සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට

*********************************************

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට

(28.01.2021 – 22:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියවැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටි අමාත්‍යවරිය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි IDH රෝහලට මාරුකර යවා ඇත්තේ.

කෙසේවෙතත් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ෴

+++++++++++++++++++++++

(28.01.2021 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 7 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 297 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙරටින් මේවනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 61,045 ක් වාර්තාවී ඇති අතර ඉන් 6313 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 54,435 ක්.

මියගොස් ඇත්තේ අවුරුදු 86, 73, 61 සහ 62 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 6 දෙනෙක් සහ 67 හැවිරිදි කාන්තාවක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 61,586 ක් ලෙසටයි.

එම ආසාදිතයන්ගෙන් 6854ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 54,435 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙරට කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 297 ක් ෴

+++++++++++++++++++

ශ්‍රී ලංකාවේ හොඳම PCR යන්ත්‍රය වසා දමා ‘මඩිය තරකර ගන්න නිලධාරී පැලැන්තිය’ ගැන හෙළිදරව් කෙරේ

(29.01.2021 – 07:19 +0530 – truenews.lk)

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ PCR පරීක්ෂණ සඳහා රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරනවා.

ගුවන්තොටුපොළ PCR රසායනාගාරය වැසී යන්නට සලස්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගජ මිතුරන්ගේ ආදායම තර කරමින් සිටින බවටද හෙතෙම චෝදනා කරනවා.

ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ PCR රසායනාගාරයක් ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම වුවද, සංචාරකයන් ගෙන්වීමේදී හෝ ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව, ගුවන් මගීන්ගේ එකදු PCR පරීක්ෂණයක් හෝ ගුවන්තොටුපොළ රසායනාගාරයට යොමු කර නොමැති බව හෙතෙම පවසනවා.

අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ තාවකාලික සේවා ස්ථානවලට වාසි සලසමින්, ගුවන් මගීන්ගේ සියලු PCR පරීක්ෂණ පෞද්ගලික අංශයේ රසායනාගාරයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසනවා.

ඒ සඳහා පූර්ව පියවරක් ලෙස ගුවන්තොටුපොළ තුළ PCR නිදර්ශක ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යොදවන ලද කාර්ය මණ්ඩලය, ගුවන්තොටුපොළ විවෘත කිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුළ අංක එකේ PCR රසායනාගාරය ලෙස කටයුතු කරනු ලබන්නේ ගුවන්තොටුපොළ රසායනාගාරය වන අතර, එහි ධාරිතාව PCR පරීක්ෂණ 4,500 ක් පමණ වනවා.

පැය එකහමාරක (1½) පමණ කෙටි කාලයකින් PCR පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ හැකියාව පවතින අතර, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වාර්තාවක් ලබාදීමේ හැකියාව ඇති රසායනාගාරය වන්නේද එම රසායනාගාරය පමණක් බවත් හෙතෙම පවසනවා ෴

++++++++++++++++++++

(29.01.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (29) සිට ආරම්භ කෙරෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී ආරම්භ වන මෙම කටයුත්තේදී කොරෝනා මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 1,50,000 ක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, 1,20,000 ක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය රජය ප්‍රදානය කළ මෙම කොරෝනා මර්දන එන්නත් පළමු තොගය ඊයේ (28) මෙරටට ලැබුණු අතර, මාත්‍රා පන් ලක්ෂයක් (5,00,000) ඊට අයත්.

එමඟින් පුද්ගලයන් 2,50,000 ක් එන්නත් කළ හැකි වනවා. අදාළ එන්නත් තොගය ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත ප්‍රවාහනය කිරීම ඊයේ (28) පස්වරුවේම ආරම්භ කෙරුණා ෴

@@@@@@@@@@@@@@@@

(28.01.2021 – 21:20 +0530 – hirunews.lk/sinhala)

ආර්තාපල් මිල ඉහළ මට්ටමක පැවතියත් තම අස්වැන්නට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඉන්නල වගා කළ රත්නපුර – ගොඩකවෙල හා වැලිගෙපොල ගොවීන් චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

***************************************

(28.01.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ප්‍රදේශයේ මහල් 4 කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 3 ක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කියාසිටියේ ෴

+++++++++++++++++++

+++++++++++++

***************************************

(28.01.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වියයුතු බව ද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා වැඩිදුරටත් පැවසීය.

“ආයුර්වේද රෝහල්වල වාර්තාවෙන සාමාන්‍ය රෝගීන් ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් විශේෂ සායන දියත් කරලා තියෙනවා.”

***************************************

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට අවධානය

(27.01.2021 – 21:39 +0530 – sinhala.adaderana.lk)

2019 අ.පො.ස උසස්පෙළ විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් තෝරාගැනීම නිසා මතු වී ඇති ගැටලුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීතිවලට අනුකූලව ගැටලු පවතින ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදුකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර ඇති අභියාචනා අධ්‍යයනය කර, අභියාචනා මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාලවලට බඳවාගැනිම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඊයේ (26) අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

විශ්වවිද්‍යාලවලට මෙම වර්ෂයේදී අමතර ශිෂ්‍යයින් 10,000 ක් පමණ වැඩිපුර බඳවා ගත් බවත්, එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, එම ශිෂ්‍යයන් සංඛ්‍යාව මෙම තීරණය තුළින් තවදුරටත් ඉහළ යන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

අමතරව බඳවාගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු එළඹෙන පෙබරවාරි මස 8 වනදා ප්‍රකාශයට පත්කරන අතර ඒ සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම්, අමතර ප්‍රතිපාදන ආදී කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, ඒ සම්බන්ධව මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එහිදී පවසා ඇත ෴

***************************************

කටුනායක අක්කර 100 ක කර්මාන්ත පුරයක්..

(28.01.2021 – 17:30 +0530 – sinhala.adaderana.lk)

කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100 කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2000 කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දැනට බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් පිරිස 150 කට අධික බවත් ඒ පිරිස අතරින් බතික් ඇතුළු දේශීය ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන, රබර්, ප්ලාස්ටික්, ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂි කාර්මික නිෂ්පාදන යන නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජකයන්ට මෙම හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්ත ඇරඹීමේදී ප්‍රමුඛතාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් 150 කට අධික පිරිසට මෙසේ කර්මාන්තපුර පිහිටුවා පහසුකම් සැලසීමෙන් රුපියල් බිලියන 03 කට අධික ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500 කට පමණ උත්පාදනය වන බව ද වීරවංශ මහතා පෙන්වා දෙයි. මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්තපුර 32 ක් සක්‍රීයව පවත්වාගෙන යන අතර ඉන් 09 ක් බස්නාහිර පළාත තුළ පිහිටා තිබේ. කටුනායක කලුදියවල කර්මාන්තපුරය ඉදිවන්නේ බස්නාහිර පළාතේ 10 වැනි කර්මාන්තපුරය ලෙසයි.

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරය තුළ අක්කර 05 ක භූමිභාගයක සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් සියලු පහසුකම්වලින් සපිරි වෙළඳ මධ්‍යස්ථානයක් ද ඉදිකරන බවත් එමගින් හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉඩකඩ ද නිර්මාණය වන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

***************************************

ජනාධිපතිවරයාගේ යහපත් දේට එකඟ නමුත් කාක්කන්ට රේගු ආඥා පනත වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා

(29.01.2021 – 05:32 +0530 – lankaleadnews.com)

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා මහතා පවසා සිටියේ කිසිවකුට බලපෑම් කළ නොහැකි පරිද්දෙන් රේගු නිලධාරීන්ට හිමිව ඇති ස්වාධීනත්වය අන්තර්ගත රේගු ආඥා පනත වෙනස් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “රේගුවේ සිටින සෑම දෙනාම දූෂිත නිලධාරීන් නිසා ඒ අය ඔක්කොම එලවලා හෝ හරි දේ කරන බව කීමෙන් වැරදි චිත්ත රූපයක් මැවෙනවා. ඉන්න සියලු නිලධාරීන් ඉවත්කර ඒ වෙනුවට යොදන්නේ කවුද? ජනාධිපතිතුමාට උපදෙස් දෙන ඇතැම් අය රේගු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර හරි දේ කළා නම් මේ තත්ත්වය මඟහරවා ගන්න තිබුණා.

අපි පසුගිය වසරේ ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනා මාලාව කි‍්‍රයාත්මක කළොත් රේගුවට මීට වැඩි උසස් තැනකට එන්න පුළුවන් බවත් දැනුම් දුන්නා. ඒ වෙලාවේ ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න එතුමාගේ එකඟතාවක් තිබුණා. නමුත් එහෙටත් නැති මෙහෙටත් නැති 28 දෙනකුගේ කමිටුවක් පත් කරලා සාකච්ඡා කළ නොහැකි තැනකට පත් කළා. එසේ කළේ කවුදැයි ජනාධිපතිවරයා සොයා බැලිය යුතුයි. ඒ කමිටුව රැස් වුණේ එක් දිනක් පමණයි. අපි දුන් යෝජනා මාලාව එතනින්ම නැවතුණා.

මේ තත්ත්වයත් සමඟ අපට බියක් තියෙනවා කවුරුන් හෝ පිරිසක් රේගුව ඇතුළට එවලා මෙහි සිටින දක්ෂ නිලධාරීන් එළියට දමලා යම් දෙයක් කරන්න හදනව ද කියලා. එහෙම කරන්න සූදානම් වන පිරිසක් රටේ ඉන්නවා. අද ඕනෑම තැනකට ඇමැතිවරයකුට බලපෑම් කළ හැකියි. නමුත් රේගුවට එවැන්නක් කිරීමට ඔවුනට හැකියාවක් නැහැ. ඒ රේගු ආඥා පනත හරහා රේගු නිලධාරීන්ට දී ඇති ස්වාධීනත්වය නිසා. අපි සූදානම් මේ තත්ත්වය ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්න. අපි අපේ නිලධාරීන් සියයට සියයක්ම හරි කියන්නේ නැහැ. නමුත් බහුතරය ඉතාමත් දක්‍ෂ නිලධාරීන්. අපි ජනාධිපතිවරයාගේ යහපත් දේට එකඟයි. නමුත් මේ පිටුපස සිටින කාක්කන්ට මේ රේගු ආඥා පනත වෙනස් කිරීමට ඉඩදිය නොහැකියි.” යනුවෙන් පවසා සිටියේය ෴

***************************************

බණ්ඩාරනායක අගමැතිවරයා දිවිපුදා රැකගත්ත කොළඹ වරාය බිලිදෙන්න බෑ – ඩියු ගුණසේකර

(29.01.2021 – divaina.com)

එදා බණ්ඩාරනායක අගමැතිවරයා ජීවිතය පූජා කරලා රැකගත්ත කොළඹ වරාය චීනයට හෝ ඉන්දියාවට හෝ කිසිවකුට බිලි නොදී දිවි හිමියෙන් රැකගත යුතු බව හිටපු ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (28 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කොළඹ වරාය ආර්ථික මරමස්ථානයක් වගේම ජාතික වස්තුවක් බැවින් එය රැකගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද කීය :

“ඉන්දියාවේ ප‍්‍රාන්ත 25 ම ගොවීන් අද ප‍්‍රධාන නගරයට එනවා. උද්ඝෝෂණය කරනවා ‘අම්බානිට’ හා ‘අදානිට’ එරෙහිව. ඒ දෙන්නගෙන් එක්කෙනකුටයි අපේ ආණ්ඩුව වරාය දෙන්න යන්නේ. මෝදි අගමැතිවරයා වරාය ගන්න අදානිව නම් කරලාම එවලා තියෙනවා. ඉන්දියාව ඇමෙරිකාවත් සමග අද සෘජුවම සම්බන්ධ වෙලා. නොබැඳි ව්‍යාපාරයෙන් වෙන්වෙලා ඉන්දියාව ඇමෙරිකාව සමග අධිරාජ්‍යවාදී ගමනක් යන්න හදනවා. ඒ නිසා මේ තත්ත්වයට ඉඩ නොතැබිය යුතුයි.

අපගේ පරමාධිපත්‍ය ප‍්‍රකාශ වෙන්නේ වරාය හා ගුවන්තොටුපළ තුළින්. රට ඇතුළේ මොන ආයෝජනයක් කළත් අපට ප‍්‍රශ්නයක් නැහැ. වරාය හා ගවන්තොටුපළ අප රට සතුවම පැවැතිය යුතුයි. වරායේ ආයෝජනය කරනවා කියන්නේ වෙනස්ම තත්ත්වයක්. ඉංගී‍්‍රසින්, පෘතුගීසින්, ලන්දේසින් ලංකාවට ආවෙම වරායන් ගැන බලමින්.

කොළඹ වරාය ජනසතු කරනවා කියමින් 1956 දී බණ්ඩාරනායක මහතා බලයට ආවේ. එය මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණා. බලයට ආවට පස්සේ එය ප‍්‍රධාන ගැටුමක් වුණා. ගැටුමේ නායකත්වය ගත්තේ විමලා විජයවර්ධන මහත්මිය. බුද්ධරක්ඛිත හාමුදුරුවෝ එහි පිටිපස්සේ හිටියේ. හාමුදුරුවෝ කිව්වා වරාය ජනසතු කරනවා නම් මට දෙන්න මම කොම්පැනියක් දාලා හරි වරාය හදනවා කියලා. බණ්ඩාරනායක මහත්තයා බැහැ කිව්වා. මේ වරාය ගැටුම නිසා මහජන එක්සත් පෙරමුණ ඇතුළෙත් කැරැල්ලක් ඇතිවුණා. මන්තී‍්‍රවරු 10 දෙනෙක් විතර පක්‍ෂයෙන් දොට්ට දැම්මා. බණ්ඩාරනායක මහත්තයාව හාමුදුරු නමක් දාලා මැරෙව්වා. බණ්ඩාරනායක මහත්තයගේ ජීවිතය නැති වුණේ මේ වරාය හින්දයි. මේක ආර්ථික වශයෙන් මරමස්ථානයක්. එදා රටේ නායකයා ජීවිතය දීලයි වරාය බේර ගත්තේ.

මේක අපේ ජාතික වස්තුවක්. අපේ සටන් බිමක්. වරාය ගැන ගන්න තීරණය ගැන යළිත් සලකා බලන්න කියා අපි ජනාධිපතිතුමාගෙන්, ඇමැති මණ්ඩලයෙන් ඉල්ලනවා. මේක අලුත් තත්ත්වයක්. වරාය, ගුවන්තොටුපළ චීනයට හෝ කාටවත් දීමට අවශ්‍ය නැහැ ” ෴

***************************************

පොලිස් හදිසි ඇමැතුම් අංකය වන 119 ට අමතරව 1997 ලෙසින් නව අංකයක් ද හඳුන්වාදීමට පොලිස් දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත. ඊට හේතුවී ඇත්තේ 119 ට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව වැඩිවීමයි ෴

***************************************

‘වියත් මඟේ’ සැබෑ වගතුග එළියට : “කිසිවෙකුටත් තනතුරු අඬගහලා දුන්නේ නෑ; ගත්තේ හිඟාකාලා”

(28.01.2021 – am.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වියත්මග සංවිධානයේ අති බහුතරයක් එම සංවිධානයට අනුබද්ධව කටයුතු කළේ බිහිකරන ආණ්ඩුවක් තුළ තනතුරු බලාපොරොත්තුවෙන් බව එරන්ද ගිනිගේ මහතා හෙළිදරව් කරයි.

එරන්ද ගිනිගේ මහතා වියත්මග සංවිධානයේ ජනප්‍රියතම කථිකයකු මෙන්ම එහි බුද්ධි මණ්ඩල කමිටුවේ ප්‍රධානියාද විය.

මේ වන විට වියත් මඟෙන් ඉවත්ව සිටින ගිනිගේ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පොදු ජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු වියත් මඟ නියෝජනය කරමින් තනතුරු ලබා ගත් සියල්ලන්ම එම තනතුරු ලබා ගත්තේ දීන ලෙස ඒවා හිඟා කෑමෙන් බවය.

වියත් මඟේ කිසිවෙකුටත් අඬ ගසා තනතුරු ලබා නොදුන් බවද පෙන්වා දෙන ගිනිගේ මහතා ඇතමුන් තවත් පිරිස් ලවා තමන්ට තනතුරක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට පණිවුඩ යැවූ බව ද සඳහන් කරයි.

වියත් මඟේ ඇතැමුන් තනතුරු බලාපොරොත්තුවෙන් කියව කියවා සිටියා මිස එම සංවිධානය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් නොකළ බව ද ගිනිගේ මහතා පෙන්වා දෙයි.

සමාජ ව්‍යවසායකයෙකු ලෙසද කටයුතු කරන එරන්ද ගිනිගේ මහතා මෙම අදහස් පළ කළේ ‘ඒෂියන් මිරර්’ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

https://www.youtube.com/watch?v=wYlfY1P8xI0#t=4

***************************************

(29.01.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ ප්‍රදේශයේ බෝක්කුවක් යටින් T56 හිස් මැගසින් 10 ක් කොස්ගොඩ පොලිසියේ විසින් සොයාගෙන තිබුනා.

ඒ කොස්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයකදී.

කොස්ගොඩ, වතුරවෙල, අමරපාල මාවතේ බෝක්කුවක් යට ඉටි බෑගයක තිබී මෙම T56 හිස් මැගසින් 10 ය ඊයේ (28) සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මීට සම්බන්ද සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන කොස්ගොඩ පොලිසිය සිදුකරයි.

***************************************

(29.01.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදා ගත් යතුරුපැදිය සැකකරුවන් විසින් පානදුර – ඌරාකටුව තොටුපල ප්‍රදේශයෙන් බොල්ගොඩ ගඟෙහි අතු ගංඟාවකට දමා තිබෙනවා.

ඒ අනුව, අද (29) දිනයේදී අදාළ යතුරුපැදිය කිමිඳුම්කරුවන් යොදා ගොඩ ගන්නා බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

ඔහුගේ උපදෙස් අනුව, ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් යෙදවූ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

සැකකරුවන් විසින් ඔරුවක ආධාරයෙන් මෙම යතුරුපැදිය ගඟට දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේදී ඊයේ (28) සොයා ගැණුනා.

පානදුර ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයාගත් අතර, එහිදී උණ්ඩ 16 ක්ද පොලීසිය සොයා ගෙන තිබුණා.

පසුගිය සඳුදා (25) මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවටයි දැනට අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ගමන් ගත් ත්‍රිරෝද රථයේ සිටි එක් පුද්ගලයෙකුද සිද්ධියට සැක පිට පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් දින කිහිපයක් පානදුර ප්‍රදේශයේ තාවකාලික කුලී නිවසක රැඳී සිට ඇති අතර, එම නිවසේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *