ටයිල් සහ නාන කාමර උපාංග තහනම ඉවත් කිරීමට ගත් තීරණයේ වෙනසක්

ටයිල් සහ නාන කාමර උපාංග තහනම ඉවත් කිරීමට ගත් තීරණයේ වෙනසක්

*********************************************

ටයිල් සහ නාන කාමර උපාංග තහනම ඉවත් කිරීමට ගත් තීරණයේ වෙනසක්

(03.02.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ටයිල් සහ නාන කාමර උපාංග සඳහා පනවා තිබූ ආනයන තහනම ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර තිබෙනවා.

අදාළ තහනම ඉවත් කරමින් ඊයේ (02) මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, අද (03) උදෑසන වනවිට එම ගැසට් නිවේදනය අත්හිටුවා ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ඊට අදාළ රෙගුලාසි ක්‍රියාවට නැංවීම අවලංගු කර ලෙස ඉල්ලා රේගු දෙපාර්තමේන්තුවට සහ සියලුම වානිජ බැංකු වෙතද ආනයන අපනයන දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවූ අතර, ටයිල් සහ නාන කාමර උපකරණද ඊට අයත්. ඒ හේතුවෙන් වෙළඳපොලේ ඒවායේ මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

(03.02.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මේ ඉබ්බාගමුව නගරයේ සතිපොල පැවැත්වීම සඳහා අලුතින් ඉදිකර ඇති පොළ භූමියයි.

වසර ගණනාවක සිට ඉබ්බාගමුව නගර මධ්‍යයේ කුඩා බිම් ප්‍රමාණයක සතිපොල පවත්වාගෙන යෑමට විකල්පයක් ලෙස මීට වසර 8 කට ඉහතදී මෙම පොල භූමිය ඉදිකර තිබෙනවා.

කෙසේවෙතත් තවමත් ජනතා අයිතියට පත්කර නොමැති මෙම ගොඩනැගිල්ල මේ වන විට කැලෑ වැවී, කැඩී බිදී විනාශ වී ගොස් ඇති ආකාරයයි මේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වැව් තාවුලක් ආසන්නයේ ඉදිකර ඇති මෙම භූමිය ක්‍රමවත් සැලසුමකට අනුව ඉදිනොකිරීම හේතුවෙන් වර්ෂාව පවතින දිනවල ජලයෙන් යටවන බවටයි.

වැසි දිනවලදී වෙළදාම් කටයුතු සිදුකිරීමට නොහැකි වන අතර වාහනයක් හෝ ගාල්කිරීමට මෙම භූමියේ ඉඩක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

මත්ද්‍රව්‍ය ඇතුළු සහ නොයෙකුත් අපචාරවල යෙදෙන්නන් මේ වන විට මෙම භූමිය වටකර ඉදිකර ඇති දැල් කඩා ඒ තුළට ඇතුල්වී විවිධ අපචාරවල නිරත වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම භූමිය ක්‍රමවත්ව සකසා පොළ පැවැත්වීමට හෝ වෙනත් ඵලදායී කටයුත්තකට යෙදවීමට හැකි අයුරින් සකසා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනතා මුදල් විශාල ලෙස වැයකරමින් කිසිදු සැලසුමකින් තොරව ඉදිකර ඇති මෙම භූමිය ඵලදායී කටයුත්තකට යෙදවීමට බලධාරී නෙත යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(03.02.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු ස්වභාවයක් ඇතිවීමට හේතුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ හේතුවෙන් ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(03.02.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොත්තමල්ලි බව පවසා යුක්රේනයේ සිට මෙරටට ගෙන්වූ ශාඛ අපද්‍රව්‍ය කොටස් සහිත කන්ටේනර් හතරක් (4) ආපසු හරවා යැවීමට රේගු දෙපාර්තමේන්තුව අද කටයුතු කළා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වනදා නිශ්කාෂණය කරගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ ලේඛනයකට අදාළ බහලුමක් පරීක්ෂා කිරීමේදී ශාඛ අපද්‍රව්‍ය කොටස් සහිත බහලුම් අටක් (8) සොයාගැනුනේ ඔරුගොඩවත්ත අංගනයේ තිබියදියි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ශාඛ අපද්‍රව්‍ය කොටස් සහිත තවත් බහලුම් විස්සක් (20) කොළඹ වරායේ පවතින බවයි.

ඔරුගොඩවත්ත අංගනයේ තිබූ බහලුම් අටෙන් (8) හතරක් (4) අද (30) දිනයේ යළි යුක්රේනයට හරවා යැවීමට කටයුතු කෙරුණා ෴

***************************************

(03.02.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා රුපියල් දස දහසක (10,000) අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම අද (03) අත්අඩංගුවට ගත්තා.

දෙල්කඳ මංසන්ධියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මාර්ගයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා ඔහු විසින් පුද්ගලයෙකුගෙන් මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙනවා ෴

***************************************

(03.02.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

***************************************

(03.02.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27 ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඉදිරි මාස තුනක් (3) සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියේ.

ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා , තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළූණු (ඉන්දියන්), දේශීය අර්තාපල් , කඩල සහ වියලි මිරිස් මෙලෙස ස්ථාවර මිලක් යටතේ අලෙවි කරන භාණ්ඩවලට අයත් වනවා.

මීට අමතරව දේශීය ටින් මාලු, ආනයනික ටින් මාලු, හාල්මැස්සන් (තායි), සම සහිත කුකුල් මස්, ලුණුකැට, කිරි පිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුඛ ආවරණ යන භාණ්ඩ වර්ග 27 ක මේ ඒ අනුව ස්ථාවර මිලකින් ඉදිරි මාස තුනක් සඳහා පවත්වාගෙන යන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙම ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණයි.

මෙම භාණ්ඩ අලෙවි කරනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q-shop මගින් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියා.

***************************************

(03.02.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වූ සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවට පවසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (03) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

මේ අතර එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා රාජකාරි කටයුත්තකට පිටව යන අවස්ථාවේදී මෙම විරෝධතාවයට එක්ව සිටි සිසුන් සමඟ සංවාදයකද නිරත වී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(03.02.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් 840 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 59,883 දක්වා ඉහළ යනු ඇති.

අද (03) වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 65,698 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5485 ක් ෴

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතාට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය ඉරිදා ඔහුට ඇති වූ රෝග ලක්ෂණ මත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ ෴

රිදීමාලියද්ද – ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 176 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ ඇඟළුම් කර්මාන්තශාලාව සති දෙකක (2) පමණ කාලයක් වසා දමා ඇති බවයි වාර්තාවන්නේ.

එම ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 2300 දෙනෙකුගෙන් 540 කට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මෙම පිරිසට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

ආසාදනය වූ සේවක සේවිකාවන් රිදීමාලියද්ද – ගැමුණුපුර, අරවත්ත, අබේපුර, කෙසෙල්පොත උතුර සහ දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා ෴

+++++++++++++++++++

(03.02.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ඊයේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණවලදී ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

තහවුරු වූ වහාම රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඔවුන් දෙදෙනා ඉදිරි සෞඛ්‍ය පියවර සඳහා යොමුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, සහායකයින් ඇතුළු 36 දෙනෙකු අදාල පී.සී.ආර් පරික්ෂණයට ලක් කර තිබුණා.

ඒ අනුව දෙරට අතර තරඟ සංචාරය කල් දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළේ.

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 20 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.

මේ අතර පසුගිය කාලසීමාවේ පුහුණුවීම් කණ්ඩායම් තුනක් බැගින් විශේෂ ක්‍රමවේදයකට අනුව සිදුකළ බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර නිරෝධායන නීති රීතිවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩකටයුතු සාමාන්‍ය අයුරින් සිදුකෙරෙන බවද අදාළ නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින් :

(උපුටාගැනීම)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග සංචාරයට සහභාගිවීම සදහා සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයින් 36 කුගෙන් සමන්විත තාවකාලික ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ළහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොවිඩ්–19 වෛරසය ආසාධනය වී තිබෙන බවට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා සංචිතය ඉකුත් ජනවාරි 28 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කළඅතර ඊයේ (02 වැනිදා) සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණවල වාර්තාවන්වලට අනුව මොවුන් දෙපළට වෛරසය ආසාධනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති වලට අනුව ඔවුන් දෙපළ දැනුවත් කර තිබේ.

ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතය සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් කාණ්ඩ 3 ක් යටතේ සිය පුහුණුවීම් වල නිරත විය. ඊට අමතරව ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන පන්දු යවන්නන් (Net Bawler) සියල්ලම ඇතුළත් වන පරිදි එම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය නැවත පැවැත්වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මෙම මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි. තත්ත්වය එවන් තලයක පත්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය රෙගුලාසිවලට මුල් තැන දෙමින් දිගටම සිදුකරගෙන යනු ඇත ෴

++++++++++++++++++++

(03.02.2021 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 354 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 66,052 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *