දෙවනගල රකින සටන මුදලට විකිණු මන්ත්‍රී නිසා දෙවනගලම ගුටි කෙලියක …. පොහොට්ටුවෙන් පන්නා දමන බව ද කියයි …

දෙවනගල රකින සටන මුදලට විකිණු මන්ත්‍රී නිසා දෙවනගලම ගුටි කෙලියක …. පොහොට්ටුවෙන් පන්නා දමන බව ද කියයි …

කිරිදරු ජාවාරමේ සුලමුල මෙන්න

සෞඛ්‍ය ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන්න – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ආණ්ඩුව රැක ගැනීමට ධනාත්මක විවේචනයක් තිබිය යුතුයි – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

අත්අඩංගුවට ගත් විශාලතම කසල තේ තොගය ශ්‍රී ලංකා තේ මණ්ඩළයේ ඉහල නිළධාරීන් නිදහස් කරලා

*********************************************

දෙවනගල රකින සටන මුදලට විකිණු මන්ත්‍රී නිසා දෙවනගලම ගුටි කෙලියක …. පොහොට්ටුවෙන් පන්නා දමන බව ද කියයි …

(25.12.2020 – 08:35 +0530 – lankaleadnews.com)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ ප්‍රේරණ කලාපය මැනුම් කටයුතු සම්බන්ධයෙන් 24 වන දින පෙරවරුවේ ඉඩම් හිමියන් දැනුවත් කිරිම සඳහා අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්විමක් සංවිධානය කර තිබු අතර රැස්විම අතරතුර ඇති වු උණුසුම් තත්වය පාලනය කිරිමට නොහැකි විම නිසා රැස්විම නැවැත්විමට සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා තීරණය කර එතුමා විසින්ම සභාවට ඒ බව දැනුම් දිමත් සමග පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරිමට එහි සිටි පොලිස් නිලධාරින් කටයුතු කරන ලදි.

ඒ අනුව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතා සභාව වෙත දැනුම් දෙන ලද්දේ සති දෙකක් (2) ඇතුලත කමිටුවක් මාර්ගයෙන් අදාල ප‍්‍රශ්නය විසදිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

මෙම රැස්විම සංවිධානය කර තිබුණේ දැනට වසර ගණනාවක් තිස්සේ ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ ඇති වි තිබෙන පුරාවස්තු විනාශය සහ පුරාවිද්‍යාත්මක සහිත ඉඩම් අක‍්‍රමණය කරමින් සිදු වන පූජා භූමියේ ඓතිහාසිකත්වය ආරක්ෂා කිරිම වෙනුවෙනි.

ඒ අනුව ගැටලුව නිරාකරණය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පූජා භූමියට අයිති 2004 ජුනි 04 දිනැති අංක 1344 දරන ගැසට් නිවේදනය හා 2005 මැයි 20 දිනැති අංක 1394 දරන ගැසට් නිවේදනයන්ට අනුව මෙම ස්ථානයේ යාර 400 පේ‍්‍රරණ කලාපය සලකුණු කිරිම දෙවනගල ගල් පර්වතය පාමුල පුරාවිද්‍යා මායිම් කණු සිටුවා ඇති ස්ථානයේ සිට ආරම්භ කිරිම සඳහා ජනතාව දැනුවත් කිරිමට රැස්විම සංවිධානය කර තිබුණි. ඒ සඳහා එම පේ‍්‍රරණ කලාපයේ ජනතාව 200 කට වැඩි පිරිසක් එහි කැඳවා රටේ පවතින නිරෝධායන නීති අනුව රැස්විම සංවිධානය කරන ලදි.

ඒ අනුව රැස්විම ආරම්භ කරමින් ජනතාව දැනුවත් කරමින් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව, බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යප්පෙරුම, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් සහ කෑගලු දිස්ත‍්‍රීක් ලේකම් මහින්ද එස් වීරසූරිය ඇතුළු නිලධාරින් කිහිප දෙනෙක්ම මෙම මැනුම් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර අතර එහිදි මෙම රජයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ මෙම මැනුමවලින් දැනට එහි ජිවත් වන කිසිදු ජාතික පුද්ගලයෙකුට ඒ මගින් අසාධාරණයක් නොවන බවයි. එම කතා සියල්ල සවදානව ජනතාව අසා සිටි අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද මෙම මැනුම් කටයුතු සිදු වන අන්දමත් මැනුම් කටයුතු වලින් පසුව ඉදිරියේදි ක‍්‍රියාත්මක වන නිතීමය තත්වයත් ගැන පැහැදිලි කිරිමෙන් පසුව පැමිණි සිටි පිරිසෙන් සිව් දෙනෙකුට (4) අදහස් පල කිරිමට අවස්ථාව ලබා දෙන ලදි.

මුලින්ම මෙම මැනුමට රජය මැදිහත් වි ජනතාවගේ අදහස් උදහස් ලබා ගෙන සියලු දෙනාගේ සාමය පවත්වා ගනිමින් මෙම මැනුම් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මෙම මැනිම්වලදි ප්‍රේරණ කලාපයේ තම නිවස පිහිටා ඇති හිටපු ප‍්‍රාදේශිය ලේකම්වරයෙක් සහ ගම්වැසියෙක් වන ඩබ්ලිව්.ඒ. විමලසිරි මහතා කතා කිරිමෙන් අනතුරුව සභාව හමුවේ අදහස් ප‍්‍රකාශ කලේ මෙතෙක් දෙවනගල පුදබිම ආරක්ෂා කර ගත යුතුයි යනුවෙන් වසර ගණනාවක් තිස්සේ තම හඩ අවදි කරමින් ඒ වෙනුවෙන් තම දායකයන් මෙහෙයවු දෙවනගල විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ගාමිණි සිරිමාන්න මහතායි.

එතුමා මෙම මැනිමට විරුද්ධතාවය පල කරමින් සිදු කරන ලද කතාව ගැන එහි සිටි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වු අතර ඔහුගේ එම අදහස් පල කරද්දි ඊට සහයෝගය පල කරමින් මෙම මැනිමට විරුද්ධ පිරිස විසින් අත්පොලසන් දෙමින් සභාව ක‍්‍රමයෙන් ඝෝෂාකාරි තත්වයට පත් කිරිම ආරම්භ විය.

ඉන් පසුව සභාව හමුවේ කතා කරන ලද්දේ දැනට අරණායක ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන මෙම පේ‍්‍රරණ කලාපයේ ඉඩම් හිමියෙක් වන අජන්ත දිසානායක මහතායි. ඔහු තම අදහස් පල කරමින් මෙම මැනිමට එරෙහිව කටයුතු කිරිම ගැන අදහස් පල කිරීම හේතුවෙන් සභාවේ සිටි මෙම මැනිමට විරුද්ධ ඉඩම් හිමියන්ගෙන් කිහිප දෙනෙක් සහ මෙම මැනුම් වලින් තම ඉඩම් රැසක්ම පූජා භූමියේ අත්පත් කරගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිරිසක් තම අසුන් වලින් නැගිට නිරෝධායන නිතීන් පවා උල්ලංඝණය කොට එහි හැසිරිම නිසා සභාව උණුසුම් විය. පිරිසක් හූ හඩ දෙමින් තවත් විටක ඝෝෂා කරමින් හැසිරෙන්නට විය. ඔහු විසින් මිට වසර ගණනාවකට පෙර මෙම ඉඩම් සම්බන්ධයෙන් සහ දෙවනගල පුදබිම සම්බන්ධයෙන් ලියකිවිල්ලක සත්‍ය සටහන් වි ඇති බව පවසා එය සභාවේ සිටි ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරින්ට භාර දිමත් සමග සභාව ඝෝෂාකාරි වි පිරිස පාලනය කර ගැනිමට නොහැකි විය. පිරිසක් අසුන් වලින් නැගිට රජයේ නිලධාරින්ට විවිධ දේ පවසන්නට විය.

එම හැසිරිම හරහා නැවතත් දෙවනගල පුදබිමේ මැනිම සිදු කිරිම වලක්වා ගැනිමට ගන්නා උත්සාහය ගැන මතයක් නිර්මාණය කිරිමට පිරිසක් වෑයම් කරන බව තේරුම් ගත් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් තම අසුනෙන් නැගිට පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී අජන්ත දිසානායක මන්ත‍්‍රීවරයාගේ අදහස් පල කිරිම හෙළා දකිමින් කතා කොට මෙම මැනිමට පේ‍්‍රරණ කලාපයේ ජනතාව වැඩි පිරිසක් කැමැති බව ප‍්‍රකාශ කරන ලිපියක්ද ආණ්ඩුකාරවරයාට භාර දිම සිදු විය. එම ලිපිය භාර දිමත් සමග පිරිසක් පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට බැන වැදී නොයෙකුත් දේ පවසන්නට වු අතර ඔවුන් ඒ සියලු දේවල් සැලසුම් සහගත ලෙස කරන ලද්දේ මෙම මැනිම කෙසේ හෝ වලක්වා ගැනිමටයි. ඉන් අනතුරුව සභාවේ ජනතාව පාලනය කිරිමට පොලිසියේ නිලධාරින්ට සහ භාරකාර ස්වාමින් වහන්සේගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායට මැදිහත් විමටද සිදු විය. එහිදි හිමියන් දිගෙන් දිගටම පෙන්වා දෙන ලද්දේ තම දායකයන් බොහෝ දෙනෙකුට මෙම සාකච්ඡාවට පැමිණීමට අවස්ථාව ලබා නොදි කටයුතු කිරිම තමන් හෙළා දකින බවයි. ඒ මගින් මේ උත්සාහ කරන්නේ එක් මතයක් පමණක් සමාජ ගත කිරිම පමණක් වන බවද කිය.

පැවැති නොසන්සුන්කාරිත්වය තේරුම් ගත් ආණ්ඩුකාරතුමා විසින් සභාව හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් මෙසේ පැවසිය.

“මම අපේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා. මහජන නියෝජිතයින් හැටියට අපේ පක්ෂයේ නිර්මාර්තෘ වන බැසිල් රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැහැ මහජන නියෝජිතයෙක් මේ වාගේ හැසිරිම සම්බන්ධයෙන්. ඒක වැරදියි. මීට වඩා හොඳ විනයක් තියෙන්න ඔනෑ. මහජන නියෝජිතයින්ට විනයක් නැතිනම් තමන්ගේ ජනතාවට සේවය කරන්නේ කොහොමද ? එම නිසා මිත‍්‍රවරුනි මම සමාව ඉල්ලා සිටිනවා මේ කටයුත්තෙදි සම්පුර්ණයෙන් විකෘති කිරිම පිළිබඳව. මේ සභාවේ ඉතාම වැදගත් වටිනා අදහස් ඉදිරිපත් වුනා. අපිට ඒ ගැන කතා සාකච්ඡා කිරිමට නොහැකි විම ගැනත් අපි කණගාටුවට පත් වෙනවා.

අපි මේ රැස්විම කැදෙව්වේ තිබෙන ගැටළුව තව තවත් ඉදිරියට ගෙන යෑමට නොවෙයි. මේ තිබෙන ප‍්‍රශ්න නිරාකරණය කොට සියලු දෙනා සමගියෙන් සාමකාමීව මේ ප‍්‍රදේශයේ ජිවත් විම සඳහායි. එක එක්කෙනාට චෝදනා කරීම තුලින් මේ ගැටළුව විසදා ගැනිමට නොහැකි වෙනවා.

විශේෂයෙන්ම මා ඉල්ලා සිටිනවා ඔබලා සියලු දෙනාම මේ සම්බන්ධයෙන් වගකිමෙන් කටයුතු කරලා පසුගිය වකවානුවේ සිදු වු සියල්ලම අමතක කරලා දාලා නව ගමනක් යෑම සඳහා කටයුතු කරන්නටයි කියලා. මෙතනදි එක හොඳ යෝජනාවක් එකතුවුනා ‘මේ සඳහා කොමිටුවක් පත් කරලා මේ ගැටළුව විසදමු’ කියලා.

අපි අද රැස්විම නවත්වා මේ ගැටලුව විසදිමට කමිටුවක් පත් කරලා සති දෙකක (2) කාලයකින් මේ ගැටලුවට විසදිමට බලාපොරොත්තු වෙනවා. කමිටුව වෙනුවෙන් අද අදහස් ඉදිරිපත් කල මහත්වරුන් දෙදෙනෙකු, ඒ වාගේම මුස්ලිම් සහෝදරයන් කිහිප දෙනෙකු සහ ඒ වාගේම පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමා, මිනුම් අධිකාරිතුමා, දිසාපතිතුමා සහ ප‍්‍රදේශිය ලේකම්තුමා පත් කොට සති දෙකක් (2) ඇතුලත මේ කටයුත්ත නිම කිරිමට සුදානම් කරන ලෙස සභාවට දන්වා සිටිනවා.”

දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් :

“මම මේ රකින්නේ උරුමයක්. මම මේක දැන් අත්හැරියොත් අපිට දෙවනගල උරුමය නැති වෙනවා. එකේ පාඩුව මේ රටටයි. අපි කවදාවත් ජාතිවාදයක් අවුස්සන්න හොඳ නැහැ. අපේ අරමුණ ඉටු කරගන්නේ නැතිව අපි බොරුවට කලබල විය යුත්තේ නැහැ. දැන් අවුරුදු තුන හමාරක් (3½) මේ අම්මලා දුන්න දානේ ටිකට අපි සාධාරණය ඉටු කරමින් සිටිනවා. මේක මල්වතු මහා විහාරයට අයිති ස්ථානයක්. කිසි ගැටළුවක් නැහැ මේ මැනිම කරා කියලා. මේ අම්මලා තාත්තලාට ගැටලුවක් ඇති වෙන්නෙත් නැහැ. අපේ ගම්වල සියට අසුපහක අත්සන් ලේඛනය ආණ්ඩුකාර ටිකිරි කොම්බෑකඩුව මහතාට අපි ලබා දුන්නා.

ජනාධිපතිතුමාගේ නියෝගයට අපි හිස නමා තිබෙනවා. ඔයාලා කෑ ගැසුවේ නැහැ. හූ කිවේ නැහැ. ඔයාලා හොඳ, බණ අසන, සිරිත් දන්න, ගුණ ධර්ම දන්න, හොඳ ලේ තිබෙන අම්මලා තාත්තලා. අපි මේ කොල්ලන්ට කියනවා අපි තරුණ වුනාට අපි කාටවත් හූ කියන්න හොඳ නැහැ. කාටවත් ගරහන්න හොද නැහැ. අපට මෙහි විසදා ගැනිමට තිබෙන ගැටලුව විසදා ගැනිමට නොහැකි වුනොත් – ආණ්ඩුව සහයෝගය නොදුන්නොත් මාගේ මහ ඔප්පුව අරන් මම යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ?

අපේ උරුමය පවා දෙන්නේ නැහැ. අපිට වාහන දෙන්න ආවා කබිර්ලා, තාහිර්ලා අපිට සල්ලි දෙන්න හැදුවා අපි ඒවා ගත්තේ නැහැ. හැබැයි අජන්ත දිසානායකලා සල්ලි ගත්තා. අද අපේ අම්මලා තාත්තලාට කතා කරන්න නොදි අද ඒ අය සංවිධානාත්මක ඇවිත් වැඩ කලා.

මේ අය ලෝකයට පෙන්වා දෙන්න හදනවා – ජිනීවා වලට – ඉදිරි පළාත් සභාවට මේ පෙන්වන්න හදන්නේ මොකද්ද ? ‘පළාත් සභාවට පොහොට්ටුවට ජන්දය නැහැ. හැට නව ලක්ෂය දැන් විරුද්ධ වේලා’ ඔය උගුලට හසුවෙන්න එපා. ඒ හැට නව ලක්ෂයක ජන්ද සහ ඒ උරුමය අපට දිනා දුන් ජනාධිපතිවරයාගේ චරිත ඝාතනය කරන්නේ කවුද ? අජන්ත දිසානායක වාගේ පාපතර මිනිසුන්. අවුරුදු 10 ක් 15 අපේ දෙවනගල විනාශ කරන්න සල්ලි ගත්තා. අලුත්නුවර දේවාලයේ සල්ලි හූරා කනවා වාගේම අදත් මොනවාද කලේ ? අපි හොඳ ලේ තියන මිනිස්සු. අපි සල්ලි වලට යට වුනේ නැහැ. මේ අම්මලා තාත්තාට සල්ලි දෙන්න කතා කරනවා. ඒ කඳවුරට කතා කරනවා. අම්මලා ගියේ නැහැ. මුස්ලිම් දායක සභාවේ කවුරුවත් කතා කලේ නැහැ. ඒ ඇත්තෝ අපිත් එක්ක එලියේ ඉන්නවා. අද අන්තවාදි මුස්ලිම් අක‍්‍රමිකයන් අපි සිංහල කළු සුද්දොත් එක්ක එකතුව සංවිධාන වුනා. මේ රැස්විම කඩා කප්පල් කරන්න පසුගිය දින පුරාවට අතන මෙතන රැස්විම් තබමින් – සංවිධාන කරමින් මුදල් දෙමින් – මේ උරුමය නැති කිරිමට මේ මැනුම නැවැත්විමට කටයුතු සිදු කලා.

අපිට තියෙන්නේ දෙවනගල උරුමය සහ පුරාවස්තු රැකිම පමණයි. අපි මේ ගැටලුව රටට කියු මාධ්‍ය ආයතන වලට ස්තුතිය පුද කරනවා. සමහර මාධ්‍ය මේ ගැටළු රටට කියන්න පැකිලෙනවා. අද සමහර මාධ්‍ය වල මේ ගැන කියාවි වෙන පැත්තක්.”

කෙසේ වෙතත් අද (24) දිනයේ මේ උණුසුම් තත්වය ඇති විමට තුඩු දුන් අරණායක ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී අජන්ත දිසානායක මහතා පසුගිය දිනක අරණායක ප‍්‍රාදේශිය සභාවේ පැවැති සභාවාරයකදි දෙවනගල පුදබිම සම්බන්ධයෙන් මාධ්‍ය සිදු කරගෙන යන කටයුත්ත අගය කරමින් එම ගැටළුව නිරාකරණයට ගන්නා උත්සාහය ගැන පැසසුමට ලත් කරමින් කතාවක් සිදුකල අයෙකි.

කෑගල්ල සමන් විජය බණ්ඩාර

*****************************************

කිරිදරු ජාවාරමේ සුලමුල මෙන්න

(25.12.2020 – aruna.lk)

මවු කුසේ සිටින දරුවන්ට මිලක් නියම කරමින් දරු ප්‍රසූතියෙන් පසු එම දරුවන් විකුණන ජාවාරමක සුලමුල සොයා ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පසුගියදා සමත් විය. ගැබිනි මවුවරුන්ට සත්කාර කරන සමාජ සත්කාර ආයතනයක් මුවාවෙන් මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වැටලීමෙන් පසුව ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් මාස ගණනක් තිස්සේ දක්ෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස එසේ කරුණු අනාවරණය විය.

මොරටුව කල්දේමුල්ල සී.පී. ද සිල්වා මාවතේ පිහිටුවා ඇති ‘නේෂන් ලංකා’ නමැති ආයතනය මගින් කරගෙන යන නීති විරෝධී ක්‍රියාවක් ගැන මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක කමිටුවේදී අනාවරණය වූයේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදාය. ඒ ආයතනය පවත්වාගෙන යන මාතලේ උකුවෙල පදිංචි ‘මංජුල ස්වදේශ් උක්වත්ත’ යන අය වෙත එම කමිටුවේදී චෝදනා එල්ල වූ අතර ඒ ගැබ් ගත් කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් මොහු විසින් කර ඇති මිනිස් ජාවාරම ගැනය. ඒ පිළිබඳ ගල්කිස්ස පොලිසියේ ප්‍රජා සංවර්ධන නිලධාරී සමන් පාලිත වීරසිංහ මහතා විසින් මෙකී සිද්ධිය පිළිබඳව වාර්තාවක් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් විමර්ශන ඇරඹූ අතර විමර්ශන මගින් කරුණු රැසක් අනාවරණය කර ගනිමින් ජාවාරමේ සුලමුල සොයා ගැනීමට පොලිසියට හැකි විය. මෙහිදි බිළිඳුන් දරුවන් නොමැති වෛද්‍යවරුන්, නීතිඥවරුන්, මෙන්ම ඉහළ තලයේ රැකියා කරන අයට විකුණා ඇතැයිද අනාවරණය වන්නේය.

මංජුල උක්වත්ත නමැත්තා 2019 අගෝස්තු 19 වනදා අන්දිරිස් සිල්වා මාවත මොරටුව ලිපිනයේ ලියාපදිංචි කර ඇති ‘සී.එස්.සී. ලංකා’ සමාගමට සම්බන්ධ කල්දේමුල්ල සී.පී. ද සිල්වා මාවතේ ගොඩනැගිල්ලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ ‘ගැබිනි මවුවරුන්ට නේවාසිකව සත්කාර කරන’ බව ඉඟි කරන සමාජ සේවාවක් පවත්වාගෙන යන මුවාවෙනි. සමාජ සත්කාරයක් වශයෙන් පවත්වාගෙන යන බව හඟවමින්, මෙම ස්ථානය ගැන මුහුණු පොත හරහා ප්‍රචාරය කරමින්, අතවරයට ලක්ව ගැබ් ගත් මවුවරුන්ට සේවා සලසන බව කියමින්, ඔවුන්ගේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් නැති මවුපියන් වෙත ලක්ෂ එක හමාරත් (1½) තුනත් (3) අතර මුදලකට දරුවන් අලෙවි කර ඇතැයි අනාවරණය විණි. එම ගොඩනැගිල්ල ලබාගෙන ඇත්තේ රුපියල් තිස්අට දහසක (38,000) මාසික කුලියකටය. ගොඩනැගිල්ලේ හිමිකාරිය වෙත රුපියල් 240,000 ක අත්තිකාරම් මුදලක්ද උක්වත්ත නමැත්තා විසින් ලබා දී තිබුණි.

කල්දේමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ස්ථානයේ ගැබිනි මවුවරුන් 16 දෙනකු සිට ඇති අතර තවත් ගැබිනි මවුවරුන් 22 දෙනකු පමණ පිරිසක් දරුවන් ප්‍රසූත කොට ඉවත්ව ගොස් ඇති බවත් අනාවරණය කර ගැනීමට ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශයේ හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ. ඒ අනුව අඟහරුවාදා (22) එම ස්ථානය වැටලූ පොලිසිය එම ස්ථානයේ සිටි ගැබිනි මවුවරුන් 16 දෙනා සිය භාරයට ගෙන ති​බේ.

ඔවුන් සන්තකයේ තිබූ ගැබිනි පත්‍ර සටහන් 16 ක්, සී.එස්.සී. ලාංඡනය සහිත දරුවන් හදාවඩා ගැනීමට කැමැත්ත පළකර අපේක්ෂාවෙන් සිටින මවුපියන්ගේ විස්තර ඇතුළත් අයැදුම්පත්‍ර 05 ක්, සී.එස්.සී. සමාගම ඇපයෙන් සීමිත සමාගමක් ලෙස කර ඇති ලියාපදිංචි සහතිකය. දරුවන් හදා වඩා ගැනීමට භාර ගත් මවුපියන්ගේ හා දරුවන්ගේ ස්වාභාවික මවුවරුන් 15 දෙනකුගේ විස්තර ඇතුළත් පෝරමයක්, සී.එස්.සී. ලාංඡනය සහිතව ෆේස්බුක් මගින් පළකළ දැන්වීම් පත්‍රිකාවක්, අන්තර්ජාලය ඔස්සේ ලබා ගත් සාමාජික අයැදුම්පත්‍ර 19 ක්, ‘සුමිත් කුමාර පොන්නම්පෙරුම’ යන අය විසින් මෙම ආයතනය වෙත පිරි නමා ඇති රුපියල් 170,000 ක් වටිනා ශීතකරණයේ ඉන්වොයිස් පත්‍රයක් මෙලෙස​ පොලිසිය භාරයට ගෙන තිබේ.

මංජුල උක්වත්ත නමැත්තා විසින් සී.එස්.සී. නමැති තම සමාගමේ නමින් කර ගෙනගිය මෙම ජාවාරමේ සියලු මෙහෙයුම් කටයුතු මුහුණු පොත හරහා කර තිබේ. අනියම් සම්බන්ධතා, ප්‍රේම සබඳතා හා බාහිර සබඳතා මගින් ලිංගික හැසිරීම්වල නිරතව ගැබ් ගන්නා කතුන් හා එම ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව සිටින පුද්ගලයන් අරමුණු කර ගනිමින් මොහු විසින් මෙම මුහුණු පොත ගිණුම නිර්මාණය කර ඇත.

විවාහ වී වසර 10 ක 20 ක වැනි කාලයක් දරුවන් නොමැතිව දරුවන් හදා වඩා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින අඹු සැමියන් මෙම ගිණුම මගින් සම්බන්ධ කර ගනිමින් මෙම ජාවාරම කර ගෙන ගොස් ඇතැයිද, දරුවන් ප්‍රසූත කරන කාන්තාවන්ට උපකාරයක් බව අඟවා, දරුවන් නොමැති එහෙත් දරුවන් හදා වඩා ගැනීමට අවශ්‍ය අයට ගිවිසුම් ගසමින් දරුවන් භාර දීමේ වගකීම මොහු විසින් කර ඇති බවත් මූලික විමර්ශන මගින් තහවුරු වී තිබේ.

කොවිඩ්-19 වයිරස ව්‍යාප්තිය මැද සමස්ත සමාජයේම නෙත නොගැටුණු මෙම මිනිස් ජාවාරම මෙහෙයවූ මහ මොළකරු පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් මෙන්ම ව්‍යාපාරික නඩයක්ම සිටින බවටද තොරතුරු ලැබේ. ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මේ සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කළද ඔහු ඇප මත මුදා හැරෙන්නේ පොලිසියේ නිසි කරුණු දැක්වීමක් නැතිව දැයි විමසිය යුතු කරුණකි.

පහත දැක්වෙන්නේ අත්අඩංගුවට ගත් මව්වරුන්ගේ අදහස්ය. (නම් ගම් මනඃකල්පිතයි) :

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි හිරුණි ප්‍රියදර්ශනී

2009 වර්ෂයේ නාඳුනන දුරකථන ඇමතුමක් මගින් යුද හමුදාවේ සේවය කරන හර්ෂණ නමැත්තා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඔහු එක්ක අඹු සැමියන් මෙන් ජීවත් වුණා. එයින් දරුවකු පිළිසිඳ ගත්තා. ඉන්පසු ඔහු එම දරුවා නැති කරන ලෙස කියා පැවසුවා. ඒ වන විට දරු ගැබට මාස 06 ක් වී තිබුණා. මුහුණුපොතෙන් මොරටුව ප්‍රදේශයේ ‘සී.එස්.සී. ලංකා’ ආයතනය ගැන දැනගෙන එහි ප්‍රධානී මංජුල උක්වත්ත එක්ක සම්බන්ධ වෙලා පසුගිය සැප්තැම්බර් 20 වනදා එම ස්ථානය වෙත පැමිණ එදින පටන් මේ දක්වාම එහි සිටියා. මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වී කළුබෝවිල රෝහලේ සායන සඳහා යොමු වුණා. මට අවශ්‍ය විටමින් හා පෝෂණ මෙම ආයතනය මගින් ලබා දෙනවා.

සෙවණගල දලුක්කැටිය ප්‍රදේශයේ පදිංචි නිදර්ශනී

2010 පියුමාල් නමැති කෙනා සමග විවාහ වුණා. අපට ගැහැනු දරුවෙක් ඉපදුණා. මගේ සැමියා රිය අනතුරකට ලක්ව මිය ගියා. පසුව මම පිළියන්දල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ආවා. එතැන් සිට ආයතනයේ සේවය කරන කැලුම් සඳරුවන් නමැත්තා එක්ක අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියා. ඔහු නිසා තමන් ගැබ් ගෙන ඇතැයි අනියම් සැමියාට පැවසුවත් ඔහු දරු ගැබ විනාශ කරගන්නැයි කිව්වා. සී.එස්.සී. ආයතනය ගැන මුහුණු පොතෙන් දැනගෙන පසුගිය අගෝස්තු 11 වැනිදා එම ආයතනයට පැමිණියා. අගෝස්තු 23 වනදා කළුබෝවිල රෝහලේ දී දරුවා ප්‍රසූත කළා. ඒ දක්වා සියලු වියදම් මංජුල උක්වත්ත දැරුවා. එසේ කළ දරුවා වෙනත් පවුලකට දීමට කැමැත්ත පළ කළා. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ යුවළකට නීතිඥවරියක ඉදිරියේ ලිපි අත්සන් කර දරුවා හදා වඩා ගැනීම සඳහා භාර දුන්නා. ඒ අය කොහේ ඉන්නවද කියලා දන්නෙ නැහැ. මම දරුවා හදාගන්න ගත්ත අයගෙන් කිසිදු මුදලක් ගත්තෙ නැහැ.

නයකරේවත්ත ගනේගම බද්දේගම පදිංචි මල්ෂා රසාංජලී

2018 නොවැම්බර් 06 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මාත් එක්ක අධ්‍යාපන ලබන සඳරුවන් නමැති අය එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගත්තා. ඔහු එක්ක එකට ජීවත් වුණා. පසුගිය මාර්තු මාසයේ මම ගැබ්ගත්තා. ඒ ගැන සඳරුවන්ට දැනුම් දුන්නාම ඔහු මොරටුව සී.එස්.සී. ආයතනය ගැන කිව්වා. මංජුල උක්වත්තට කතා කරල දරුවා ප්‍රසූත කිරීමෙන් පසු දරුවා හදා වඩා ගැනීම සඳහා වෙනත් යුවළකට ලබාදීමට ඔහු පොරොන්දු වුණා. අම්මා සමග හම්බන්තොට සහෝදරයාගේ නිවසේ සිට සායනවලට සහභාගි වී පසුගිය ජූලි 13 වනදා දරුවා ප්‍රසූත කළා. ජූලි 15 වනදා ප්‍රසූත කළ දරුවා එක්ක මොරටුව සී.එස්.සී. ආයතනයට ඇවිල්ලා මංජුල උක්වත්ත හමුවී මග්ගොන ප්‍රදේශයේ පදිංචි යුවළකට දරුවා හදා වඩා ගැනීමට බාර දුන්නා. පස්සේ මං කැම්පස් එකට ගියා.

බදුල්ලේ පදිංචි චන්දිමා මදුෂානි

මම මහියංගණය 06 කණුව ලිපිනයේ පදිංචි මිතුරියකගේ සහෝදරයාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තා. එයින් මම ගැබ් ගත්තා. පසුගිය අගෝස්තු 08 වනදා බදුල්ල පළාත් මහ රෝහලේදී ගැහැනු දරුවකු ප්‍රසූත කළා. පසුව මුහුණු පොත ඔස්සේ දැනගත් සී.එස්.සී. ආයතනයට ගිහින් මංජුල උක්වත්ත හමුවී ඔහු හඳුන්වා දුන් යුවළකට දරුවා භාර දුන්නා. එම යුවළගේ නිවසේ නතර වී තෙමසක් මවුකිරි ලබා දුන්නා. දරුවා භාර දීම වෙනුවෙන් මම මුදල් ගත්තේ නැහැ.

මාතර අකුරැස්ස පදිංචි මනෝහාරී

වැල්ලවාය ඇතිලිවැව පදිංචි මධුසංක යන අය එක්ක සම්බන්ධතාවක් ඇති කර ගත්තා. ඒ අනුව දරුවකු පිළිසිඳ ගත්තා. මේ ගැන මධුසංකට කී විට ඔහු දරු ගැබ විනාශ කරන්න කියා බල කළා. පස්සේ දන්න අක්ක කෙනකු මාර්ගයෙන් සී.එස්.සී. ආයතනය ගැන දැනගෙන මංජුල උක්වත්ත හමුවුණා. පසුගිය සැප්තැම්බර් 27 වනදා මේ ආයතනය වෙත එන කොට දරු ගැබට මාස 06 යි. ප්‍රසූත කිරීමට සිටින දරුවා හදා වඩා ගැනීමට වෙනත් පාර්ශ්වයකට දීමට එකඟ වුණා. මම තවමත් ක්ලින්ක් යනවා. මෙලෙස දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින හා දරුවන් ප්‍රසූත කළ කාන්තාවන් පොලිසිය හමුවේ කළ පාපොච්චාරණවලින් මංජුල උක්වත්ත නමැත්තාගේ නම සහ ඔහු විසින් පවත්වාගෙන යන මොරටුව සී.එස්.සී. ආයතනය ගැන තොරතුරු මතුවෙයි. මේ මවුවරුන්ට දරුවන් වෙනත් පාර්ශ්වයකට හදා වඩා ගැනීමට භාරදීම සමාජ සත්කාරයක ස්වරූපයෙන් කර ඇති මොහු දරුවන් හදා වඩා ගැනීමට භාර දෙන පාර්ශ්ව වෙතින් ලක්ෂ එක හමාරත් තුනත් අතර මුදලක් උපයා ගන්නා බව අනාවරණය වී ඇත.

එෆ්. අස්ලම්

*****************************************

සෞඛ්‍ය ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන්න – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

(26.12.2020 – 17:24 +0530 – lankaleadnews.com)

“සෞඛ්‍යයක් දැන් නෑ. වැඩ කරන්නෙ නෑ මිනිස්සු. කළකිරීමෙන් ඉන්නෙ. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. අපේ සංජීව මුණසිංහ මහත්තයා බොහොම දක්ෂම වෛද්‍යවරයෙක්, ඒ දක්ෂ වෛද්‍යවරයාට සුදුසු තැනක් දීලා මේ සෞඛ්‍ය ලේකම් තනතුරට වෙන කෙනෙක් දාලා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විනාශ නොකර ගෙනියන්න”

මෙසේ පවසන වත්මන් රජයේ ප්‍රබල ආධාරකාර භික්ෂුවක් වූ අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩි දුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධූරයට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන ලෙසයි.

“හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් පැල හිටවනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යකමත්, පරිපාලනයත්, තැනට ඔබින දේ කරන්නත් දැනගෙන සිටින එහෙම පුද්ගලයෙක් පැල හිටවන්න දානවා නම් ඔහුගේ පුහුණු මිනිස් ශ්‍රමය අපතේ හැරීමක් මේ කරලා තිබෙන්නෙ.”

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ (25) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් : “ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට කවුරු උපදෙස් දුන්නාද අපි දන්නෙ නෑ. නැවත වාරයක්, අනිල් ජාසිංහ මහත්තයා පැල හිටවීම අත්හැර දාලා මේ කොවිඩ් පැලේ ඉවත් කරන්න එතුමාගෙන් උපදෙස් ගන්න කියන එකයි අපි කියන්නෙ” යනුවෙන් අවධාරනය කළේය ෴

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

*****************************************

ආණ්ඩුව රැක ගැනීමට ධනාත්මක විවේචනයක් තිබිය යුතුයි – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(26.12.2020 – 15:54 +0530 – lankaleadnews.com)

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටින්නේ; මහජන ඡන්දයෙන් පත්වෙන තමන් ඇතුළු මහජන නියෝජිතයන්ගේ ආයතන සහ අමාත්‍ය ධූර වගකීම් තීරණය කරන්නේ එයට පිටින් සිටින අධිපතිවාදී නිළධාරීන් කිහිපදෙනකු විසින් බවයි.

වත්මන් ආණ්ඩුවට ප්‍රශස්ති කියමින් ගියහොත් අගාධයට වැටෙන තුරුම දන්නේ නැතැයි ද, 2015 ආන්ඩුවේ ද සිදුවූයේ මෙයම බවත් ආණ්ඩුව වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී ෴

*****************************************

අත්අඩංගුවට ගත් විශාලතම කසල තේ තොගය ශ්‍රී ලංකා තේ මණ්ඩළයේ ඉහල නිළධාරීන් නිදහස් කරලා

(26.12.2020 – 14:00 +0530 – lankaleadnews.com)

අපනයණය සඳහා කසල තේ වලට විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත් අඩංගුවට ගත් තේ තොගය සහ එම කර්මාන්ත ශාලාවේ කළමනාකරුවන් ශ්‍රී ලංකා තේ මණ්ඩළයේ ඉහල නිළධාරීන්ගේ බලපෑම මත නිදහස් කර ඇතැයි වාර්තාවේ.

කසල තේ කිලෝ එක් ලක්ෂ තිස් හත් දහසකට (1,37,000) කර්මාත ශාලාව තුළම විෂ රසායනික ද්‍රව්‍ය කලවම් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය්ය බළකාය විසින් මෙම කර්මාත ශලාව සහ තේ තොගය අත්අඩංගුවට ගෙන තිබුනේ මෙයට මාස දෙකකට (2) පෙරදීය.

මෙවැනි වංචනික ක්‍රියාවක් සිදුකොට අසු වුවහොත් අදාල කර්මාන්ත ශලාව මාස 04 ක කාළයකට වසා තබා තේ තොගය ද විනාශ කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩළය විසින් සිදු කළ යුතුව තිබුනද තේ තොගය ද නිදහස් කරමින් කර්මාන්ත ශාලාව මාස 02 කින් තේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමට ද අවසර දී තිබේ.

ඉතිහාසය පුරාවටම මෙසේ වංචනික ක්‍රියාවන්ට හසුවන සෑම කර්මාන්ත ශාලාවක්ම මාස 04 කට සීල් තබන අතර මෙම ගම්පොල, වේලම්බඩ, නිල්දලුකන්ද තේ කර්මාන්ත ශාලාව කිසිදු නිසි විමර්ශණයකින් තොරව දඩ මුදළකට පමණක් යටත්ව හැකි ඉක්මනින් විවෘත කිරීමට පමණක් නොව තේ තොගය ද විනාශ කරනවා වෙනුවට අයිතිකරුවන්ටම නැවත ලබාදීමට තේ මණ්ඩළය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සෝඩියම් කිලෝ 235 ක්, ෆෙරස් කිලෝ 19 ක්, සීනි පැණි බෝතල් 138 ක් සහ හඳුනා නොගත් දුඹුරු කුඩු කිලෝ 05 ක් සමඟ මෙතෙක් මෙසේ අත්අඩංගුවට ගත් විශාලතම කසල තේ තොගය ද නැවත එම කර්මාන්ත ශාලාවටම ලබා දීමෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩළය 1957 අංක 51 දරණ තේ පාළන පනත ද උල්ලංඝණය කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *