන් නිදහස්ව පැමිණෙද්දී සෙල්විගේ පුතකු බන්ධනාගාරය අසලදී බුම්මා ඝාතනයට සැලසුම් සකස්කර තිබුණද පොලිස් විශේෂ කාර්ය බළකා භටයන් ඒ අසල රැඳුණු නිසා බුම්මාට එල්ල කිරීමට නියමිත වූ ප්‍රහාරය වැළකී ගියේය. ඒ නිසා බුම්මාගේ ජීවිතය බේරිණි.

මෙම ද්විත්ත්ව ඝාතනයෙන් පසු මෙම දෙපාර්ශ්වය අතර මිනිස් ඝාතන සිදුවූයේ නැත. එහෙත් මොවුන් ඉන්දියාවේ රැ‍ඳෙමින් කරන ක්‍රියාවන් නතර වී ඇතැයි යන සැකය නිශ්චිත නැත.

එදා පටන් බුම්මා සිටියේ ඉන්දියාවේය. ඒ කිඹුලාඇලේ ගුණාගේ හා පූකුඩුකන්නාගේ රැකවරණය මැදය. ඔවුන් සමඟ තවත් දෙමළ පාතාල සාමාජිකයන් රැසක් එහි රැඳී සිටිති.

විදේශගතව සිටි මෙරට මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ සිදුකරන මෙවන් පුද්ගලයන් කොටු කරගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘රහස් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව’ හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විධිමත් ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව මෙම පුද්ගලයන්ට එරෙහිව රතු නිවේදන නිකුත් කර මොවුන් යළි ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහාද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. කිඹුලාඇළේ ගුණා ඉන්දීය පොලිසියට කොටුවන්නේ ඒ අනුවය. ගුණා, බුම්මා හා ගුණාගේ පුතා මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළට මේ වනවිටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අත ගසා හමාරය. ඒ අනුව මෙතෙක් විදේශගතව රැඳී සිටිමින් මෙරට අපරාධ කළ මෙවන් පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මහ දැලක් එළා අවසන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *