කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

ප්‍රවීන ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

*********************************************

කොරෝනා ආසාදිත මෘත දේහ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

(27.12.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ මෘතදේහ නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයෙන් පසුවයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ කොරෝනා ආසාදිත මළ සිරුරක් සාමාන්‍ය මළ සිරුරක් සේ භූමදානය කිරීම සඳහා ඥාතීන් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප පසුගියදා වාර්තා කළා. ඒ අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමට අද (27) අප කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර හමුවීමට ගිය අතර, එම අවස්ථාවට ‘සිංහලේ අපි ජාතික සංවිධානයේ’ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ද එක්වුණා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, කොරෝනා මරණ ආදාහනයට විරෝධය පළ කරමින් ගාල්ල, මුස්ලිම් විද්වත් සභාව අද (27) පෙරවරුවේ ගාල්ල – දෙවට ප්‍රදේශයේදී විරෝධතාවක නිරත වුණා. මේ එහිදී අදහස් දැක්වූවා එම සංවිධානයේ උප සභාපති ලුත් ෆී මව්ලවි.

++++++++++++++++++++

(27.12.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 206 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුදහමුදාපතිවරයා පවසනවා.

ඒ අනුව අද (27) දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 668 ක් ෴

+++++++++++++++++++++

(27.12.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිත මෘතදේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීමේදී උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අදත් විවිධ අදහස් පළ වුණා.

++++++++++++++++++++++

(27.12.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනයව සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

+++++++++++++++++++

(28.12.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

අද (28) උදෑසන 5 සිට වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම්වල හුදකලාභාවය දින 50 කට පසු අද (28) ඉවත් කෙරුණා.

එමෙන්ම, කොම්පඤ්ඤවීදියේ වෑකන්ද සහ හුණුපිටිය ග්‍රාමසේවා වසම, වැල්ලවත්තේ – මයුර පෙදෙස, බොරැල්ලේ – හල්ගහවත්ත සහ කාලිපුල්ලවත්ත මෙන්ම වැල්ලම්පිටියේ, ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමයද මෙලෙස හුදකලාභාවයෙන් අද (28) ඉවත් කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඊට අමතරව, කෙසෙල්වත්තේ – අලුත්කඩේ බටහිර සහ අලුත්කඬේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් අද (28) උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ග්‍රාම සේවා වසම් ඊයේ (27) දහවල් සිට හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල සහ කොට්ටල යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කළ බවයි ෴

++++++++++++++++++

(28.12.2020 – 08:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 674 දෙනෙකු ඊයේ (27) වාර්තාවීමත් සමඟ මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 41,000 දහසේ සීමාව ඉක්ම වූවා.

එම සංඛ්‍යාව 41,054 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරද 37,360 දක්වා ඉහළ ගියා.

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 32,701 දක්වා ඉහළ ගියේ ඊයේ (27) තවත් ආසාදිතයන් 650 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමගයි.

මේ අතර, තවත් කොරෝනා මරණ 04 ඊයේ (27) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මියගිය පිරිස අතර හෝමාගම මූලික රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් ජීවිතක්ෂයට පත්වූ පිටකෝට්ටේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් වන බවයි.

රාගම පදිංචි 75 හැවිරිදි කාන්තාවක්ද මුල්ලේරියාව මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොවිඩ් නියුමෝනියාව සහ මොලයේ ඇති වූ ආසාදනයක් හේතුවෙන්.

එසේම, කොවිඩ් නියුමෝනියාවෙන් මුල්ලේරියාව මූලික රෝහලේදී කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වවුනියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්ද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබුණේ කොවිඩ් නියුමෝනියාව සමඟ ඇති වූ හෘදයාබාධයකින්.

එසේම, අනුරාධපුර ශික්ෂණ රෝහල යටතේ ක්‍රියාත්මක – අනුරාධපුර – මෙත්සිරි සෙවණ කොවිඞ් ප්‍රතිකාර ඒකකයේ ස්ථාපිත දැඩි සත්කාර ඒකකය ඇඳන් 09 කින් සමන්විත වුවද වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවිම හේතුවන් මේ වනවිට එය රෝගීන් තුන්දෙනෙකු (3) සඳහා පමණක් සීමා වී තිබෙනවා ෴

=========================================

(27.12.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ආසනික් අඩංගු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු චීනයෙන් ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් තොගය යළි චීනයට යැවීම ප්‍රමාද වී ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ටින් මාළු කන්ටේනර් 48 ක මෙලෙස චීනයෙන් ආනයනය කර තිබූ අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එම ටින් මාළු තොගය පරීක්ෂා කිරීමෙන් පසු පරිභෝජනය නුසුදුසු බවට තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව, මෙට්ට්‍රික් ටොන් 760 ක් බර රුපියල් මිලියන 384 ක් වටිනා බවට ඇස්තමේන්තු කර තිබූ අදාළ ටින් මාළු තොගය යළි චීනයට හරවා යැවීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව එහි කොටසක් පසුගියදා චීනයට යැවූ අතර, තවත් කොටසක් යැවීමට නියමිත අතර ඊට අදාළව නෞකා නොපැමිණීම හේතුවෙන් එය තවදුරටත් ප්‍රමාද වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(27.12.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලිය – නොලුගොල්ලෑකඩ ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය පොලිස් සැරයන්වරයෙකුට එම අලියා පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියා සිදුකළ වෙඩි තැබීමකින් වන අලියා මියගොස් තිබෙනවා.

ඊයේ (26) අලුයම කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ගම්මානයට ගොස් ඇත්තේ වන අලියෙකු පැමිණ නිවාස සහ වගාවලට හානි සිදුකරන බවට ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුවයි.

එහිදී කහටගස්දිගිලිය – රත්මල්ගහවැව ප්‍රධාන මාර්ගයේ නොලුගොල්ලෑකඩ ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයට එම වනඅලියා පහරදීමට උත්සාහ කර තිබෙනවා.

පසුව, වන අලියා පලවා හැරීම සඳහා පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා ඇති අතර, වනඅලියා එම අවස්ථාවේ සැරයන්වරයාට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඔහු කළ වෙඩි තැබීමෙන් වනඅලියා මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි කහටගස්දිගිලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. මියගිය වනඅලියා උස අඩි 8 ක් පමණ වන වයස අවුරුදු 30 කට ආසන්න සත්ත්වයෙක්.

මේ අතර, කිලිනොච්චිය – කල්මඩු ප්‍රදේශයේ කුඹුරුයායක තිබී ඇතෙකුගේ මළ සිරුරක් වනජිවි නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

මියගිය ඇතාගේ හොඩයේ කැපුම් තුවාලයක් දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇතත් ඒ පිළිබඳව පරීක්ෂණයකින් පසු තොරතුරු ප්‍රකාශක හැකි බවයි කිලිනොච්චිය වනජිවි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

***************************************

(27.12.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව – මැනිං සිල්ලර වෙළඳපොලේ පවතින අඩුපාඩු හේතුවෙන් වෙළෙඳුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

එහි වෙළඳුන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිල්ලර වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙසයි.

පිටකොටුව – මැනිං සිල්ලර වෙළඳපොළේ වෙළෙඳුන් තුන්සීයක් (300) පමණ මේ වනවිට වෙළඳාම් කටයුතුවල නිරත වනවා.

වෙළෙඳුන් චෝදනා කරන්නේ එහි වෙළඳාම් කිරීමට තරම් සුදුසු තත්ත්වයක් නොමැති බවයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ යම් මුදලක් අයකර ගෙන හෝ පිටකොටුව – මැනිං සිල්ලර වෙළඳපොළ නිසි පරිදි සකසා දෙන ලෙසයි ෴

***************************************

(27.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සංචරණය සීමාවී තිබුණද මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයන් 1900 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සංචරණය සීමාවී තිබුණද මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයන් 1900 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

මේ අතර ඊයේ (26) පස්වරුවේ ගලගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙක් (1) ජීවිතක්ෂයට පත්ව වාහන කිහිපයකට හානි සිදුව තිබුණා ෴

***************************************

(27.12.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුරෙන් හානියට පත් බඩඉරිඟු වගාබිම් විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

බෝග වගාවන් රැසක් සේනා දළඹු උවදුර හමුවේ හානියට පත්ව ඇති ආකාරය හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අවස්ථා ගණනාවකදී රටට අනාවරණය කළා.

සේනා දළඹු උවදුර හේතුවෙන් බඩඉරිඟු ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ දෙවසරක (2) පමණ සිටයි.

මේ වසරේදී ද දළඹු උවදුරෙන් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ද පහත වැටී ඇති අයුරු අවස්ථා ගණනාවකදී අප වාර්තා කළා.

ඒ අනුව සේනා දළඹු උවදුරටලක් වූ තවත් ප්‍රදේශ කිහිපයක් අද (27) දිනයෙත් අපට වාර්තා වුණා.

***************************************

(27.12.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ අධිකරණයට බලපෑම් කර ලබා දුන් නඩු තීන්දු නැවත සමාලෝචනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.

මේ අතර පසුගිය රජය අධිකරණයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිදු කරන ලද බලපෑම් දැන් හෙළිවී ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

***************************************

(28.12.2020 – 06:20 +0530 – hirunews.lk/sinhala)

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතීයැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම අද (28) පස්වරු 01:00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි ෴

***************************************

(28.12.2020 – 06:31 +0530 – hirunews.lk/sinhala)

යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගත් කේරළ ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 360 ක්.

පොලිසිය සඳහන් කළේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට ජාවාරම්කරුවන්ට ලබාගැනීම උදෙසා මුහුදේ දමා ගිය කේරළ ගංජා තොගයක් මෙලෙස හමුවන්නට ඇති බවයි.

සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි පහක් (5) පමණ වටිනාකමින් යුක්ත වනවා.

කන්කසන්තුරේ පොලිසිය විසින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

(28.12.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි සැකකරුවෙකු ඔහු සිදුකළ අපරාධ ක්‍රියාවක විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ – හල්ගම්පිටිය ප්‍රදේශයට අද (28) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිදුවීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම සිදුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ඇති බවයි.

සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴

පොලිස් මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වූ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළ නිශාන්ත කුමාරසිරි නැමැත්තෙකු බව පොලිසිය පවසනවා.

පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ රඳවා සිටි සැකකරු සිදුකළ අපරාධ ක්‍රියාවක විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ – හල්ගම්පිටිය ප්‍රදේශයට අද (28) අලුයම රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ සිදුවීමකින් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකුද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ ෴

*****************************************

ප්‍රවීන ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

(28.12.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය ප්‍රවීන ගායන ශිල්පියෙකු වන ෂෙල්ටන් මුතුනමගේ මහතා අද (28) අලුයම මීගමුව රෝහලේදී අභාවප්‍රාප්ත වුණා.

කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මියයන විට 73 හැවිරිදි වියේ පසුවුණා.

ඔහු, මල් සිනාවකින් ඔබේ මුවේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී වැනි මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්වූ ගීත රැසක් ගායනා කළ ශිල්පියෙක්.

අභාවප්‍රාප්ත ෂෙල්ටන් මුතුනමගේ මහතා ගේ දේහය මීගමුව – කුරන – ජූඩ් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

+++++++++++++

[ meemessasinhalasongs.com : Shelton Muthunamage (mp3) ]

***************************************

(28.12.2020 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් කොන්දේසි පෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති මූල්‍ය වියදම් පනත් කෙටුම්පතේ විදේශාධාර යටතේ සඳහන් කර ඇති එවැනි එක් කොන්දේසියක් වන්නේ චීනයේ බලපෑම්වලට එරෙහිව මෙරට ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමයි.

එමෙන්ම, ආගමික සහ වාර්ගික සංහිඳියාව ගොඩනැගීමටද ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව එහි තවදුරටත් සඳහන්.

අමෙරිකානු මූල්‍ය වියදම් පනත් කෙටුම්පත එරට සෙනෙට් මණ්ඩලය මගින් සංශෝධනය කරනු ලැබූ අතර, එරට කොරෝනා වෛරස් සහන පැකේජයේ කොන්දේසිද ඊට ඇතුළත්.

එහි දක්වා ඇති අමෙරිකාව විසින් ලබාදෙන විදේශාධාර යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති කොන්දේසි මානුෂීය සහ ආපදා සහන සඳහා බලපවත්වන්නේ නැහැ.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින් හඳුනා ගැනීම, මානව හිමිකම් වර්ධනය, මූල්‍ය විනිවිදභාවය සහ ස්වෛරීත්වය මෙන්ම ජාත්‍යන්තර හමුදා අධ්‍යයන සහ පුහුණු වැඩසටහන් සඳහා අදාළ කොන්දේසි බලනොපවත්වනු ඇති.

ඉදිරි වසරේදී අමෙරිකාව ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා යෝජනා කර ඇති මූල්‍යාධාර අතර වෙරළාරක්ෂක යාත්‍රා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබාදෙන ඩොලර් මිලියන 15 ක මූල්‍යාධාරයද ඇතුළත්.

ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිතව තිබූ ඩොලර් මිලියන 480 ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මූල්‍යාධාරය අත්හිටුවීමට අමෙරිකාව පසුගියදා පියවර ගත්තා.

ඒ, අදාළ මූල්‍යාධාර වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව උනන්දුවක් සහ සහභාගීත්වයක් නොදක්වන බව පවසමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *