බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම්

බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම්

*********************************************

බලධාරීන්ගේ පිටු පෑමෙන් මැකී යන – ගල්ගානේ ඓතිහාසික බිතුසිතුවම්

(28.01.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

වළගම්බා රජතුමන් විසින් කරවූ ඓතිහාසික විහාරස්ථානයක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවීමේ පුවතක් අපට වාර්තා වූණේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

සංරක්ෂණය කිරීමට නියමිත විහාරස්ථාන තිබියදී අඩක් නිම කර අතරමඟ නවතා දැමූ පිලිම වහන්සේ නමක් පිළිබඳව ද පොළොන්නරුවෙන් වාර්තා වුණා.

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

***************************************

(28.01.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය ලොවපුරා පැතිරගියේ අතුරු ප්‍රතිඵල රාශියක් ලොව හමුවේ තබමින්.

බොහෝ දෙනාගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම සහ ඊට බලපෑම් එල්ල වීම ඒ අතරින් ප්‍රධානයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් එලෙස සිය ජීවනෝපායට බලපෑම් එල්ල වූ මෙරට කලා ශිල්පීන් පිරිසක් පිළිබඳවයි මේ.

***************************************

(28.01.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය යෝගියානේ සෝභිත නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මේ අතර නාරාහේන්පිට අභයරාම විහාරස්ථානයේ පැවැති දානමය පුන්‍ය කර්මයකට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (28) කැළණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුවදුක් විමසා බැලුවා.

මෙහිදී රටේ දේශපාලන, සමාජයීය හා ආර්ථික ක්‍රියාපිලිවෙතට අදාළ ධර්මානුකූළ පිලිවෙත් පිලිබඳව උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අග්‍රාමාත්‍යවරයා නව වසරේ පළමු පොහොය දිනයේ කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණීම අගය කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නයට අග්‍රාමාත්‍යවරයා නා පැළ ඇතුලු ශාක විශේෂ, රෝපණය සඳහා පූජා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

***************************************

(28.01.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.

***************************************

(28.01.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

73 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පෙබරවාරි පළමුවනදා සිට 7 වනදා දක්වා රජයේ ආයතන පවත්වාගෙන යන සියලු ගොඩනැගිලිවල ජාතික ධඡය එසවීමට කටයුතු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඒ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී ඇති බවයි.

පෙබරවාරි 3 හා 4 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

73 වන නිදහස් දින සමරු උලෙල පෙබරවාරි 4 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි ෴

***************************************

(28.01.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ වාදකයෙකු සංගීතඥයෙකු මෙන්ම ගායකයෙක් වන ලෙලුම් රත්නායක මහතා රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදි අනතුරකින් වම් අතේ ඇගිල්ලකට තුවාල සිදුවී ඇති ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ.

තුවාලය හේතුවෙන් අත ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ලෙලුම් රත්නායක මහතාට වෙනත් කිසිදු ආබාධයක් හෝ තුවාලයක් සිදුවී නැහැ.

ඔහු මේවන විට සුව අතට පත්ව ඇතැයි ද කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාව කියාසිටියා ෴

***************************************

(28.01.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදා ගත් ටී-56 ගිනි අවිය පානදුර – වදුරම්මුල්ල ප්‍රදේශයේදි අද (28) සොයා ගැණුනා.

හිරු වාර්තාකරු පැවසුවේ එම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදී මෙම ගිනි අවිය සොයා ගත් බවයි. එහිදී උණ්ඩ 16 ක් සොයා ගැනීමට ද පොලීසිය සමත් වී තිබෙනවා.

පසුගිය සඳුදා (25) මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඊට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවටයි දැනට අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා.

***************************************

(28.01.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මීටියාගොඩ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර (4) දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් බවටයි වාර්තා වන්නේ.

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී පෙරේදා (26) තරුණයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කොට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහුගේ දකුණු අතේ කොටසක් සිරුරෙන් ඉවත් කොට රැගෙන ගොස් මීටියාගොඩ හතරමංහන්දියේ දමා ගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ එරණවිල, මීටියාගොඩ පදිංචි විසිහතර (24) හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය නිවසේ සිට මීටියාගොඩ, බටපොළ මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල පිහිටි රූපලාවණ්‍යාගාරයක් වෙත පැමිණ සිටියදී තවත් පිරිසක් සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම සිදුවිම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසීය සිදු කරන ලද විමර්ශන වලදී අනවරණය වී ඇත්තේ මියගිය තැනැත්තාගේ දකුණු අතේ මැණික් කටුව අසලින් කොටසක් කපා රැගෙනවිත් එය මීටියාගොඩ හතරමංහන්දිය අසල දමාගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි මීටියාගොඩ පොලිසිය ප්‍රකාශ කලේ ෴

***************************************

(28.01.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන චෝදනාවන්ට මුහුණදීමට රජය සූදානම් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අද (28) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඊයේ ජිනිවා නුවරදී එලිදැක්වූ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් යුත් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන්නැයි සාමාජික රටවලින් ඉල්ලා සිටියා.

එවැනි පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමට සහ සංචාරක තහනමක් පැනවීමට අදාල වාර්තාව මගින් යෝජනා කර තිබුණා.

එමෙන්ම, මෙරට රාජ්‍ය ආයතන සඳහා ආරක්ෂක අංශවල සේවය කළ හමුදා නිලධාරින් යෙදවීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රධාන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට බලපෑම් එල්ල වීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි ප්‍රවණතාවයන් පසුගිය කාලවකවානුව පුරා දක්නට ලැබුණු බව ජිනිවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) මහනුවරදී සඳහන් කළේ ජගත් සංවිධාන මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු ඇයගේ ස්වාධීන අදහස් නොවන බවයි.

+++++++++++

***************************************

(28.01.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කරන ලද විමර්ශනයකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

අධිකරණ නියෝගයක් අනුව නව වන ඉංජිනේරු බලකාය සහ මුල්ලියාවේලි පොලිසිය අද (28) සිදු කරන ලද සෝදිසි කිරීමකදී මෙම කාලතුවක්කු උණ්ඩ තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කාලතුවක්කු උණ්ඩ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ඉංජිනේරු බලකාය සහ මුල්ලියාවේලි පොලිසිය සිදුකරනු ලබනවා.

[ සේයාරූ ]

On District Court Order, Army Engineer Troops with Policemen Unearth Cache of Shells & Ammunition Rounds

(28.01.2021 – army.lk)

On a Court order given by the Mullaittivu District Court, 9 field Sri Lanka Engineer troops of the 592 Brigade and Policemen in the Mulliyaweli Police Station on Thursday (28) at about 12.30 noon jointly unearthed a cache of 110 unusuable 152 mm shells, thirty six 122 mm shells, forty nine 152 mm cartridges, twenty nine 122 mm cartridges and 10 fuses, believed to have been kept buried before May 2009.

The Court order given on Monday (25) after a legal hearing prompted the Police to turn to Engineer troops for excavation seeking Army machinery and expertise on arms and ammunition, taking all necessary precautions. Mulliyaweli Police investigations and onward proceedings are continuing.

***************************************

(28.01.2021 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිලිබඳව සහ වෘත්තීය සමිති විසින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා ඇතුලත් වාර්තාව මහා නාහිමිවරුන්ට භාරදීම අද (28) සිදුකෙරුණා.

අද (28) පෙරවරුවේ වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23 ම දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් සහ අනුනායක හිමිවරුන් බැහැදුටුවා.

එමෙන්ම, ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නා හිමියන් ද නැගෙනහිර පර්යන්තයේ ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබුවා.

මේ අතර, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට අදාළ ගිවිසුමේදී වරාය අධිකාරියට සියයට සියයක අයිතිය තිබිය යුතු බවට වන යෝජනාව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ඇතුළත් නොකරන්නේ නම් හෙට (29) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි වරාය වෘත්තීය සමිති පසුගියදා ප්‍රකාශ කළේ.

නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15% ක් පමණයි. 51% කතාවත් බොරුවක් – වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න

(29.01.2021 – 06:10 +0530 – lankaleadnews.com)

වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පවසන්නේ එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15% ක් පමණක් බවත් එය ලබා දෙන්නේ 49% හා 51% අනුපාතයෙන් යයි පැවසුවත් එය සත්‍ය එය නොවන බවත්ය.

එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ පසු රටට ආදරේ කරන දේශපාලඥයන් සහ ඩොලර්වලට ආදරය කරන දේශපාලකයන් වෙන්කර හඳුනාගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා වූ යෝජනාවලිය අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය ෴

@@@@@@@@@@@@@@@

(28.01.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1869 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,435 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙය දිනකදී ශ්‍රී ලංකාව තුල සුවය ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසටයි සටහන් වන්නේ.

පළමු වරට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියේ ඊයේ (27) දිනයේ වන අතර එම සංඛ්‍යාව 1520 ක්.

මෙරටින් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 60,694 ක් හමුවී ඇති අතර ඉන් 5969 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 290 ක් ෴

+++++++++++++++++++++

(28.01.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනවාරි 6 වනදා නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව, ව්‍යාපාරික සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හැර වෙනත් විදේශ ගමන් බලපත්‍ර සහිතව මුදල් ගෙවා පැමිණෙන මගීන්ට ද අදාළ සංචාරක කටයුතු සඳහා අවසර ලබා දෙන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, නේවාසික වීසා බලපත්‍ර සහිත විදේශීය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට, ද්විත්ව පුරවැසින්ට සහ විදේශ රටක ගමන් බලපත්‍ර හිමි සහකරු, සහකාරිය හෝ සමීප ඥාතියෙකු සමග පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද නියමිත සංචාරක මාර්ගය භාවිත කිරීමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත්, සුරක්ෂිත බව සහ සහතික කල හෝටලයක දින 14 ක් රැදී සිටීම සඳහා වෙන් කරවා ගැනීමක් සිදුකර ගැනීම එහිදී අනිවාර්ය වන අතර, එම අවස්ථාවේදී කොරෝනා පරීක්ෂණ සඳහා වන ගෙවීම් ද සිදුකළ යුතුයි ෴

++++++++++++++++++++

(28.01.2021 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 351 ක් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 61,045 ක්.

දිනයකදී සුවය ලබා පිටත්ව ගිය වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද (28) දිනයේදි වාර්තා වුණා.

ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 1869 දෙනෙකු අද (28) සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 54,435 ක් ලෙසයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (28) සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගියා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද අද (28) තෙල්දෙණිය දිසා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම,සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය ද සුව අතට පත්වෙමින් සිටින බව වාර්තා වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද ප්‍රතිකාර සඳහා මේ වනවිට පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

එසේම, අද (28) දිනයේ ලැබුණු ඉන්දියානු එන්නත අවදානම් කලාප වල රැකියාවේ නිරත ගුරුවරුන් වෙත ද ලබාදෙන ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් ශංකර් මනිවන්නන් අද (28) හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියා.

+++++++++++++++++++++

(28.01.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොරෝනා මර්දන එන්නත් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදුන්නා.

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීයි. ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට හිමිවුණේ.

මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ඉන්දීය විශේෂ ගුවන් යානය අද (28) පෙරවරු 11:35 ට පමණ කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.

මෙහිදී එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් (5,00,000) ශ්‍රී ලංකාවට ලැබුණු අතර, එමඟින් පුද්ගලයන් 2,50,000 ක් එන්නත් කළ හැකියි.

අද (28) දිවයිනට රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 1323 ක්.

ඉන්දීය රජය මෙම එන්නත් බෙදා හැරීමේ වැඩසටහන නම් කර ඇත්තේ ‘වැක්සින් මෛත්‍රී’ නමින්. බුදුන් වහන්සේගේ මෛත්‍රී ගුණය විදහා දක්වමින් ජනතාවගේ සුව සහනය උදෙසා එන්නත් බෙදා හැරීම එමගින් අර්ථවත් වනවා.

හෙට (29) සිට එන්නත්කරණ වැඩපිලිවෙල බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 කදී ආරම්භ කෙරෙනවා.

මෙම වැඩපිලිවෙලට සමාන්තරව ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙතද හෙට (29) එන්නත් බෙදාහැරීම සිදුකිරීමට නියමිතයි.

ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට පළමුවත් (1), කොරෝනා මර්දන කටයුතු හා සම්බන්ධ වී සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ට දෙවනුවත් (2), වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තුන්වනුවත් (3) එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිටත් එන්නත් බෙදා හැරීම ආරම්භ කර ඇති අතර, අද (28) පස්වරුවේ යාපනය ප්‍රදේශයට වෙන් කළ එන්නත් තොගය පිටත් කර යැවුණා.

මේ අතර, ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිතයි. ඒවා පෙබරවාරි මස මැද වනවිට දිවයිනට ලැබෙනු ඇති.

+++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *