සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක්

සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක්

*********************************************

සුනාමි පැමිණ වසර 16 යි – හඳුනා නොගත් මළ සිරුරු කොටස් 300 ක්

(26.12.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ව්‍යවසනය සිදුවී වසර 16 ක් ගත වන අද, මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා.

පෙරවරු 09:25 සිට 09:27 දක්වා පැවති මෙම නිශ්ශබ්දතාවයට සමගාමීව ජාතික සුරක්ෂිතතා දින සැමරුම ද පැවැත්වුණු අතර, වෙනදා මෙන් විශාල ජන සහභාගීත්වයක් සහිත සැමරුම් උත්සව සංවිධාන කර නොතිබුණේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිස්ත්‍රික් මට්ටමින් ආගමික වතාවත් සංවිධාන කර තිබූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

ජාතික සුරක්ෂිතතා දින සැමරුමට සමගාමීව හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුමක් පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් මීට පෙර සුනාමි සැමරුම් වලදී කොළඹ කොටුවේ සිට පැරෑලිය දක්වා ගමන් කළ දුම්රිය කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ධාවනයේ යෙදුණේ නැහැ.

මේ අතර ස්වභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමට රජය බැදී සිටින බව ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා වන වගවීම සහ වගකීම ජනාධිපතිවරයා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද තහවුරු කර ඇති බවයි සුනාමි ව්‍යවසනය අනුස්මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, වසර 16 ක් ගත වුණ ද සුනාමි ව්‍යසනයෙන් මියගිය දහස් ගණනකගේ සිරුරු අතරින් 300 ක පමණ ප්‍රමාණයක් අදටත් හඳුනාගෙන නොමැති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් පී. රුවන්පුර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අදාළ සිරුරු හඳුනාගැනීම සඳහා ඥාතීන් කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒවා කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පීඨයේ තැන්පත් කර ඇති බවයි.

***************************************

(26.12.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – මොල්ලිගොඩ ප්‍රදේශයේ කළුගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා මෙම කළුගල් කොරියේ මීට පෙර සේවය කළ අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 20 වනදා කළුගල් ව්‍යාපාරිකයෙකු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම ගල් කොරියේ තිබූ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 15 ක්, වෝටර්ජෙල් ග්‍රෑම් 750 ක්, ඩෙටනේටර් 20 ක්, වෙඩි බෙහෙත් නූල් මීටර් 35 ක් සහ ගල් සිදුරු කරන උපකරණ කිහිපයක්ද මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

පසුව මාවනැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් තවදුරටත් සිදුකරන බව මාවනැල්ල පොලීසිය සදහන් කළා ෴

***************************************

(26.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

වායුගෝලයේ විවිධ සංඝටක හා කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 16 ක සිසුන් පිරිසක් සකස් කළ අත්හදා බැලීමේ රබර් බැලූනයක් අද (26) උදෑසන දඹුල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ සිට ගුවන් ගත කෙරුණා.

විද්‍යුත් උපකරණ සහ තොරතුරු රැස් කිරීමේ දත්ත ගබඩාවක්ද ඊට එක්කර තිබූ අතර, එම බැලූනය කිලෝමීටර 33 ක් පමණ ඉහළ අහසට යොමු කරන බවයි ඊට එක්ව සිටි විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කළේ.

අහසේදී එය, පුපුරා ගිය විට ඊට සවිකර ඇති පැරෂුටයක් මාර්ගයෙන් අදාළ තොරතුරු පොළවට ගෙන්වා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඉදිරියේදී කැලෑ හෙළි පෙහෙලි කිරීම්, වන අලි පිළිබඳව තොරතුරු එක් රැස් කරගැනීම සඳහාද උපයෝගී කරගැනීමට හැකිවනු ඇති බවයි මෙම ව්‍යාපෘතියේ උපදේශක අමිල සඳුන් බස්නායක මහතා සඳහන් කළේ.

***************************************

(26.12.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පහන් දල්වා සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය මෙරට වැසියන් සිහිපත් කර තිබෙනවා.

අද (26) පෙරවරු 09:25 ට පැවති විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාව සඳහා ද අගමැතිවරයා එක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටි බව සඳහන්.

මේ අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද, අද (26) පහන් දල්වමින් සුනාමි ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින් සිහි කළා.

සුනාමි ව්‍යවසනය සිදුවී වසර 16 ක් ගත වන අද, මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා.

පෙරවරු 09:25 සිට 09:27 දක්වා පැවති මෙම නිශ්ශබ්දතාවයට සමගාමීව ජාතික සුරක්ෂිතතා දින සැමරුම ද පැවැත්වුණු අතර, වෙනදා මෙන් විශාල ජන සහභාගීත්වයක් සහිත සැමරුම් උත්සව සංවිධාන කර නොතිබුණේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිස්ත්‍රික් මට්ටමින් ආගමික වතාවත් සංවිධාන කර තිබුණා.

මේ අතර ජාතික සුරක්ෂිතතා දින සැමරුමට සමගාමීව හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුමක් පවත්වනු ලැබුවා.

කෙසේ වෙතත් මීට පෙර සුනාමි සැමරුම් වලදී කොළඹ කොටුවේ සිට පැරෑලිය දක්වා ගමන් කළ දුම්රිය කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ධාවනයේ යෙදුණේ නැහැ.

එහෙත් සුනාමියේ අඳුරු මතකයන් යළි සිහිපත් කරමින් දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් එම ස්ථානයේ ආගමික වතාවත්වල නිරත වුණා ෴

***************************************

(26.12.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත වී තිබෙනවා.

පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පුදබිම වෙත රැස්ව සිටි ජනතාවගේ සුවදුක් විමසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් සමග සුහද කථා බහක ද නිරතවී තිබෙනවා.

රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත වුනා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ද ජනාධිපතිවරයාගේ විමර්ශණයට ලක්වූ බවයි.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය රජමහා විහාරය වෙත ද ගොස් විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැ දුක සුව දුක් විමසා තිබෙනවා.

***************************************

(26.12.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

2020 දෙවන කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට ඍණ 16.3 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ දෙවන කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තුවට අනුව මෙම පසුබෑම වාර්තාවී ඇත්තේ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන්.

විශේෂයෙන් නිෂ්පාදන, ඉදිකිරීම්, මගී ප්‍රවාහන, පතල් හා කැණීම්, සංචාරක, සිල්ලර වෙළඳාම වැනි ක්‍ෂේත්‍රවල ඍණ වර්ධන වේගයන් වාර්තාවී තිබෙනවා.

2019 දෙවන කාර්තුවේදී මෙරට දළදේශීය නිෂ්පාදිතය පවත්නා මිලට අනුව මිලියන තිස් පන්ලක්ෂ අසූ නවදහස් දෙසිය හතළිස් හයක් (35,89,246) වූ අතර, එය මෙම වසරේ දෙවන කාර්තුවේදී මිලියන 30,12,013 ක් දක්වා පහළ බැස ඇති අතර, එය සියයට 16.1 ක පහළ යාමක් බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කෘෂිකර්මාන්තයේ බොහෝ ක්‍ෂේත්‍රවල කටයුතු පසුබෑමකට ලක්වද්දී ධාන්‍ය, වී, එළවළු, පළතුරු, කුළුබඩු, වගා කිරීම් සහ මිරිදිය මසුන් ඇල්ලීම වැනි ආර්ථික කටයුතු වර්ධනය වී තිබෙනවා.

කර්මාන්ත අංශයේ රෙදිපිළි, ඇගළුම් හා සම් ආශ්‍රිත නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ සියයට 44.2 ක ඍණ වර්ධන වේගයක් පෙන්නුම් කර ඇති අතර, කර්මාන්ත අංශයෙන් සියයට 6.8 ක දායකත්වයක් සපයන ඉදිකිරීම් කර්මාන්ත ක්‍ෂේත්‍රය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම කාර්තුවේදී සියයට 30.1 ක පසුබෑමක් වාර්තා කර තිබෙනවා.

සේවා අංශයේ නවාතැන් හා ආහාරපාන සැපයීම, භාණ්ඩ හා මගී ප්‍රවාහනය, වෘත්තිය සේවා, තොග හා සිල්ලර වෙළඳාම යන ක්‍ෂේත්‍රවල පහත වැටීමක් පෙන්නුම් කර ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ වුවද විදුලි සංදේශ කටයුතු සියයට 19.6 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් ෴

***************************************

(26.12.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට අද (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනා දළඹුවාගෙන් බඩ ඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බලා තිබෙනවා.

සේනා දළඹු උවදුර හේතුවෙන් බඩ ඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටින අතර මෙම වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති තිබෙනවා. ඒ හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි ගොවීන් ජනාධිපතිවරයා හමුවේ කියාසිටියේ.

වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ප්‍රසාදය පළ කර තිබෙනවා.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

[ සේයාරූ 18 ක් ]

***************************************

(26.12.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

සුනාමිය බොහෝ දේ උදුරා ගත්තත් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය උදුරා ගැනීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තිනෙත් ජයසූරිය ඊට කඳිම උදාහරණයක්.

අවුරුදු 6 ක දරුවෙකුව සිටියදී සුනාමියෙන් අසීරුවෙන් දිවි බේරාගත් තිනෙත් පිළිබඳව බී.බී.සී. ලෝක සේවයේද අවධානය යොමු වී තිබුණා.

ඔහු නමින් තිනෙත් ජයසූරිය.

මීට වසර 16 කටපෙර ඇති වූ සුනාමි ඛේදවාචකයට මුහුණ දෙන විට තිනෙත්ගේ වයස අවුරුදු 6 ක්.

2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමියට හසු වූ තිනෙත් හම්බන්තොට ලුණු ලේවාය ආසන්නයේ කොටයක් මත දින එක හමාරක් පාවෙමින් සිටියදී සොයා ගනු ලැබුවේ මළසිරුරු සෙවීමට පැමිණි පිරිසක් විසින්.

මෙම ඛේදවාචකයේ තිනෙත්ගේ එකම සොහොයුරිය සමඟ ඥාතීන් 5 දෙනෙකුටම දිවි අහිමි වුණා.

සුනාමි රළපහරට මිනිස් ජීවිත, භෞතික සම්පත් ඕනෑතරම් උදුරාගත හැකි වුවද දිරිය මිනිසුන්ගේ ආත්ම විශ්වාසය විනාශ කළ නොහැකි බවට තිනෙත් කදිම නිදසුනක්.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වූවා මෙන්ම විද්‍යාලයේ විශිෂ්ටතම සිසුවාට හිමි සම්මානයද හිමි කරගනු ලැබුවා.

ඔරු පැදීමේ ක්‍රීඩාවට සමත්කම් දක්වන තිනෙත් ජාතික මට්ටමේ රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 4 ක් තමන් සතු කරගෙන තිබෙනවා.

තිනෙත් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්.

කුඩාම අවදියේදී ජීවිතය අසීරුවෙන් දිනාගත් තිනෙත්ට ජීවිතයේ වෙනත් අභියෝගයක් නොමැති තරම්.

==========================================

(26.12.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

හැටන් – වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක සිදුකළ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 451 කින් 28 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

මේ අතර ඊයේ (25) දිනයේදී වාර්තාවූ ආසාදිතයන් 551 දෙනාගෙන් 300 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙනවා.

ඉන් 87 දෙනෙකුම වාර්තාවන්නේ බොරැල්ල ප්‍රදේශයෙන් වන අතර, තවත් 30 දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද පුද්ගලයින්ද 52 කු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර, බස්නාහිර පළාතෙන් බැහැරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 28 දෙනෙකු ඊයේ (25) දිනයේදී වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වත මධ්‍යස්ථානය සඳහන් කළේ.

දැනට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 39,782 ක්. ඊයේ (25) දිනයේදී ද මරණයක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගියා.

මේ අතර අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් නව ආසාදිතයන් 177 දෙනෙකු වාර්තාවීමත් සමඟ එම කලාපය ආශ්‍රිතව වාර්තාවන ආසාදිත සංඛ්‍යාවද 637 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

දැනට එම කලාපය ආශ්‍රිතව වාර්තාවී ඇති ආසාදිතයන් හංවැල්ල, දෙහිඕවිට, ඇහැලියගොඩ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රදේශවලින් හමුවී තිබෙනවා.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ පසුගියදා අවිස්සාවේල්ල, රුවන්වැල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගනු ලැබුවා.

මේ අතර කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට එරෙහිව විරෝධතාවක් මතුගම නගරයේදී පැවැත්වුණා.

ඊයේ (25) දිනයේදීද ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා තිබුණේ කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනයට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් වසංගත රෝගවලින් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමෙන් සමාජයට ඇතිවන අවදානම ශූන්‍ය බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් රුවන්පුර මහතා ප්‍රකාශ කළා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරතවන්නේ නම් ඔවුනට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

++++++++++++++++++++++

(26.12.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සහ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කළ ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ එලෙස කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

එන්නත් මෙරටට ගෙන්වීම පිළිබඳව මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, ඉදිරි සති දෙක ඇතුළත සාධනීය පිළිතුරක් ලබාදිය හැකි බවයි ඔහු කියා සිටියේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව මේ වනවිටත් ලබාදී ඇති බවයි.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, භික්ෂූන් වහන්සේලා සහ හෙල වෛද්‍යවරුන් පිරිසක් මහනුවරදී ඊයේ (25) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ හෙළ වෙදකම ආරක්ෂා කිරීමට රජය මැදිහත්විය යුතු බවයි.

විදේශීය ඖෂධවලට ලබාදෙන උනන්දුව දේශීය හෙළ වෙදකමට ලබා නොදෙන්නේ ඇයිදැයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය කුඹුක්කඳන්වල පුණ්‍යරතන හිමියන්, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මහවෙල රතනපාල හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්.එම්.ඩී. හේරත් මහතා ද එක්ව සිටියා ෴

++++++++++++++++++++++++

(26.12.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රැදවියන් 639 ක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

නිලධාරීන් 09 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3615 ක්.

ඉන් රැදවියන් 2850 ක් සහ නිලධාරීන් 112 ක් මේ වන විට සුවය ලබා ඇති අතර, කොරෝනා ආසාදිත රැදවියන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද (26) දිනයේ මේ දක්වා බන්ධනාගාරවලින් ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වී තිබෙනවා ෴

++++++++++++++++++++++

(26.12.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

මීගමුව නගර සීමාවෙන් අද (26) දිනයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවී ඇති බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි මහතා පවසනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයන් 317 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

අද (26) හමුවූ ආසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හුදකලා කර ඇති මීගමුව – තලාදූව ප්‍රදේශයේ පිහිටි මීගමුව මහ නගර සභාවේ කම්කරු නිවාසවලින් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++++++++++

(26.12.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 712 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32,051 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 39,782 ක් හමුවී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7545 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 186 ක් වාර්තාවුනා ෴

++++++++++++++++++++++

(26.12.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 27,569 ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 16,656 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,400 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 2,713 ලෙස ආසාදිතයින් වාර්තාවන බවයි එම අංශය ප්‍රකාශ කළේ.

මීට අමතරව බස්නාහිර පළාත හැරුණු කොට වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් දැනට වාර්තාවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,160 ක්.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර අදත් ස්ථාන 11 කදී ‘රැපිඩ් ඇන්ටින්’ පරීක්ෂණ සිදුකළා.

පසුගිය 18 වන දා සිට මේ දක්වා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාතෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 27,569 ක් වාර්තාවී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 16,656 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 8,400 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 2,713 දෙනෙකු වාර්තාවන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත හැරුණු කොට වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් සොයගෙන ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,160 ක්.

කොළඹ නගරයෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට තුනෙන් එකක් පමණ අඩු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ මීට පෙර කොළඹ නගරයෙන් දෛනිකව ආසාදිතයින් 350 ඉක්මවා වාර්තා වුවද එය මේ වන විට 90 ත්, 110 ත් දක්වා අඩු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඊයේ (25) දිනයේත් මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 551 දෙනාගෙන් 300 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 87 දෙනෙකු සහ කොම්පඤ්ඤවීදියෙන් ආසාදිතයින් 30 දෙනෙකුත් වාර්තාවී තිබෙනවා.

මේ අතර, කොළඹ නගරයේ දැනට හුදෙකලා තත්ත්වයේ පවතින කාලිපුල්ලවත්ත, හල්ගහවත්ත, මරදාන සහ වෑකන්ද යන ප්‍රදේශවලින් ද මේ වන විට ආසාදිතයින් වාර්තා වීම අඩු වී ඇති බැවින් එම ප්‍රදේශ ඉතා ඉක්මනින් හුදෙකලා බවින් නිදහස් කිරීමට හැකි වනු ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියා.

මේ අතර මීගමුව නගර සීමාවෙන් අද (26) දිනයේදී කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංගආරච්චි මහතා පවසනවා.

ඉන් 10 දෙනෙකුම වාර්තාවී ඇත්තේ දැනට හුදකලා කර ඇති මීගමුව – තලාදූව ප්‍රදේශයේ පිහිටි මීගමුව මහ නගර සභාවේ කම්කරු නිවාසවලින්.

+++++++++++++++++++++

(26.12.2020 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 500 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 52 ක් බන්ධනාගාර තුලින් වාර්තාවී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

අනෙක් පිරිස පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40,282 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තාවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

+++++++++++++++++++++++

(26.12.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත බවට අනාවරණ වූ දේහයක් භූමදානය හෝ ආදාහනය සඳහා නිදහස් කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවනවා.

ඒ, කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය නිර්දේශ නිකුත් කර ඇති පසුබිමකයි.

මියයෑමෙන් අනතුරුව මෙලෙස මුදාහැර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ දේහයක් වන අතර, කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් එම දේහය මුදාහැර ඇති බවටයි වාර්තාවන්නේ.

65 හැවිරිදි එම කාන්තාව පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊයේ (25) දේහය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදීයි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇත්තේ.

මෙම කාන්තාව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී හෝමාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් කොළඹ 10 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මෙම මරණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ආමාශ පිළිකාවක සංකූලතා ඇතිවීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව ඇයගේ අවසන් කටයුතු භූමදානය හෝ ආදාහනය සඳහා මුදාහැරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතර මීට පෙරද කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතික කාන්තාවකගේ සිරුරක් ආදාහනය නොකර භූමදානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අනාවරණයක් සිදුකළා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙවැනි ක්‍රියා හරහා කොරෝනා ව්‍යාප්තවීම තවදුරටත් ඉහළ යා හැකි බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

පිරිසක් අද (26) වව්නියාව නගරයේ විරෝධතාවක් දියත් කරමින් මළ සිරුරු ආදාහනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කළා.

එමෙන්ම මතුගම නගරයේ ද අද (26) විරෝධතාවක් සංවිධාන කර තිබූ අතර, ඊට එක්වූවන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිත මරණ භූමදාන කිරීම සිදුනොකරන ලෙසටයි.

කෙසේ වෙතත් අදාළ විරෝධතා දෙකම සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන ආකාරයක් දක්නට ලැබුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී නිරෝධායන නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණ සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර වසංගත රෝගවලින් මියයන පුද්ගලයින්ගේ සිරුරු දීර්ඝකාලීනව ශීතාගාර තුළ රඳවා තබාගැනීම හරහා වෛරස් ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් රුවන්පුර මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++

(26.12.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

වත්මන් තත්ත්වය තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීමට තමන් විරුද්ධ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද (26) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින්.

++++++++++++++++++++++

(26.12.2020 – 21:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 187 ක්.

මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්වූ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඔහු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අද (26) මරණයට පත්වී තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 40,380 ක් වාර්තාවී ඇති අතර ඉන් 8143 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 32,051 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *