කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි

කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි

*********************************************

කොළඹින් පිටවන අයට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් – ආසාදිතයන් 41 ක් හඳුනා ගැනෙයි

(27.12.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ උතුර සහ මැද කොළඹ පොලිස් බලප්‍රදේශ 9 ක් සහ කොස්ගම, අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීමට අදාළ නියෝග තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමසේවා වසම්, වීථි කිහිපයක් සහ මහල් නිවාස හුදෙකලා කිරීම් ද තවදුරටත් බලපැවැත්වෙන බවයි.

මේ අතර ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම, මුඛ ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙම වැරදි සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1860 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා.

මේවන විට එම පරීක්ෂණවලින් පුද්ගලයන් 41 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

එබැවින් අදාළ පරීක්ෂණ සිදුකෙරෙන ස්ථානවලදී මහජනතාවගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ලෝකයේ රටවල් කිහිපයක භාවිත වන ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නතක් ගෙන්වාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 84 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ අවශ්‍ය නම් ඉල්ලුම් කළ මුදලට වඩා වැඩි මූල්‍ය ප්‍රතිලාභයක් වුවද ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර, තවත් එක් කොරෝනා මරණයක් ඊයේ (26) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ මියගිය පුද්ගලයා කොළඹ 15 – මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ 67 හැවිරිදි අයෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (26) දින මොහු මියගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ‘කොවිඩ් නියුමෝනියාව’යි.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 598 දෙනෙකු ඊයේ (26) දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මවූවා.

එම සංඛ්‍යාව 40,380 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන්ගෙන් පනස් දෙදෙනෙකු (52) බන්ධනාගාර පොකුර ආශ්‍රිතව වාර්තාවන අතර, විදේශ රටවල සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකුද ඒ අතර වනවා.

සෙසු ආසාදිතයන් 541 දෙනා පෑලියගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 32,051 දක්වා ඉහළ ගියේ ඊයේ (26) දිනයේදී තවත් ආසාදිතයන් 712 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමගයි.

එමෙන්ම, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක පිටවීමේ දොරටුව අසල ඊයේ (26) පස්වරුවේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 50 කින් එක් පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු කොළඹ සිට පුත්තලම දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදියි මෙලෙස හඳුනාගෙන ඇත්තේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බවයි ෴

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ 9 වේළුවන පාර ප්‍රදේශය හුදෙකලා කර ඇතැයි පොලිසිය පවසනවා ෴

++++++++++++++++++++++++

(27.12.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

වඩාත් සීග්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව පුරා පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.

එක්සත් රාජධානියෙන් හඳුනාගත් මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වනවිට යුරෝපීය රටවල් රැසකින් මෙන්ම කැනඩාවෙන් සහ ජපානයෙන්ද වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයෙන් පැමිණි පුද්ගලයින් ආශ්‍රිතව ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශයෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් හමු වී තිබෙනවා.

එමෙන්ම, සංචාරයේ නිරත නොවූ අවදානම් සම්බන්ධතා නොමැති කැනඩාවේ ඔන්ටාරියෝ හි යුවලකටද නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බව සඳහන්.

මීට අමතරව නව කොරෝනා වෛරස් ප්‍රභේදය වාර්තා වීමත් සමඟ තම රටේ පදිංචිකරුවන් නොවන විදේශිකයින්ට ජපානයට ඇතුළු වීම හෙට සිට මාසයක කාලයක් තහනම් කර තිබෙනවා.

ජපානයට බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුට (5) නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 8,06,75,000 ඉක්මවා තිබෙනවා.

කොරෝනා මරණ 17,64,000 කට වැඩි සංඛ්‍යාවක්ද වාර්තා වන අතර, වැඩිම ආසාදිතයින් සහ මරණ වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙන් ෴

++++++++++++++++++++++++

(27.12.2020 – 10:05 +0530 – hirunews.lk/sinhala)

යුරෝපය පුරා මහා පරිමාණ වශයෙන් කොරෝනා වෛරස් එන්නත්කරණය අද (27) ආරම්භ කෙරෙනවා.

මිලියන 450 ක ජනගහනයක් සහිත යුරෝපා කලාපයේ එන්නත් කිරීම සඳහා කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන 2 ක් ලබා ගැනෙන බව සඳහන්.

කලාපයේ සියලුම වැඩිහිටියන් 2021 වසර තුලදී කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ලොව විශිෂ්ඨතම සෞඛ්‍ය සේවා පද්ධතීන් පැවතුන ද, යුරෝපීය රටවල් මේ වනවිට කොරෝනා වෛරසයේ තුන්වන (3) රැල්ලට ද මුහුණදී සිටින අතර, ඇතැම් රටවල් විශ්‍රාමික වෛද්‍ය වෘත්තීකයන් ද සේවයට කැඳවනු ලැබුවා.

යුරෝපා සංගමයේ රටවල් 27 ක අදින් ආරම්භ වූ එන්නත්කරණය තුලින් ඉදිරි වසරේදී ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා ෴

+++++++++++++++++++

(27.12.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 539 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණ තිබෙනවා.

අද (27) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 8 කින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එලෙස පැමිණි පිරිසට ජෝර්දානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 201 දෙනෙකු, ජපානයේ සිටි 74 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 65දෙනෙකු සහ ඕස්ට්‍රේලියේ සිඩ්නි නුවර සිට පැමිණි 62 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 215 දෙනෙකු ඊයේ (26) දිනයේදී ගුවන් මගින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++++++

(27.12.2020 – 11:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් විසින් සොයා යන අවස්ථාවේදී නිවසෙන් පළාගොස් සිටි සපුගස්කන්ද – මාකොල – දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයා පොලිසිය අද (27) පෙරවරුවේ සොයාගනු ලැබුවා.

ඒ, ඔහු එම ප්‍රදේශයේම පිහිටි සිය පෙම්වතියගේ නිවසේ සැඟව සිටියදීයි.

බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණ සපුගස්කන්ද – මාකොල ප්‍රදේශයේ සිය නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණා.

ඒ අනුවයි සෞඛ්‍ය බලධාරීන් ඔහු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සොයා ගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී ඔහු නිවසේ නොසිට පළාගොස් තිබූ අතර, ඒ අනුවයි පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් ඔහු සොයා විමර්ශන ආරම්භ කළේ.

ඒ අනුව සපුගස්කන්ද පොලිසියට ලද තොරතුරකට අනුව අද (27) උදෑසන මෙම තරුණයා සොයාගෙන තිබෙනවා.

ඔහු සබඳතා පැවැත් වූ පුද්ගලයින් සොයා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

මේ අතර, ඊයේ (26) දිනයේද මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 598 දෙනා අතරින් 235 ක් වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් 150 ක්ම අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඊයේ (26) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 36 දෙනෙකු පමණයි.

එසේම, ඊයේ (26) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 84 දෙනෙකු වාර්තා වී තිබුණා.

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,854 දෙනාගෙන් 3,068 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

අද (27) දිනයේදී බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 781 දෙනෙකු පමණයි.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී පසුගිය 18 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 8000 කගේ පමණ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එහිදී කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බස්නාහිර පළාතෙන් පිටවීම සහ එහි ඇතුළුවීම හැකිතාක් සීමා කරන ලෙසයි ෴

+++++++++++++++++++++

(27.12.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මියයන සියලුදෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකෙරෙන බවයි.

එසේම, කොරෝනා වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදුකරන බව පෙනී ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ මෘතදේහ නිදහස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කොරෝනා ආසාදිත මළ සිරුරක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සාමාන්‍ය මළ සිරුරක් සේ භූමදානය කිරීම සඳහා ඥාතීන් වෙත ලබාදුන් බව කියන සිද්ධියක් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් විසින් මීට පෙර අනාවරණ කර තිබුණා.

එසේම, කොරෝනා ආසාදිත බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ දේහයක් ද කොළ-10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වුණේ මෙවන් පසුබිමක් තුලයි.

65 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය 24 වනදා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, දේහය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹ-10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ ආමාශ පිලිකාවට සංකූලතා ඇතිවීම හේතුවෙන් ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව ඇගේ අවසන් කටයුතු භූමදානය හෝ ආදාහනය සඳහා මුදා හැරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සටහනක් යෙදීමට හදිසි මරණ පරීක්ෂකවරිය ද කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට එරෙහිව නඩු පවරණ බව ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා ෴

+++++++++++++++++++

ආදාහනය පිළිබඳ තමා ඉදිරිපත් කළ වාර්තාව පුද්ගලික එකක් නොවේ – මහාචාර්‍ය මෙත්තිකා විදානගේ

(27.12.2020 – 14:06 +0530 – lankaleadnews.com)

ආදාහනය පිළිබඳ තමා ඉදිරිපත් කළ වාර්තාව පුද්ගලික එකක් නොව විද්‍යාත්මක කරුණු මත පදනම්ව සකසන ලද එකක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ මහත්මිය පවසයි.

කමිටුව මුලින්ම රැස්වී තිබුනේ ජනවාරි මාසයේදී බවත් ඒ අවස්ථාවේදී මූළිකවම සලකා බලා තිබුනේ මෙම මෘත ශරීර සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳව බවත් පවසන ඇය මෙම වෛරසය පිළිබඳව ලෝකය තවමත් දන්නේ අල්පෙනෙත්ති තුඩක තරම් ප්‍රමාණයක් බවත් සඳහන් කර සිටී.

මෙම මෘතදේහ භූමදානය කරන්නේ නම් එය භූගත ජලයට කිසිසේත් සම්බන්ධ නොවන දුරකින් කළ යුතු බවත්, උපදෙස් මාළාවේ ඇති උපදෙස් ඒ ඒ රට විසින් තම රටට ගැලපෙන පරිදි ගලපා ගත යුතු බවත්, මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දී ඇති උපදෙස් මාළාවේ පැහැදිලිව සඳහන් වන බව ඇය ප්‍රකාශ කර සිටී.

අපේ රටට ගැලපෙන උපදෙස් මාළාවක් ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමත්‍යාංශයට බවත් එහිදී ඔවුන් ඒ පිළිබඳ ප්‍රමාණාත්මක විද්‍යාත්මක දැණුමක් ඇති විද්වතුන්ගේ ‘තාක්ෂණික කමිටුවක්’ පත් කළ අතර එම තාක්ෂණික කමිටුව ද විවිධ විද්වතුන්ගේ යෝජනා සැළකිල්ලට ගෙන අවසන් නිර්දේශයන් නිකුත් කළ බවත් එම නිර්දේශයන්ට අනුව කොවිඩ් මෘත ශරීර ආදාහනය කළ යුතු බවත් ජලය, පස සහ වාතය පිළිබඳ පර්යේෂණ රාශියක් ජාත්‍යන්තර මට්ටමෙන් කර ඇති ජල භූ විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරියක් වන ඇය ප්‍රකාශ කරයි.

විද්වතුන්ගේ උපදෙස් වලට සවන් දී කටයුතු කරන අවංක දේශපාලන බළ අධිකාරියක් නොමැති වීම අප රටේ නිරන්තරයෙන්ම දැකිය හැකි අවාසනවන්තම තත්වයක් බව මහාචාර්‍ය මෙත්තිකා විදානගේ මහත්මිය අවසාන වශයෙන් පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න :

==========================================

(27.12.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ කිලෝ විසිදහසක් (20,000) සමග සැකකරුවන් 4 දෙනෙකු ට්‍රෝලර් යාත්‍රාවක් සමග හුංගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (26) උදෑසන 03:30 ට පමණ කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය අසලදීයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙම කහ රැගෙන යාමට බවට සැක කෙරෙන ලොරි දෙකක් (2) ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔහු සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම කහ තොගය රැගෙන ඒමට සහය ලබාදී ඇතැයි තොරතුරු පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

(27.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කළුගල්, පස් සහ වැලි කැණීම් සිදුකරන ස්ථාන විධිමත් පරිදි යළි නිසි ලෙස සකස් නොකරන පුද්ගලයින්ට නැවත බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගියදා සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

කළුගල්, පස් සහ වැලි කැණීම් සිදුකරන ස්ථාන යළි සකස් නොකිරීම නිසා ගැඹුරු වලවල් සෑදීම හේතුවෙන් ඒවාට ඇද වැටී පුද්ගල මරණ මෙන්ම වන සතුන්ට ද හානි සිදුවීම් ද පසුගිය කාලය තුල වාර්තා වුණා ෴

***************************************

(27.12.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

නව ව්‍යවස්ථාවක් සකස් කරන තුරු පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ, ගාල්ල ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී පැමිණෙන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු බව තමාගේ අදහස වන බවයි ෴

***************************************

(27.12.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අනතුරුවලට ලක්වී වාර්ෂිකව කොළඹ ජාතික රෝහලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව මේ වසරේදී සියයට 40 කින් පමණ පහත වැටී තිබෙනවා.

පසුගිය වසරේදී අනතුරුවලට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් (100,000) පමණ වන අතර, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝහල්ගත වී ඇත්තේ පුද්ගලයින් 66,000 ක් පමණ බවයි ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

ඊට හේතුව වී ඇත්තේ සංචරණ සීමා, ඇඳිරි නීතිය සහ හුදකලා කිරීම් ඇතුළු රට තුළ පැවති කොරෝනා වසංගත තත්වයයි.

වාර්ෂිකව වාර්තාවන අනතුරු අතරින් සියයට විස්සක් (20 %)පමණ රිය අනතුරු වන අතර, ඉතිරි 80 % වෙනත් අනතුරු වනවා.

කොළඹ ජාතික රෝහලට වාර්තාවූ රිය අනතුරු සංඛ්‍යාවද මෙම වසරේ කැපී පෙනෙන ලෙස අඩුවී තිබීම විශේෂත්වයක් ෴

***************************************

(27.12.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

උමා ඔයට සහ බදුලු ඔයට වැසිකිලි නළ හැරවීම තුළින් එම ජල මූලාශ්‍ර දැඩි ලෙස පරිසර හානියකට ලක්ව ඇති අතර, එමගින් සෞඛ්‍ය තර්ජනයක්ද මතුවී ඇති බව ඊයේ (26) පැවති සාකච්ඡාවකදී අනාවරණ වී තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල මධ්‍යම පරිසර අධිකාරියේදී ඊයේ (26) සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා.

වතුකරයේ ජල මූලාශ්‍ර 1,282 ක් මේ වනවිට දූෂණයට ලක්වී ඇති බවටද එහිදී අනාවරණ වුණා.

මේ අතර, ස්වභාවික ජල උල්පත් භාවිතයෙන් පානීය ජල බෝතල් සකස් කිරීමටත්, ඒවා දේශීය සහ විදේශීය වෙළඳපොලට නිකුත් කිරීමට හැකියාව පවතින බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර – හේවාහැට හෝප් වතුයායේ පිහිටි විශාල කළුගල් තලාවක් යටින් මතුවන කිසිදා නොසිඳෙන විශාල ජල බුබුල ඊයේ (26) නිරීක්ෂණයට ලක්කළ අවස්ථාවේදියි.

එමගින් පානීය ජල බෝතල් සකස් කිරීමටත් ඒවා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලට නිකුත් කිරීමටත් හැකිද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෙස වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, හන්තාන පිහිටි මූලික අධ්‍යාපන ආයතනයේ මහාචාර්ය සමන් සේනවීර මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

(27.12.2020 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ගලගෙදර – රඹුක්කන මාර්ගයේ, ගලගෙදර බස්නැවතුම්පොල අසල සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු (1) මියගොස් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

රඹුක්කන දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක, නවතා තිබූ ජිප් රථයක සහ තවත් ත්‍රිරෝද රථ දෙකක (2) ගැටී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව අදාළ ලොරි රථය වෙළඳසැලකට ද කඩා වැදී ඇති අතර, සිද්ධියෙන් 53 හැවිරිදි ලොරි රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු, වෙළඳසැලේ සිටි අයෙකු සහ මාර්ගයේ ගමන් ගත් සිව් දෙනෙකු (4) තුවාල ලබා ගලගෙදර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

***************************************

(27.12.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

තල්මසුන්ගෙන් ලබාගන්නා බව පැවසෙන අම්බර් කිලෝ 18 ක් සමග කාන්තාවක් ඇතුලු 8 දෙනෙකු තිස්සමහාරාම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුනු තොරතුරකට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (26) පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.

තල්මසුන්ගේ ශ්වසන මාර්ගයේ හටගන්නා පිළිකාවක් ලෙසට හැඳින්වෙන මෙම අම්බර් විශේෂය තල්මසුන් වැමෑරූ පසුව හෝ මියගිය තල්මසුන්ගෙන් ලබාගන්නා බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒවා අධික මිලකට අලෙවි වන අතර සුවඳ විලවුන් සෑදීමට ගන්නා විශේෂයක් බව ද සඳහන්.

එලෙස ලබාගත් අම්බර් කිලෝ 18 තිස්සමහාරාම යෝධකණ්ඩිය ප්‍රදේශයේ හෝටලයකදී රහසිගතව අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේදීයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

***************************************

(27.12.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදිවලින් පැමිණ කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයක්ම පසුගිය දින කිහිපය තුල වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අතුරු මාවත්වල හුදකලාව ගමන් ගන්නා කාන්තාවන් මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ෴

***************************************

කොවිඩ් වසංගතයෙන් පසුව රට නැවතත් ගොඩ නගන්න මව්බිම ලංකා පදනමෙන් සැලසුමක් ජනපතිට පිළිගන්වයි

(27.12.2020 – 12:25 +0530 – lankaleadnews.com)

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් නැගී සිටීම සඳහා වැදගත්වන මුලික ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සහ නිෂ්චිතව ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රවේශයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ‘මව්බිම ලංකා පදනම’ විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ බව වාර්තාවේ.

ඒ පිළිබඳ ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවේ දැවැන්තයෙකු වූ ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී කුලතුංග රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ තමා විසින් ජනාධිපතිවරයාට භාර දුන්නේ ‘මූලික උපාය මාර්ගික රාමුවක්’ හෙවත් ‘අවම මැදිහත් වීම පිළිබඳ මඟ පෙන්වීමක්’ බවයි. කුලතුංග රාජපක්ෂ මහතාට අනුව ඔවුන් ඉදිරිපත් කළ අවම මැදිහත් වීම සහිත උපාය මාර්ගය අනුගමණය නොකර මේ රට වැටී තිබෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නොහැකි බවයි.

[ ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ වැඩ පිළිවෙල ] pdf file

***************************************

ශ්‍රී ලාංකේය අනාගත තාරකා විද්‍යාඥයෝ හදිසියේ හමුවෙති |Sri Lankan Future Astronauts meet in Colombo (25-12-2020)

ඉතා ළදරු වියේ සිටම කිසිවෙකුගේ බලපෑමකින් හෝ අණකිරීමකින් තොරව ස්ව කැමැත්තෙන් විශ්ව දැනුම සොයා යන මෙවන් දරුවන් රටකට මොනතරම් වාසනාවක්ද? තවත් මෙවැනි දහස් ගණන් දරු දැරියන් මෙරට සිටිනවා විය හැක. එහෙත් ඔවුන්ට මග පෙන්වන කිසිදු ජාතික වැඩපිළිවෙළක් අපේ රටේ නැත. කොහොමත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ විෂය දැනුමට මිස විශ්ව දැනුමට ඉඩක් ඇත්තේම නැත.

අනෙක් අතට මේ ළදරුවන් ඉංග්‍රීසි බසින් කතාකරීම ගැන විවේචනය කරන්න එපා. ඔවුන් මේ දැනුම සහ කරුණු හොයාගන්නෙ ඉංග්‍රීසි බසින්. එවිට ඒ දැනුම ඔවුන්ට සන්නිවේදනය කිරීමට වඩාත් පහසුවෙන්නෙත් ඉංග්‍රීසි බසින්. ඔවුන්ට සිංහලෙන් කතාකරන්න කියා අපිට බලකළ හැකිවන්නේ අඩුම ගණනේ මේ සියලු විශ්ව දැනුම සිංහලෙන් ඉගෙනීමට මේ සමාජය පහසුකම් ලබාදුන් දාට පමණයි නේද?

කෙසේ වෙතත් මේ වැඩසටහන අපේ රටේ නිද්‍රාශීලි බලධාරීන්ගේ දැස් විවරවීමට අංශුමාත්‍ර හෝ බලපෑමක් වේවා යන්නයි මගේ පැතුම.

Harindra Jayalal FB

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *