ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

*********************************************

ආදාහනය ද ? භූමදානය ද ? විමර්ශන කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට

(29.12.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබෙනවා.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරනවාද, භූමදාන කරනවාද යන්න සම්බන්ධයෙන් මතයක් ලබාදීම සඳහා සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් නව විශේෂඥ කමිටුවක් පත්කිරීමටයි පියවර ගැනුණේ.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් එම විශේෂඥ කමිටුවේ වාර්තාව ඊයේ (28) පස්වරුවේයි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇත්තේ.

කොරෝනා මරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න ඒකමතික තීරණයක් ලෙස විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙම කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අප අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වූයේ ඔහුගේ කාර්යාලයෙන් ලේකම්වරයා රැස්වීම් සඳහා සහභාගි වී සිටින බව ප්‍රකාශ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, කොරෝනා හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට මීට පෙරද විශේෂඥ කමිටුවක් පත්කර තිබුණා. එම කමිටුව නිර්දේශ කර තිබුණේ කොරෝනා මරණ ආදාහනය කළ යුතු බවයි.

කොරෝනා ආසාදිත දේහ භූමදානය කිරීමට විරෝධය පළ කරමින් මාතලේ නගරයේදී අද විරෝධතාවක් පැවැත්වුණේ භික්ෂූණ් වහන්සේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්.

මේ අතර, කළුබෝවිල රෝහලට ඇතුළත් වූ ගාල්ල – කලුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය නොවැම්බර් 30 වැනිදා මියගොස් ඇති අතර, ඉන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අනාවරණ වී තිබෙනවා.

අදාළ දේහය භූමදානය කිරීමට ලබා නොදෙන්නේ නම් එය භාර නොගන්නා බව පවසමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දේහය හඳුනා ගැනීම සඳහා හෝ නොපැමිණි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද අතුල කොටුගොඩ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

පොලිසිය මේ සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අධිකරණය නියෝග කර ඇත්තේ දේහය ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු ආදාහනය කළ යුතු බවයි.

දේහය ආදාහනය කිරීමට සිදුවන බැවින් මියගිය තැනැත්තාගේ බිරිඳ සහ සහෝදරයෙක් දේහය හඳුනාගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම දේහය පසුගිය නොවැම්බර් 30 වැනිදා සිට මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රජය විසින් 2020/04/11 නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිත සියලු මෘතශරීර මරණය සිදුවී පැය 24 ක් ගතවීමට පෙර ආදාහනය කළ යුතු වනවා.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 704 දෙනෙකු අද (29) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,925 ක්.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 41,603 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 7,484 දෙනෙකු පමණයි.

++++++++++++++++++++++++++

(29.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියේ දෙවන (2) සංචාරක කණ්ඩායම මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලින් අද (29) දහවල් දිවයිනට පැමිණියා.

යුක්රේන ජාතික ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් එලෙස පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 204 ක්.

ඊයේ (28) දිනයේදීද යුක්රේනයේ සිට සංචාරකයින් 180 දෙනෙකු දිවයිනට පැමිණියා ෴

++++++++++++++++++++++

(29.12.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 453 ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,056 ක් දක්වා ඉහලගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර අලෙවි නියෝජිතයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු සැරිසැරූ ගම්පොල නගරයේ වෙළඳසැල් 150 කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.

ඒ, ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ප්‍රතිඵල ලබාගැනීම සඳහායි. එහිදී වෙළඳසැල් හිමියෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.

+++++++++++++++++++++

(29.12.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා අසාදිත මරණයක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහලගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවටයි වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ.

ඔහු ඊයේ (28) මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොවිඩ් නිවුමෝනියාව සහ සංකූල වූ වකුගඩු ආසදනයයි ෴

+++++++++++++++++++++

(30.12.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියට අනුව අදත් තවත් සංචාරකයින් පිරිසක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පැමිණිමට නියමිතයි.

යුක්රේනයේ ජාතික ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඊයේ (29) සහ පෙරේදා (28) දිනවල සංචාරකයින් 384 දෙනෙකු පැමිණියා.

ඔවුන් සියලු දෙනාම යුක්රේන සංචාරකයින් වනවා.

මේ අතර, මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (29) සංචාරක අමාත්‍යංශයේදී සාකච්ඡාවක්ද පැවැත්වුණා.

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර්. පර්ක්ෂණ වැඩි කිරිම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වුණා.

සංචාරක අමාතංශය නිවේදනය කළේ ලබන මස අගදි නිල වශයෙන් ගුවන් තොටුපළ විවෘත කර වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව, පී.සී.ආර්. පරික්ෂණ වැඩි කළ යුතු බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(30.12.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 453 දෙනෙකු ඊයේ (29) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙදහසේ (42,000) සීමාව ඉක්මවා ගියා.

එය සටහන් වුයේ 42,063 ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 38,343 දෙනෙකු වනවා.

නව ආසාදිතයින් අතරින් 35 දෙනෙකු බන්ධනාගාරවලින් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,944 ක්. ඊයේ (29) දිනයේදී තවත් ආසාදිතයින් 704 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 33,925 ක් ලෙසයි.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මරණයක් ඊයේ (29) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195 ක් වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

කොවිඞ් නියුමෝනියා සහ වකුගඩු ආසාදනය වීම හේතුවෙන් ඊයේ (29) දිනයේදි ඔහු හෝමාගම මුලික රෝහලේදි මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

++++++++++++++++++++

(30.12.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ (29) පැවැති උත්සවයකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ එසේ නොවුනහොත් බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර වර්ධනය වීම වළක්වාගත නොහැකි බවයි.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන්ටද එමඟින් සෞඛ්‍ය තර්ජන එල්ල විය හැකි බැවින් වඩාත් වගකීමෙන් කටයුතු කිරීම සැමදෙනාගේම අවශ්‍යතාවයක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

(30.12.2020 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මර්දනය සඳහා විශේෂිත එන්නත් මෙරටට ලබා ගැනිමේ වැඩපිලිවෙලේදි එන්නත් දෙකක් (2) කෙරෙහි විශේෂ අවධානයක් යොමු වි තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත හා රුසියාවේ ස්පුට්නික් එන්නත ශ්‍රි ලංකාව වැනි රටකට වඩාත් යෝග්‍ය බවට පෙනි ගොස් ඇති බවයි ෴

++++++++++++++++++++++

(30.12.2020 – 09:50 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ඊයේ (29) දිනයේ කරන ලද ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව දෙසැම්බර් 18 වැනිදා සිට මේ දක්වා කාලය තුළ සිදුකරන ලද ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් 74 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු කියා සිටියේ ෴

============================================

(29.12.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභින් ජීවනෝපාය මාර්ග වෙත යොමු කිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට හිමිවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ (28) පැවති සාකච්ඡාවකදී හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

මෙහිදී සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ස්වයං රැකියා දෙලක්ෂයක් නිර්මාණය කිරීමටත්, ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළඳපොල 25,000 ක් ආරම්භ කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා ෴

***************************************

(29.12.2020 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ජෙනරාල් නිලයට උසස් වීම් ලද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තා.

පසුව ඔවුන් අස්ගිරි මහානාහිමියන් මෙන්ම මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් බැහැදුටු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

***************************************

(29.12.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඊයේ (28) පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වූ බව ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් පවසනවා.

කෙසේ වෙතත්, රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන කාලය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

***************************************

(29.12.2020 – 21:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට වයස්ගතම කාන්තාව ලෙසින් සැලකුණු කළුතර – දොඩම්ගොඩ පදිංචිව සිටි වේලූ පාප්පානි මාතාව අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට ඇය පසුවුණේ 117 වැනි වියේයි.

කළුතර දිස්ත්‍රික්කයේ – දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි මාතාව උපත ලබා තිබුණේ 1903 වසරේ මැයි මස තුන්වැනිදා (1903-05-03) යි.

රජයෙන් නිකුත් කරන වැඩිහිටියන් සඳහාවන හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබෙනවා.

මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව ඇය වෙත සහතියක් පිරිනමා තිබුණේ 2019 වසරේ ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී.

පාප්පානි මාතාව දෙදරු මවක් බව පැවසෙනවා.

දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය සඳහන් කළේ වේලු පාප්පානි මාතාව 117 වැනි වියේ පසුවුවත් ඉතා නිරෝගී දිවියක් ගත කළ බවයි.

***************************************

(30.12.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘වෙල්ලඹගේ උපුල් සංජීව පෙරේරා’ හෙවත් ‘දතා සුදූ’ගේ සමීප ඥාතියෙකු වන සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාගම – බටුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ළඟ තබාගෙන සිටි අමෙරිකාවේ නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ විශේෂිත ගිනි අවියක්ද සොයාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු විසින් සිදුකළ අපරාධ කිහිපයක්ද පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර, ඉන් එකක් වන්නේ 2013 වසරේදී කැලණිය – ගෝනවල ප්‍රදේශයේදී ‘තල්වත්තේ පැට්ටා’ සහ තවත් පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමයි.

එමෙන්ම, මෙම සැකකරු පසුගිය මැයි 28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 03 ක් සමඟ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇපමත නිදහස් වී සිටින අයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(30.12.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වැරදි මතවාද ප්‍රචාරය වෙමින් පවතින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහා සංඝරත්නය බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (29) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා.

පසුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ද බැහැදුටුවා ෴

***************************************

(30.12.2020 – 09:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (29) රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙක්.

පොලිසිය ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහත් පරිශ්‍රමයකින් පසු අද උදෑසන සොයාගත් බවයි. ජලයෙන් යට වූ බිම් මහලේ තවත් පුද්ගලයින් පස් දෙනෙකුද (5) රැඳී සිට ඇති අතර, පසුව ඔවුන් බේරා ගැනුණා ෴

***************************************

(30.12.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 29,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ වැඩබලන ස්ථානභාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර – ගොඩගේ මාවතේ පදිංචිකරුවෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව පසුගියදා මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නියෝග කර ඇත්තේ ලබන ජනවාරි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

පැමිණිලිකරුගේ බිරිඳ අනුරාධපුර ප්‍රදේශයේ ගිනි නිවීමේ උපකරණ අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යනු ලබනවා.

එම කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට හා ප්‍රදේශයේ හෝටලයක වෙළඳ බලපත්‍රය ලබා ගැනීම සඳහා අලුත්වැඩියාකරන ලද ගිනි නිවීමේ උපකරණවලට අදාළ මුද්‍රාව තැබීම වෙනුවෙන් ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ ෴

***************************************

(30.12.2020 – 11:43 +0530 – hirunews.lk/sinhala)

අනතුරට ලක් වූ කාන්තාවකට උදව් කරන මුවාවෙන් අතවරයට ලක් කල ත්‍රිරෝද රථ රියදුරෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තාවනවා.

වයස 23 ක් වන මෙම කාන්තාව පසුගිය (27) වනදා වාද්දුව ප්‍රදේශයේ තම සේවා ස්ථානයේ සේවය නිම කර ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී අතරමගදී නිවසට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීම සදහා කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයෙන් බැස ඇති අතර, ඉන් පසු ඇය නිවස කරා පයින් ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ඇයව අනතුරට ලක් කරමින් පලා ගොස් තිබෙනවා.

එම අනතුරින් සුළු තුවාල ලබා සිටි ඇයට, අසල සිටි ත්‍රිරෝද රථ රියදුරකු ඉදිරිපත් වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා ඇයට නාගොඩ රෝහලට ඇතුලත් වීමට පැවසු නමුත් ඇය රෝහල් ගත නොවී පැමිණි ත්‍රිරෝද රථයෙන්ම නිවසට යාමට පිටත් වී තිබෙනවා.

පසුව නිවස කරා යාමට ත්‍රිරෝද රථ රියදුරුට පැවසු මාර්ගයේ නොව වෙනත් මාර්ගයක ඔහු රථය ධාවනය කරන බැවින් ඇය රියදුරුගෙන් ඒ පිළිබද විමසූ විට රියදුරු පවසා ඇත්තේ කෙටි මාර්ග වලින් ඉක්මනින් ඇය පැවැසූ ස්ථානයට ලගා විය හැකි බවයි.

එලෙස පවසා ඔහු ඇයව කළුතර දකුණ, කොළණිය, ප්‍රදේශයේ පාලු පාරකට ගෙන ගොස්, මන්නයක් පෙන්වා කාන්තාවට මරණ තර්ජන එල්ල කරමින් බිය ගන්වා ඇයව අතවරයට ලක් කර තිබෙනවා.

එහිදී බියට පත්වූ කාන්තාව සැකකාර රියදුරුගේ වචනයට අවනත වී ඇති අතර ඉන් පසුව එම රියදුරා ඇයගේ දුරකතනයද රැගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

පසුව එම කාන්තාව තමාට සිදු වූ අතවරය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසියට ගොස් පැමිණිලි කර ඇති අතර එහිදී සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කළුතර උතුර පොලිස් කොට්ඨාශය වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පසුව කළුතර උතුර පොලිසිය සිදු කල විමර්ශන වලදී සැකකරු පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 පමණ වන එක් දරු පියෙකු වන අතර ඔහු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *