දැඩි තීන්දුවක් ගන්න ඇමති විමල් ගෙන් පක්ෂ 6 කට ඇරයුම්

දැඩි තීන්දුවක් ගන්න ඇමති විමල් ගෙන් පක්ෂ 6 කට ඇරයුම්

*********************************************

දැඩි තීන්දුවක් ගන්න ඇමති විමල් ගෙන් පක්ෂ 6 කට ඇරයුම්

(29.01.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් දැඩි තීන්දුවක් ගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා පක්ෂ 6 කට ඇරයුම් කර තිබෙනවා.

නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා (01) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 6 ක නායකයන්ටයි දුරකථන මාර්ගයෙන් මෙලෙස ඇරයුම් කර ඇත්තේ.

ඊට අදාළ තීරණාත්මක සාකච්ඡාව හෙට (30) අමාත්‍යවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිළ, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නට සහ එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ටයි අමාත්‍ය විමල් වීරවංශ මෙලෙස සාකච්ඡාව සඳහා දුරකථනය මගින් ඇරයුම් කර ඇත්තේ.

***************************************

(29.01.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් දින උළෙලට අදාළ පෙරහුරු පැවැත්වෙන දිනවල සහ නිදහස් සමරු උළෙල පැවැත්වෙන දිනවල කොළඹ නිදහස් චතුරස්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව හෙට (30) සෙනසුරාදා සිට දින 05 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව බොරැල්ලේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය වසා දැමෙන අතර, ඒ වෙනුවට බොරැල්ලේ සිට පැමිණෙන වාහන හෝර්ටන් පෙදෙස හරහා විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කර පුරහල, යුනියන් පෙදෙස හරහා ගමන් කළ හැකි වනවා.

කොළඹ සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහනවලටද අදාළ මාර්ගය භාවිත කළ හැකියි.

කෙසේ වෙතත්, ගාලු පාර සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(29.01.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පදවිය රක්ෂිතයේ සිදුකල මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.

තොරතුරකට අනුව කළ වැටලීමේදී කපා දමා තිබූ විශාල කළුවර දැව කඳන් සහ ඉරූ දැව තොගයක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත බවයි පොලිසිය කියාසිටියේ.

දැව කැපීමට උපයෝගී කරගන්නා ස්වයංක්‍රීය කියත් යන්ත්‍රයක් ද ඇතුළු උපකරණ ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

කපා දමා ඇති දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 කට අධික වන අතර ජාවාරම්කරුවන් වසර ගණනක් පැරණි ඉතා වටිනා දුර්ලභ දැව මෙලෙස කපා අලෙවි කර අති බවටයි අනවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදී පුද්ගලයෙකු වන අතර ඔහු කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(29.01.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

සෑම මුස්ලිම් ජාතිකයෙකුටම අධිකරණයක් හමුවට පැමිණීමේ අයිතිය හිමිවිය යුතු බව ‘අපේ ජනබල පක්ෂයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

කොළඹ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මෙන්ම කාති උසාවි ක්‍රමය සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විවාහ වීමට පෙර මුස්ලිම් ආගමට හැරුණු කාන්තාවක්ද අදහස් දැක්වුවා.

***************************************

(29.01.2021 – 22:37 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල වෙළදපොළේ එළවළු මිල අධික ලෙස ඉහළගොස් තිබෙනවා.

‘හෙක්ටර් කොබ්බෑකඩුව’ ගොවි පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය සඳහන් කළේ එළවළු මිල ඉහළ යාම මාර්තු මස අග දක්වා පවතිනු ඇති බවයි.

***************************************

ගිනි මැල ගසාගෙන මරණ පරීක්ෂණ සිදුකරන රෝහලක්

(29.01.2021 – 18:13 +0530 – sinhala.adaderana.lk)

සුරියවැව ප්‍රාදේශීය රෝහලට අනුයුක්ත කර සිටින හදිසි මරණ පරීක්ෂකවරයාට එම රාජකාරීය සිදුකිරීමට නිසි ස්ථානයක් නොමැති බව ඔහු පවසයි.

එබැවින් හදිසි මරණ පරීක්ෂණ මෘත ශරීරාගාරය ආසන්නයේ ගසක් යට සිදුකිරීමට සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක විදානගමගේ විජේදාස මහතා කියා සිටියේය.

රාත්‍රී කාලයේ දී ආලෝකය නොමැතිකමින් ඔහුට සිය රාජකාරී කටයුතු කිරීමට සිදුව ඇත්තේ, ගිනි මැලයක ආධාරයෙනි.

විදුලි සැර වැදීමෙන් මියගිය 15 හැවිරිදි දරුවෙකුගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (28) පස්වරුවේ ගිනි මැලයක් දල්වාගෙන සිදුකිරීමට හදිසි මරණ පරීක්ෂකවරයාට සිදුවිය.

“කොහොම ද මහත්තයෝ මෝචරියේ ළඟ ඉන්නේ. ළඟ තියා මේ කිට්ටුවේවත් මනුස්සයෙකුට ඉන්න බැහැ. ඉතින් මම කොහේහරි ගහක් යටට ගිහින් තමයි රාජකාරිය කරන්නේ.”

කෙසේවෙතත් අප කළ විමසීමක දී සුරියවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්.එච්. මහින්දරත්න මහතා පවසා සිටියේ, තමාට ඒ පිළිබඳ ව විසඳුමක් ලබාදිය නොහැකි බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි මරණ පරීක්ෂකවරයාට රාජකාරී කිරීමට ස්ථානයක් වෙන්කර දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන්නේ නම් ඒ අනුව ක්‍රියාකළ හැකි බව ද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

@@@@@@@@@@@@@@@@@@@

(29.01.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 394 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මීට මොහොතකට පෙර තහවුරු කළා.

ඒ අනුව මෙරටින් ආසාදිතයන් 61,586 ක් හමුවී ඇති අතර ඉන් 5891 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 55,398 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 297 ක් ද වාර්තාවුණා ෴

+++++++++++++++++++++

(29.01.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේදී 5286 දෙනෙකු සඳහා ඉන්දියාවෙන් ලැබුනු කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 1886 දෙනෙකුට, කොළඹ උතුර ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ හමුදා රෝහලේ 600 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බවයි ඔවුන් සඳහන් කළේ.

ඊට අමතරව පනාගොඩ යුද හමුදා කඳවුරේ 400 දෙනෙකුට, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382 දෙනෙකුට, හෝමාගම මූලික රෝහලේ 190 දෙනෙකුට, මුල්ලේරියාව මූලික රෝහලේ 108 දෙනෙකුට, බෝවන රෝග විද්‍යායතනයේ 80 දෙනෙකුට සහ වැලිසර නාවික හමුදා කඳවුරේ 56 දෙනෙකුට එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

කිසිදු ආසාත්මිකතාවක් මෙතෙක් වාර්තා නොවූ අතර හෙට (30) දිනයේදී දිවයින පුරා එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++++

(29.01.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 62,445 ක් දක්වා ඉහළ යනවා.

ඉන් පුද්ගලයන් 6750 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 55,398 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 297 ක් ද වාර්තාවුණා.

අද දිනයේ මෙරටින් ආසාදිතයන් 859 දෙනෙකු වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++++

(29.01.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අමාත්‍යවරිය ඊයේ (28) වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කෙරුණා.

හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා තිබුණේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියාසිටියේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ඇය සඳහන් කළේ තමන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වුවත්, එය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහන හෙට දින සිට මුළු දිවයින ආවරණය වන පරිදිම සිදුකරන බවයි අමාත්‍යවරිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ ෴

++++++++++++++++++++

(29.01.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත මරණ 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (29) දිනයේ තවත් මරණ 8 ක් වාර්තාවීමත් සමගයි.

මියගොස් ඇත්තේ අවුරුදු 65, 58, 80, 63 වයස්වල පසුවන පිරිමි පුද්ගලයෙක් 4 දෙනෙක් සහ 67, 90, 43 සහ 66 වයස්වල පසුවන කාන්තාවන් 4 දෙනෙක්.

මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 62,445 ක් වාර්තාවී ඇති අතර ඉන් 6742 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 55,398 ක්.

අද (29) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 859 ක් වාර්තා වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *