පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී

*********************************************

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී

(04.01.2021 – aruna.lk)

අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට ආරක්ෂක හා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

‘ජාතික තවුහිද් ජමාත්’ සංවිධානයේ නායක ‘සහරාන් හෂීම්’ ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් ‘අයි.එස්.’ සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද පැවසේ.

මෙම අයි.එස්. ඒජන්තයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා මීට වසර හයකට පෙර සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය හා බැඳී ත්‍රස්ත පුහුණුව ලැබූ අයකු බවත් ඔහු අයි.එස්. සංවිධානයේ ත්‍රස්ත නාමයක්ද ලබාගෙන ඇති බවත් හෙළිව ඇත. පාස්කු ප්‍රහාරයට පළමුව සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම් සිරියාවේ සිට මෙහෙයවා ඇත්තේ ද ඔහු බව හමුදා හා පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයා මේ වන විටත් ක්‍රියාකාරීව සිටිමින් ත්‍රස්තවාදය මෙරට ව්‍යාප්ත කිරීමේ උත්සාහයක නිරතව සිටින බව හෙළි කරගෙන ඇත. අන්තර්ජාලය මගින් ඔහු හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සියයකට (100) ආසන්න පිරිසක් ගැනද තොරතුරු ලැබී තිබේ.

ඔහු සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය මෙහෙයවමින් කටයුතු කළ කාලයේ දී (පාස්කු ප්‍රහාරයට පළමුව) බුද්ධි අංශ මගින් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ප්‍රධානීන් දැනුවත් කර ඇතත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැතැයි චෝදනා එල්ල වේ.

අයි.එස්. සංවිධානයේ මෙරට ඒජන්තවරයා වශයෙන් සැලකෙන මෙන්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මෙහෙයුම්කරුවකු බවට ද සොයාගෙන ඇති ඔහු හා සම්බන්ධ මෙරට අන්තවාදී ජාලය සොයා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එෆ්. අස්ලම්

***************************************

(04.01.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුම කළක සිට රැඳවියන් අතර පැවති කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවන බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල (5) කමිටුවේ අවසන් වාර්තාවේ දැක්වෙනවා.

එම වාර්තාව අද (04) අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කරනු ලැබුවා.

එය සැකසීමේදී පංච පුද්ගල කමිටුව බන්ධනාගාර අධිකාරිවරුන්, ජේලර්වරුන් සහ රැඳවියන් ඇතුලු 40 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරී සේවක සංඛ්‍යාවේ දැඩි හිඟයක් පැවති බැවින් නිසි ආරක්ෂාවක් සහ රැකවරණයක් ලබාදීමට නොහැකිවී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

රැඳවියන් 100 ක් පමණක් රැඳවිය හැකි වාට්ටුවක 300 කට වැඩි පිරිසක් රඳවා තබා ඇති බවටයි පංච පුද්ගල කමිටුව නිරීක්ෂණය කර ඇත්තේ.

නොසන්සුන්තාවට තුඩුදුන් හේතු ලෙස අදාළ කමිටුව දක්වා ඇත්තේ රැඳවියන්ට නිදහසේ ජීවත්වීමට තිබූ ඉඩකඩ ඇහිරී තිබීම බව අවසන් වාර්තාවේ දැක්වෙනවා.

සිද්ධිය වීමට පෙර උද්ඝෝෂණයක් පවත්වා රැඳවියන් ඉල්ලීම් පහක් ඉදිරිපත් කර තිබුණා.

එම දිනවලදී ලබාදුන් ආහාර රසවත් නොවීම, අධිකරණවලින් ඇප ලැබී ඇති අය නිදහස් කිරීම, ඇප ලැබී නොමැති පුද්ගලයින්ට කඩිනමින් ඇප ලබාගැනීම, කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සහ සියලු රැඳවියන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම එම ඉල්ලීම් පහයි.

කමිටුවේ නිරීක්ෂණය වී ඇත්තේ බන්ධනාගාර තුළ පැවති දීර්ඝ තදබදය එම ගැටුමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

806 දෙනෙකු රැඳවිය හැකි ඉඩ ප්‍රමාණයක රැඳවියන් 2500 ක් පමණ රඳවා තබා තිබෙනවා.

සාක්ෂිවලින් අනාවරණ වී ඇත්තේ රිමාන්ඞ් සිර මැදිරිවල රැඳවියන් එකිනෙකට ගෑවී නොගෑවී සිටින තරමට තදබදයක් තිබී ඇති බවයි.

ආහාර ලබාදීමේදී ඊට අවශ්‍ය පුද්ගලයින් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බන්ධනාගාර රැඳවියන්ද ආහාර ලබාදීමේ කටයුතුවල නිරතවී තිබෙනවා.

එහිදී බලවත් රැඳවියන් ආහාර වැඩි වශයෙන් ලබාගෙන ඇති අතර, දුබල රැඳවියන්ට ප්‍රමාණවත් ආහාර ලැබී නැහැ.

හොදි ප්‍රමාණවත් නොවූ අවස්ථාවලදී ඒ සඳහා වතුර කළවම් කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කොරෝනා ආසාදිත රෝගීන් රාශියක් මහර බන්ධනාගාර රැදවියන් අතර සිටින බවට දැන ගැනීමත් සමඟ කලබලකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

වැලිකඩ රෝහලේ සිට මහර බන්ධනාගාර රෝහලට මාරු කර යැවූ රැදවියන් පිරිසකගෙන් අහඹු ලෙස පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර සියළු දෙනාගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබුණේ නැහැ.

ගැටුම සිදුවූ දින දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මහර බන්ධනාගාර තුළ කොරෝනා ආසාදිතයින් 186 දෙනෙකු සිටින බවට වාර්තාවීමත් සමඟයි ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වී ඇත්තේ.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙම ගැටුම ඇතිවීමට හේතුව ක්ෂණිකව ඇති වූ මරණ බියක් මිසක් කලක සිට පැවති තුමන්ත්‍රණයක් නොවන බවටයි කමිටුවේ නිගමනය වී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොවිඩ් වැලඳීමත් සමග පළමුව වැලිකඩ රෝහලටත් පසුව අයි.ඩී.එච්. රෝහලටත් මාරු කර යැවීමත්, පිල්ලෙයාන්, රිෂාඩ් බදියුදීන් වැනි දේශපාලනඥයින්ට ඇප ලබාදීමත් යන සිදුවීම් ප්‍රශ්න කරමින් රැදවියන් ප්‍රකාශ කර ඇත්තේ ඇති හැකි අයට වෙනම සැලකීමකුත් නැති බැරි අයට අඩු සැලකිල්ලකුත් ඇති බවටයි.

එය කැරැල්ල මැඩලීමට නොහැකි වූ හේතුව ලෙසටයි දක්වා ඇත්තේ. එමෙන්ම, රැදවියන් අතර තිබූ පෞද්ගලික ගැටුම් ද මෙහිදී උත්සන්න වී තිබෙනවා.

ගැටුම පාලනය කිරීමේදී ජීව උණ්ඩ භාවිත කරමින් වෙඩි තබා ඇති අතර ගිනි අවි හේතුවෙන් තුවාල ලබා සිටි සංඛ්‍යාව 29 ක්.

11 දෙනෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති අතර ඔවුන් සියළු දෙනා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමකින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කමිටුව සඳහන් කර ඇත්තේ ගැටුම සිදුවන අවස්ථාවේදී බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගිනි අවි සමඟ මුර අට්ටාල රාජකාරී කළ බන්ධනාගාර නියාමකරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වෙඩි තැබීම් සිදුකර තිබුණ ද කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් හෝ එස්.ටී.එෆ්. නිලධාරීන් වෙඩි තබා නොමැති බවටයි.

මහර ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පංච පුද්ගල කමිටුව ප්‍රධාන කරුණු 3 ක් යටතේ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

බන්ධනාගාර තදබදය වැළැක්වීම, රැඳවියන්ගේ සුබසාධන සහ බන්ධනාගාර පරිපාලනය සඳහා වන නිර්දේශ මෙමඟින් ඉදිරිපත් කර තිබෙනවා.

***************************************

(04.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය, මිනිපේ සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බලපා ඇති වන අලි තර්ජනයට කඩිනමින් විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අද (04) මහියංගණය නගරයේදී විරෝධතාවක නිරතවුණා.

මහියංගණ – පදියතලා මාර්ගයේ ඇලෑවෙල මංසන්ධියේ සිට ඔවුන් විරෝධතා පා ගමනකින් නගරය වෙත පැමිණියා.

විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මාස ගණනක් තිස්සේ මහවැලි ගඟේ රැඳි සිටින වන අලි රංචුව වස්ගමුව හෝ මාදුරුඔය ජාතික වනෝද්‍යාන වෙත පළවා හරින ලෙසයි.

විරෝධතාව පැවති ස්ථානයට මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් මහතා පැමිණි අතර, ඔහු සහ විරෝධතාකරුවන් උණුසුම් සංවාදයක්ද ඇතිවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල අනියම් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා ඔවුන් අද (04) දහවල් දකුණු පළාත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම ලංකා ගුරු සේවා සංගමය අද (04) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේ විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් හට පත්වීම් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්.

***************************************

(04.01.2021 – 21:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය මෙන්ම දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

එහිදී අදහස් පලකළ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ ඌවතැන්න සුමන හිමියන්ට ලැබුණු සමාව අසාධාරණ ලෙස සිරගතවූවන්ටත් අවශ්‍ය බවයි.

***************************************

(04.01.2021 – 21:19 +0530 – hirunews.lk/sinhala)

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරුණා.

කොල්ලුපිටිය, ආර්. ඒ. ද මැල් මාවතේ පිහිටා තිබූ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය එම ස්ථානයේම නවීකරණය කර අද (04) විවෘත කෙරුණා.

සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින පහේම මෙම ස්ථානය මහජනතාව සඳහා විවෘතව පවතිනවා.

අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවවන්නේ මහජනතාවගේ යෝජනා ගැටලු සහ පැමිණිලි සඳහා වඩා කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායී විසඳුම් ලබාදීමයි.

පසුගිය කාලය පුරා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබූ එවැනි යෝජනා පැමිණිලි සහ ගැටලු ඇතුළත් ලිපි 12,000 කට එම ඒකකය මැදිහත්වීමෙන් ප්‍රතිචාර දක්වා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

මේ අතර රත්මලාන, කොතලාවලපුර සමාධි බෞද්ධාශ්‍රාමයේ රන්වැට විවෘත කිරීමේ පූජ්‍යෝත්සවයට අග්‍රාමාත්‍යවරයා අද (04) පෙරවරුවේ එක්වුණා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිකළ මාතර බාලවයස්කාර ගණිකා ජාවාරමේ අවුරුදු 14 ක දැරිය ගැබිණියක්

(04.01.2021 – 21:26 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා රටට අනාවරණ කළ මාතර බාලවයස්කාර දැරියන් යොදවා සිදුකළ ගණිකා ජාවාරමේ වයස අවුරුදු 14 ක දැරියක් ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණවලදී හෙළි වී තිබෙනවා.

එම දැරියන් අපයෝජන සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

පැතුම් මල් ගණිකා නිවාසය – පොල්හේන, මාතර

***************************************

(04.01.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල උල්හිටිය ජලාශයේ වාන් දොරටු වාන් දොරටු 7 ක් විවෘත කිරීමත් සමඟ පහත්බිම්වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

(05.01.2021 – 00:01 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන තුසිත් මුදලිගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහු මේ වනවිට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.

මීට දින කිහිපයකට පෙර ඔහු Brain Tumer (මොළයේ ඇතිවූ ස්නායු ආබාධයක්) හේතුවෙන් මෙලෙස රෝහල්ගතකර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තුසිත් මුදලිගේ පසුගිය යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කිරීමට අදාලව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක්ද විභාග වනවා.

ඒ ඔහු නීතිපති කාර්යාලයේ සේවයේ නිරත වන අතරතුර යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කිරීමෙන් දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්.

පසුගිය යහපාලන රජය පැවති කාලසීමාවේ ඔහුට දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයෙන් බවද කොමිසම හමුවේ අනාවරණය වූවා.

අදාළ දීමනා ගෙවා ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ වවුචරයක් මගින් බවයි එහිදී අනාවරණ වූයේ.

මේ අතර යහපාලන රජය තුළ අසාධාරණ ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නඩු රැසක් මෙහෙයවනු ලැබුවේද නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන තුසිත් මුදලිගේ වීම සුවිශේෂී කරුණක්.

ඒ අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව මෙහෙයවූ නඩු කටයුතුද වනවා ෴

+++++

දිට්ඨ ධම්ම වේදනී කම්ම (මෙලොවදීම විපාක දෙන කර්ම) ?
මැරිල යන්නෙ මොන අපායට ද ?

***************************************

සන්නද්ධ පිරිසක් පැහැරගත් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමියන් ඝාතනය කරලා – නාවාන සොහොන් පිටියකින් සිරුර හමුවෙයි

(05.01.2021 – divaina.com)

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (04 දා) සවස පොලිසියට සිරුර හමුවී ඇත.

උන්වහන්සේගේ සිරුර පෙට‍්‍රල් දමා මළ සිරුරක් වළදමා තිබූ ස්ථානයක පුළුස්සා දමා තිබියදී පොලිසිය විසින් සිරුර සොයාගනු ලැබීය. මෙය උන්වහන්සේගේ මළ සිරුර බව හඳුනාගෙන ඇත්තේ පිළිස්සී ගිය සිරුරේ තිබූ සිවුරු කොටසකිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සහ හංවැල්ල පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු (2) පොලිස් භාරයේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (04 දා) පෙරවරුවේ හංවැල්ල පොලිසියට භාරවී තිබුණි. කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ සාමණේර භික්‍ෂුවක් සහ උඩුවිල ධම්මසිරි හිමියන් අතර ආරවුලක් පැවැති බවත් එම ආරවුලේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට ධම්මසිරි හිමියන් සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් තිබුණේ පෙරේදා (03 දා) රාති‍්‍ර 11:30 ට පමණය.

වෑන් රථයකින් පැමිණි දස දෙනෙකුගෙන් (10) පමණ සමන්විත වූ සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ ධම්මසිරි හිමියන්ට අමානුෂික ලෙස පහරදී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවේ.

මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ ආරණ්‍ය සේනාසනයේ ගිහි පුද්ගලයන් දෙදෙනකු (2) ද සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.

පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව මෙම සිද්ධියට හේතුවී ඇත්තේ ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පහළොස් (15) හැවිරිදි වියේ පසුවූ සාමණේර හිමිනමකි.

හොරණ ප‍්‍රදේශයෙන් පැවිදි බිමට පැමිණි මෙම සාමණේර හිමිනම මෙම ආරණ්‍ය සේනාසනයේ වසර කිහිපයක් තිස්සේ වැඩ වාසය කරයි.

මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේදී නිතර ලිංගික අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලින් හෙළිවී ඇත. සාමණේර හිමි නම මෙම සිදුවීම් ජායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබිණි. තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වෙත භාරවී ඇත්තේ සාමණේර හිමි නමගේ පියා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිසිය පවසන්නේ සාමණේර හිමිනමගේ පියා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වීමක් නොමැති බවය. එහෙත් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් පැහැරගත් සන්නද්ධ පිරිස සමග ආරණ්‍ය සේනාසනයට පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මේ වන විට සාමණේර හිමිනමගේ මව ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත ෴

***************************************

ගාලුමුවදොර ඉදිරිපස අපේම අය ඉදිකළ නාගරික වන උද්‍යානය ජනතා අයිතියට

(05.01.2021 – am.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබුවා.

අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානය අදියර 03 කින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණ. වැය කළ මුදල රුපියල් මිලියන 135 කි.

2020 ජුනි 15 දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරුණා.

ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර ඇත.

***************************************

බැංකු තුනක් (3) ඒකාබද්ධ කරමින් එක බැංකුවක් NDBC

(05.01.2021 – aruna.lk)

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඒකාබද්ධ කරමින් ඉදිරියේදී ‘ජාතික සංවර්ධන බැංකු සංස්ථාව’ (NDBC) නමින් නව ආයතනයක් ස්ථාපනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය.

මෙම යෝජිත නව බැංකුව පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමග සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම කරනු ලබන බවද ‘පෙර දැක්ම 2021’ මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය 2021 වසර වෙනුවෙන් එළිදැක්වීමේ අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මෙම පියවර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් බිහි කරනු ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2020 වර්ෂය කොරෝනා වසංගතය හේතුවෙන් අසීරු කාල සීමාවක් වූ නමුත් 2021 වර්ෂයේදී සැලසුම් සහිතව ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කරන බවයි.

අන්තර්ජාලය ඔස්සේ පැවැති දේශනයකට එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසීය ෴

***************************************

සීනි ආනයනයේදී රුපියල් කෝටි 1000 ක වංචාවක්

(05.01.2021 – aruna.lk)

සතොස හිටපු සභාපතිවරයා, පාරිභෝගික අධිකාරිය සහ විල්මා ආයතනය එක්ව මෙරටට සීනි ආනයනය කරමින් රුපියල් කෝටි 1000 කට අධික මුදලක් වංචා කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (04 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සීනි සඳහා පනවා තිබූ බද්ද රුපියල් 50.00 සිට ශත 25 දක්වා අඩු කරමින් ආණ්ඩුවේ ව්‍යාපාරිකයන්, රජයේ ආයතන සහ ඉහළ නිලධාරීන් ඒකාබද්ධව කළ මෙම නීත්‍යනුකූල මූල්‍ය වංචාවක් පිළිබඳ වහා පරීක්ෂණ පවත්වන ලෙස ජවිපෙ සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

මෙම සංවිධානාත්මක මූල්‍ය අපරාධයට සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පාරිභෝගික සේවා අධිකාරිය සහ රජයේ තීන්දු තීරණ ගන්නා ආයතන හා පුද්ගලයන්ගේ සහාය ලැබී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසුවේය.

මෙම වංචාව හෙළිකිරීමෙන් පසුව සතොස සභාපතිවරයාට ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය ලබාදුන් බව කී හෙතෙම වංචාව පුටු මාරුවෙන් වසා ගැනීමට පසුගිය ආණ්ඩුවද උත්සාහ කළ බව කීය.

අදාළ වංචාව සම්බන්ධයෙන් තම පක්ෂය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද පැමිණිලි කරන බව කී වසන්ත සමරසිංහ මහතා මෙය අපරාධ නීතියට අනුව තදබල වරදක් බවද කීය.

මෙම රුපියල් කෝටි දහසේ සීනි වංචාවට වගකිව යුත්තන් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී ෴

=======================================

(04.01.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශය හුදෙකළා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

මෙරටින් තවත් කොරෝනා අසදිතයන් 277 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,241 ක් ෴

+++++++++++++++++++++

(04.01.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේ කාන්තාවක් ව්‍යාජ වෛද්‍ය වාර්තා සකස් කර කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමේ පුවතක් වාර්තා වනවා.

විදේශගතව සිට පැමිණි අදාළ කාන්තාව පසුගිය මස 29 වන දා යළි විදේශගතවීම සඳහා පෞද්ගලික වෛද්‍ය ආයතනයකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීම හේතුවෙන් ඇය තවත් පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් (2) සිදුකර ඇති අතර එමගින් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව හෙළි වී තිබෙනවා.

පසුව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත්තේ රජයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි.

එම පරීක්ෂණයෙන් අදාළ කාන්තාවට කොරෝනා ආසාදිත බවට යළි තහවුරු වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාව සොයා ඇයගේ නිවසට ගොස් තිබෙනවා.

ඒ, නිරෝධායන ක්‍රියාවලිය සඳහායි.

කෙසේ වෙතත්, ඒ වනවිට එම කාන්තාව ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ඇහැලියගොඩ පොළ භූමියේ පසුගිය දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව 24 දෙනෙකු කොරෝනා ආසාදිත බවට අලුතින් තහවුරු වී ඇති අතර, ඔවුන් සියළු දෙනා සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් හඳුනා ගත් ආසාදිතයන් වනවා.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙන විත් වෙළදාමේ නිරත වූ කන්තලේ – ගන්තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් 23 දෙනෙකු නිරෝධායනයට යොමු කර ප්‍රදේශයේ වෙළදසැල් වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.

ආසාදිත පුද්ගලයාගේ දියණිය අතිරේක පන්තියකට සහභාගි වී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් එම පන්තිය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

එමෙන්ම වව්නියාව – පට්ටාන්චිචූර් ගම්මානයේ පළමු හරස් වීදියේ සිට 5 වන හරස් වීදිය දක්වා කොටසට අද (04) පෙරවරුවේ සිට සංචරණ සීමා පනවනු ලැබුවේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) හඳුනා ගැනීමත් සමඟයි.

කොරෝනා වෛරසය සුව වන බව පවසමින් පැණියක් නිපද වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (04) ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දුටුවා. එහිදී ඔහු අදාළ පැණිය උන්වහන්සේ වෙත ද පිළිගැන්වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 45,241 ක්.

තවත් කොරෝනා ආසාදිතයන් 565 දෙනෙකු අද (04) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 37,817 දක්වා ඉහළ ගියා.

++++++++++++++++++++++

(04.01.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් මිරිස්ස සහ යාල ප්‍රදේශවල සංචාරය කළ බවට තමන් දැනුවත් වූයේ මාධ්‍ය තුළින් බවට සංචාරක මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ අදාළ සංචාරක නියෝජිත ආයතන එමගින් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේදී ඇති කර ගත් එකඟතාවන් ද කඩ කර ඇති බවයි.

පෞද්ගලික බෝට්ටු සහ ජීප් රථ 28 ක් යොදා ගනිමින් මෙම සංචාර සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති ඇති බවයි එමඟින් ඇය දක්වා ඇත්තේ.

මේ අතර යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වූ තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අදාළ සංචාරක නියාමන ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතිය සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අද (04) පැවති සාකච්ඡාවකදියි.

දිවයිනට පැමිණෙන යුක්රේන සංචාරකයන්ට පී.සී.ආර්. පරීක්ෂාවකින් පසු කොරෝනා ආසාදිත නොවන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සංචාරය සඳහා විශේෂ ස්ථාන 12 ක් හඳුන්වා දී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

දළදා මාළිගාව, යාල ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුළු විහාරය, උඩවලව, හෝර්ටන්තැන්න, සිංහරාජය, පේරාදෙණිය උද්භිද උද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, තල්මසුන් නැරඹිය හැකි ස්ථාන සහ සළුසල එම ස්ථානයි.

කෙසේ වෙතත් යුක්රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

ඔවුන් අද (04) පස්වරුවේ පොළොන්නරුව සංචාරක කලාපයේත් හෙට (05) සීගිරිය සංචාරක කලාපයේත් සංචාරය කිරීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ අද (04) සහ හෙට (05) සිදු කෙරෙන සංචාරයන් අත්හිටුවා ඇති බවට අදාළ නියමු ව්‍යාපෘතිය සිදුකරන සංචාරක අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි.

මේ අතර තවත් යුක්රේන සංචාරකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් යුක්රේනයේ කිව් නුවර සිට අද (04) දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියා.

අද (04) මෙලෙස පැමිණියේ හතරවන (4) යුක්රේන සංචාරක කණ්ඩායම වන අතර, මීට පෙර යුක්රේන ජාතිකයන් 563 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට පැමිණියා.

කෙසේ වෙතත් අද (04) දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායමේ සිටි ඇතැම් පිරිස් මුව ආවරණ පැළඳ නොසිටි ආකාරයක් නිරීක්ෂනය වුණා.

++++++++++++++++++++

(04.01.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් දෙදෙනාම (2) පිරිමි පුද්ගලයන් වන අතර දෙදෙනාම (2) රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

ඉන් එක් ආසදිතයෙක් 71 වියේ පසුවී ඇති අතර පසුගිය 02 වනදා මියගොස් ඇත්තේ ශ්වසන පද්ධතියේ ආසාදනය සහ සංකූල වූ පෙනහළු ආසාදනය හේතුවෙන්.

අනෙක් පුද්ගලයා 86 හැවිරිදි වියේ පසුවූ අයෙක් වන අතර කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාරය හේතුවෙන් පසුගිය 1 වනදා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසදිතා මරණ සංඛ්‍යාව 215 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

=====================================

අඹුසැමි යුවළක් තම දුව හා පුතු සමඟ ගිහි දිවිය හැර පැවිදි වෙන්නට ගිය හැටි

(05.01.2021 – gossiplankanews.com)

සැප සම්පත්වලින් පිරී පවුලක පියා, මව හා දරු දෙදෙනා සමග පවුලේ සාමාජිකයන් හතරදෙනාම ගිහි දිවිය අතැර නව වසරේ පළමුවෙනිදා සුබ මොහොතින් සසුන්ගත වීම සදහා විසූ නිවසින් නික්ම ගියහ. එලෙස ගිහි දිවියට සමුදුන් ඔවුන් පොල්පිතිගම නගරයේ , නාගොල්ල පන්සල් පාරේ පදිංචිව සිටි එස්. ඒ. ගාමිණී කුමාරසිංහ (අවු 38) මහතා, ඔහුගේ දයාබර බිරිද ඒ. එම්. සමුද්‍රා කුමාරී අත්තනායක (අවු 32) මහත්මිය, අවුරුදු 16 ක් වයසැති එස්. ඒ. කවිශ්කා සංජනී දියණිය හා අවුරුදු 13 ක් වයසැති එස්. ඒ. සදීප කෞෂල්‍ය ධනංජය කුමාරසිංහ නමැති තම බාල පුතු මෙලෙස සසුනට පිවිසීම සඳහා නව වසරේ 01 වෙනිදා පෙරවරුවේදී එකට වාසය කර විසු නිවහනින් නික්ම මැල්සිරිපුර මඩහපොළ නාඋයනේ ආරණ්‍ය සේනාසනය බලා පිටත්ව ගියහ.

අක්කර ගණනාවක පොල් වත්තක හිමිකරුවෙකු වන ගාමිණී කුමාරසිංහ මහතාගේ එම ගෙවත්තේ පැපොල් වගාවක් මෙන්ම සාර්ථක ඉගුරු වගාවක් හා කහ වගාවක අස්වැන්න නෙලන්නට ආසන්නව තිබියදී ඒ සියල්ලත්, තම නිවසත්, නීතිඥයන් ඉදිරිපිටදී පවුලේ අයට නීත්‍යනුකූලව පවරා පොල්පිතිගම නගරයේ පවත්වාගෙන ගිය පලතුරු කඩයෙන්ද ඉවත්ව පැවිදි දිවියට ඇතුලත්වීමට යන ගමනේදී නිවසේ තිබූ යතුරුපැදි, පාපැදි අතුළු බොහොමයක් අහල පහල අයට හා හිතවතුන්ට නොමිලේ ලබාදීමටද නිවැසියන් පියවර ගෙන තිබුණි.

එසේ නික්ම යාමට මත්තෙත් ගාමිණී කුමාරසිංහ මහතා අප හා කී දේට අපි සවන් දෙමු :

“මගේ උපන් ගම ගල්ටැංවැව. මගේ අම්මා තාත්තා තවම ඉන්නවා. මට සහෝදර සහෝදරියන් 11 දෙනක් ඉත්නවා. මම පවුල් අටවෙනියා. මම ගල්ටැංවැව පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. පස්සේ පෙතියාගල පිරිවෙනට ඇතුල් වෙලා අ.පො.ස. සා.පෙළත්, උසස් පෙළත් පාස් වුනා, දහම් පාසල් ධර්මාචාර්ය විභාගයත් පාස්වුණා. පස්සේ තරුණ වියේදීම විවාහ වුණා. දුවයි. පුතයි දෙන්නෙක් ඉන්නවා. දුව 11 වසරේ ඉගෙන ගන්නවා. පුතා 7 වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා. දෙන්නම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ගියේ ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම ලකුණු අරගෙනයි. ඔවුන් ඉගෙනීමට හරිම දක්ෂයි. ධර්මයටත් හරිම ලැදියි.

අපි නිතර නිතර නාගොල්ල ඓතිහාසික පන්සලට ගියා. මහමෙව්නාවටත් ගියා. බෞද්ධ විනය වර්ධන සමිතියටත් ආව ගියා. පස්සේ රේරුකානේ චන්දවිමල හිමි, උඩුදුම්බර කාශ්‍යප හිමි වාගේම නාඋනේ අරියධම්ම හිමිවරුන්ගේ ධර්ම පොත් කියෙව්වා. බිරිදත්, දරු දෙන්නත් ඒ පත පොත පරිශීලනය කෙරුවා. සසර ගමන දුකක්, බියක් බව අපි හැමෝම තේරුම් ගත්තා. ඒ අනුව මේ යන ගමන අපි යන්නේ අද ගැන හිතලා නෙමෙයි. අනාගත සසර ගමන ගැන හිතලයි.”

ඔහුගේ බිරිද වූ සමුද්‍රකුමාරි අත්තනායක මහත්මිය කී කතාවයි මේ :

“මගේ උපන්ගම දිවුලපිටිය. හුණුපිටිය, කලමුල්ල විදයාලයෙන් අ.පොස සා.පෙළ මෙන්ම වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්ව සරසවියට යත්න ලකුණු හතක් මදි වුණා. රැකියාවකට යන්න තිබුණා. නමුත් ගියේ නැහැ, පවුලේ අයගේ ආශිර්වාදය මැද විවාහ වුනා, මහත්තයා විවාහ වෙන දිනයෙත් කිව්වා ‘ඔයාව බැන්දට මම කවදා හරි මහණ වෙනවා’ කියලා. එදා මමත් කිව්වා ‘එහෙනම් එදාට මමත් එනවා’ කියලා. ඒක විහිළුවට කිව්වා කියා සිතුවාට ඒ සිහිනය වසර ගණනාවකට පසුව දරුවොත් එක්ක සැබෑ වෙනවා. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා, දුව හා පුතා ශිෂ්‍යත්වය සමත් නිසා ශිෂ්‍යත්ව ආධාර දෙන්නටම ලැබෙනවා. සතයක්වත් අපි ගත්තෙ නැහැ. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ඒ මුදල් අපි පාසලට පරිත්‍යාග කෙරුවා. අපි මේ ගමන යනවාට ගමේ බොහොමයක් කැමති නැහැ. ඒ අය කිව්වේ ඔය දෙන්නට ගිහි ජීවිතය කලකිරුණාට මේ ළමා වියේ දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත්, ඒ අයට යන්න එන්න ගෙදරක් නැති වෙයි. ඒ අයට යන කල දසාව මොකක්ද? ඒ නිසා ඔය ගමන දරුවන්ගේ කටයුතු නිම කරලා යන්න කියලා අපිව දැනුවත් කෙරුවා, නමුත් දරුවො දෙන්නා කීවා අපි එහෙම වෙන්නෙ නැහැ, මේ ගමන යමු කියා. ඒ අනුව ඉතිං අපි සසර ගමන කෙටි කරගන්න යනවා.”

ඇය කිසිදු පැකිලීමකින් තොරව පැවසුවාය. එසේ කී පවුලේ සාමාජිකයන් හතරදෙනාම මැල්සිරිපුර නා උයනේ ආරණ්‍යෙ සේනාසනය වෙතට නව වසරේ ජනවාරි 01 වෙනි දින පෙරවරුවේදී නික්ම ගොස් පූජ්‍ය අගුල්ගොමුවේ අරියනන්ද නාහිමියන් බැහැදැක දැහැත් වට්ටි පිළිගන්වා සසුන්ගත වීමට අවසර ඉල්ලා සිටියහ.

ගිහියෙකු පැවිදි දිවියට පිවිසීමට මත්තෙන් අනගාරික බ්‍රහ්මචාරී දිවිපෙවෙත ගතකොට භික්ෂුවක් හෝ භික්ෂුණියක් අනුගමනය කලයුතු ආකල්ප මොනවාද යන්න ප්‍රගුණ කළ යුතුය. එදා මෙදාතුර නෑදෑ පිරිස, හිතවතුන්, යහළු යෙහෙළියන් සමග මෙන්ම මව, පියා, දුව පුතා යන බැඳීම්වලින්ද ඉවත්ව නාහිමියන්ගේ උපදෙස් මත පියා හා පුතු නාඋයනේ ආරණ්‍ය සේනාසනය තුළ රැදී සිටියදී මව හා දියණිය සසර ගමනේ එකට පැතූ පාරමිතාවක් සපුරාලීමට ඊට ඔබ්බෙන් පිහිටා ඇති ධම්මා මෙහෙණි ආරාමයේ වැඩවාසය කිරීම සඳහා නික්මුණාහ.

සිසිර කැලේගම

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *