මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ

*********************************************

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ

(05.01.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්. හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මුහුණු ආවරණ නොපැළඳීම, සමාජය තුළ කොරෝනා ව්‍යාප්තියට හේතුවිය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මත එම තීරණය ගත් බවයි.

ඊයේ (04) දිනයේ මෙම චෝදනා මත පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 2,172 කු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

+++++++++++++++++++++

(05.01.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෲ පාර, ශාන්ත ඇන්ඩෲ ඉහළ සහ පහළ යන මාර්ග අද (05) අලුයම පහේ (05:00) සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ හුදකලා කර තිබූ අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශය එම තත්වයෙන් ඉවත් කිරීමට ඊයේ (04) කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් හුදකලා බවින් මුදාහැරුණු මාළිගාවත්ත එන්.එච්.එස්. නිවාස සංකීර්ණයේ ජනතාව ඊයේ (04) විරෝධතාවක නිරතවුණේ තම දෛනික ජීවිතය පවත්වාගෙන යෑමට තවදුරටත් බාධා එල්ලවී ඇති බව පවසමින් ෴

++++++++++++++++++++++++

(05.01.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණවල අවසන් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ කමිටු වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වූ කමිටුවකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබාදෙන නිර්දේශ පදනම් කරගෙන ලබාදෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි ප්‍රකාශ කළා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේ ඉස්ලාමිය ආගමික අයිතීන්ට ගරු කරමින් කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානයට අවසර ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ පවතින විද්‍යාත්මක තොරතුරු මත භූමදානයට අවසර ලබාදිය හැකි බවට පවසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගියදා නිකුත් කළ නිවේදනය පිළිබඳව සිංහලේ අපි ජාතික සංවිධානය ඊයේ (04) චෝදනාවක් සිදුකළා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කියා සිටියේ දේශපාලන අවශ්‍යතාව මත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි ෴

++++++++++++++++++++++

(05.01.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයන් 468 දෙනෙකු ඊයේ (04) හඳුනාගැනීමත් සමඟ, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,000 ඉක්මවා ගියා. එය දැක්වුණේ 45,252 ක් ලෙසයි.

ඊයේ (04) හඳුනාගත් ආසාදිතයන්ගෙන් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර, තවත් 19 දෙනෙකු බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් වනවා.

පාකිස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඊයේ (04) හඳුනාගැනුනා.

ආසාදිතයන් 7,210 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 37,817 ක්.

එමෙන්ම නව මරණ දෙකක් (2) සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළ ගියා.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු රත්නපුර ශික්ෂණ රෝහලේදී පසුගිය 02 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා හේතුවෙන් ස්වසන පද්ධතියේ ඇතිවූ ආසාදනයක් සහ සංකූලවූ පෙනහළු රෝගී තත්වය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුත් පසුගිය 01 වනදා නිවසේදී මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාරයයි.

බස්නාහිර පළාතේ මත්ස්‍ය ලෑලි ආශ්‍රිතව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා රෝගීන් තුන්දෙනෙකු (3) හඳුනාගෙන ඇති අතර, තවදුරටත් එවැනි අහඹු පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙරට දෛනික පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව වන 14,000 න් දස දහසක (10,000) ප්‍රමාණයක් රජයේ ආයතනවලට අයත් රසායනාගාර තුළ සිදුකෙරෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා බෝවන රෝග හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවා ඇති රසායනාගාරය තුළ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයේ සීමාව ඉක්මවා සිදුකිරීම පිළිබඳව එහි කාර්ය මණ්ඩලය ඇගයීමේ උත්සවයකට ඊයේ (04) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

++++++++++++++++++++++++

(05.01.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව දැනට හඳුන්වාදී ඇති එන්නත් කෙටි කාලයක් තුළ අත්හදාබැලීම්වලට ලක් කළ බැවින් එහි ඵලදායීතාව තවමත් අවිනිශ්චිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල – පිලාන ප්‍රදේශයේ ඊයේ (04) පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴

+++++++++++++++++++++

(05.01.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්. හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මුහුණු ආවරණ නොපැළඳීම, සමාජය තුළ කොරෝනා ව්‍යාප්තියට හේතුවිය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මත එම තීරණය ගත් බවයි.

ඊයේ (04) දිනයේ මෙම චෝදනා මත පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 2,172 කු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

+++++++++++++++++++++

(05.01.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

කොවැක්ස් පහසුකම යටතේ කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය සඳහා සුරක්ෂිත සහ ඵලදායි එන්නතක් නිෂ්පාදනය කළ පසු එකී එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදාහැරීම තහවුරු කිරීම සඳහා රජයන් සහ අදාළ නිෂ්පාදකයින් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය කොවැක්ස් පහසුකම වශයෙන් හැඳින්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව දැනටමත් මෙම කොවැක්ස් ක්‍රියාවලියට ඇතුළත් වී ඇති අතර මෙම පහසුකම මඟින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා ලබා ගැනීම පිණිස වන නිල සංවර්ධන සහාය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළත්ව ජී.ඒ.වී.අයි. සංවිධානය තහවුරු කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුගමනය කරමින් කොවැක්ස් සඳහා වන එන්නත් ඉල්ලීමේ අයදුම්පත ඉදිරිපත් කිරීමටත් කොවැක්ස් පහසුකම් මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමටත් මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා ෴

++++++++++++++++++++

(05.01.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 23 වනදා සිට ගුවන් තොටුපළ විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත‌ා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

===========================================

(05.01.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ සිරුර හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මීට දින කිහිපයකට පමණ ඉහතදී කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නමක් පැහැරගෙන ගොස් තිබුණා.

පුද්ගලයන් 10 දෙනෙකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ වී ඇති අතර, ඒ සඳහා උපයෝගී කරගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා ෴

(05.01.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබියදී සොයාගත් පුද්ගල සිරුර හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වුණා.

ඒ අදාල සිරුර ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා දෙනමක් (2) විසින් තම ගුරු හිමියන්ගේ බවට හඳුහා ගැනීමත් සමඟයි.

මීට දින කිහිපයකට පෙර කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි අදාල හිමි නම පැහැරගෙන ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සිව්දෙනෙක් (4) අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර කාන්තාවක් ද සිටින බව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින කුඩා හිමි නමකගේ මව සහ පියා අත්අඩංගුවට ගත් සිව්දෙනා (4) අතර සිටින බවට තහවුරු වී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ හිමිනම සහ අදාල පුද්ගලයින් අතර පැවති පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින සිදු කිරීමට නියමතිව තිබුණා.

සැකකරුවන් අද (05) දින අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(05.01.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරිනියකගේ සැමියෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ අතර එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන සාමණේර හිමිනමකගේ මව්පියන් ද සිටිනවා.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, පැහැරගැනීමට යොදාගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දෙවනදා කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට මෙම පිරිස පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නම පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් කොටදෙණියාව – නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ උන්වහන්සේගේ සිරුර ඊයේ (04) සොයාගැනුනු අතර, පුළුස්සා දැමීමෙන් පසු එය වළදැමීම සඳහා සුසාන භූමියේ කුඩා වළක්ද සකස් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් හිමිනම පැහැරගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

මේ අතර අදාළ හිමිනමගේ ඝාතනය සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ අතර, ඊට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පිළිතුරු ලබාදුන්නා ෴

***************************************

(05.01.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – ඉඹුල ප්‍රදේශයේ පසුගිය 28 වනදා රාත්‍රියේ බුද්ධ ප්‍රතිමාවකට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම 30 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ගොස් පැමිණෙන අවස්ථාවේදී බුද්ධ ප්‍රතිමාවට හානිකර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(05.01.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් දෙදෙනකු (2) සහ තවත් පුද්ගලයෙකු (1) සමඟ හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකුගේ මළ සිරුර එහි නාන කාමරයක් තුල තිබී පසුගිය 02 වනදා පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා සමඟ ලැඟුම්හලට පැමිණි අනෙක් තිදෙනා (3) ඊයේ (04) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් දෙදෙනා (2) සහ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 21- 30 යන වයස් සීමාවල පසුවන බවයි වාර්තා වන්නේ.

නාන කාමරය තුල තිබී සොයාගත් පුද්ගලයාගේ මළ සිරුරේ පචාත් මරණ පරීක්ෂණ කටයුතු අද (05) මහනුවර මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 31 වනදා රාත්‍රියේ මෙම පිරිස අදාල ලැඟුම්හල වෙත පැමිණ ඇති අතර පසුගිය දෙවනදා පිරිස ලැඟුම්හලෙන් පිටව ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනා (2) සමඟ සිටි එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලැඟුම්හලේ නාන කාමරයක් තුල ඇති බවට දැක ඇති එහි සේවකයින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලසිය පැමිණ සිදුකළ පරික්ෂා කිරීම් වලදී මිය ගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් සහ ඔහු වැටී සිටි තැනට ඉහළින් ජනේලයේ රෙදි පටියක්ද ගැට ගසා තිබූ බවට නිරීක්ෂණය වූ බවයි පොලසිය පැවසුවේ.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මහනුවර පොලසිය විසින් සිදුකරන අතර සැක පිට අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි පොලසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(05.01.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දහවල් වදුරඹ, යක්කමුල්ල මාර්ගයේ මාබොටුවන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝදරථ රියදුරු සහ එහි ගමන් ගත් මවක් ඇතුළු වයස අවුරුදු 13 ක ළමයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

තුවාලකරුවන් කරාපිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ළමයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත්වූ මෙම පිරිස මාන්පුලිය, නොරෝචොලේ පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ලෝරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරේ වැඩිදුර පරීක්ෂණ මොරවැව පොලිසිය යටතේ ක්‍රියාත්මකයි ෴

***************************************

(05.01.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට භාවිතය තහනම් කර ඇති ග්ලයිෆොසේට් තොගයක් සහ නීතිවිරෝධී කෘෂිරසායන දියර තොගයක් අලෙවිය සඳහා වෙළඳසැලක් තුළ තබාගෙන සිටි පුද්ගලයෙකු හොරොව්පතාන නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (04) මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී අදාළ වෙළඳසැල තුළ තිබී නීතිවිරෝධී වල්නාශක මිලිලීටර 200 බැගින් අඩංගු බෝතල් 13 ක් සහ ග්ලයිෆොසේට් කුඩු ග්‍රෑම් 100 බැගින් අඩංගු ඇසුරුම් 102 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා වැඩිදුර විමර්ශනය සඳහා හොරොව්පතාන කෘෂිකර්ම උපදේශක කාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

***************************************

(05.01.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ප්‍රමිතිගත තෙතමනය සියයට 14 ක් සහිත නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 50 ටත්, තෙතමනය සියයට 14 ත්, 22 ත් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 44 ටත් මිලදී ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම, ප්‍රමිතිගත තෙතමනය සියයට 14 ක් සහිත සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 52 ටත්, තෙතමනය සියයට 14 ත්, 22 ත් සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 46 ටත් මිලදී ගැනීමට නියමිතයි ෴

***************************************

(05.01.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ වයඹ පළාත් ප්‍රධාන සංවිධායක උපාලි සඳසිරි මහතා කියා සිටියේ ඔක්තෝම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබු හිඟ අතිකාල දීමනා දෙසැම්බර් මාසයේ වැටුපත් සමඟ ලබා නොදීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කර ඇති බවයි ෴

***************************************

(05.01.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් (6) අද (05) අලුයම සිට විවෘත කර තිබෙනවා.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස අඩිය බැගින් වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි පොළොන්නරුව වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව පහත් බිම්වල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

(05.01.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් සොයා බැලීමට රුවන්ඩාවේ සිට කණ්ඩායමක් ගෙන්වීම පිළිබඳව ගැටළු රැසක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *