ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද?

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද?

*********************************************

ජමාතේ ඉස්ලාම් බලකොටුව මාවනැල්ලේන් මතුවීම අන්තවාදී ක්‍රියාවක පෙරනිමිත්තක් ද?

(30.12.2020 – colombotoday.com)

මාවනැල්ල කේන්ද්‍රකොටගෙන මෑත කාලයේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. ගල් කොරියක් සඳහා ගෙනා පුපුරණ ද්‍රව්‍ය අතුරුදහන් වීම, බුදු පිළිම සහිත කුටි දෙකකට (2) පහර දීම තවත් බුදු කුටියක් කඩා පිං කැටය පැහැරගෙන යාම ඒ අතරින් වාර්තා වුනු ප්‍රධාන සිද්ධීන් වේ.

පාස්කු ප්‍රහාරයට පෙරද මෙවැනිම ආකාරයෙන් මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. ඊයේ (29) අලුයම වීදුරුවකට අලාභහානි කර තිබූ එක් බුදු කුටියක් ද මීට ඉහතදී ප්‍රහාරයකට ලක්ව තිබීම විශේෂිතය.

බොහෝ මුස්ලිම් ජාතිකයන් මාවනැල්ල හඳුන්වන්නේ ‘ජමාතේ ඉස්ලාම්’ (Jamaat-e-Islam) බලකොටුව ලෙසය. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රභලතම පුද්ගලයා නමින් හජ්ජුල් අක්බර් ය. ඔහු අවුරුදු 25 ක් ජමාතේ ඉස්ලාමී නායකවරයාව සිටි පුද්ගලයායි. සහරාන්ට පෙර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර ආරම්භ කලේ ජමාතේ ඉස්ලාම් අනුගාමිකයින්ය. ඒ මාවනැල්ල බුදු පිළිමවලට එල්ල කල ප්‍රහාරයෙන්ය.

මාවනැල්ල බුදු පිළිම පාස්කු ප්‍රහාරයට පෙර කඩා විනාශ කරන ලද්දේ හජ්ජුල් අක්බර්ගේ සහෝදරයා වන ඊබ්‍රහීම් මවුලවිගේ පුතුන් දෙපල විසිනි. පුතුන් දෙදෙනා ජමාතේ ඉස්ලාමේ ශිෂ්‍යය සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් වේ. එමෙන්ම දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ හෝටලයේ මරාගෙන මැරෙන බොම්බකරුත් මෙම සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිටි අයෙකු වේ. මොවුන් අවසානයේ JMI එනම් ජමාත් මිල්ලතු ඊබ්‍රාහිමියා ලෙස ත්‍රස්ථ සංවිධානයක් වශයෙන් පාස්කු ප්‍රහාරයේ දී ඉස්මතු විය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගත හජ්ජුල් අක්බාර් ඊට මාස කිහිපයකට පසු නඩු නොමැතිවම නිදහස් විය. ජමාතේ ඉස්ලාම් අලගිය මුලගිය තැන් පිළිබඳව අප වෙබ් අඩවිය මීට ඉහතදී ‘තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය’ මැයෙන් ගවේෂණාත්මක හෙළිදරවුවක් සිදුකරන ලදි.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශය පිළිබඳව සුපරික්ෂාකාරී විය යුතුය. මන්ද යත් ජමාතේ ඉස්ලාම් මතවාදයේ ඇති දරුණු බවයි. එය තේරුම් ගත් ඉන්දියාව සහ බංගලාදේශය මෙම සංවිධානය තහනම් කර ඇත. බංගලාදේශ් ජමාතේ ඉස්ලාම් නායකයා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

+++++++++

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව
http://www.colombotoday.com/ban-sri-lanka-jamaathe-islami-2020-4-23/

+++++++++

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ
http://www.colombotoday.com/hajjul-akbar-released-2019-9-30/

+++++++++

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්
http://www.colombotoday.com/re-emergence-of-islamic-radicalism-a-warning/

+++++++++

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක
http://www.colombotoday.com/jvp-working-with-2-extremist-muslim-groups-2019-7-15/

+++++++++++++++++++++

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති

(30.12.2020 – colombotoday.com)

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය අසල පිහිටි බුදු කුටියට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (29) රාත්‍රියේ එම ස්ථානයට වැඩමකර සිටියා.

මෙම පිළිම වහන්සේ මීට පෙර අවස්ථා කීපයකදී ද ප්‍රහාරයට ලක්ව ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කර ඇත.

අන්තවාදීන්ට අවශ්‍යකර ඇත්තේ කලබලයක් ඇති කර ගැනීමට බවත් එයට හසු නොවී බුද්ධිමත් ලෙස ක්‍රියා කරන ලෙසත් ඥානසාර හිමි මෙහිදී උපදෙස් ලබා දී ඇත.

***************************************

අපරාධකරුවන් නිරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය යොදාගන්න යයි

(30.12.2020 – 13:25 +0530 – lankadeepa.lk)

අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා විදේශ රටවල මෙන් නවීන තාක්ෂණ විධි ක්‍රම භාවිතය පිළිබඳ සොයා බලන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලීසියේ ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දැනට පවතින ඇතැම් නීති පද්ධති වර්තමාන සමාජයට නොගැළපීම හේතුවෙන් අපරාධකරුවන් නීතියේ ඇති හිඩැස් වලින් රිංගා සමාජ විරෝධී ක්‍රියාවල නිරතවන බව වාර්තා වන බව අමාත්‍යවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත්තේ පොලිස් නිලධාරීන් සමඟ අද (30) පැවති රැස්වීමකදීය.

නවීන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කිරීම තුළ අපරාධ මැඩලීම කාර්යක්ෂමව කඩිනමින් සිදුකළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

නවීන උපකරණ මෙන්ම අන්තර්ජාලය, ජී.පී.ආර්.එස්. (GPRS) වැනි නවීන තාක්ෂණික උපාංග කෙරෙහි එහිදී අවධානය යොමු කළ හැකි බව ද ඇමතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ ෴

***************************************

තම නම විකුණූ බස් ගුණසේකරට අගමැති කම්බස් වෙන්නම දෙයි

(30.12.2020 – am.lk)

පෞද්ගලික බස් වැඩිම ප්‍රමාණයක් හිමි ව්‍යාපාරිකයෙකු සේ සැලකෙන ඩී.එස්. ගුණසේකර මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් බරපතළ දෝෂාරෝපණයක් එල්ල කර, මින් ඉදිරියට විජයරාම මාවතේ පිහිටි සිය නිල නිවසට නොගන්නා ලෙස සිය ආරක්ෂකයින්ට උපදෙස් ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ නම විකුණමින් එක්තරා බැංකුවකින් රුපියල් කෝටි 215 ක ණයක් ලබා ගෙන තිබීම හේතුකොට ගෙනය.

අයවැයෙන් සිගරැට් මිල ඉහළ යනු ඇති බවට කළ අනුමානය මත සිගරැට් තොග රැස් කිරීම සඳහා ගුණසේකර මහතා මෙම ණය ලබා ගෙන තිබෙන බවද හෙළිදරව් වේ.

අයවැය රහස් තමා දන්නා බව හඟවමින් ගුණසේකර මහතා කටයුතු කර තිබෙන බවද හෙළිදරව් වී ඇති මුත් ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් සිගරැට් මිල අය වැයෙන් ඉහළ නොයාම මත ගුණසේකර මහතා මේ වනවිට අසීරුවට පත්ව තිබෙන බවද දැනගන්නට තිබේ.

අයවැයෙන් සිගරට් මිල ඉහළ යෑම පදනම් කොට ගෙන මෙම ගනුදෙනුවෙන් රුපියල් මිලියන 700 කට අධික ශුද්ධ ලාභයක් ඉපයීමට ගුණසේකර මහතා බලාපොරොත්තුවෙන් සිට තිබේ.

අග්‍රාමාත්‍යවරයා කලක පටන් හඳුනන පුද්ගලයෙකු වන ගුණසේකර මහතා ව මෙම සිද්ධිය මත විජේරාම නිල නිවසට කැඳවා ඔහුට දොස් පවරා තිබේ.

එහිදී තමා මෙම කටයුත්ත කළේ අග්‍රාමාත්‍යවරයාට වඩාත් සමීප අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින ඉහළතම නිලධාරියකුගේ උපදෙස් මත බව ප්‍රකාශ කරමින් සිය නිදහසට කරුණු කීමට ගුණසේකර මහතා සූදානම් වුවද අග්‍රාමාත්‍යවරයා ඊට අවස්ථාවක් ලබා දී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයකු වන වසන්ත සමරසිංහ මහතා ද මාධ්‍ය හමුවක් තබමින් තොරතුරු රැසක් හෙළිදරව් කොට තිබේ ෴

***************************************

(30.12.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ගල්කොරිවලට ලබාදෙන පුපුරණ ද්‍රව්‍ය නිසි පරිදි භාවිත කිරීම හා ගල්කොරි අධීක්ෂණයට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාවනැල්ලේ ගල්කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඊට අමතරව, ගල්කොරිවලන් පරිසරයට මෙන්ම අවට ජනතාවට සිදුවන හානි පිළිබඳව ද ඔහු යටතේ අධීක්ෂණය කිරීමට නියමිතයි ෴

***************************************

(30.12.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

හුංගම කලමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබු කහ කිලෝ විසිදහසකට (20,000) අධික තොගය ගිනි තබා විනාශ කර තිබෙනවා.

එම කටයුතු සිදු කෙරුනේ පොලිස්පතිවරයාගේ නියෝග මත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සහ නිරෝධායන පනතට අනුවයි.

ඒ අනුව අදාළ කහ තොගය පොලිස් ආරක්ෂාව සහ සෞඛ්‍ය අංශ උපදෙස් මත හුංගම පොලසියේ සිට අම්බලන්තොට ලූනම ආදාහනාගාරය වෙත රැගෙන විත් පිළිස්සීමට කටයුතු කළා.

කෙසේවෙතත් එය අසාර්ථක වීම හේතුවෙන් යළිත් කහ තොගය අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු නෝනාගම කැලිකසළ කළමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් භූමිතෙල් දමා ගිනි තබා විනාශ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දියාවේ සිට රැගෙන විත් තිබූ මෙම කහ තොගය පසුගිය 27 වනදා අලුයම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගැනුනේ ගොඩබෑමට සූදානම්ව තිබියදීයි.

මෙම කහ තොගයේ වටිනාකම රුපියල් කෝටි 12 කට ආසන්න වන බව සඳහන්.

එහිදී සැකකරුවන් හතරදෙනෙකු (4) ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

***************************************

(30.12.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාරදී තිබෙනවා.

එහි නිර්දේශ 13 ක් ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.

අදාළ වාර්තාව කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අමාත්‍යවරයාට භාරදී තිබෙනවා.

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය නොවැම්බර් මස 29 වනදා මෙම කමිටුව පත්කරනු ලැබුවා.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන නීතිඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර යන මහත්වරුද එම අවස්ථාවට එක්ව තිබෙනවා.

මෙම කමිටුවේ අතුරු වාර්තාවක් ද පසුගිය 7 වනදා අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදී තිබුණා.

අදාළ කමිටුව වෙත අධිකරණ අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණේ මාසයක් තුළ මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසටයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කමිටුව ස්වාධීන කමිටුවක් වන අතර ඊට කිසිදු අයුරකින් මැදිහත් නොවූ බවයි.

එමෙන්ම බන්ධනාගාර තදබදය අවම කිරීමට පියවර රැසක් ගෙන ඇති අතර නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළා.

බන්ධනාගාර තදබදය අවම කිරීමට මේවන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ 8500 ක පමණ රැඳවියන් සංඛ්‍යාවක් ඇප මත නිදහස් කර ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා ෴

***************************************

(30.12.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

සමාජය තුළ දරුවන්ට නිසි රැකවරණයක් අවශ්‍ය බව සැවොම පිළිගන්නා ධර්මතාවයක්.

මේ කතාව එය යළි යළිත් තහවුරු කරනවා.

තම දරුවන්ට නිසි රැකවරණය සැලසීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර, එම වගකීම පැහැර හරින අතලොස්සක පිරිසක් මේ රටේ නැතිවාම නොවේ.

වයස අවුරුදු 14 ක සහ 15 ක දැරියන් දෙදෙනෙකුගේ (2) ජිවිත මෙලෙස විනාශ වන්නේ දෙමව්පියන් මෙන්ම සමාජය ද ඔවුන්ට රැකවරණය ලබාදීමේ වගකීම පැහැර හැරීම හේතුවෙන්.

ජීවත් වන්නට මුදල් නොමැති නිසා ඒ පිළිබඳ තවත් කාන්තාවකට වැඩිමහල් දැරිය පවසා ඇති අතර, ඇය රැකියාවක් ලබාදෙන මුවාවෙන් මෙම දැරියන් දෙදෙනා (2) ගණිකා වෘත්තීයේ යෙදවීමට පියවර ගන්නවා.

මේ වනවිට 25 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අවසන්.

මෙම දැරියන්ගේ ජිවිත අනතුරේ හෙලූ ඇය ද එක්දරු මවක් වීම පුදුමයට කරුණක්.

දැරියන් දෙදෙනා (2) ජාවාරමේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු (2) ද මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (29) අත්අඩංගුවට ගත්තා.

එසේම, දැරියන් මෙම ජාවාරමේ යෙදවූ පඹුරන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ වයස් ඇතුළත් කරමින් දැරියකට හැඳුනුම්පතක් ද සකස් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

ජාවාරම මෙහෙයවන කොළඹ කාන්තාවක් සොයා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ක්‍රියාත්මක කරනවා.

දැරියන් දෙදෙනා (2) මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.

අත්අඩංගුවට සැකකරුවන් 4 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මව්පිය සෙනෙහස අහිමි වූ දරුවන් රටේ අනන්තවත් සිටින අතර ඔවුන්ගේ ජිවිත මෙලෙස මිලින වීමට ඉඩ දීමේ වගකීම මුළු මහත් සමාජම භාර ගත යුතු නොවේද?

***************************************

(30.12.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

පානදුර මූලික රෝහලේ ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට හෙදියක විසින් වැරදීමකින් ජලභීතිකා එන්නතක් ලබාදී ඇති බව එම දැරියගේ මිත්තණිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ඊයේ (29) උදෑසන අවුරුදු 1 යි මාස 7 ක් පමණ වන මෙම කුඩා දැරිය සහ ඇයගේ මව මෙන්ම මිත්තණිය ද රුධිර පරීක්ෂාවක් සඳහා රෝහල වෙත පැමිණ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂවරියගෙන් කරුණු විමසූ අතර ඇය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත්භාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව ද ඇය කියා සිටියා ෴

***************************************

(30.12.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන් වන පුද්ගලයින්ට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දීර්ඝ කාලීනව මුහුණපාන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ජනාධිපතිවරයා විසින් හඳුන්වාදී ඇති අතර එහි සිව්වන (4) අදියර අද (30) ක්‍රියාත්මක වුණේ අනුරාධපුර – කැබිතිගොල්ලෑව – කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයීය භූමියේදීයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශයේ ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබා දුන් අතර රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශයේ දේශපාලනඥයින් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

++++++++++++

***************************************

(30.12.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් සිව්දෙනෙකුගේ (4) මෘත දේහ ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.

එහිදි අනාවරණ වුණේ ඉන් තිදෙනෙකුට (3) කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇති බවයි.

රැඳවියන් එකොළොස් දෙනෙකුට (11) මරු කැඳවමින් පසුගිය මස 29 වෙනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ගොනු කර තිබු මෝසමට අනුව අදාළ නඩුව 7 දිනටත් වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවී අද (30) කැඳවනු ලැබුවා.

පසුගිය 23 වෙනිදා අවසන් වරට මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මඩුල්ලට මෙම නඩුවට පෙනී සිටීමට හැකිද සහ කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ මෘත දේහ ආදාහනය කරන්නේද, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව අද (30) ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව ඊට පෙනීසිටීම සඳහා නඩුවේ හත්වෙනි (7) දිනය වන අද (30) දිනයේ අගතියට පත් පාර්ශවයේ නීතීවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත පැමිණ සිටියා.

නඩුවේ කටයුතු පෙරවරු 11:30 ට පමණ ආරම්භ කෙරුණු අතර එහිදී මෙතෙක් සිදුකළ තවත් විමර්ශන ඇතුළත් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

පෙර නඩු දිනයේ දෙපාර්ශවයටම ලිඛිත දේශන ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එලෙස අගතියට පත් පාර්ශවය කළ තිබූ ලිඛිත දේශනයේ ඇති දෝෂ සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා.

අනතුරුව කොටස් දෙකකින් (2) සමන්විත තීන්දුව මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කළේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ කණ්ඩායමට ඉදිරියටත් පෙනී සිටීමට අවසර ලබාදෙන බවයි.

මෘත දේහ අවසන් කටයුතු සම්බන්ධයෙන් නියෝගය කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට වාචික සැලකිරීමක් කිරීමට අවශ්‍යනම් ඊට අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

එහිදි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මහර සිද්ධිය සිදු වි මාසක කාලයක් ගත වි ඇති බවයි.

එමෙන්ම එහිදි එකොළොස් දෙනෙකුට (11) වෙඩි වැදී ඇති බවත් තීන්දුවට අදාළ මෘත දේහ හතරෙන් (4) තුන් දෙනෙකුට (3) කොවිඩ් වැළදි ඇති බවට තහවුරු ඇති බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මෘත දේහ හතර (4) අදාළ රෝහල්වල තබාගැනීම සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නිසා ඒවා ආදාහනය කරන මෙන් නියෝග කරන ලෙසයි.

කරුණු දැක්වීම අවසානයේ රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය විසින් රජයේ රස පරීක්ෂකවරයා විසින් ලබාදුන් නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත භාර දුන්නා.

එම රස පරීක්ෂක වාර්තාවද පරිශීලනය කළ මහේස්ත්‍රාත්වරයා රැඳවියන් සිවුදෙනාගේ (4) මෘත දේහ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීන්දුවේ දෙවෙනි (2) කොටස ප්‍රකාශයට පත් කළා.

එහිදි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මියගිය 8 දෙනෙකුගේ මෘත දේහ මේ වනවිට පරීක්ෂා කර ඇති බවයි.

ඒ අටෙහිම (8) මූණිස්සම් තිබූ බවත් පංච පුද්ගල කම්ටුව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රස පරීක්ෂවරයාට දැනුම් දී තිබෙනවා.

එමනිසා මේ මෘත දේහ ආදාහනය කිරීම පරීක්ෂණවලට බාධාවක් නොවන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කණ්ඩායම අධිකරණයට දැනුම් දුන්නේ මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ මහතා සහ ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත ගැටුම සිදු වුණ ආකාරය පිළිබඳ අදහස් දක්වා තිබූ බවයි.

එබැවින් ඔවුන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝගයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

එහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළ තොරතුරු ඉන් හෙළිවේ නම් අවශ්‍ය කටයුතු සිදුකර අධිකරණයට එම කරුණු වාර්තා කරන්න ලෙසයි.

රජයේ වියදමින් මේ මෘත දේහ 4 ආදාහනය කරන්න ලෙසට නියෝගයක් ලබාදෙන ලෙස ඉන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළේ, මෙම මෘත දේහ හතරේ (4) ආදාහන කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙසයි.

පංච පුද්ගල කමිටුවට ද අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීමට බාධාවක් නැතැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, ඉතිරිව ඇති සෙසු මළසිරුරු තුන (3) සම්බන්ධයෙන් ද පශ්වාත් මරණ පරීක්ෂණය සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල ප්‍රගතිය ද ඇතුළු වාර්තාවක් ජනවාරී 8 වෙනිදා අධිකරණයට දන්වන්නැයි නියෝග කළා.

මේ අතර මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ පංච (5) පුද්ගල කමිටුව අදත් (30) බන්ධනාගාරයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

පසුව ප්‍රධාන කාණ්ඩ 3 ක් යටතේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත අද (30) පස්වරුවේ ලබා දුන් බවයි එම පංච පුද්ගල කමිටුවේ සමාජික අධිකරණ අමාත්‍යංශයේ නීති උපදේශක ජනාධිපති නිතිඥ යු.ආර් ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

***************************************

මහාචාර්ය ලලිත් ගමගේට තවත් වගකීමක්

(30.12.2020 – 22:33 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ.

මෑතක දී පිහිටුවන ලද තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත් කිරීමෙන් හිස් වූ තනතුරට මහාචාර්ය ලලිත් ගමගේ මහතා ව පත්කර ඇත.

මහාචාර්ය ලලිත් ගමගේ මහතා තම නව තනතුරෙහි ජනවාරි 01 වැනිදා වැඩ ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීමේදී මූලිකත්වය ගෙන ඇත්තේ ද ඒ මහතාය. ඔහු එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙන්ම උපකුලපතිවරයා ලෙසද කටයුතු කරයි.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ තොරතුරු තාක්‍ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇති අතර ලංකා මෘදුකාංග පදනමේ (LSF) සභාපති, ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ (ACCIMT) සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පොකුරු සභාපති සහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

සාර්ථක තාක්‍ෂණ සමාගම් විශාල සංඛ්‍යාවක් බිහි කළ ශ්‍රී ලංකාවේ පළමු තාක්‍ෂණ ඉන්කියුබේටර් ‘කන්සෙප්ට් නර්සරි’ සංකල්පය පිහිටුවීමට ද මහාචාර්ය ගමගේ මහතා පෙරමුණ ගත්තේය.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ද විය.

මහාචාර්ය ගමගේ මහතා ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ (SLANSHEI) ආරම්භක සභාපතිවරයා වේ.

මහාචාර්ය ගමගේ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු සේද සේවය කරයි.

වසර 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා (TOYP) සම්මානය දිනා ගත්තේය ෴

***************************************

(31.12.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවු ගින්න, සිතාමතා සිදුකළ ක්‍රියාවක් ලෙස හැඳින්වීමට සාක්ෂි නොමැති බව අනාවරණ වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කණ්ඩායම ඒ බව අනාවරණ කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය 15 වනදා මෙම ගින්න හට ගෙන තිබූ අතර, අනතුරුව පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කළා.

මෙම ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මකයි ෴

***************************************

(31.12.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරි කණ්ඩායමේ සිව්වන රැස්වීම ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා.

ඒ සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙන්ම, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ධීවර, නීතිපති, දෙපාර්තමේන්තු නිලධාරින්, නාවික හමුදාවේ සහ වෙරළ ආරක්ෂක බලකායේ නියෝජිතයන්ද එක්ව සිටි බවයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඉන්දීය දූත පිරිස මෙහෙයවනු ලැබුවේ එරට ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්ය රජිව් රන්ජන් විසින්.

ද්වීපාර්ශවික කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවුණා.

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය නියෝජිතයන් ද ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒකාබද්ධ මුර සංචාර වැඩි කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡාවට ලක්වුණා.

ශ්‍රී ලංකාව භාරයේ පසුවන ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් කරන ලෙස ද එරට නියෝජිතයන් මෙහිදී ඉල්ලා තිබෙනවා.

ඊට අදාළව දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙරට නියෝජිත කණ්ඩායම සාකච්ඡාවේදී පැහැදිලි කළ බවයි ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලාංකික ධීවරයින්ට අරාබි මුහුදට පිවිසීම සඳහා ආරක්ෂිත ප්‍රවේශයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

අරාබි මුහුදට පිවිසෙන ශ්‍රී ලාංකිකයින් ඇතැම් විට ඉන්දීය වෙරළාරක්ෂකයින් විසින් රඳවාගෙන ඇති අතර, ඒ සඳහා සුරක්ෂිත ප්‍රවේශයක් පැවතිය යුතු බව ශ්‍රී ලංකාවේ යෝජනාවක් ෴

***************************************

(31.12.2020 – 08:44 +0530 – hirunews.lk/sinhala)

මහව නගරයේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් සිව් (4) දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඉන් එක් අයෙකු මෙලෙස පොලිස් සැරයන්වරයාට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

=====================================

ඇමරිකා එක්සත් ජනපදයේ විහාරස්ථාන එකමුතුවෙන් රතන සූත්‍රය 108 වරක් අන්තර්ජාලය ඔස්සේ

(30.12.2020 – 11:43 +0530 – lankadeepa.lk)

අන්තර්ජාලය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා බෞද්ධයින් එකමුතු කරමින් රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ මහා පුන්‍යෝත්සවයක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉකුත් 27 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්විණි.

මෙම පුන්‍යකර්මය ලොස් ඇන්ජලිස්හි පිටිහි ධර්ම විජය බෞද්ධ විහාරායේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, විහාරස්ථාන 108 ක මහා සංඝරත්නයගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර මෙම පුන්‍ය කටයුත්ත සඳහා තායි, නේපාල, වියට්නාම් සහ බංග්ලාදේශී බෞද්ධ විහාරයන්හි ස්වාමීන් වහන්සේලාද එක්වූහ.

බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම පිණිස ධර්මදූත මෙහෙයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මෙම සද් කාර්ය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය කෘතඥතාවය පළ කර සිටී.

ශ්‍රී ලංකාව වෙතින් ලෝකය වෙත පිරිනැමිය හැකි ඉමහත් දායාදය වන බෞද්ධ දර්ශනය ලොවපුරා ගෙනයාම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා විසිරී සිය ධර්මදූත සේවයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවූ මහඟු සද් කාර්යය සම්බන්ධයෙන් සිය අතිශය කෘතඥතාවය සංඝරත්නය වෙත පළකරන බවද ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්‍යසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ්-19 වසංගතය සහ ඒ සමඟ ඇති වන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජනතාව පෙර නොවූ විරූ පරිමාණයකින් අවිනිශ්චිතතාවයෙන් හා මානසික අවපාතයෙන් පීඩාවිඳින බව සඳහන් කළ තානාපති ආර්‍යසිංහ මහතා බුදුරජානන් වහන්සේගේ ගැන්වීම් විශ්වීයත්වය හේතුවෙන් රතන සූත්‍රය සජ්ඝායනා කිරීමෙන් සියලු ලෝක වාසීන්ටම බුදුරජානන් වහන්සේ සමයේ සිදුවූවාක් මෙන් ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.

මෙහිදී අන්තර්ජාල ඔස්සේ රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ කර්තව්‍යයට එක්වූ නිව්යෝක්හි ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හීන්බුන්නේ කොන්ඩඤ්ඤ හිමි සිය අනුශාසනය පවත්වමින්, රතන සූත්‍ර දේශනාවේ අනුගත ආරක්ෂාව සඳහා වන ප්‍රබල ආශීර්වාදය සහ ඉන් සෑම කෙනෙකුටම ලැබෙන පිටිවහල පිළිබඳව කරුණු දැක්වූහ. බෞද්ධ පතපොත අනුව රතන සූත්‍රය ඉන්දියාවේ විශාලා නුවරදී බුදුරජාණන්වහන්සේ දේශනාකර ඇති අතර ඉන් එම නගරයේ පැතිරගිය රෝග බය, අමනුෂ්‍ය බය සහ දුර්භික්ෂය නිසා ඇතිවූ පීඩාවන් සම්පූර්ණයෙන් පහව ගිය බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියහ.

මෙම පුණ්‍ය ක්‍රියාව හරහා වර්තමාන කෝවිඩ් අර්බුදයට සහනයක් ලබාදීමට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ නායකයින්ට ආශිර්වාද කිරීමටත් එළැඹෙන 2021 වසර සඳහා සැමට ආශීර්වාද කිරීමටත් අපේක්ෂා කරන බව අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායකහිමිපාණෝ මෙම පිරිත් සජ්ඝායනාව ආරම්භකරමින් පැවසූහ ෴

රතන සූත්‍රය (mp3)

++++++++++++++++++++

(30.12.2020 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොස්ගම පොලිස් බලප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ දෙසැම්බර් 24 වනදා එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කළා ෴

++++++++++++++++++++++

(30.12.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා දේශීය ඖෂධ 37 ක් පිළිබඳව සොයාබැලීමට දේශීය ආයුර්වේද අමාත්‍යංශයේ විද්වත් කමිටුවක් පත් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ (29) ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමෙන් පසු දේශීය ඖෂධ වර්ග 108 ක් ඇතුලත් ඖෂධ මංජුසාවක් පුජා කිරීමෙන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කොරෝනා පැණිය පිලිබඳව සායනික පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, කොවිඩ් වෛරසයට සුදුසු බවට පැවසෙන තවත් දේශීය ඖෂධ වර්ග 37 ක් පිලිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන බවත්, ඒ සදහා විද්වත් කමිටුවක් පත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(30.12.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 34,000 ඉක්මවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 34,623 ක් ලෙස සටහන් වන බවයි.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7245 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,063 ක් ෴

++++++++++++++++++++++++

(30.12.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 354 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,417 ක්.

ඔවුන්ගෙන් 7599 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 34,623 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 195 ක් ද වාර්තාවී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ යුක්රේන සංචාරකයින් තුන්දෙනා (3) සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම තත්ත්වයන් කළමනාකරණය සඳහා සැලසුම් කළ පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි.

යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වූ අතර, ඔවුන් තිදෙනා (3) මීට දින දෙකකට (2) පෙර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

යුක්රේන සංචාරකයින් තුන්දෙනාට (3) කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

මේ අතර, යුක්රේන ජාතික සංචාරකයින් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කළා.

එමඟින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට කිසිදු බාධාවක් නොවන බවයි.

එසේම, මෙවන් තත්ත්වයන්ට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් පැවති බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එසේම, අද (30) දිනයේදී තවත් ආසාදිතයින් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 34,000 ඉක්මවා ගියා.

ඒ අනුව එම සංඛ්‍යාව 34,623 ක් ලෙස සටහන් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 7,599 ක් පමණයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකුට සහ ප්‍රතිකාර ලබමින් සිටි 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කොස්ගම පොලිස් බල ප්‍රදේශය අද හුදෙකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ දෙසැම්බර් 24 වනදා එම ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කළා.

එසේම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලබන ජනවාරි 05 වැනිදා සිට පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණ කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පිවිසීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++

(30.12.2020 – 18:39 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් නව කොරෝනා වෛරසයේ විකෘති වූ ප්‍රභේද පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු කර ගත නොහැකි බවට සිදුකරන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් ඇය සඳහන් කළේ එම වෛරසයේ ප්‍රභේද පිළිබඳව තම විශ්වවිද්‍යාල මගින් පර්යේෂණ සිදුකරන බවයි.

එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වුව ද සියලු කොරෝනා ආසාදිතයින් සඳහා එම එන්නත් ලබාදීමට හැකියාවක් නොමැති බවයි ඇය සඳහන් කළේ.

++++++++++++++++++++++

(30.12.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 282 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,699 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් 7599 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 34,623 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 195 ක් ද වාර්තාවී තිබෙනවා.

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකුට සහ ප්‍රතිකාර ලබමින් සිටි 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++++

(30.12.2020 – 21:05 +0530 – hirunews.lk/sinhala)

රටටත් සමස්ත ලෝකයටත් කිසිසේත් හිතකර නොවූ අවුරුද්දක් හෙටින් නිමා වෙනවා.

කොවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි යට ගෙවුණු මේ වසර අවසානය සැමරිය යුත්තක් වුව ද ඒ සඳහා පරිසරය සැකසී තිබෙනවා ද ?

අපි ඒ ගැන හොයා බැලුවා.

++++++++++++++++++++++

(30.12.2020 – 22:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 199 ක්.

මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ කාන්තාවක්.

මරණයට පත්වූ එක් පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙක්.

ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අද (30) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් රෝගී තත්වයයි.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මරණයට පත්ව තිබෙනවා.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුනා.

එහිදී ඊයේ (29) මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇතිවූ උග්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනය සමග ඇතිවූ හෘද රෝගී තත්වයක්.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගිය අය අතර වනවා.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඊයේ (29) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වය සහ උග්‍ර වූ දියවැඩියා තත්වයයි.

මියගොස් ඇති කාන්තාව කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්.

ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එම රෝහලේදී ඊයේ (29) ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර අක්මා ආසාදනය සහ කොවිඩ්-19 ආසාදනය සමග ඇතිවූ ලේ විෂවීමේ කම්පනයයි ෴

++++++++++++++++++++++

(31.12.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මේ අතර මීට පෙර තවත් යුක්රේන ජාතිකයන් තිදෙනෙකුට (3) කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වූ අතර මේ වනවිට කොරෝනා අසාදනය වී ඇති යුක්රේන ජාතිකයන් සංඛ්‍යාව 6 ක්.

ඔවුන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

ගෝලීය වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියේ පළමු සංචාරක කණ්ඩායම යටතේයි.

එම සංචාරක කණ්ඩායමට යුක්රේන ජාතික ළදරුවන් දෙදෙනෙකු ඇතුළු 180 දෙනෙකු ඇතුළත්.

ඔවුන් පැමිණියේ කොග්ගල හා බෙන්තොට ප්‍රදේශයටයි.

මේ අතර යුක්රේන ජාතික සංචාරකයින් කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත්කලා.

එමගින් පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට කිසිදු බාධාවක් නොවන බවයි.

මෙවන් තත්ත්වයන්ට මුහුණ දිම සඳහා පූර්ව සූදානමක් පැවති බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ අදාළ සංචාරකයින් මෙරට වැසියන් සමඟ සම්බන්ධ නොවන බවත් ඒ හේතුවෙන් එම සංචාරකයින්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් නොමැති බවයි.

මේ අතර නව කොරෝනා ආසාදිතයන් 639 දෙනෙකු ඊයේ (29) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42,702 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 38,979 ක්.

ඊයේ (29) දිනයේදී ආසාදිතයින් 698 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 34,623 ක් ලෙසින්.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 7,880 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක්ද ඊයේ (29) වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 199 ක්.

මඩකලපුවේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව ශික්ෂණ රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් සහ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

හෝමාගම මූලික රෝහලේදී කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඇයගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර අක්මා ආසාදනය සහ කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ ලේ විෂවීමේ කම්පනයයි.

එසේම, කොලොන්නාවේ පදිංචි 50 හැවිරිදි අයෙකුද හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොවිඩ් ආසාදනය සමඟ ඇති වූ උග්‍ර වකුගඩු ආසාදනය සහ අධිරුධිර පීඩනය සමඟ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොවිඩ් නියුමෝනියාව සහ උග්‍ර වූ දියවැඩියාව හේතුවෙන් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීයි.

මේ අතර, හෙටින් උදාවන නව අලුත් අවුරුද්ද සෞඛ්‍ය නීතිරීති වලට යටත්ව සමරන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර අලුත් අවුරුදු උදාවේදී වගකීම් සහගතව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එමෙන්ම, මීට පෙර වර්ෂවල ඇතැම් පිරිස් අලුත් අවුරුදු උදාව සැමරිම සඳහා ගාලු මුවදොරට පැමිණියා.

කෙසේ වෙතත්, මෙවර එලෙස අවුරුදු උදාව සැමරිම සඳහා ගාලු මුවදොරට එකතුවීමෙන් වළකින ලෙසයි කායික විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(30.12.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 11 වනදා පාසල් විවෘත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම තවදුරටත් කල් යනු ඇති බවයි ඔහු කියා සිටියේ.

++++++++++++++++++++++

(31.12.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළාගොස් තිබෙනවා.

ඔවුන් 22, 23, 26, 32, 52 යන වයස්වල පසුවන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *