ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

*********************************************

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

(28.01.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මගකට පිවිසී සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් පවසනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය සඳහන් කළේ පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ක්‍රියාත්මකවීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි.

එමෙන්ම, රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි අනතුරුදායක ප්‍රවණතාවන් පසුගිය වසර තුළ දක්නට ලැබුණු බවද ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කෙරුණු ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන්.

සන්නද්ධ යුද්ධය අවසන් වී වසර 12 ක් ගත වූවද, දෙපාර්ශවයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර, එවැනි පරීක්ෂණ හා නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටිනවා.

එමඟින් පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමට කටයුතු කර ඇති බවටයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කළේ.

ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත්කර ඇති බව පවසන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පිළිබඳවද සිහිපත් කර තිබෙනවා.

ඔවුන් ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තා මගින් යුද්ධයේ අවසන් වසරේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ලෙසයි ඇය හැඳින්වූයේ.

නව රජය මගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ආපසු හැරවීමට කටයුතු කර ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කරනවා.

එමඟින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බවයි ඇය සඳහන් කළේ.

එමෙන්ම, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අදාළ කොමිෂන්වලට සාමාජිකයින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍ර ගත කිරීම ඒවායේ විශ්වසනීයත්වයට සහ ස්වාධීනත්වයට බලපෑමක් ලෙස ඇය හැඳින්වූවා.

යුද්ධය අවසන් වී වසර 12 කට පසුවද දේශීය යාන්ත්‍රණයන් තුළින් ප්‍රතිඵලදායක වගවීමක් හෝ සංහිඳියාවක් ගොඩනැගීමට රජය අසමත් වී ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සමාප්ත කරමින් ප්‍රකාශ කළා.

අතීතය ප්‍රතික්ෂේප කිරීම, සත්‍ය සෙවීමට බාධා පැමිණවීම වර්තමානයට මෙන්ම අනාගතයටද බලපාන කරුණක් ලෙසයි ඇය හැඳින්වූයේ.

2030 තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ සියල්ලටම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට බහුවිධ පරිපූර්ණ දර්ශනයකින් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

එමෙන්ම, ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සම්මුතීන් මගින් නිර්දේශ කර ඇති ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙසත්, සිවිල් ක්‍රියාකාරීන් හා සංවිධාන පිළිබඳ අධීක්ෂණ අවසන් කරන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.

සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමද ඇයගේ නිර්දේශයක්.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා ලබා සිටින පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසත්, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව මගින් නිර්දේශ කරනවා.

***************************************

(28.01.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මතුව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් හෙට (29) දිනයේදි ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (27) මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉන්දියාවට විකිණීමට හෝ බදු දීමේ කිසිදු සූදානමක් රජයට නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා සඳහන් කළේ අදානි සමාගමට අමතරව ජපානයේ සහ දේශීය සමාගමක් මෙම ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් කැබිනට් මණ්ඩලය හෝ රජය මෙතෙක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(28.01.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ලබන 04 වැනිදා කොළඹදී පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා (30) සිට දින 05 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සෙනසුරාදා සිට පෙබරවාරි 03 වැනිදා දක්වා අදාළ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව බොරැල්ලේ සිට නෙළුම් පොකුණ වටරවුම දක්වා මාර්ගය වසා දැමෙන අතර, ඒ වෙනුවට බොරැල්ලේ සිට පැමිණෙන වාහන හෝර්ටන් පෙදෙස හරහා විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කර පුරහල, යුනියන් පෙදෙස හරහා ගමන් කළ හැකි වනවා.

කොළඹ සිට බොරැල්ල දෙසට ගමන් කරන වාහනවලටද අදාළ මාර්ගය භාවිත කළ හැකියි.

කෙසේ වෙතත්, ගාලු පාර සහ බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(28.01.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගනු ලැබූ ‘ටෙට්ට්‍රා හයිඩ්‍රො කැනබිනෝල්’ නොහොත් ‘හෑෂ් ඔයිල්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහරගම ඇරැව්වල ප්‍රදේශයේදීයි.

පැකට් වශයෙන් සකස් කර මෙම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර, සොයා ගත් ‘හෑෂ් ඔයිල්’ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 35 ක්.

සැකකරු වයස අවුරුදු 31 ක් වන පන්නිපිටිය – පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි සිදුකළ මෙම වැටලීමේදී සොයා ගත් ‘හෑෂ් ඔයිල්’ මත්ද්‍රව්‍ය පැකට්වල බර කිලෝග්‍රෑම් එකකට අධිකයි ෴

***************************************

(28.01.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන්ගෙන් පීඩාවට පත්වූ සුනඛයින්ට සෙවනක් ලබාදෙන සොඳුරු මිනිසුන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඔවුන් එම කටයුත්ත සිදුකරන්නේ දෙදහසකට (2000) ආසන්න සුනඛයින්ට සහ බළලු‍න්ට සෙවනක් ලබාදෙන ගම්මානයක් පිහිටුවමින්.

මෙම එස්.ඕ.එස්. සත්ත්ව ගම්මානය පිහිටා ඇත්තේ වැලිගම – මිදිගම ප්‍රදේශයේයි. බ්‍රිතාන්‍ය ජාතික කින් පූලි නම් කාන්තාව මෙම ව්‍යාපෘතිය සඳහා මුලපුරා තිබෙනවා.

මහ මඟ දමා යන සුනඛයින් සේම විවිධ ආබාධවලට ලක්වූ සුනඛයින්ටත් මෙම නිවහන සෙවන ලබා දෙනවා.

ඒ සඳහා අවට පදිංචිකරුවන් 50 දෙනෙකු පමණ සේවයට බඳවා ගෙන ඇත්තේ ප්‍රදේශයේ ජනතාවට රැකියා මාර්ග ද විවර කරමින්.

2000 කට ආසන්න මේ සත්ත්වයින්ට දිනක ආහාර වේල ලබාදීම ද පහසු කටයුත්තක් නොවේ.

මෙම ගම්මානය පිළිබඳව සොයා බැලීම සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහි වැඩම කර තිබූ අතර එහිදී උන්වහන්සේ සඳහන් කළේ මෙම සත්ත්ව ගම්මානය අගය කළ යුතු කටයුත්තක් බවයි.

***************************************

(28.01.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

= නොච්චියාගම වී අස්වැන්න බොල්වෙයි =

මෙරට කෘෂිකර්මාන්තයේ නිරත වැඩි පිරිසක් එහි නිරතවන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි.

නමුත් අස්වනු නෙලන අවදියේවත් ඔවුන්ට සතුටක් නොලැබෙන්නේ ඊට නිසි මිලක් හිමි නොවීම හෝ අස්වනු විනාශ වී යෑම හේතුවෙන්.

@@@@@@@@@@@@@@@

කොරෝනාවට එරෙහි පළමු එන්නත් තොගය අද (28) දිවයිනට

(28.01.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ලැබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය අද (28) පෙරවරු 11 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගැනීමට නියමිතයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ එම එන්නත්, ලබාදීමේ කටයුතු හෙට (29) සිටම ආරම්භ කරන බවයි.

එම එන්නත් තොගය ‘එයාර් ඉන්ඩියා’ ගුවන් සේවයට අයත් යානයකින් අද (28) මෙරටට රැගෙන එනවා.

ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස කොවිෂීල්ඩ් කොරෝනා එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් (5,00,000) ශ්‍රී ලංකාවට ලැබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් (2) ලබාදිය යුතු නිසා එමඟින් පුද්ගලයන් 2,50,000 ක් එන්නත් කළ හැකියි.

ඒ අනුව, පළමුව සෞඛ්‍ය අංශයේ 1,50,000 කට එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, එන්නත් මාත්‍රා ලක්ෂ 70 ක් පමණ මෙරටදී පුද්ගලයින් ලක්ෂ 35 කට ලබාදීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ හෙට (29) සිට එන්නත්කරණ කටයුතු බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 කින් ආරම්භ කරන බවයි.

එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් කරන අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් :

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් හත්සිය හැත්තෑ දෙදෙනෙකු (772) ඊයේ (27) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 60,694 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 56,778 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 7,838 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ඊයේ (27) දිනයේදී තවත් ආසාදිතයින් 1520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 52,566 ක් දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා මරණ දෙකක් (2) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැන් සටහන් වන්නේ 290 ක් ලෙසයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ හෘද රෝගයක් හේතුවෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු ආසාදන තත්ත්වය හේතුවෙන් ෴

(28.01.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානය මේ වනවිට මුම්බායි නුවරින් නික්මී ඇති බව වාර්තා වනවා.

ඊට පූනේහි සීරම් ආයතනය මගින් නිෂ්පාදිත කොරෝනා එන්නත් පටවන ආකාරය දැක්වෙන ට්විටර් සටහනක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කළා.

[ සේයාරූ ]

(28.01.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

(28.01.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානය අද (28) පෙරවරු 11:35 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා.

පසුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන් බවයි එහි සිටින වාර්තාකරු සඳහන් කළේ.

පූනේහි සීරම් ආයතනය මගින් නිෂ්පාදිත කොරෝනා එන්නත් තොගය අද (28) පෙරවරුවේ ගුවන් යානයට පැටවූ අතර, ඉන් පසුව ඉන්දියාවෙන් නික්මුණු ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 281 දරන යානය අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද එක්ව සිටියා.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ගුවන් තොටුපලට පැමිණීමට පෙර හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමටද කටයුතු කළා.

++++++++++++++

+++++++++++++++++++++

(28.01.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ පොලිසිය සහ සෞඛ්‍ය අංශ සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 71 ක් නිරෝධායන සෞඛ්‍ය රීති අනුගමනය නොකරන බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම ආයතන ප්‍රධානීන්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++

(28.01.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් දහය (10) අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

එහිදී ලොව සියලු රටවල් අභිබවා ඒ සඳහා හොඳම ප්‍රතිචාර දැක්වූ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තයයි.

වියට්නාමය සහ තායිවානය දෙවන සහ තුන්වන ස්ථානවලට නම්කර ඇති අතර, එහි ප්‍රථම රටවල් දහය අතරට අයත් එකම දකුණු ආසියාතික රට වන්නේ දස වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවයි.

මෙහිදී ලෝවි ආයතනයේ පර්යේෂකයින් රටවල් සියයක පමණ කොරෝනා මර්දන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුපාතය සහ මරණ අනුපාතයද සැලකිල්ලට ගෙන තිබෙනවා.

එම රටවල් ලැයිස්තුව පහතින් :

TOP 10 COUNTRIES

01. New Zealand with an average of 94.4.
02. Vietnam, 90.8
03. Taiwan, 86.4
04. Thailand, 84.2
05. Cyprus, 83.3
06. Rwanda, 80.8
07. Iceland, 80.1
08. Australia, 77.9
09. Latvia, 77.5
10. Sri Lanka, 76.8

BOTTOM 10 COUNTRIES

98. Brazil with an average of 4.3
97. Mexico, 6.5
96. Colombia, 7.7
95. Iran, 15.9
94. United States, 17.3
93. Bolivia, 18.9
92. Panama, 19.7
91. Oman, 20.3
90. Ukraine, 20.7
89. Chile, 22.0

+++++++++++++++++++

(28.01.2021 – 10:04 +0530 – hirunews.lk/sinhala)

නාවුල ප්‍රදේශයේ පදිංචි තරුණියකට කොව්ඩ්-19 අසාදනය වීම හේතුවෙන් ඇයගේ පෙම්වතාද ස්වයං නිරෝධනයට යොමු කිරීමේ පුවතක් අපට වාර්තා උනා.

නාඋල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියගෙන් දින කිහිපයකට පෙර සෞඛ්‍ය බලධාරීන් විසින් පී.සී.ආර්. සාම්පලයක් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව ගිය 25 දා රාත්‍රියේදී ඇයට කොවිඩ්-19 ආසාදිත බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ.

එම අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් අදාළ තරුණිය දුරකථන මාර්ගයෙන් දැනුවත් කර තිබෙනවා.

එහිදී තරුණිය කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට, ඇය ඒ මොහොතේ සිටින ස්ථානය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් ඇයගෙන් තොරතුරු විමසා ඇත.

බලධාරීන්ට එහිදී අනාවරණය වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිත ඇය එම මොහොතේදී කැකිරාව ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා සමඟ සිටින බවයි.

පසුව එම තරුණිය අදාළ ලැගුම්හලේ සිට එම අවස්ථාවේදීම විශේෂ ගිලන්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනා.

පසුව තරුණිය සමඟ එහි සිටි බව කියන පෙම්වතාද ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත ෴

+++++++++++++++++++

(28.01.2021 – 12:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (28) සුවය ලබා නිවෙස වෙත පිටත්ව ගියා.

මේ අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 07 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

නිරෝධායන රීතින් අනුගමනය කිරීම සියලු දේශපාලනඥයින්ගේ මෙන්ම ඉහළ නිලධාරීන්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

මේ අතර, ඊයේ (27) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හත්සිය හැත්තෑ දෙදෙනා (772) අතරින් වැඩිම සංඛ්‍යාව වූ 189 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

මට්ටක්කුලියෙන් ආසාදිතයින් 28 ක්, නාරාහේන්පිටින් ආසාදිතයින් 27 ක්, කොල්ලුපිටියෙන් ආසාදිතයින් 23 ක් එලෙස හඳුනාගත් ආසාදිතයින් අතර වනවා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ පූගොඩ ප්‍රදේශයෙන්.

එම සංඛ්‍යාව 31 ක්.

එසේම, ඊයේ (27) දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හැට දෙදෙනෙකු (62) හඳුනාගෙන තිබුණා.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයකට එක්වූ පුද්ගලයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් 06 දෙනෙකු අම්පාර නගරයේ වාසය කරන අතර, ඉතිරි දෙදෙනා උහන – මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *