වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී

*********************************************

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී

(29.01.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

එක් දිනක් තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී සටහන් වුණා.

ඒ, අනුව නව ආසාදිතයින් අටසිය අනූ දෙදෙනෙකු (892) මෙරටින් හඳුනාගෙන තිබූ අතර, දේශීය වශයෙන් හඳුනා ගැනුණු ආසාදිතයින් 852 ක් ඒ අතර වනවා.

එසේම, විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 40 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (28) හඳුනා ගැනුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 33 දෙනෙකු සහ ඕමානයේ සිට පැමිණි 07 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දේශීය වශයෙන් ඊයේ (28) හඳුනා ගැනුණු ආසාදිතයින් අටසිය පනස් දෙදෙනාද (852) සමඟින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර මේ වනවිට 57,630 ක් ලෙස සටහන් වනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,854 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී ආසාදිතයින් 1,869 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 54,435 ක් ලෙසයි.

තවත් කොරෝනා මරණ 07 වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 297 දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 04 ක් කොළඹින් වාර්තා වූ අතර, ගම්පහ සහ රත්නපුර ප්‍රදේශවලින් සෙසු මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඉත්තෑපාන රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර, පසුව හඳුනා ගැනුණේ ඔහු කොරෝනා ආසාදනය වීමත් සමඟ උග්‍ර වූ දියවැඩියාව සහ අධි රුධිර පීඩන තත්ත්වය හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

එම ප්‍රදේශයේම පදිංචි 67 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවක්ද මියගිය අතර, ඇය කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ ඇදුම රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණා.

එමෙන්ම, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්ත්වය සමඟ ඇති වූ හෘදය අක්‍රීය වීම හේතුවෙන්.

මීට අමතරව 61 හැවිරිදි බන්ධනාගාර රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර, ඒ කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇති වූ හෘදයාබාධයක් සහ උග්‍ර වූ දියවැඩියා තත්ත්වය හේතුවෙන්.

එමෙන්ම, ගම්පහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද ඊයේ (28) සිය නිවසේදී මියගොස් තිබෙනවා.

පසුව අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය හේතුවෙන් එම පුද්ගලයා මියගිය බවයි.

කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ ඇති වූ වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් ඇති බව ඊයේ (28) වාර්තා වුණා.

මීට අමතරව රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇති අතර, ඒ, උග්‍ර වූ හෘද රෝගී තත්ත්වය, ලේ විෂවීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

මේ අතර, ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් දහය (10) අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් බව ඊයේ (28) ප්‍රකාශ කෙරුනා.

මේ සම්බන්ධත්‍යන් හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මෙරට තුළ කොරෝනා වෛරසය මුළුමනින්ම තුරන් කිරිම ප්‍රධාන අරමුණ බවයි.

කෙසේ වෙතත්, කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සැලකූ විට දැන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවද අභිබවා ගොස් තිබෙනවා. 61,586 ක් වන මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව සැලකූ විට සිංගප්පූරුවේ ආසාදිත සංඛ්‍යාව 59,425 ක් ලෙසයි සටහන් වන්නේ.

මීට පෙර ශ්‍රී ලංකාව ආසාදිත සංඛ්‍යාව අතින් සිංගප්පූරුවට පසුපසින් 93 වන ස්ථානයේ රැඳී සිටියද දැන් සිංගප්පූරුව සහ මොන්ටිනීග්‍රෝ අභිබවා 91 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ 297 සැලකූ විට සිංගප්පූරුවෙන් වාර්තා වන්නේ කොරෝනා මරණ 29 ක් පමණයි.

මේ අතර, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වවුනියාවේ පිහිටි ත්‍රස්ත මර්දන ඒකකය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන් කළුතර ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එසේම පොළොන්නරුව – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අභයපුර පිහිටි පුද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවකින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙන අතර අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව ලබන සඳුදා (01) දක්වා වසා දැමුණා ෴

+++++++++++++++++++

(29.01.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළඳි සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළඳි සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 2823 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පිරිසෙන් පුද්ගලයින් 2,751 දෙනෙකුට මේ වනවිට නඩු පවරා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++++++++++

(29.01.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු එන්නත් කරමින් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි.

+++++++++++++++++++++

(29.01.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටමින් රට පුරා පාසල් 120 ක සුවතා කාමර ඇති කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ සහය හිමිවනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ මෙය ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනකගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම උදෙසා මුල පිරීමක් වනු ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, එහිදී සුවතා කාමරවලට අවශ්‍ය ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල සහ ජංගම තිර සහ ජල ඩිස්පෙන්සරද සැපයීමට නියමිතයි.

අවශ්‍ය වුවහොත් සිසුන් වෙන්කර තැබීමට සහ ඊට සම්බන්ධ අනෙකුත් රැකවරණය සඳහා මෙම කාමර මගින් ඉඩ සලසන බවයි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(29.01.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

= මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඇරඹේ – අයි.ඩී.එච්.රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට පළමුව එන්නත් =

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත්කරණය වැඩසටහන අද (29) නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ පැවති උත්සවයකදීයි.

එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට එහිදී පළමුවෙන් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා – කොවිෂීල්ඩ්’ එන්නත ලබාදුන් අතර, ඉන් පසුව එහි කාර්ය මණ්ඩලය එන්නත් කිරීම ඇරඹුණා.

එම සමාරම්භක කොරෝනා එන්නත්කරණ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ප්‍රකාශ කළේ මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බවයි.

“ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට වී ඇත්තේ එහි අලංකාරත්වය, ජනතාවගේ සුහදත්වය සහ ඔවුන්ගේ ඉහළ හැකියාවන් හේතුවෙන්.

කොරෝනා මර්දන එන්නත් වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව නැවතත්, ලෝකයට විවෘත වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

එහිදී ලෝකය නැවතත් සාමකාමී, සශ්‍රීක, බුදුන් වහන්සේගේ වදන් රැව්දෙන සැබෑ ශ්‍රී ලංකාව දකිනු ඇති.”

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටි අතර, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු අයි.ඩී.එච්. රෝහලේ කාර්ය මණ්ඩලයට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

මීට සමගාමීව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ආරක්ෂක හමුදා සාමාජිකයින් 3 දෙනෙකුට කොරෝනා වෛරස් එන්නත ලබාදීමට පියවර ගැණුනා.

එම අවස්ථාවට කොවිඩ් එන්නත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ තවත් යුද හමුදා රෝහල් කිහිපයකදී කොරෝනා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 3 දෙනෙකුට ද අද (29) දිනයේ ඉන්දියාවෙන් ලැබුණු කොවිෂීල්ඩ් කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.

කොළඹ ජාතික රෝහල ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද (29) සිදුකෙරෙනවා.

කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරිපෙළ ක්‍රියා කරන 1,50,000 ක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, 1,20,000 ක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය රජය ප්‍රදානය කළ මෙම කොරෝනා මර්දන එන්නත් පළමු තොගය ඊයේ (28) මෙරටට ලැබුණු අතර, එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් (5,00,000) ඊට අයත්.

+++++++++++++++++++++

(29.01.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුරුෂ බීජ (ශුක්‍රාණු) වල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙන්.

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ නමුත්, කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++

(29.01.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (28) හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 892 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 298 දෙනෙකු වාර්තා වී තිබූ අතර එහිදී මට්ටක්කුලියෙන් සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 24 දෙනා බැගින් හඳුනාගෙන තිබුණා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 ක් හඳුනාගෙන තිබූ අතර, එහි වැඩිම සංඛ්‍යාවක් එනම්, 26 දෙනෙකු වාර්තා වී තිබුණේ වත්තල ප්‍රදේශයෙන්.

++++++++++++++++

+++++++++++++++++

(29.01.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා තමන්ට කොරෝනා ආසාදනය වී ඇති ප්‍රකාශ කළා.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ එලෙස වෛරසය ආසාදනය වූවා යැයි සිතන දින සිට තමන් කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ වී නොසිටි බවයි.

එමෙන්ම, තමා ඇසුරු කළ පුද්ගලයන් සහ ආගිය ස්ථාන පිළිබඳව සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දුන් අතර, නිරෝධායනයට ලක්වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ පිලිබඳව අප කළ විමසීමකදී රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතා මේ බව තහවුරු කරනු ලැබුවා ෴

බිමල් ජයකොඩි මහතා

++++++++++++++++

(29.01.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තොටුපලේ පිහිටි රසායනාගාරයෙන් සිදුකෙරෙන කොරෝනා පරීක්ෂාවන් මේ වනවිට අඩාල වී ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තියවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරනවා.

මේ අතර, ඊයේ (28) ආසාදිතයින්ගෙත් සියයට 60 ක් බස්නාහිර පළාතෙන් වාර්තා විය.

වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ දිනයේදී වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 892 ක්.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 61,586 ක් දක්වා ඉහළ ගියා.

ආසාදිතයින්ගෙන් 60% කටත් වැඩි සංඛ්‍යාවක් වාර්තා වි තිබුණේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව 543 ක්. එසේම, නව මරණ 07 ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297 ක් දක්වා ඉහළ ගියා.

මීට පෙර අවස්ථා හතරකදී (4) පමණක් දිනක අසාදිතයින් 800 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර ඉන් අවස්ථා දෙකක් (2) වාර්තා වූයේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොලෙන්.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක අතරින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) වාර්තා වූ අතර එම සංඛ්‍යාව 298 ක්.

ඉන් 191 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ මහ නගර සභා සීමාවෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද අසාදිතයින් 203 දෙනෙකු හඳුනාගත්තා. දිස්ත්‍රික්ක 20 කින් ඊයේ (28) ආසාදිතයින් වාර්තා වූ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 56 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 42 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 42 ක් එහිදී හඳුනාගෙන තිබෙනවා.

සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ද ඊයේ (28) වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1869 ක්.

මේ අතර, කොරෝනා ආසාදනය වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුලත් කර තිබෙනවා. ඇය ප්‍රථමයෙන් හික්කඩුවේ පිහිටි මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබූ අතර පසුව පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වෙත මාරුකර එවා තිබුණා. පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියගේ ස්වාමි පුරුෂයා වන හිටපු පලාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහතා කියා සිටියේ තමාට කොරෝනා ආසාදනය වී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ගුවන් තොටුපලේ පිහිටි රසායනාගාරයෙන් සිදුකෙරෙන කොරෝනා පරීක්ෂාවන් මේ වනවිට අඩාල වී ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තියවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 102,057,347 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 2,201,325ක් .

ඒ අතුරින් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 26,338,607 සහ මරණ 443,769 ක් වාර්තා වන අතර, ඉන්දියාවෙන් ආසාදිතයන් 10,720,971 ක් සහ මරණ 154,047 ක් වාර්තා වනවා.

බ්‍රසීලයෙන් කොරෝනා 221,676 ක් වාර්තා වන අතර, මෙක්සිකෝවෙන් මරණ 155,145 ක් සහ එක්සත් රාජධානියෙන් 103,126 ක් වාර්තා වුණා.

එමෙන්ම, ඇමෙරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කළ නොවාවැක්ස් නැමැති නව කොරෝනා එන්නත, සායනික පරීක්ෂණවලට ලක් කිරීම සඳහා ඉන්දියාවේ සීරම් ආයතනය එරට සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ඉල්ලා තිබෙනවා.

එම එන්නත බ්‍රිතාන්‍යයේ මහා පරිමාණ සායනික පරීක්ෂණවලදී 89.3% ක ශක්‍යතාවක් ප්‍රදර්ශනය කර ඇති අතර, දකුණු අප්‍රිකාවේ සිදුකළ සායනික පරීක්ෂණවලදීද 90% ක ශක්‍යතාවක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ලෙස සැලෙකන පූනේ නුවර පිහිටි සීරම් ආයතනය මේ වනවිට ඔක්ස්ෆර්ඩ් සරසවි – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙන්. මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ නමුත්, කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බවයි පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ ෴

@@@@@@@@@@@@@@@@@@

නැගෙනහිර පර්යන්තය රැකගන්න වෘත්තීය සමිති අකුරට වැඩ

(29.01.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% ක කොටස් ඉන්දීය ආයෝජකයෙකුට ලබාදීමට විරෝධය පළකරමින් වරාය වෘත්තීය සමිති සිදු කරන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අද (29) දහවල් 12 සිට ආරම්භ කෙරෙනවා.

මෙම ගැටලුව මුල් කරගනිමින් පසුගිය වසරේද කොළඹ වරායේ වෘත්තිය සමිති විරෝධතා සහ වැඩවර්ජනවල නිරත වුණා.

පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කරනු ලැබුවේ.

ඉන් අනතුරුව කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළද, ඉන්දීය ආයෝජකයින් නොමැතිව එහි සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින්ම සිදුකරන ලෙස වෘත්තිය සමිති විසින් සැකසූ යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට වෙත පසුගියදා භාර දුන්නා.

එහි සඳහන් නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක් (100%) වරාය අධිකාරිය සතුව තබා ගැනිමේ යෝජනාව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඇතුළත් කරන ලෙසට බල කරමිනුයි වරාය වෘත්තීය සමිති 23 මෙලෙස අද (29) දහවල් 12 සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන්නේ.

+++++++++++++++

28-01-2021

***************************************

(29.01.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වූ මිල අධික පක්ෂීන් හැට දෙදෙනෙකු (62) අතරින් නිරෝධායනයට යොමු නොකර, හොර රහසේ අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු සොයා ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා.

ඒ නාත්තන්ඩිය – දුනකදෙණිය ප්‍රදේශයේ ඊයේ (28) සිදුකළ විශේෂ වැටලීමකදීයි.

පක්ෂීන් මෙරටට ආනයනය කිරීමේදී 1992 අංක 59 දරණ සත්ත්ව රෝග ආඥා පනත අනුව එම පක්ෂීන් කටුනායක – නයිකන්දේ පිහිටි සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ යුතු වනවා.

ඒ අනුව මෙම පක්ෂීන් ද මාසයක කාලයක් එහි රඳවා තැබිය යුතු වූවත්, එහිදී අදාළ පක්ෂීන් හැට දෙදෙනා (62) ගෙන් නිරෝධායනයට යොමුකර ඇත්තේ පක්ෂීන් 42 දෙනෙකු පමණයි.

එයද පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව සිදුකර ඇති බව අනාවරණ වනවා.

ඉතිරි පක්ෂීන් 20 දෙනා යුගලක් රුපියල් 3,50,000 බැගින් අලෙවි කර ඇති අතර, එලෙස අලෙවි කළ පක්ෂීන් 14 දෙනෙකු මෙලෙස සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඉතිරි පක්ෂීන් 6 දෙනා වෙනත් පාර්ශවයකට ඒ වනවිටත් අලෙවි කර ඇති බව සඳහන්.

ඒ අනුව එම පක්ෂීන් මෙරටට ගෙන්වූ මහනුවර – නුගවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනුනා.

***************************************

(29.01.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමක් මේ වනවිට දක්නට ලැබුණ ද, එමගින් මෙරට සාර්ව ආර්ථික තත්ත්වයන් මැනිය නොහැකි බව මුදල් සහ ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ රටේ දැන් පවතින ආර්ථික තත්ත්වය අනුව, ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 185 ක් පමණ විය යුතු බවයි.

කෙසේ නමුත්, අගය පාවීමට ඉඩ හැරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 කට ආසන්න වූ අතර, ඊයේ එම අගය සටහන් වූයේ රුපියල් 198 යි ශත 24 ක් ලෙසයි ෴

***************************************

(29.01.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

සැමියා විසින් තියුණු ආයුධයකින් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව, මහපතන, සෙල්ලිපිගම ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

ඉකුත් 27 දින පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් සැමියා විසින් බිරිඳගේ ගෙලට මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පසුව සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් සිද්දිය පිළිබඳව ඊයේ (28) සැකකරු පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.

පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන ඇති අතර සිද්දියට අදාළ සැකකාර සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා ඇත්තේ බිරිද කලක පටන් පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවයක් නිසා මෙම ඝාතනය සිදු කළ බවයි.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පාපොච්චාරණය කල සැකකරු වැඩි දුරටත් පවසා ඇත්තේ, බිරිඳ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවය නවත්වන ලෙසට අවස්ථා කිහිපයකදී අවවාද කර තිබුණත්, එම අවවාද නොතකා ගිය බිරිඳ ඝාතනය වු දින උදැසන නාවලපිටිය ප්‍රදේශයේදි අනියම් පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අයුරු තමා දුටු බවයි.

එම අවස්ථාවේ සැකකරු විසින් බිරිඳගේ අනියම් පෙම්වතාට සහ බිරිඳට පහර දුන් බවත් එදින සවස නිවසට පැමිණි අවස්ථාවේ එම සිද්ධිය පදනම් කරගෙන ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු බිරිද තියුණු ආයුධයක් ගෙන තමන්ට පහර දිමට උත්සහ කල අවස්ථාවේ එම ආයුධය සැකකරු උදුරාගෙන බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ බවටයි වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.

හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ගිනිගත්හේන පොලිසියයි ෴

***************************************

(29.01.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

දුම්රියක ගැටීමෙන් ගවයන් හය දෙනෙකු (6) එම ස්ථානයේම මියගිය පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අනතුර සිදුව ඇත්තේ කිළිනොච්චිය මුහමාලේදීයි.

එහිදී ගවයන් හයදෙනෙකු (6) මියගොස් තවත් සිව්දෙනෙකු (4) තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගවයන් දුම්රිය මාර්ගය හරහා ගමන්කරමින් සිටියදී කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මියගිය ගවයින්ගේ අයිතිකරුවන් පැමිණ ගවයින්ගේ මළ සිරුරු රැගෙන ගොස් වළ දමා ඇති අතර තුවාල ලැබූ ගවයින්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කොට ඇත.

උතුරු දුම්රිය මාර්ගයේදී ගව රංචු දුම්රියවල ගැටීමෙන් සිදුවන අනතුරු මෑතක සිට වැඩි වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *