ස්වයං නිරෝධායන නීති කඩකරන්නන් සෙවීමට අද (31) සිට පොලීසිය

ස්වයං නිරෝධායන නීති කඩකරන්නන් සෙවීමට අද (31) සිට පොලීසිය

*********************************************

ස්වයං නිරෝධායන නීති කඩකරන්නන් සෙවීමට අද (31) සිට පොලීසිය

(31.01.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

ස්වයං නිරෝධායනය සඳහා ලබාදී ඇති උපදෙස්වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් පොලිස් නිලධාරීන් යොදවා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

වව්නියාව පොලීසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 20 දක්වා ඉහල ගොස් තිබෙනවා.

එම පොලීසියේ රදවා සිටි සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී සැකකරුවන් 15 දෙනෙකු ද ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබුණා.

මේ අතර, බදුල්ල පළාත්බඳ මහරෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි පිරිසකට සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයින් 3 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

එමෙන්ම හැටන් – ශ්‍රීපාද ප්‍රාථමික විද්‍යාලයේ දෙවන (2) ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් වූ තවත් සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනය සදහා යොමු කෙරුණා.

ඊයේ (30) වාර්තා වූ ආසාදිතයන් 848 දෙනාගෙන් 157 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 136 ක්.

කුරුණෑගලින් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ වසා දැමුණු සත්ත්වෝද්‍යාන අතරින් පින්නවල, දෙහිවල සහ රිදියගම සත්වෝද්‍යාන තුන (3) පමණක් පළමු (1) අදියර යටතේ හෙට (01) සිට සීමිත කොන්දේසි යටත්ව දේශීය හා විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට නියමිතයි.

වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඒ බව කියා සිටියේ ඊයේ (30) පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

(31.01.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පොලිසියේ සාමාජිකයින් 829 දෙනෙකු සඳහා ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේ වැඩසටහන අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ වුණා.

පොලිස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට (2) එන්නත ලබාදීමෙන් පසුවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුව අනුව පොලිස් නිලධාරීන්ට එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ.

එහිදී අදාළ එන්නත් ලබාදීමට පෙර වෛද්‍යවරුන් විසින් දැනුවත් කිරීමක් සිදුකළා.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ද එක්ව සිටියා.

ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත එම එන්නත් කිරීමේ වැඩසටහන පෙරේදා (29) දිනයේ ආරම්භ කෙරුණේ කොළඹ අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය කේන්ද්‍ර කර ගනිමින්.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, ඊයේ (30) පමණක් 32,539 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

ඒ අනුව ඊයේ (30) වනවිට මෙම එන්නත 37,825 කට ලබා දී තිබුණා.

+++++++++++++++++++

මෙරට කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 57,159 ක් දක්වා අද (31) ඉහළ ගියා.

ඒ තවත් ආසාදිතයින් 882 ක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

අද (31) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 63,293 ක් ලෙසයි ෴

+++++++++++++++++++

(31.01.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මියගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගේ අවසන් කටයුතු ප්‍රභූ ගෞරව සහිතව සිදුකළ පුවතක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වාර්තා වනවා.

මෙලෙස කොරෝනා ආසාදනයව මියගොස් ඇත්තේ ලන්ඩන් නුවර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක සේවය කළ නාත්තන්ඩිය, වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයායි.

එක්දරු පියෙක් වන මොහු මීට වසර 20 කට පෙර එංගලන්තයට ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනයව පසුගිය 20 වනදා මෙම වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛද්‍යවරයා සේවය කළ North Middlesex University රෝහලේ සෙසු වෛද්‍යවරුන් සහ හිතවතුන් එක්ව ප්‍රභූ ගෞරව සහිතව ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය 28 වනදායි.

මේ වනවිට කොවිඩ් ආසාදනය වී බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයින් 105,571ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

[සේයාරූ ]

+++++++++++++++++

ලංකාවේ විදින එන්නත තවමත් පරීක්‍ෂණ මට්ටමේ.. විදගත් අයගෙන්ද 20% කට කොරෝනා හැදෙන්න පුළුවන්.. – GMOA

(31.01.2021 – 10:00 +0530 – lankacnews.com)

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවයි.

එන්නත පළවෙනි මහතාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බවද ඔහු පැවසීය.

නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් (80%) නිසා එන්නත විද ගත් අයගෙන්ද 20% කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

++++++++++++++++++++++

(31.01.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා 50,000 ක පමණ පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ට සුළු සංකූලතා මතුවී ඇතත් බරපතල තත්වයන් වාර්තාවී නොමැති බවයි කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ප්‍රදේශ කිහිපයක් හෙට (01) උදෑසන පහේ (05:00) සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපතිවරයා දැනුම් දෙනවා.

එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++

(31.01.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 351 ක් අලුතින් හඳුනාගත් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63,644 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර තවත් ආසාදිතයින් 882 ක් සුවය ලබා අද (31) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා ෴

මේ දක්වා මෙරටින් කොරෝනා මරණ 313 ක් වාර්තාවී ඇති අතර, ඉන් 107 ක්ම වාර්තාවී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී වීම විශේෂත්වයක්.

ඊයේ (30) දිනය තුළ පමණක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වී තිබූ අතර, එම සංඛ්‍යාව 108 ක් වනවා.

ඉන් 22 කු පන්නලින් වාර්තාවී ඇති අතර, අලව්ව සහ මාවතගම ප්‍රදේශවලින් ආසාදිතන් 12 දෙනෙකු බැගින් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++

(31.01.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පොලිසියේ සාමාජිකයින් 829 දෙනෙකු සඳහා ඉන්දියාවෙන් ගෙන්වූ කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේ වැඩසටහන අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කෙරුණා.

එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට (2) එන්නත ලබාදීමෙන් පසුවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව පොලිස් නිලධාරීන්ට එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ.

මේ අතර, කළුතර – දොඩම්ගොඩ – විල්පාත ප්‍රාදේශීය රෝහලේ සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 500 දෙනෙකු සඳහා ද එන්නත් ලබාදීම සිදු කෙරුණා.

එමෙන්ම, කෑගල්ල මහ රෝහලේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1,800 දෙනෙකු සඳහා එන්නත් ලබාදීමේ කටයුතු අද ක්‍රියාත්මක කෙරුණු අතර දිවයින පුරා ප්‍රධාන රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එන්නත්කරණ කටයුතු සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් බදුල්ල හෙද විදුහලේදී ක්‍රියාත්මක වූ බදුල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබාදීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව හිමිවුණේ නැහැ.

එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා 50,000 ක පමණ පිරිසකට එය ලබාදී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ට සුළු සංකූලතා මතුවී ඇතත් බරපතල තත්වයන් වාර්තාවී නොමැති බවයි කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ෴

@@@@@@@@@@@@@@@

(31.01.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4 කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන්.

මියගිය ඇතාගේ මරණ පරීක්ෂණය වනජීවී නිලධාරීන් විසින් සිදුකළ අතර සැකකරුවන් විසින් කපාගැනීමෙන් අනතුරුව සිරුර තුළ ඉතිරිව තිබූ දළ කොටස් ලබාගෙන තිබෙවා.

එම කොටස් දළ කැපූ සැකකරුවන් සතුව තිබූ දළ යුගලයට ගැලපෙන බවටයි අනාවරණ වී ඇත්තේ.

අඩි 7 ක පමණ උසකින් යුත් වයස අවුරුදු 20 ක් පමණ වන ඇතෙක් මෙලෙස ඝාතනය කර තිබෙනවා.

දේශීයව නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මුල්ලියාවේලි පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

මෙම පුද්ගලයන් දෙදෙනා (2) අදාළ දළ යුගළ විකිණීමට සූදානම් කර තිබු බව ද සඳහන්.

[ සේයාරූ ]

***************************************

(31.01.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් පියවර ගෙන තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ 2009 වර්ෂයේ සිට ගෙන්වන ලද චීන දුම්රිය මැදිරි නිසි නඩත්තු කටයුත්තකින් තොරව ධාවනයට එක් කර තිබූ බවයි.

බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සිදුකළද ඊට නිසි පිළියම් යෙදීමට අපොහොසත්වීම හේතුවෙන් චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට දුම්රිය නියාමකවරුන්ද සහය පළ කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම්වරයා සඳහන් කළා.

***************************************

(31.01.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් නීතිය වෙනස් කිරීම සඳහාද මේ වනවිටත් කමිටුවක් පත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

කොළඹ නීතීඥ සංගමයේ ඊයේ (30) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අනෙකුත් ක්‍ෂේත්‍රවල නීති සංශෝධනය සිදුකිරීම සඳහා ද මේ වනවිට කමිටු 11 ක් පත්කර ඇති බවයි.

***************************************

(31.01.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධව සහ ගෘහස්ථ ගවයින් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබානොදෙන ලෙසට ප්‍රකාශ කරමින් පෙනී සිටි වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියාට මින්නේරිය ජාතික උද්‍යානය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.

මෙලෙස මාරුවීම් ලබාදී ඇත්තේ සෝමාවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ සේවය කළ ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතාටයි.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය දා පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය ආසන්නයට පැමිණ ජල ගැලුම් නිම්න රක්ෂිතයට පුද්ගලයින්ට ඇතුළු වීමට ඉඩ ලබාදෙන ලෙසට ප්‍රකාශ කිරීමත් සමඟ වනජීවි නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

අනතුරුව ඊට එරෙහිව වනජීවී නිලධාරීන් සංකේත වර්ජනයක ද නිරතවූ අතර, පසුව සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුව විමර්ශනයක්ද සිදුකළා.

එහි මූලික විමර්ශනවලට අනුවයි ඊට සම්බන්ධ වූ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරීයාට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිළධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධියට තම සංගමය විරෝධය පළ කරන බවයි.

රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීමට මැදිහත්වන මෙවැනි නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම හෙළා දකින බවයි ඔහු කියා සිටියේ.

අප මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගෙන් ද විමසීමක් කළ අතර අමාත්‍යවරයා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් අදාළ වනජීවි නිලධාරියාගේ නිවස ආසන්නයට ස්ථාන මාරුවීම ලැබී ඇති බැවින් ඔහුට එය පහසුවක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ෴

***************************************

(31.01.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කළද අකුරට වැඩ කිරීමට ගත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තීන්දුව එලෙසම ක්‍රියාත්මක කරන බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් (100%) වරාය අධිකාරියට ලබාගන්නා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලියවිල්ලක් ලබාදුනහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඒ මොහොතේම අත්හිටුවන බවයි වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් හෙට (01) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර තංගල්ල කාල්ටන් නිවසේදී අද (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ කිසිවිටෙකත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම කටයුතු නොකරන බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මූලිකව ක්‍රියා කළ පාර්ශ්වයන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරන්නේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ සැලසුම මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කරනවා.

මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා :

+++++++++++++++++

+++++++++++++++++++

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවට වරාය රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාත් විරුද්ධයි

***************************************

(31.01.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට (31) දින 14 ක් ගත වනවා.

පසුගිය 23 වන දා ඔවුන් සිදුකළ මාරාන්තික උපවාසයෙන් ඉවත් වූයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාළ විසදුම් ලබාදීම සඳහා දුන් පොරොන්දු අනුවයි.

කෙසේ වෙතත්, මසක් ඇතුළත ගැසට් නිවේදනය නිකුත් නොකළහොත් මාරාන්තික උපවාසය ආරම්භ කරන බව ද ගොවි සංවිධාන පෙන්වා දෙනවා.

ඊයේ (30) දිනයේ සත්‍යග්‍රහය පැවැත්වෙන වල්සපුගල ප්‍රදේශයට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද පැමිණියා.

එහිදී අදාළ අංශ දැනුවත් කර ස්ථීර විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු ගොවීන්ට ප්‍රකාශ කර ඇත්තේ.

***************************************

(31.01.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

උඩරට සාම්ප්‍රදායික ලාක්ෂා කර්මාන්තය හා බැඳුණු තවත් කර්මාන්තයක් ලෙස සේසත් කර්මාන්තය සැලකිය හැකියි.

තල් අත්ත නෙක රටාවන්ගෙන් හැඩ කරමින් නිර්මාණය කෙරෙන සේසතින් සශ්‍රීකත්වය, අභිමානය ආදී මානව හැඟීම් විදහා දැක්වෙනවා.

නමුත් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුව සහ කොවිඩ් උවදුර හේතුවෙන් එම කර්මාන්තකරුවා අදවනවිට පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

හස්ත කර්මාන්තය මෙරට දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නක්.

කෘෂිකර්මාන්තය හා බැඳුණු ජීවිතයක් ගත කළ අතීත වැසියා සිය ජීවනෝපාය මාර්ගය හා සබැඳිව විවිධ වූ නිර්මාණයක් බිහි කළේ සිය නිසඟ හැකියාව මොනවට විදහා පාමින්.

එලෙස බිහිවූ නිර්මාණශීලි කර්මාන්තයක් ලෙස සේසත් කර්මාන්තය සැළකෙනවා.

මුළු ලොවටම සේසත් නිෂ්පාදනය කරන එකම ගම්මානය ලෙස සැළකෙන්නේ මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවේරුවයි.

පෙර රජ දවස පටන් පාරම්පරිකව සේසත් නිපදවූ මෙහි වැසියන් අද වනවිට අසරණ වී සිටින්නේ සිය කර්මාන්තයක් දිනෙන් දින අභාවයට යමින් පැවතීම හේතුවෙන්.

සිය නිෂ්පාදනයේ ප්‍රධානතම අමුද්‍රව්‍ය ලෙස සැළකෙන පොතු මිනිරන් පිහිටි නිධිය මොරගහකන්ද ජලාශයට යටවීම හේතුවෙන් උග්‍ර අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ පා ඇති සේසත් නිර්මාණකරුවන් අදවනවිට කබලෙන ලිපට වැටී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්.

පවුල් 80 ක් පමණ ජීවිකාව සරිකරගන්නා සිය කර්මාන්තය යළි ශක්තිමත් කර දේශීය මෙන්ම විදෙස් වෙළෙඳපොළද ජයගන්නට තමන්ට සවියක් වන්නැයි සේසත් කර්මාන්තකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

(31.01.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ජනතා ගැටලුවකට විසඳුම් ලබා දීමේ අරමුණින් සිදු කළ මාර්ග සංවර්ධනයක් හේතුවෙන් තවත් ගැටලු රැසක නිර්මාණය වී ඇති පුවතක් අපට රාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රාගම – කුරුකුලාව මාර්ගයේ සිදු කර ඇති මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් තම ගැටලුව තවත් වර්ධනය වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

***************************************

(31.01.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රදේශයේ වෙළඳ සංකිර්ණයක සුරල් සතුන් අලෙවි කරන වෙළඳසැලකට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි සිටි පරෙවියන් සොරාගෙන යාමට තැත්කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් සහ 18 හැවිරිදි තරුණයෙක්.

මොවුන් දෙදෙනා එක්ව රුපියල් 4100 ක් වටිනා පරෙවියන් සිව්දෙනෙකු (4) මෙලෙස සොරා ගැනීමට තැත්කර තිබෙනවා.

වෙළඳසැල තුල කිසියම් අයෙක් සිටින බවට ලැබුනු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වෙළඳසැලේ පිටුපස දොර කඩා එය තුලට ඇතුල් වී සිටි සැකකරුවන් පරෙවියන් රැගෙන පිටව යාමට උත්සාහ කරන අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

මානව හිමිකම් කොමසාරිස්වරිගේ ප්‍රකාශ ගැන විරෝධය

(30.01.2021 – 20:47 +0530 – sinhala.adaderana.lk)

නිසි කරුණු අධ්‍යයනයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කළ මානව හිමිකම් චෝදනාවලට විරෝධය පළකරමින් මහජන යුතුකම් කේන්ද්‍රය අද (30) ලිපියක් භාරදුනි.

මානව හිමිකම් කඩකිරීම පිළිබඳ විශ්වසනීයත්වයෙන් යුත් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කිරීමට පසුගියදා මහ කොමසාරිස්වරිය සිය වාර්ෂික වාර්තාවෙන් කළ යෝජනාවට එම ලිපියෙන් විරෝධය පළකර තිබේ.

එමෙන්ම මෙරට කොවිඩ් මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා තිබූ අදහස්වලටත් මහජන යුතුකම් කේන්ද්‍රය සිය විරෝධය පළකරයි.

ලිපිය භාරදී මේ අවස්ථාවට එක් වෙමින් දේශප්‍රේමී ජාතික පෙරමුණේ ලේකම් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා :

“අප මෙමඟින් ප්‍රතික්ෂේප කරනවා ඔබේ ප්‍රධානියා අපේ රටේ යුද විරුවන් ගැන දක්වා තිබෙන අදහසට. අපි ඔප්පු කරලා තියෙනවා අපේ යුද විරුවන් කිසිම යුද අපරාධයක් සිදුකර නොමැති බව. අපිට බොහෝ සාක්ෂි තිබෙනවා ඒවා ඔප්පු කරන්න. ඒ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් අපි ජිනීවාවලට දීලා තියෙනවා.”

එහිදී අදහස් දැක්වූ මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් :

“එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජිකයින් 4 දෙනෙකු ගෙන් යුතු විශේෂ කමිටුවක් විසින් නිවේදනයක් නිකුත් කළා. ලංකාවේ කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් පවතින තීන්දු වෙනස් කරලා. වහාම සුළු ජාතිකයින්ට සාධාරණයක් ඉටු කරන්න කියලා. ඒ සාමාජිකයේ 4 දෙනාගෙන් එක් අයෙක්වත් වෛද්‍ය ක්ෂේත්‍රයටවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් පත්කළ කමිටුව නිර්දේශ කරලා තියෙනවා කොවිඩ් මළ සිරුරු භූමිදානය කළයුතුයි කියලා. හැබැයි සුදර්ශනී මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා එවැනි කමිටුවක් ගැන මම දන්නේ නැහැ කියලා. මට ඒක අදාළ නැහැ කියලා. සුදර්ශනී පත්නොකළ කමිටුවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපට ගැටළුවක් තියෙනවා. ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව’ අද වෙන කොට ‘එක්සත් ජාතීන්ගේ මළමිනී හිමිකම් සුරකින කොමිෂන් සභාව’ බවට පත්වෙලා.”

***************************************

හිමිනමකට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි සත්‍යග්‍රහයක්

(30.01.2021 – 14:51 +0530 – sinhala.adaderana.lk)

වටරැක, ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් කඩාවැදී හිමිනමකට පහරදුන් සැකකරුවන්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් තවත් හිමිනමක් සත්‍ය්‍රගහයක් ආරම්භ කර තිබේ.

ඒ පාදුක්ක පොලිසීය ඉදිරිපිටදීය.

රජයේ බදු ඉඩමක මූලික පිරිවැය යොදමින් ආරණ්‍ය සේනාසනය පිහිටුවනු ලැබීමට අවශ්‍යය මූලික අදියරේ කටයුතු සිදුකිරීමට 2012 වසරේදී පාදුක්ක ප්‍රදේශයේ දානපතිණියක් ක්‍රියාකර තිබුණි.

ඇයගේ අභාවයෙන් පසු තවත් පිරිසක් එම ස්ථානය සිය මෙහෙයුම් මැදිරියක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ.

එවන් පසුබිමක එම පිරිස ඉවත් කිරීමට කටයුතු කර 2019 වසරේ දෙසැම්බර් 2 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් ගමේ දායක සභාව වෙත අදාළ භූමියේ නීත්‍යාකූලව බදු පැවරුම් ගිවිසුම දීර්ඝකාලීනව භාර කර තිබුණේ පාදුක්ක ලීනාවත්ත ආරණ්‍ය සේනාසනයක් පවත්වා ගෙන යාම සඳහාය.

අද වන විට භික්ෂුන් වහන්සේ 5 නමක් එම ස්ථානයේ වැඩ සිටී.

මෙවන් පසුබිමක පසුගිය 25 වනදා යළිත් ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් ඇතුළුවු පිරිසක් නායක ස්වාමින්වහන්සේ නමට පහරදී ‍දේපලවලට හානි කර තිබුණි.

අදාළ සිද්ධියේදී පහරකෑමට ලක්වූ හිමිනම කලුබෝවිල ශික්ෂණ රෝහලේ මේවන විටත් ප්‍රතිකාර ලබයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනමක් ඇප මත මුදා හැර තිබුණි.

***************************************

(31.01.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

14 හැවිරිදි දැරියක් අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු දික්වැල්ල පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි පොලිසිය පැවසුවේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු විසින් දික්වැල්ල ප්‍රදේශයේ ඇති කුරුඳු ඉඩමකට දැරිය කැඳවාගෙන ගොස් මෙලෙස අතවරයට ලක්කර ඇති බවයි.

අත්අඩංගුවට ගැණුනු සැකකරු 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් මීට පෙර දුරකථන මාර්ගයෙන් දැරියව හඳුනාගෙන දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දික්වැල්ල පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *