ශිෂ්‍යත්වය නිමවී දින දෙකකට (2) පසු අනතුරකින් ඔත්පල වූ නිමාෂාගේ අනුවේදනීය කතාව

ශිෂ්‍යත්වය නිමවී දින දෙකකට (2) පසු අනතුරකින් ඔත්පල වූ නිමාෂාගේ අනුවේදනීය කතාව

*********************************************

ශිෂ්‍යත්වය නිමවී දින දෙකකට (2) පසු අනතුරකින් ඔත්පල වූ නිමාෂාගේ අනුවේදනීය කතාව

(02.01.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අඩු පහසුකම් ඇති දක්ෂ දරුවන්ට අනාගතය දිනා ගන්නට ඇති කදිම අත්වැලක්.

ඒ කඩයිම ජය ගැනීමේ ප්‍රීතිය රිසි සේ විඳ ගන්නට අවාසනාවන්ත සිදුවීම් හරස් වන්නේ නම් එය කෙතරම් අභාග්‍යයක්ද?

මේ එවන් සිදුවීමකට මුහුණ දුන් පුංචි දියණියක් පිළිබඳ අනුවේදනීය පුවතක්.

මේ ඇළහැර – බකමූණ – ඔරුබැඳි සියඹලාව ගම්මානයේ නිමාෂා විහාරි නම් දැරිය සිය මව සහ සොහොයුරිය සමඟින් දිවි ගෙවන නිවසයි.

වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ තම පියා සිටි සමය මෙම පවුලේ ‍ස්වර්ණමය කාලය වී තිබුණා.

නමුත් එම සුන්දර කාලය නිමා වී තිබුණේ පියාට මරු කැඳවමින් සහ නිමාෂා සදහටම ඔත්පල කරමින් සිදුවූ යතුරුපැදි අනතුරත් සමඟයි.

ඒ බකමූණ, ඔරුබැඳි සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිමාෂා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී හරියටම දින දෙකකට (2) පසුවයි.

අනතුරින් ඔත්පළ වූ පුංචි නිමාෂා සිය වේදනාව දරා ගැනීමට නොහැකිව පැය 24 පුරාම ගත කරන්නේ හැඬු කඳුලින්.

කිසිදු ආදායම් මාර්ගයෙක් නොමැති මෙම පවුලේ සාමාජිකයින් වේලක් හැර වේලක් ආහාර ගෙන ජීවත් වන්නේ ප්‍රදේශවාසීන් ලබාදෙන ආධාරයකින්.

අනතුරින් තුවාල ලබා දැනට සුව වී සිටින වැඩිමහල් දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත වුවද ඇය සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ අඩුපාඩු රැසක් මධ්‍යයේයි.

රෝගී තත්ත්වයෙන් පසුවන නිමාෂාගේ මව ද මේ වනවිට දෑස් නොපෙනී යාමේ බරපතළ ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා.

ඇය පැවසුවේ රජය මගින් ලබාදෙන සමෘද්ධි සහනාධාරය හෝ තම පවුලට නොලැබෙන බවයි.

තම පිහිටට සිටින ප්‍රදේශවාසීන් මෙන්ම ඔරුබැඳි සියඹලාව විදුහලේ ගුරුවරුන් පිළිබඳ නිමාෂාගේ මව කෘතවේදීව සිහිපත් කළා.

ඔත්පල වූ පුංචි නිමාෂාට නාසයට දැමූ නලයක් මාර්ගයෙන් ආහාර ලබාදෙන අතර වෛද්‍යවරුන් නිර්දේශ කළ අධික මිල සහිත කිරිපිටි ඇයට ලබාදීම මවට ගැටලුවක් බවට පත්ව ඇත්තේ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන්.

නිමාෂාගේත්, ඇගේ සොහොයුරියගේත් හෙට දවස වර්ණවත් කර ගැනීමට උපකාරවීමට ඔබටත් හැකි නම් උදාවූ වසර ඔවුන්ගේ ජීවිතවලට අස්වැසිල්ලක් ගෙනෙනු ඇති.

***************************************

(02.01.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දෙසැම්බර් මාසය තුළ සිරකරුවන් සහ සැකකරුවන් 10,227 දෙනෙකු නිදහස ලබා සහ ඇප මත මුදා හැර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊට පිරිමි රැඳවුවන් 9938 ක් සහ කාන්තා රැඳවුවන් 289 ක් අයත් බවයි.

මෙම පිරිසට සිරකරුවන් සහ සිරකාරියන් 793 දෙනෙකු ද ඇතුළත් වනවා ෴

***************************************

(02.01.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල හිගුල මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල්කොරියකින් සොරකම් කළ පුපුරන ද්‍රව්‍ය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇමෝනියා නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍ය කිලෝ 15 ක්, වෝටර් ජෙල් කූරු 6 ක්, සේවා නූල් 35 ක්, ඩෙටෙන්ටර් 20 ක් ඇතුලු උපකරණ තොගයක් සොරාගෙන තිබුණේ පසුගිය දෙසැම්බර් 22 වනදායි.

මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට ගල්කොරියේ හිමිකරු විසින් පැමණිල්ලක් ඉදිරිපත් කර තිබුනා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ සිදු කළ අතර පසුව පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.

මෙම සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව ගල්කොරියේ සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබු බවයි පොලිසිය කියාසිටියේ.

එම පුද්ගලයා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණයකින් පසු සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 4 ක්. සොරකම් කළ පුපුරන ද්‍රව්‍ය ඇතුලු සියලු භාණ්ඩ පේරාදෙණිය ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(02.01.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක සිට වනඅලි ගම්වැදීම හේතුවෙන් සූරියවැව – අන්දරවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටිනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ නිසි පරිසර අධ්‍යයනයකින් තොරව සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවයි.

මේ අතර, දිඹුලාගල – පැලටියාව සහ මගුල්ගම ගම්මානවලට අද (02) අලුයම කඩා වැදුණු වන අලියෙකු නිවාස රැසකට හානි කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

***************************************

(02.01.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10 ක් සතොස හා සමූපකාර හරහා ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යාමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය ආහාර ස්ථාවර මිලකට ලබාදීමේ අරමුණින් මාස 6 ක කාලයක් සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

සහල්, පිටි, සීනි, පරිප්පු, හාල් මැස්සන්, අල, ලූණු සහ මිරිස් ඇතුළු ආහාර වර්ග 10 ක් ස්ථාවර මිලක් යටතේ මෙලෙස ලබාදීමට නියමිත අතර, ඊට අදාළව සැපයුම්කරුවන්ගෙන් අභිප්‍රාය කැඳවීම ලබන සතියේ සිට සිදුකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

***************************************

(02.01.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අධිකරණයට බලපෑම් සිදුකර දේශපාලන පළිගැනීම්වලට ලක් කළ පුද්ගලයින්ට වත්මන් රජය යටතේ සාධාරණය ඉටුවිය යුතු බව මහා සංඝරත්නය සහ දේශපාලනඥයින් පවසනවා.

***************************************

(03.01.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික උද්‍යාන මායිමේ ප්‍රේරක කලාපය ආසන්නයේ වනාතවිල්ලුව – රාලමඩුව කුඹුරු යායක පක්ෂීන් මියගොස් සිටියේ විෂ ශරීර ගත වීමකින් බවට සැක කරන බව වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මියගිය පක්ෂීන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමුකර ඇති බවයි.

පෙරේදා සිදුකළ පරීක්ෂණවලදී මෙම පක්ෂීන්ට කුරුළු උණ වැළදී නොමැති බවට හෙළිවුණා.

වනාතවිල්ලුව – රාලමඩුව වෙල් යායක පක්ෂීන් 150 කට ආසන්න සංඛ්‍යාවක් ගෙවී ගිය සතියේ මියගොස් තිබුණා.

ඒ අතර, වී කුරුල්ලන්, ගෙළ කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා යන පක්ෂීන් වනවා ෴

***************************************

(03.01.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

හලාවත – මුගුනුවටවන – ආරියගම ප්‍රදේශයේ වගාබිම් වලින් නව නිදිකුම්බා විශේෂයක් හඳුනාගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය කියා සිටියේ ‘මිමෝසා ඩිප්ලොක්‍රිකා’ නැමති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නිදිකුම්බා විශේෂය ඉදිරියේදී ආක්‍රමණශීලි ශාකයක් ලෙස ව්‍යාප්ත විය හැකි බවයි.

ආක්‍රමණශීලි ශාක විශේෂයක් වන ‘මිමෝසා ක්‍රිකා’ නමැති ‘යෝධ නිදිකුම්බා’ විශේෂයට සමාන මෙම විශේෂය, වැල් වශයෙන් හට ගන්නා අතර, ගොවිබිම් ආශ්‍රිතව එය පැතිර යාමට නොදී බීජ හට ගැනීමට පෙර විනාශ කරන ලෙසටයි ජනතාවට උපදෙස් දෙන්නේ.

***************************************

(03.01.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (05) දක්වා බීමත් රියදුරන් සහ අධික වේගයෙන් රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඊයේ (02) දිනයේ පමණක් රිය අනතුරු 90 ක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 9 දෙනෙකු මියගොස් තවත් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඔහු කියා සිටියේ ෴

=============================================

(02.01.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වෙළඳුන් වෙළඳසැල් හිමිකරුවන් සහ පාරිභෝගිකයන්ට මෙලෙස පරීක්ෂණ සිදුකර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.

මේ අතර කොළඹින් පිට ප්‍රදේශවල කොරෝනා අනුපොකුරු නිර්මාණය වීමේ අවදානම වැඩිවෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ජනතාව සෞඛ්‍යාරක්තික ක්‍රමවේද පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ෴

++++++++++++++++++++++

(02.01.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

පළාගිය කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පළාගිය අතර ඉන් එක් අයෙකු සොයා ගනු ලැබුවා.

අනෙක් රෝගීන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය කියාසිටියේ.

එම ආසාදිතයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 859 1233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

මෙලෙස පළාගොස් ඇත්තේ :

  • නාරම්මල කරගහගෙදර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දඹල්ලගේ බුද්ධික විමලරත්න,
  • මාරවිල පරුෂපාර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජේසූරිය ආරච්චිගේ හරිත කැලුම් අප්පුහාමි,
  • බොරලැස්ස ජයමාවත පාර පදිංචි 36 හැවිරිදි පී.කේ සුමිත් පුෂ්පකුමාර
  • වයික්කාල අංගම්පිටියේ පදිංචි 52 හැවිරිදි නිමල් වසන්ත නොහොත් ගැටයා

නම් සැකකරුවන් පිරිසක්.

සුමිත් පුෂ්පකුමාර :

බුද්ධික විමලරත්න :

හරිත කැලුම් අප්පුහාමි :

++++++++++++++++++++++

(02.01.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයන් 562 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,717 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුදහමුදාපතිවරයා පවසනවා.

ඉන් 83 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තාවී ඇති බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 44,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා ෴

++++++++++++++++++++++

(02.01.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිට තවත් සංචාරකයන් 175 ක් රැගෙන ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (02) පස්වරු 2 ට පමණ මෙම යානය දිවයිනට ළගාවූ බවයි.

ගුවන්තොටුපල තුල සෞඛ්‍ය නිති රීතිවලට අනුගත වෙමින් ඔවුන් අදාළ සංචාරක ලැගුම්හල් කරා රැගෙන ගොස් තිබෙනවා.

නියමු ව්‍යාපෘතියට අනුව තවත් සංචාරකයන් 1800 ක් පමණ ඉදිරි දින කිහිපයේදී පැමිණීමට නියමිත බවයි මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් තවත් යානයක් හෙට (03) පළමු වරට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිතයි.

මීට පෙර පසුගිය දෙසැම්බර් 28 වනදා සහ 29 වනදා ද සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් (02) මෙරටට පැමිණියා.

++++++++++++++++++++++++

(02.01.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක් හමුවී ඇතැයි පොලිසිය පවසනවා.

++++++++++++++++++

(02.01.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම ගැටළුවක් නොවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ තම සංගමය කළ විශේෂඥ විශ්ලේෂණයකට අනුව එම මතය ප්‍රකාශ කළ හැකි බවයි.

ඒ පිළිබඳව අදාළ අංශ කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය සඳහන් කළා.

ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියේ කොවිඩ් වෛරසය ශ්වසන පද්ධතිය හරහා මිස උදරය ආශ්‍රිතව වෙනත් ආකාරයකින් ආසාදනය විය නොහැකි බවයි.

එමෙන්ම, වෛරසය සජීවි සෛලවල මිස මළ සිරුරුවල දිගු කාලයක් නොපවතින බවත්, මළ සිරුරක් පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිත පුද්ගලයෙකුගේ බව තහවුරු වූවද, එයින් වෛරසය පැතිරීමේ අවස්ථාවක් නොමැති බවත්, වෛද්‍ය සංගමයේ අදහසයි.

කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මිහිදන් කළ දේහවලින් ජල මුලාශ්‍ර හරහා වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති අතර, ඉපැරණි වෛරසයක් පරිසර පද්ධතිය තුළ තිබී නැවත මතුවන්නේද යන්න තවදුරටත් අධ්‍යයනය කළ යුතු කරුණක් බවත්, වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

දැනට පවතින විද්‍යාත්මක තොරතුරුවලට අනුව කොරෝනා ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ දේහ මෙරට තුළ මිහිදන් කිරීමට අවසර ලබාදිය හැකි බව තම අදහස යැයි වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය වෙනුවෙන් පවතින වෛද්‍යවරුන්ගේ ආයතනයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කළා.

++++++++++++++++++++

(02.01.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් පන්සිය හැට දෙදෙනෙකු (562) සුවය ලබා පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,717 දක්වා අද (02) ඉහළ ගියා.

එසේම, අද (02) දිනයේදී තවත් ආසාදිතයින් 311 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එම ආසාදිතයින් අතරින් 83 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,167 ක්.

මේ අතර, වීරකැටිය – යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ ගම්මාන දෙකෙන් (2) කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.

පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 60 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබුණා.

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ පිහිටි මැද පාරේ ව්‍යාපාරික ස්ථානවල සේවකයින් සඳහා අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් හත් දෙනෙකු (7) හඳුනා ගැනුණා. ඒ, සමඟ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි පියවර ගැනුණේ.

පෑලියගොඩ නව මැනිං වෙළඳපොල ආශ්‍රිතව පසුගිය 30 වැනිදා සිදුකරන ලද අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 113 ක ප්‍රතිඵලවලට අනුව 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් එම පරිශ්‍රයේ පැවැත්වුණේ කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ සහ කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඊට මැනිං වෙළඳපොල සංගමය, එහි වෙළඳසැල් හිමියන් සහ සේවකයින් පිරිසක් එක්ව සිටියා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය කියා සිටියේ තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මේ අතර, අද (02) දිනයේදී ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් පිට ප්‍රදේශවල කොරෝනා අනුපොකුරු නිර්මාණය වීමේ අවදානම වැඩිවෙමින් පවතින බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

මේ අතර, සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව අද (02) දිනයේදී තවත් යුක්රේන ජාතික සංචාරකයින් 175 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.

මීට පෙර දිවයිනට පැමිණි යුක්රේන සංචාරකයින් පිරිසක් තල්මසුන් නැරඹීම සඳහා පිටත්ව යෑමට මාතර – මිරිස්ස ධීවර වරායට පැමිණියා.

එම ස්ථානයට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාද පැමිණ සිටියා.

එසේම, දිවයිනට පැමිණ සිටි තවත් යුක්රේන ජාතිකයින් පිරිසක් අද (02) යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කළා.

++++++++++++++++++

(02.01.2021 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ යනවා.

මියගොස් ඇත්තේ කාන්තාවක් (1) සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් (2).

මියගිය කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි අයෙක්.

ඇය පසුගිය දෙසැම්බර් 30 වන දින නිවසේදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් ඇතිවූ බහුවිධ සංකූලතායි.

මේ අතර අනන්‍යතාව සනාථ කළ නොහැකි අවුරුදු 70 ත් 80 ත් අතර පසුවන පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.

ඔහු මරදාන පොලිස් වසමේදී හඳුනාගත් අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ.

මෙම පුද්ගලයා පසුගිය 30 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනයයි.

මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76 ක පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරුකර යවා තිබූ එම පුද්ගලයා අද (02) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනයයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 191 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,371 ක් දක්වා ඉහළ යනවා.

මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 7443 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 36,717 ක් ෴

++++++++++++++++++++

(03.01.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වැනිදා අලුයම පළාගිය රැඳවියන් පස්දෙනා (5) ගෙන් අත්අඩංගුවට නොගත් සිව් දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

එමන්ම නව ආසාදිතයන් 515 ක් ඊයේ (02) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,371 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (02) වාර්තාවූ ආසාදිතයන්ගෙන් 419 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 83 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 13 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 40,628 ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (02) ආසාදිතයන් ලෙස හඳුනාගත් විදේශයන්හි සිට පැමිණි 13 දෙනා අතර, බ්‍රිතාන්‍යයේ සිට පැමිණි හත්දෙනෙකු (7), සෞදි අරාබියේ සිට පැමිණි 3 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු (1) සහ මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු (2) වනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් 7,443 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 36,717 ක්.

මේ අතර නව මරණ තුනක් (3) සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 211 ක් දක්වා ඉහළ ගියා. කොළඹ-13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 93 ක් වයසැති කාන්තාවක් පසුගිය 30 වනදා නිවසේදී මියගොස් ඇති අතර, කොරෝනා නිසා ඇතිවූ බහුවිධ සංකූලතා මරණයට හේතුවී තිබෙනවා.

අනන්‍යතාව සනාථ කළ නොහැකි අවුරුදු 70 ත් 80 ත් අතර වයසේ පසුවන මරදාන පොලිස් වසමේ පිරිමි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනය වී මියගොස් තිබෙනවා.

පසුගිය 30 වනදා මොහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ද ඊයේ (02) මියගොස් තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

මේ අතර පසුගිය 19 වනදා මහනුවර ජාතික රෝහලේදී මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ දේහයක් දින 15 ක් තිස්සේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පවසනවා.

අකුරණ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් ඔහුගේ නිවැසියන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සහ එය හඳුනා ගැනීමට නොපැමිණිම නිසා මෙම තත්වය උද්ගතවී තිබෙනවා.

මේ අතර, සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතියට අදාළව ඉදිරියේදි තවත් ගුවන් යානා 10 පමණ මෙරටට පැමිණිමට නියමිත බවයි ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *