ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

*********************************************

ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(26.01.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 526 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් ඒවා, රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කුඩු රොෂාන්’ගේ ප්‍රතිවාදී කල්ලියේ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඝාතන සිද්ධීන් රැසකට චෝදනා එල්ල වී ඇති අයෙකු බවට ද පොලිස් හෙළි වී තිබෙනවා.

එමෙන්ම, ‘සොත්ති උපාලි’ගේ බෑණා වන විදෙස් ගතව සිටින ‘සංජු’ නමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා ෴

***************************************

(26.01.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රථවාහන භාවිත කරන බොහෝ පිරිසක් කාර්යබහුල වේලාවන්හි දී ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබාගැනීම සිදුකරනු ලබනවා.

එහිදී ඇතැම් පිරිස් තමන් ලබාදුන් මුදලට සරිලන ලෙස ඉන්ධන පිරවීම සිදුකරනු ලබන්නේද යන්න පිළිබඳව සැළකිලිමත් වන අතර බොහෝ පිරිසකට තම කාර්යබහුල බව හේතුවෙන් එවැනි අවස්ථාවල ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ නෑ.

මෙවන් අවස්ථාවළදී ඉන් අයුතු ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයන් මුලා කරමින් ඉන්ධන සපයනු ලබන අවස්ථා ගැන මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් වාර්තා කරනු ලැබුවා.

තවත් එවැනි අවස්ථාවක් පිළිබඳව අද අප වෙත තොරතුරු වාර්තාවන්නේ හමබන්තොට ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවකයන් සිව් (4) දෙනෙකු විසින් මෙම වංචාව සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ රුපියල් 1500 ක මුදලක් ලබාගෙන ඒ වෙනුවට රුපියල් 150 ක මුදලක ඉන්ධන ලබා දී පාරිභෝගිකයා රවටා ඇති බවයි.

මේ පිළිබඳව සැක පහල වූ එම පාරිභෝගිකයා විසින් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු දැනුවත් කිරීමත් සමඟ එම අවස්ථාවේ CCTV කැමරා පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ කළමනාකාරීත්වය විසින් අදාළ සේවකයන් තිදෙනා සේවයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සිදුවීම් එම ප්‍රදේශයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් වල සිදුවන බවයි.

මෙවැනිම සිදුවීමක් මීට පෙර සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදී සිදුව ඇත්තේ ලීටර් 10 ක ප්‍රමාණයක් වෙනුවට ඉන්ධන ලීටර් නවය හමාරක (9½) ප්‍රමාණයක් ලබාදීමයි.

පාරිභෝගිකයන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි වංචනික සිදුවීම් පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවයි ෴

***************************************

(26.01.2021 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මොරටුව දුම්රිය ස්ථානය අසල මැල් පටුමගේ පදික වෙළඳසැල් ඉවත් කිරීමට යාමේදී අද (26) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ වෙළඳුන්, පොලීසිය සහ මොරටුව මහනගර සභාවේ නිලධාරින් අතරයි.

එහිදී වෙළඳුන් කියා සිටියේ තමන්ට වෙළඳාම් කිරීම සඳහා ස්ථිර ස්ථානයක් ලබා දෙන්නේ නම්, අදාළ ස්ථානයෙන් ඉවත් වීමට සූදානම් වූ බවයි ෴

***************************************

(26.01.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගනු ලැබූ තීරණය මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ එම කොමිසම විවෘත සහ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙරට සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා ත්‍රිපුද්ගල කොමිසමක් පත් කරනු ලැබුවා.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විර්ශනය කළ අනෙකුත් කොමිෂන් සභාවල නිර්දේශයන් සැලකිල්ලට ගෙන ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා කිරීම ද අදාළ කොමිසමට පැවරෙනවා.

ඒ පිලිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කළේ මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා සහය වීම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එල්ල කරන බලපෑමක් හෝ තර්ජනයක් ලෙස නොසැලකිය යුතු බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරි මිෂෙල් බැචෙලට් විසින් ශ්‍රී ලංකාව පිලිබඳ සිදුකරන ලද ප්‍රකාශය ද පිළිතුරු ප්‍රකාශයක් ලක් රජය විසින් අද හෝ හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ සොයා බැලිය යුතු බවට ද ඇය නිර්දේශ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිළිතුරු වාර්තාව විදේශ අමාත්‍යාංශය විසින් ගොනුකරනු ඇති.

ඒ පිළිබඳව අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට බඳුන් වුණා. එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පිළිගැනීමට හෝ නොපිළිගැනීමට ලක් රජයට අයිතියක් පවතින බවයි.

***************************************

(26.01.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තරුණියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා සෙබලෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන ත්‍රීකුණාමල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව සේවය කල නාවික හමුදා සෙබලෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකාර නාවික හමුදා සෙබළාගේ ඇඟිලි සලකුණු සැසඳීමකට ලක්කර ඇති අතර එහිදී එම සලකුණු සමාන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර නාවික හමුදා සෙබලා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

ඇල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ ෴

***************************************

(26.01.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුල සිදුකෙරෙන නීතිවිරෝධී ඉදිකිරිම්, ගොඩකිරීම්, කසල බැහැර කිරීම් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමෙන් මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජිවි අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(26.01.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – අවන්තිදේවි ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එහි ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

ඒ ඇය අද (26) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජනක ප්‍රසන්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

සිද්ධියට අදාළ සාක්ෂි ලබාදුන් පුද්ගලයන්ට බලපෑම් නොකරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා සැකකාරියට අවවාද කර ඇති අතර, එසේ බලපෑම් කළ බවට වාර්තා වුවහොත් නියම කළ ඇප අවලංගු කර යළි රිමාන්ඩ් කරන බව ද මහේස්ත්‍රාත්වරයා තරයේ දන්වා තිබෙනවා ෴

***************************************

(26.01.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගලිගමුව, අරන්දර ප්‍රදේශයේ පිහිටි සිල්ලර බඩු වෙළඳ සැලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

අද (26) උදෑසන 05:30 ට පමණ ගින්න හටගෙන ඇති අතර ගලිගමුව ප්‍රාදේශීය සභාව හා මාවනැල්ල ප්‍රාදේශීය සභාව එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

ගින්නෙන් වෙළඳ සැල තුල තිබු රුපියල් කෝටි දෙකකට (2) පමණ ආසන්න භාන්ඩ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

වෙළඳසැල තුල ඇතිවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

ගින්න සම්බන්ධයෙන් පින්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

(26.01.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේගේ හා නාරාහේන්පිට – අභයාරාමාධිපති, අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඡන්ම දින නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) සුබ පැතුම් එක්කළා.

ඒ අනුව, ප්‍රථමයෙන් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් වැඩසිටින ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් උන්වහන්සේගේ සුවදුක් විමසා නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටයි ඔවුන් කටයුතු කළේ.

එහිදී මහානාහිමියන්ට ආශිර්වාද පිණිස මහා සංඝරත්නය පනස් (50) නමක් විෂ්‍යයෙහි පැවති දානමය පුන්‍ය කර්මයට සහභාගි වූ ජනාධිපතිවරයා මහානාහිමිවරුන්ට දානය පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ 88 වන ඡන්ම දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය ද ජනාධිපතිවරයා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.

ලොවම වෙලා ගත් වසංගත අභියෝගය හමුවේ මෙරට ජනතාව එම පීඩනයෙන් මුදා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් මෙහිදී ප්‍රශංසා පෙරදැරිව අනුශාසනා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මේ අතර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඡන්ම දිනය ද අදට (26) යෙදී ඇති අතර, අද (26) දහවල් එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසමින් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

පසුව, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ඡන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ සංවිධාන කර තිබූ ලේ දන්දීමේ වැඩසටහන සඳහා පැමිණ සිටි වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා පිරිස සමග ද සුහද කතාබහක ද නිරත වුණා ෴

***************************************

(26.01.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ඉන්දියාව අතර ඇති ගන්නා ගිවිසුමට අදාළ යොජනාව ලබන සදුදා (01) අමාත්‍ය මණ්ඩල යොමු කරන බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනිම සඳහා ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකිමේ ජාතික සභාව’ අද (26) රැස්වුණා.

පර්යන්තයේ අයිතිය 51% ක නොව සියයට 100 තබා ගත යුතු බවටයි ඔවුන් මේ වනවිට තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඊට අදාළව රජයට බල කිරිම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළවයි අද (26) රැස්වීම පැවැත්වෙන්නේ.

වරාය වෘත්තිය සමිති 23 නියොජිතයින් අද (26) පෙරවරුවේ රැස්වී තීරණය කළේ අදාළ ගිවිසුමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 51% ක නොව සියයට 100 තබා ගත යුතු බවයි.

ඒ පිලිබඳ අවධානය යොමු නොකර අදාළ ගිවිසුම අත්සන් කිරීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නම්, වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹීමට වරාය වෘත්තිය සමිති තීරණය කර ඇති බව ද වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

(26.01.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ලබන සිකුරාදා (26) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තීරණය කර තිබෙනවා.

ඒ, එම සභාව අද රැස්වූ අවස්ථාවේදී.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100% ක් ශ්‍රී ලංකාවට තබාගත යුතු බවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව එහිදී තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ රජයට බල කිරිම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය සහ ඉන්දියාව අතර ඇති කර ගන්නා ගිවිසුමට අදාළ යොජනාව ලබන සදුදා (01) අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ වාරයේ නැගෙහිර පර්යන්තය සුරැකිමේ ජාතික සභාව අද (26) රැස්වුණා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අර්බුදයට විරෝධය පළ කරමින් ඉන්දියානු ශ්‍රී ලංකා ජන සහයෝගිතා පදනම සහ සිවිල් සංවිධාන කිහිපයක් මහනුවර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (26) නිහඩ විරෝධතාවක නිරත වුණා ෴

++++++++++++++++

***************************************

(26.01.2021 – 21:39 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ චෝදනාවලට පිළිතුරු අතුළත් සවිස්තර කෙටුම්පතක් හෙට (27) ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත භාරදෙන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා ෴

***************************************

(26.01.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

රජයේ දේපළ අවභාවිත කරමින් තම පෞද්ගලික නිවස ඉදිකර ගන්නා වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළිකරගත්තා.

බෙලිඅත්ත – කහවත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඉදිකිරීමට යොදාගෙන ඇති රථවාහන මෙලෙස අවභාවිත කරන බවයි අප කළ ගවේෂණයේදී හෙළිවුණේ.

***************************************

පෑලියගොඩ සිට අතුරුගිරියට අධිවේගී මාර්ගයක්

(26.01.2021 – 11:12 +0530 – sinhala.adaderana.lk)

පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වනපරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මත අධිවේගී මාර්ගයක් (Elevated expressway) ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.

ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත එම ව්‍යාපෘතිය 100% විදෙස් අරමුදල් සහිතව කිරීමට නියමිතය.

ඒ සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර තිබේ ෴

***************************************

මේ ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය දියුනු කරන ආකාරය මහින්ද රාජපක්ෂගෙන් ඉගෙන ගත යුතුයි. ජාතික සංවිධාන කියයි

(26.01.2021 – 20:24 +0530 – lankaleadnews.com)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමාට සැලසුමක් නැත්නම් එතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉගෙනගත යුතු බව ජාතික සංවිධාන කියයි.

අද දින (26) රාජගිරිය ජාතික සංවිධාන පොද මධ්‍යස්ථානයේ දී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මේ ආණ්ඩුව ජනතාව ජනවරම ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා නැවැත්වූ තැනින් ආරම්භ කිරීමට මිස, රනිල් වික්‍රමසිංහ නැවැත්වූ තැනින් පටන් ගැනීමට නොවන බවය.

ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරන ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ විසින් වසර 5 කට කල් දැමීම බරපතල පාවාදීමක් සහ වරදක් වන බැවින් වර්තමානයේ එම වරද නිවැරදි කළ යුතු බවය.

++++++++++++++++

@@@@@@@@@@@@@@@@

(26.01.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 709 දෙනෙකු අද (26) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 51,046 ක්.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ තවදුරටත් 7834 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ෴

ජනවාරි 28 සිට පෙබරවාරි 01 දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සියලුම පුද්ගලයින් සඳහා කෝවිඩ් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා ෴

+++++++++++++++++++++

(26.01.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා වූ වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත විකෘති වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විදෙස් රටක සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ ආසාදිතයෙකුගෙන් මෙම ප්‍රභේදය හඳුනාගත් බවයි.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ප්‍රථමවරට මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ තහවුරු කළේ පසුගිය 13 වැනිදායි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එම වෛරසය ආසාදනය වී තිබුණා.

මේ අතර, පළමු කොරෝනා මර්දන එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ගෙන්වීමෙන් පසු එහි දෙවන අදියරද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද (26) දිනයේදී 51,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 709 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟයි.

එසේම, අද (26) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,536 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8203 දෙනෙකු පමණයි.

මේ අතර, පූගොඩ – මණ්ඩාවෙල ප්‍රදේශයේ පිහිටි මුව ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ සමඟ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ ගියා.

මාතර – පිටබැද්දර – දෑරංගල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 12 දෙනෙකුට සහ එහි සේවකයකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක (2) දරුවන් දෙදෙනෙකුට (2) වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වෛරසය ආසාදනය වීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදීයි.

එසේම, බ්‍රහස්පතින්දා සිට ලබන ඉරිදා දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටවන වාහනවල ගමන් කරන සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයන් 369 ක් වාර්තා වී ඇතිබව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(26.01.2021 – 18:18 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණීමට අපේක්ෂිත විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට අග්‍රාමාත්‍යවරයා විසින් බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් එස්.අරුමෛයිනායගම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ, ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරු එක්ව සිටියා.

ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව කොවිඩ්-19 වැළැක්වීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කරමින් මෙම ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව මෙම ශ්‍රමිකයන් රැගෙන එන මඟී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඉටුකර දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳවද ජනාධිපති කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 22,483 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මේ දක්වා එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමේ ගුවන් පහසුකම් සැලසූ බව ශ්‍රිලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(26.01.2021 – 20:47 +0530 – hirunews.lk/sinhala)

හෙට (27) උදෑසන 5 සිට හුදෙකළා බව ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න :

තවත් කොරෝනා ආසාදිතයන් 379 ක් වාර්තා වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (26) දිනට මේ දක්වා වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 748 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ෴

++++++++++++++++++

(26.01.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්.

එම කාන්තාව වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර කොරෝනා අසදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ ජාතික බෝවන රෝග විද්‍යා ඒකකයට මාරුකර ඒවා තිබෙනවා.

එම රෝහලේදී පසුගිය 26 වනදා මෙම කාන්තාව මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මරණයට හේතුව ලෙස එහි වැඩිදුරටත් සඳහන වන්නේ ලේ විෂවීමේ කම්පනය සහ කොවිඩ් නියුමොනියාවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *