වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

*********************************************

වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

(30.01.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යත්නය ඉන්දියාවට ලබාදීමට එරෙහිව වරාය සේවකයින් ඊයේ (29) ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුවේ සම කැඳවුම්කරු සංජය කුමාර මහතා කියා සිටියේ තමන් ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළැඹෙන සඳුදා (01) සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යත්නය ශ්‍රී ලංකා වරාය අධිකායේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කොළඹ වරාය ඇතුළු ප්‍රධාන වරාය කිහිපයක් ඉදිරිපිට ඊයේ (29) පැවති උද්ඝෝෂණවලින් අනතුරුව වරාය සේවකයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කලා.

මේ අතර අද (30) දහවල් වරාය වෘත්තිය සමිති විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ඊට වෘත්තිය සමිති 23 ක නියෝජිතයන් එක්වීමට නියමිතයි.

***************************************

(30.01.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මීටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය, බටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ සැලසුමක් මත සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ 24 හැවිරිදි තරුණයෙක්.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඝාතනය සැලසුම් කළ බවට අනාවරණ වී ඇති, දැනට පොලීසිය මඟ හරිමින් සිටින අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසටයි ෴

***************************************

(30.01.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ප්‍රදේශයේ 64 හැවිරිදි කාන්තාවකට 18 හැවිරිදි තරුණයෙකු විසින් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මාවනැල්ල මාවාන ප්‍රදේශයේ මෙම ඝාතනය සිදු කර ඇති බවත් පෞද්ගලික ආරවුලක් මෙයට හේතු වී ඇති බවත් සඳහන්.

අදාළ කාන්තාව නිවස පිටුපස තම නැගණිය සමග සිටියදී එකවරම පැමිණි තරුණයා 64 හැවිරිදි කාන්තාවට තියුණු ආයුධයකින් ඇන ඇයගේ නැගණියටද තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ නැගණිය මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඝාතනය සිදු කළ තරුණයා මිට පෙරද සිය පවුලට හිරිහැර සිදුකරන බව 64 හැවිරිදි කාන්තාව පොලිසිය පැමිණිලි කර ඇති බවද සඳහන්.

අදාළ තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(30.01.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – උස්මුදුලාව ග්‍රාමීය බැංකුව කොල්ල කා පළාගිය ගුවන් හමුදා සෙබලෙකු පොලිසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්බෝම්බයක් පෙන්වා ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය බිය ගන්වා එහි තිබූ රුපියල් 1,36,000 ක මුදලක් කොල්ල කා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, දේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සහ සෙල්ලම් පිස්තෝලයක් සොයාගෙන ඇති අතර, 47 හැවිරිදි ඔහු අද (30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(30.01.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල සොයා ගැනීමට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වී තිබෙනවා.

ඒ, ගංජා කිලෝග්‍රෑම් 03 ක් සහ අයිස් ග්‍රෑම් 21 ක් සමඟ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙලිකරගත් තොරතුරුවලට අනුවයි.

ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 07 කට අධික බවයි පොලිසිය පැවසුවේ.

ඔහු ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන දැනට බන්ධනාගාරගතව පසුවන ‘ක්ලෙමන් ගුණරත්න’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සඳහන් කළේ.

***************************************

(30.01.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් යතුරුපැදිය පානදුර – ඌරකඩුව තොටුපල ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිස් කිමිඳුම් නාවික කොට්ඨාශයේ කණ්ඩායමක් ඊයේ (29) දිනයේදී මෙම යතුරුපැදිය සොයා බොල්ගොඩ ගඟෙහි මෙහෙයුම් දියත් කළ ද, එය සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ස්ථානයට පැමිණ ප්‍රදේශයේ තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ යතුරුපැදිය සොයා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙසටයි. ඒ අනුව, ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු යතුරුපැදිය සෙවීමේ මෙහෙයුම සඳහා අද (30)උදෑසන එක්ව තිබුණා. ඔවුන් මෙහෙයුම ආරම්භ කර සුළු වේලාවකින් යතුරුපැදිය ගඟේ එක් ඉවුරක තිබී සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම ඝාතනය සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල පැරණි ලී කොටයක් තුළ සඟවා තිබියදී ඊයේ සොයා ගැණුනා. පසුගිය සඳුදා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවටයි දැනට අනාවරණ වී ඇත්තේ. වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මේ අතර, ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල සොයා ගැනීමට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වී තිබෙනවා.

ඒ, ගංජා කිලෝග්‍රෑම් 03 ක් සහ අයිස් ග්‍රෑම් 21 ක් සමඟ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙලිකරගත් තොරතුරුවලට අනුවයි.

ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 07 කට අධික බවයි පොලිසිය පැවසුවේ.

ඔහු ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන දැනට බන්ධනාගාරගතව පසුවන ‘ක්ලෙමන් ගුණරත්න’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සඳහන් කළේ.

(30.01.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 510 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ෴

***************************************

(30.01.2021 – 12:35 +0530 – hirunews.lk/sinhala)

රටක් සංවර්ධනය කිරීමේදී දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එකට එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තණමල්විල අලුත්වැව ප්‍රදේශයේ පැවැත්වෙන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

***************************************

(30.01.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අතරමග නතර කිරීම හේතුවෙන් නිවාස ගොඩනගා ගත නොහැකිව පීඩාවට පත් නිවාසලාභීන් පිරිසක් පිළිබඳ තංගල්ල රැකව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ 2018 වර්ෂයේදී තංගල්ල – රැකව පින්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක්.

සඳලකරගම, සිසිරකරගම, ගොවිසිසිල, සිරිමඬන සහ සොමිසිසි මව්ගම ලෙස ගම්මාන 5 ක් යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබුණා.

ඒ නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ උදාගම් සංකල්පය යටතේයි.

නිවාස 104 කින් සමන්විත මෙම ව්‍යාපෘතිය මාස 6 ක කාලයකින් අවසන් කරන ලෙස දන්වා තිබුණේ මෙතෙක් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් ලබා නොදුන් බවට ජනතාව මැසිවිල නගනවා.

එක් නිවසක් ඉදිකිරීම සඳහා නිවාස අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ හත හමාරක (7½) මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවත් එම මුදල් ලබා නොදීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා තිබෙනවා.

එසේ ඉදිකිරීමට අපොහොසත් වූ නිවාස අත්හැර දමා ඇති ආකාරයයි මේ.

හිසට සෙවණක් සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමට දහසකුත් එකක් බලාපොරොත්තු තබාගත් මේ මිනිසුන්ගේ එකම ඉල්ලීම කෙසේ හෝ තම නිවාස සිහිනය සැබෑ කර දෙන ලෙසයි.

***************************************

(30.01.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – මැදිරිගිරිය – දහම්වැව ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනකට හසුවීමෙන් වනඅලින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද (30) අලුයම මෙම වන අලින් දෙදෙනා (2) ට විදුලිසැර වැදී ඇති බවයි.

සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිට පැමිණෙන මෙම වනඅලින් එම ප්‍රදේශවල නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර විශේෂයෙන් මේ දිනවල ගොවීන් වගා කර ඇති බඩඉරිඟු වගාවන්ට එම වනඅලීන් පැමිණෙන බව සඳහන්.

එලෙස පැමිණෙන වනඅලින් බඩඉරිඟු වගාවන්ට හානි සිදුකරන අතර, ඒවා වළක්වා ගැනීම සඳහා ගොවීන් අනවසර විදුලි රැහැන් ඇද තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. අද (30) අලුයම විදුලිසැර වැදී මියගිය වනඅලින් දෙදෙනා (2) ගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවයි මැදිරිගිරිය වනජිවි කාර්යාලය සඳහන් කළේ.

ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරින් පැමිණ මියගිය වනඅලින් දෙදෙනා (2) ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා. අනවසර විදුලි රැහැන් ඇද තිබූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

***************************************

(30.01.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

73 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පෙබරවාරි පළමුවනදා සිට 7 වනදා දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්‍යාපාර, කාර්යාල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

මීට පෙර එම සතිය තුළ රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලිවල ජාතික ධඡය එසවීමට කටයුතු කරන ලෙස ද සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබුවා.

73 වන නිදහස් දින සමරු උලෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි ෴

***************************************

(30.01.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නව කමිටුවක් පත් කිරීම සඳහා නම් නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය මෙම කමිටුව මගින් අධීක්ෂණය කිරීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් එකඟ වූ පරිදි අදාළ ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙලෙස කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නගාසිටුවීම සඳහා ප්‍රධාන කරුණු 7 කින් සමන්විත යෝජනාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදී සලකා බැලුණු කරුණුවලට අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ඉදිරිපත් කළ අදාළ කරුණු 7 වන්නේ :

01 – දැනට පවතින ක්‍රිකට් තේරීම් කමිටුව ගැන සලකා බලමින් නව තේරීම් කමිටුවක් පත් කිරීම.

02 – පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අනුව පළමු කාණ්ඩයේ කණ්ඩායම ගණන අවම වශයෙන් 8 ක් සහ උපරිමය 14 කට සීමා කිරීම. පළමු කාණ්ඩ යටතේ දෙවැනි කාණ්ඩයට අයත් කණ්ඩායම් එක් නොකිරීම.

03 – නව සුපිරි පළාත් තරගාවලියක් සංවිධාන කිරීම.

04 – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා පත් කළ හැකි නිලධාරීන් හදුනා ගැනීම. ඒ අනුව කණ්ඩායම් උපදේශක , ක්‍රිකට් අධ්‍යක්ෂ සහ පූර්ණ කාලීන ක්‍රිකට් කළමනාකරු ලෙස තනතුරු නම් කිරීමට යෝජිතයි.

05 – ‍ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ගිවිසුම් සකස් කිරීමේදී දිරිගැන්වීමේ ක්‍රියාපටිපාටිය ගැන සලකා බැලීම. මෙහිදී ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

06 – ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මගින් ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම.

07 – ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී නිර්දේශිත ක්‍රිකට් කමිටුවක් නම් කිරීම යන කරුණුයි.

මේ අතර අදාළ නිර්දේශිත කමිටුව සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නම් කිරීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් වාර්තා වනවා.

ඒ අතරට අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන මහත්වරු ඇතුළත් වන බවටයි වාර්ථා වන්නේ ෴

@@@@@@@@@@@@@@@

(30.01.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායනය නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායනය නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 2853 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම, ඊයේ (29) බස්නාහිර පලාත තුල සිදුකරන ලද විශේෂ නිරෝධායන මෙහෙයුම් වලදී නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 63 ක් හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++++++++++++++

(30.01.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) දිනය තුල හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 892 දෙදෙනාගෙන් 602 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 313 ක්.

ඉන් 74 දෙනෙකුම ගොතටුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. 60 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 211 දෙනෙකු හඳුනා ගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඉන් 37 දෙනෙකුම වාර්තා වී තිබුණේ වැලිපැන්න ප්‍රදේශයෙන්.

ඊයේ (29) දිස්ත්‍රික්ක 17 කින් ආසාදිතයින් වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 79 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 47 ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 22 ක් සහ මාතර හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 20 බැගින් වාර්තා වුණා.

මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62,445 ක් ලෙස සටහන් වනවා.

ගෙවුණු දින දෙකේ (2) දීම කොරෝනා අසාදිතයින් 800 සීමාව ඉක්මවා තිබීම විශේෂත්වයක්.

එසේම, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද ඊයේ (29), 300 සීමාව ඉක්මවා ගියා.

ඒ ගතවූ දිනයේදි මරණ 08 ක් වාර්තා විමත් සමඟයි.

මේ අතර කොළඹින් පිටත ප්‍රදේශවලින් වාර්තා වන මරණ සංඛ්‍යාව මේ වනවිට ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළා.

එම තත්ත්වය පිලිබඳව සැලකිල්ල යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සැරිසරන යාචකයන් සොයා, අද (30) සිට මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

දුම්රිය බලධාරින්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා වෘත්තීය වශයෙන් යාචකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++

(30.01.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 879 දෙනෙකු අද (30) දිනයේදීත් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවමින් 56,277 ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62,445 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *