පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම

පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම

*********************************************

පිළිකා වෙදකමට මුවා වූ ජාවාරම

(25.12.2020 – 21:18 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කරන දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්, ජනතාව මුලා කරන පුද්ගලයෙකු පිළිබදව තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයාගෙන් ඖෂධ ලබාගත් බොහෝ දෙනෙකු කිසිඳු සුවයක් නොලබාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයකදී හෙළි වුණේ.

පිළිකාව නිට්ටාවට සුවකරන බව පවසමින් රෝගීන්ට ප්‍රතිකාර කරන මෙම පුද්ගලයා තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහුගෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා දිනකට විශාල රෝගීන් පිරිසක් පැමිණෙන අතර එක් වරක් ප්‍රතිකාර කිරීම සදහා කෙරෙන අයකරන මුදල රුපියල් 30,000 කට අධිකයි.

දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින මෙම පුද්ගලයා ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වු පුද්ගලයෙකු නොවන බවද ‘හිරු සී.අයි.ඒ.’ කළ ගවේෂණයේදී හෙළි වුණා.

එසේම මෙම පුද්ගලයාගෙන් ප්‍රතිකාර ගත් බොහෝ පිරිසක් මේ වනවිටත් ජීවතුන් අතර නැහැ.

(26.12.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සි.අයි.ඒ.’ හරහා අප ඊයේ (25) හෙළිකලේ දේශීය වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්, පිළිකාව නිට්ටාවට සුවකරන බව පවසන තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයේ පුද්ගලයෙකු පිළිබඳවයි.

එම ප්‍රවෘත්තිය විකාශය වු සැනින් ‘හිරු සී.අයි.ඒ.’ දුරකථන අංකයට ඇමතුම් රාශියක් ලැබුණා.

ඉන් අති බහුතරයක් ඇමතුම් හරහා ප්‍රකාශ වුයේ මෙම ස්ථානයට ගොස් ප්‍රතිකාරගත් පිරිස් මේ වනවිට ජීවතුන් අතර නොමැති බවයි .

ගාල්ලේ සිට ප්‍රතිකාර ගත් කාන්තාවගේ නැගණිය අදාල වෛද්‍යවරයාටද දුරකථන ඇමතුමක් ලබා ගත්තා.

මෙම ප්‍රශ්ණගත වෙදමැදුර පවත්වාගෙන යන පුද්ගලයා ද අප දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා.

මෙම පුද්ගලයා පිළිබඳව ආයුර්වේද දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමෙන් පසු එම ආයතනය ඔහු පිළිබද ගන්නා ක්‍රියාමාර්ග කවරේද ?

ඒ පිළිබදව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප ඉදිරියේදී තොරතුරු හෙළිකිරීමට සුදානම්.

***************************************

(26.12.2020 – 07:07 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ව්‍යසනය සිදු වී අදට (26) වසර 16 ක් සපිරෙනවා.

සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කර ගත් ජාතික සුරක්ෂිතතා දිනය ද අද (26) සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 09:25 සිට 09:27 දක්වා මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක් සුරකින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වතාවත් සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර ජාතික සුරක්ෂිතතා දින සැමරුමට සමගාමීව හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුමක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, මීට පෙර සුනාමි සැමරුම් වලදී කොළඹ කොටුවේ සිට පැරෑලිය දක්වා ගමන් කළ දුම්රිය කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ධාවනයේ නොයෙදන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමට බැදී සිටින බවයි.

***************************************

(26.12.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

කොත්තමල්ලි අපනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වූ කෘෂිකාර්මික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩිනමින් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

එමෙන්ම මීට පෙර එංගලන්තයේ සිට මෙරටට ආනයනය කිරීමෙන් අනතුරුව අඩක් පමණ යළි ප්‍රතිඅනයනය කළ සායනික අපද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන්ද විමර්ශන පුළුල් කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා කියා සිටියේ.

සායනික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට මුලික වූ කණ්ඩායම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා දඬුවම් ලබාදීමට නොහැකි වූයේ කොරෝනා වසංගත තත්වය ඇතුලු ඇතැම් කරුණු හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඉතාමත් කඩිනමින් විමර්ශන ආරම්භ කර සායනික අපද්‍රව්‍ය ආනයනය කළ පුද්ගලයින්ට මෙන්ම කෘෂිකාර්මික අපද්‍රව්‍ය ආනයනය කළ පුද්ගලයින්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ වෙනත් ද්‍රව්‍යයක් ආයනය කරන මුවාවෙන් කසළ ආනයනය කිරිම රේගු ආඥා පනතට අනුව දැඬි දඬුවම් ලබාදිය හැකි වරදක් බවයි.

***************************************

(26.12.2020 – 08:40 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරුවලින් ඊයේ (25) දිනයේ පමණක් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ සති අන්තයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයෙන් වැළකී සිටින ලෙසයි ෴

***************************************

(26.12.2020 – 09:49 +0530 – hirunews.lk/sinhala)

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, කොට්න් බඩ්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුලු වර්ග 06 කට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් සඳහන් කළේ මෙම තහනමට අදාල ගැසට් නිවේදනය අනුමැතිය ලබාගැනීමට එය මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

ඉදිරි සතිය ඇතුළත මේ කටයුතු අවසන් කරන්න බවයි මාධ්‍ය හමුවේ ඔහු පවසා සිටියේ.

***************************************

(26.12.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පල්ලම, මදවක්කුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 50 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාලවිය ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිළධාරින් උපාය දුතයින් යොදවා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් මිලදිගැනීමට යන මුවාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර තාරකා ඉබ්බන් විදේශ රටවලට යැවිමේ ජාවාරමක් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව සැකකරු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධී ලෙස කහ සහ කේරල ගංජා ගෙන්වීම, මෙරට රත්‍රං ඉන්දියාවට යැවීමේ ජාවාරම් රැසකට ද චෝදනා ලැබූවෙක්.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කොළඹ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාශය ඇඹිලිපිටිය තුංකම ප්‍රදේශයේදී ගිනි අවි සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය සහ ඒ අවට ප්‍රදේශයන්ට පතාල ක්‍රියාකාරකම් සඳහා මුදලට අවි ආයුධ විකුණු පුද්ගලයෙකු සහ ඒවා ලඟ තබා ගත් අයෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් ලඟ තිබී ටී 56 ගිනි අවි 02 ක්, බෝර 12 තුවක්කුවක්, කඩු 02 ක් සහ උණ්ඩ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා ෴

***************************************

(26.12.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ‘ලංකා සතොස’ සහ ‘සතොස’ ආයතනයවල සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පවසනවා.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන් බවයි ඔහු පවසා සිටියේ.

කෙසේ වෙතත් තමන් තවමත් ‘ලංකා සතොස’ ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පවතින කාර්යබහුලත්වය හේතුවෙන් ඔහු මෙම තීරණය ගත් බවයි සඳහන් කර සිටියේ.

***************************************

(26.12.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

විදේශීය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසි ආනයනය කරන ලද පුද්ගලයා අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වන සැකකරු මැලේසියාවේ සිට අදාල මුද්‍රණ යන්ත්‍රය ආනයනය කර ඇති බවටයි අනාරවණය වී ඇත්තේ.

කන්තලේ සහ අනුරාධපුර පොලිස් ස්ථාන මගින් සැකකරු විසින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 327 ක් පසුගිය දා සොයා ගෙන තිබුණා.

ඊට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල වැඩිදුර පරික්ෂණවලදී සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

***************************************

(26.12.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala)

සුනාමි ඛේදවාචකය හමුවේ මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුනු වසර 16ක් තිස්සේ ඉදිවෙමින් පවතින රෝහලක් පිළිබඳව ගාල්ලෙන් වාර්තාවනවා.

ඒ පිළිබදවයි අද රතු මිනිත්තුවවේ අවධානය.

***************************************

(26.12.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

රජය සහතික කළ මිලට වෙළඳපොලේ රසායනික පොහොර මිලදී ගැනීමට නොමැති බව ගොවීන් පවසනවා.

වැලිමඩ එළවළු හා අර්තාපල් ගොවීන් පවසන්නේ මේ වනවිට රසායනික පොහොරවල හිඟයක් පවතින අතර, තමන්ට මිලදී ගැනීමට ඇති පොහොරද සහතික මිලට වඩා වැඩි මුදලකට අලෙවි කරන බවයි.

රුපියල් 1,700 සිට රුපියල් දෙදහස (2000) දක්වා මිලකට වෙළඳුන් පොහොර අලෙවි කරන හෙයින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ගොවීන් සඳහන් කළා.

මේ අතර මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ ජීවත් වන මුවන් හේතුවෙන් තම වගාවන්ට හානි සිදුවන බව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

***************************************

(26.12.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවක්.

නියාගම – මත්තක ග්‍රාමයේ වැසියන්ට එය ලබාගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

මේ ජලය වෙනුවෙන් නොවිඳිනා දුක් විදීමට සිදුව ඇති අම්බලන්ගොඩ, නියාගම – මත්තක ග්‍රාමයේ ගම්වැසියන්ගේ කථාවයි.

========================================

(25.12.2020 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 186 ක්.

මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක පිරිමි පුද්ගලයෙක්.

ඔහු අක්කරෙයිපත්තු මූලික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

මෙරටින් ආසාදිතයන් 39,782 ක් වාර්තාවී ඇති අතර ඉන් 8258 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 31,339 ක් ෴

+++++++++++++++++++++++

(26.12.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවෙන් වාර්තාවී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැදපෙරදිග රටවල සිට පැමිණෙන පිරිස් හරහාද මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ අදාළ නව වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි රටවලින්ද මේ වනවිට වාර්තාවීම තුළ එම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර කොරෝනා නව ප්‍රභේද පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සතුව නොමැති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙම නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් පහසුකම් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.

එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා මැඩලීම සඳහා නිපදවා ඇති එන්නත් මෙරටට කඩිනමින් ගෙන්වාගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සකස් කිරීම සඳහා ද මේ වනවිටත් කටයුතු සූදානම් කර අවසන් බවද ඔහු කියා සිටියා ෴

+++++++++++++++++++++++++

(26.12.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 551 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,782 දක්වා ඉහළ ගියා.

ඊයේ (25) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 541 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 10 දෙනෙකු ද වාර්තා වනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත සංඛ්‍යාව 36,099 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව ආසාදිතයින් සමඟ බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,611 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 2,743 දෙනෙකු දැනටමත් සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, නව මරණයත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගියා.

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පෙරේදා මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසුව මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණු අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස මිය ගොස් ඇත්තේ.

මරණයට හේතුව ලෙස කොවිඩ්-19 ආසාදනය නිසා ඇති වූ උග්‍ර හෘද ආසාදනයක් දැක්වෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8257 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 31,339 ක්.

මේ අතර බඩල්කුඹුර – අලුපොතගම ප්‍රදේශයෙන් මීට පෙර හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ට සිදුකළ PCR පරීක්ෂණවලදී තවත් ආසාදිතයන් පස්දෙනෙකු (5) අලුතින් හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++++++++++++

(26.12.2020 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 35 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1829 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(26.12.2020 – 11:42 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 18 වන දා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ පුද්ගලයින් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ බස්නාහිර පළාතෙන් පිට වන මාර්ග 11 කදී සිදුකළ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී මොවුන්ට වෛරසය වැලදී ඇති බවට හෙළි වී බවයි.

+++++++++++++++++++++

(26.12.2020 – 12:05 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන 08:30 න් අවසන් වු පැය 24 තුළ විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් 248 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

ගුවන් යානා 09 කින් මොවුන් පැමිණ ඇති අතර, ඊට කටාර් රාජ්‍යයේ සිට සහ ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයින් 50 දෙනෙකු ද ඇතුළත්.

එසේම එම කාලය තුළ මෙරට සිට ගුවන් යානා 08 කින් ලාංකිකයන් 343 දෙනෙකු විදේශ ගත වී ඇති අතර, ජපානය වෙත ලාංකිකයන් 130 දෙනෙකු එලෙස පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++++++

(26.12.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයත් සමඟ මෙරට පාසල් අධ්‍යාපන කටයුතු කඩා වැටීමකට ලක් වුණේ දරුවන් මාස ගණනක් තිස්සේ නිවෙස් වෙත කොටු කරමින්.

මෙම තත්ත්වය තුළ මෙරට දරුවන්ට එරෙහි කෲරත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ නිවසේ අනාරක්ෂිත වූ දැරියන් තිදෙනෙකුම (3) ගැබ් ගැනීමේ සිදුවීම් පවා වාර්තාවීම අවාසනාවන්ත තත්ත්වයක්.

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ආරම්භ වූ වකවානුවේම එනම් පසුගිය මාර්තු මාස සිටම දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වුණා.

වරින් වර අවස්ථා කිහිපයකදී පාසල් විවෘත කරන්නට උත්සහ ගත්තද එම උත්සහයන් 100% ක් සාර්ථක වූයේ නැහැ.

ඒ අනුව සාමාන්‍යයෙන් වසරකට 200 කට වැඩි දින ගණනක් පාසල් යන දරුවෙකුට මෙම වසර තුළදී පාසල් යාමට හැකිවුණේ දින 90 කටත් අඩු කාලයක්.

බස්නාහිර පළාත තුල මෙම තත්ත්වය තවත් දරුණු වෙමින් දරුවන්ගේ පාසල් ගමන දින 50 කටත් අඩු කාලයකට සීමා වුණා.

මෙලෙස දරුවන් නිවසටම කොටුවීම නිසා ඇතැම්විට ඇති වූ අනාරක්ෂිත භාවයන් හේතුවෙන් දරුවන් ලිංගික හිංසනයන්ට පවා ගොදුරුවීමේ අවසනාවන්ත තත්ත්වයන්ද වාර්තා වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *