කොරෝනා වැළදී මිය ගිය පළමු වෛද්‍යවරයාගේ පියා, හිරුට කතා කරයි

කොරෝනා වැළදී මිය ගිය පළමු වෛද්‍යවරයාගේ පියා, හිරුට කතා කරයි

*********************************************

කොරෝනා වැළදී මිය ගිය පළමු වෛද්‍යවරයාගේ පියා, හිරුට කතා කරයි

(04.02.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

පෙනහළු අක්‍රියවීමෙන් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවශ්‍ය ඉක්මෝ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා මැදිහත් වන ලෙස කොරෝනා වැළඳී මියගිය පළමු වෛද්‍යවරයා වන වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියා වන වෛද්‍ය ඩී.වයි. සරණතිලක මහතා ඉල්ලීමක් කරනවා.

එවැනි යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තමන් ඉදිරියේදී තම පුත්‍රයාගේ නමින් පදනමක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ වීඩියෝ තාක්ෂණය සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.

මියගිය 32 හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ මීට මසකට පමණ පෙරයි.

රාගම ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ අවසන් වරට සේවයේ නියුතුව සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරුණේ ඔහුගේ අසාධ්‍ය තත්වය සැළකිල්ලට ගනිමින්.

පෙනහළු අක්‍රියවීමෙන් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ඉක්මෝ යන්ත්‍රයක් අයි.ඩී.එච්. රෝහලේ නොමැතිවීම හේතුවෙන් එම යන්ත්‍රයක් පැවති කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඔහු මාරු කර තිබුණා.

කෙසේ වෙතත් දින කිහිපයක් අසාධ්‍ය තත්වයේ පසුවු වෛද්‍ය ගයාන් මහතා, පෙරේදා ජීවිතක්ෂයට පත්වුණා.

වෛද්‍ය ගයාන් මහතාගේ මව, පියා සහ බිරිඳ මෙන්ම බිරිඳගේ පවුලේ සාමාජිකයන්ටද වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් මේ වනවිට සුවය ලබා තිබෙනවා.

++++++++++++++++++++

(04.02.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 339 ක් වනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 58, 82, 70, 53, 66 සහ 62 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 6 දෙනෙක් සහ 78 හැවිරිදි කාන්තාවක්.

+++++++++++++++++

++++++++++++++++++++

(05.02.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ මුව ආවරණ පැළද නොසිටි සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මස සිට මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 2997 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++++++

(05.02.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

මතුගම – බොන්දුපිටිය – 727 ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ අද (05) පෙරවරුවේ සිට එම ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම, මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙනිය ග්‍රාම නිළධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත සහ එක්සත් ජනපදය යන ස්ථාන මේ මොහොතේ සිට හුදෙකලා බවෙන් ඉවත් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

@@@@@@@@@@@@@@@@@

දරු පවුලක් සිටින පැල්පතක් ඉවත්කිරීමේදී උණුසුම් තත්ත්වයක්

(04.02.2021 – 21:24 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත උඩහවුපේ වතුයායේ දරු පවුලක් නවාතැන්ගෙන සිටි පැල්පතක් ඉවත්කිරීමට කහවත්ත පොලිසිය කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් සිව් දෙනෙකු (4) මෙහිදී අත්අඩංගුවට ගත් බවයි.

කහවත්ත – උඩහවුපේ වතුයායේ දරු පවුලක් පදිංචිව සිටි කුඩා නිවසක් පසුගියදා කඩා වැටී තිබෙනවා.

ඒ අනුව එම දරු පවුල තාවකාලිකව මඩුවක් සකස්කරගෙන එම වතුයායේම වෙනත් ස්ථානයකට නවාතැන් ගැනීමට ගොස් තිබුණේ මීට දින 2 කට පෙරයි.

කෙසේ වෙතත් හල්පේ වතුයායේ පාලනාධිකාරිය කහවත්ත පොලිසියට මෙය අනවසර ඉදිකිරීමක් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය පැමිණ අදාල පැල්පත කඩා ඉවත්කර තිබුණා.

එහිදී අදාල දරු පවුල හා ඔවුන්ගේ ඥාතීන් පොලිසියට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පොලිසිය ප්‍රකාශකළේ මෙම සිදුවීමේදී කලහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් සිව් දෙනෙකු (4) ද අත්අඩංගුවට ගත් බවයි.

***************************************

රජයේ ඉඩමෙන් නෙරපූ සිව් දරු පවුල

(04.02.2021 – 22:12 +0530 – sinhala.adaderana.lk)

මීගමුවේ රජය සතු ඉඩමක වසරකුත් (1) මාස දෙකක (2) කාලයක් පදිංචිව සිටි දරුවන් සිවුදෙනෙකු (4) ගෙන් යුත් පවුලක් උසාවි නියෝගයක් අනුව අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට පිස්කල් නිලධාරීන් අද (04) කටයුතු කළේය.

ඉවත් කෙරුණු පවුලේ සාමාජිකයන් පවසන්නේ තම නිවස මුහුදු ඛාදනයට ලක් වීමෙන් පසු මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ වාචික ප්‍රකාශ අවසරයක් මත තමන් අදාළ රජයේ ඉඩමේ පදිංචි වූ බවය.

කෙසේ වෙතත් අද (04) ඔවුන් එම භූමියෙන් නෙරපා හැරීම නිසා තාවකාලිකව ඉදිකල රෙදි කූඩාරමක රැඳීසිටීමට සිදුවිය.

***************************************

(04.02.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

දෙවිනුවර ප්‍රදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ ඇතුළු පිරිසක් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ගයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කල ඉල්ලීමකින් පසු සිය සැමියාට සභාපතිවරයා පහරදී ඇති බවට ගන්දර පොලීසියට පැමිණිලි කර තිබුණේ දෙවිනුවර – දෙල්ගල්ල ප්‍රදේශයේ කාන්තාවක්. පහරකෑමට ලක්වු 30 හැවිරිදි පුද්ගලයා මාතර මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරකෑමට ලක්වු පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (03) දෙවිනුවර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධයක නිරතවුණා.

මේ සම්බන්ධයෙන් අප දෙවිනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති සුජිව වෙදගේගෙන් ද විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ පහරකෑමට ලක්වු බව කියන පුද්ගලයා තමන් නිවසේ නැති අවස්ථාවේ පැමිණ සිදුකල තර්ජන කිරීමක් හේතුවෙන් කෝපයට පත් සිය ඥාතීන් අදාල පහරදීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ෴

***************************************

දළදා මාලිගාව අසල ක්‍රියාත්මක වූ කැසිනෝ ශාලාවක් ‘දෙරණ උකුස්සා’ අනාවරණය කරයි

(04.02.2021 – 21:56 +0530 – sinhala.adaderana.lk)

අද (04) ‘දෙරණ උකුස්සා’ පසුගියදා මහනුවර හරස්වීදියේ පිහිටි ගොඩනැඟිල්ලකට ඇතුළු විය. ඒ අපට ලැබුණු රහසිගත තොරතුරක් පදනම් කරගනිමිනි.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ පිහිටි මේ ගොඩනැඟිල්ලේ දෙවැනි මහලට අප ඇතුළුවන්නේ පූල් ක්‍රීඩාවේ නිරතවීමේ අරමුණින්ය. අප එහි යනවිටත් තරුණයින් පිරිසක් එම ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය.

අප ද පැය කිහිපයක් එම ස්ථානයේ රැඳී සිටියේ තෙවැනි මහලට ඇතුළුවීමේ අරමුණින්ය.

නමුත්, එම මහලට පිවිසීම සඳහා විශේෂ පුද්ගලයෙකුගේ අවසරය ලබාගත යුතු සේම රුපියල් දෙදහසක (2000) මුදලක්ද ලබාදිය යුතු වේ.

අද (04) ‘දෙරණ උකුස්සා’ කණ්ඩායම තෙවැනි (3) මහළට ළඟා වන විට දැකගත හැකිවූයේ එහි කැසිනෝ ක්‍රීඩාව ජයට සිදුකෙරෙන ආකාරයයි.

කැසිනෝ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු සේම ඒ සඳහා අධික බදු මුදලක් ද රජයට ගෙවිය යුතු වේ.

නමුත්, බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළඳා මාලිගාව ආසන්නයේ වසර 20 ක් තිස්සේ මෙවැනි ස්ථානයක් පවත්වාගෙන ගියේ කෙසේ ද ?

මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් උකුස්සා අවධානයෙන් සිටි.

***************************************

(05.02.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ තම රට තුළ දී මිය ගොස් ඇති බවට ඉන්දියාව තහවුරු කර තිබෙනවා.

ජීව විද්‍යාත්මකව එම මරණය සනාථ කිරීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පල ඉන්දියාවට එවන ලෙසට ඔවුන් දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, ඉන්දියාවට පලාගොස් ඇති බවට සැක කෙරෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිවා’ හෙවත් ‘නන්ද කුමාර් ශිවනන්දන්’ගේ ගෝලයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේදී පෑලියගොඩ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ශිවා විසින් ඉන්දියාවේ සිට එවනු ලබන මත්ද්‍රව්‍ය දෙරට අතර මුහුදු සීමාවේදී බහුදින යාත්‍රා මගින් රැගෙන විත් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

62 හැවිරිදි ‘තෙල්පේ ලක්ෂ්මන් පීරිස්’ හෙවත් ‘මාමා’ නමින් හැඳින්වෙන මෙම පුද්ගලයා සතුව තිබූ බහුදින යාත්‍රා 3 ක් සහ ඩිංගි බෝට්ටුවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොරටුව – එගොඩඋයන පදිංචි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 5 ක්ද සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිවා’ හෙවත් ‘නන්ද කුමාර් ශිවනන්දන්’ගේ තවත් ගෝලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ‘ශිවා’ගේ බිරිඳ ලෙස සැළකෙන කාන්තාවක්ද හෙරොයින් සමඟ තලාහේන – ජයමාවත ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

***************************************

(05.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම සිට කොළඹ කොටුව දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව උදෑසන 7 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය උදෑසන 08:10 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පස්වරු 06:10 ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට යළි හෝමාගම බලා ගමන් ආරම්භ කෙරෙනවා.

මේ අතර, කොළඹ – පුත්තලම ඒ තුන ප්‍රධාන මාර්ගයේ මීගමුව – ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (06) සිට පැය 36 ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙනවා.

ඒ අනුව හෙට (06) උදෑසන හයේ (06:00) සිට අනිද්දා (07) පස්වරු හය (06:00) දක්වා මාර්ගය වසා තැබෙන අතර, එම මාර්ගයේ ගමන් ගන්නා සියළු දුම්රිය කොළඹ කොටුවේ සිට කටුනායක ගුවන් තොටුපළ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරෙනු ඇති ෴

***************************************

(05.02.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතුව තබා ගැනීමට ලක් රජය ගත් තීරණය ඒකපාර්ශවීය මෙන්ම කණගාටුදායක බව ජපන් තානාපති අංශ පවසා ඇතැයි හින්දු පුවත්පත වාර්තා කළා.

ඒ, ඉන්දියාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින්.

මෙම තානාපති නිලධාරියා සමඟ හින්දු පුවත්පත අදහස් හුවමාරු කරගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය සවිස්තරාත්මකව විමසා බලන බවයි.

2019 වසරේ මැයි මාසයේදී නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් තැබූ ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම පිළිබව ද හින්දු පුවත්පත් වාර්තාව පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා පෙරේදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද අදාළ වාර්තාවේ සඳහන්.

මෙම හමුවට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.

හින්දු පුවත්පත් වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ පසුගිය ජනවාරි මස 6 වන දා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෙම ආයෝජනය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව සිටි බවයි.

බටහිර පර්යන්තයේ ආයෝජනය සම්බන්ධයෙන් තවමත් නිළ වශයෙන් නොමැති බවට වාර්තා වන අතර හින්දු පුවත්පත පවසන්නේ බටහිර පර්යන්තය නැගෙනහිර පර්යන්තය මෙන් උපාය මාර්ගික වශයෙන් වැදගත් දැයි යන්න සොයා බැලිය යුතු බවයි ෴

***************************************

(05.02.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘වාරි සෞභාග්‍යා වැඩසටහන’ යටතේ ග්‍රාමීය කුඩා වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද (05) ආරම්භ කෙරෙනවා.

එහි පළමු පියවර ලෙස උතුරුමැද පළාතේ කිලෝමීටර් 94 ක දිගින් යුත් වයඹ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 26 ක් දිගින් යුත් වාරි උමගේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර – පළුගස්වැව දී අද (05) පෙරවරුවේ ආරම්භවීමට නියමිතයි.

මෙය ශ්‍රී ලංකාවේ දිගම වාරි උමග ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම වයඹ ඇළ සංවර්ධනය කිරීමේ කටයුතු ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 16 වන දා ආරම්භවනු ඇති.

මෙම වසර තුළ ග්‍රාමීය වැව් දහසක් (1000) ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

(05.02.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතී ජාතික ජල ගැලුම් නිම්න උද්‍යානය තුළ අලුතින් කුඹුරු ඉඩම් සකස් කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මේ වන විටත් එම උද්‍යානය තුළ අක්කර 50 ක පමණ ප්‍රදේශයක් බලහත්කාරයෙන් හෙළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අනවසරයෙන් ඉඩම් සකසා ඇත්තේ ජල ගැලුම් නිම්න උද්‍යානයට අයත් පල්ලියගොඩැල්ල – බොරපන්වැව ප්‍රදේශයේයි.

මේ අතර, මෙරට සිදුවන වන විනාශයන් නතර කරනවා වෙනුවට කෘෂි හා වගා බිම්වලට හානි සිදුකරන සතුන්ගේ බෝවීම අඩුකිරීම සඳහා කෑමට මුසු කොට වන්ද්‍යාකරණ පෙති ලබාදීමට රජය ගෙන ඇති තීරණය සාධාරණ නොවන බව පරිසර, සොබාදම් මධ්‍යස්ථානයේ සහ සොබාදම් පාසලේ නියෝජිත පූජ්‍ය වෑකදවල රාහුල හිමියන් පවසනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් ද පත් කර ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ ෴

***************************************

(05.02.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අද (05) දිවයින පුරා වතු කම්කරුවන් සංකේත වර්ජනයක නිරත වනවා.

මෙම වර්ජනය සංවිධානය කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රජය, වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා වට 15 ක් පමණ පවත්වා ඇති නමුත් ඒ සියල්ල අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ මූලික වැටුප රුපියල් දහසක් (1000) බවට පත් කිරීම අපහසු කරුණක් බවයි.

ඒ වෙනුවට මූලික වැටුප රුපියල් 700 යේ සිට 725 දක්වා වැඩි කිරීමටත්, ඉතිරි මුදල දීමනා වශයෙන් ලබාදීමටත් වතු හාම්පුතුන් යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස ලබාදීමේදී වතු කම්කරු දෛනික වැටුප නිශ්චිතව රුපියල් දහසක් බවට පත්වීම සිදුවන්නේ නැහැ.

මෙවැනි වාතාවරණයක් තුළ වතු කම්කරු වැටුප පිළිබද තවදුරටත් පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්.

එවන් පසුබිමක් තුළ එළඹෙන 08 වන දා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටුප් පිළිබද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, දෙමළ ජාතික සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව අම්පාරෙන් ආරම්භ කළ විරෝධතා රථ පෙළපාලිය සහ පා ගමන 3 වන දිනටත් අද ක්‍රියාත්මකයි.

අද (05) පෙරවරුවේ එය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.

එය හෙට (06) දිනයේ යාපනය නගරයෙන් අවසන් වීමට නියමිතයි.

නැගෙනහිර පළාත සහ උතුර පළාත තුළ විරෝධතා සිදුකිරීම වළක්වාලන අධිකරණ නියෝගද ලබාගෙන ඇති පසුබිමකයි ඔවුන් මෙලෙස විරෝධතා සිදු කරන්නේ.

මේ අතර ඊයේ (04) පැවති විරෝධතාවට ත්‍රිකුණාමලයේදී දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ද සහභාගි වුණා ෴

***************************************

(05.02.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ පිටාර ගැලූ පිඹුරුත්තෑව ජලාශය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

අනතුරුව දේශීය සංචාරයකයන්ගෙන් එම ස්ථානය පිරී ඉතිරී ගිය අයුරු බොහෝ අවස්ථාවලදී වාර්තාවූවා.

කෙසේ වෙතත් මෙම සංචාරක අසිරිය විඳ ගැනීමට එහි පැමිණි තරුණයෙකුට අත්වූ අවසනාවන්ත ඉරණමක් පිළිබඳව ඊයේ (04) එම ප්‍රදේශයෙන් වාර්තා වූවා.

එහිදී ජලයේ ගිලීමෙන් එම තරුණයා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන මහනුවර ගලගෙදර පදිංචි අයෙකු බවටයි.

පිටාර ගැලීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පිඹුරුත්තෑව ජලාශයේ ඡායාරූප පෙළක් පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *