මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන

මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන

*********************************************

මිනී භූමදානය කිරීමෙන් ඕජස් මගින් ජල මුලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතු විය හැකියි – මහාචාර්ය චන්ද්‍රා ජයසේන

(23.12.2020 – 19:28 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාධිත මළ සිරුරු භූමදාන කිරීම නිසා භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කරන්නේ ඩෙන්මාකයේ කොවිඩ් ආසාදිත මුගටියන්ගේ භූමදාන කළ මළ සිරුර ගොඩ ගෙන ආදාහනය කර ඇත්තේ මේ හේතුව නිසා බවය.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමග වෛරසයට ගොඳුරු වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීමට එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තීරණය ක‍ළේ විශේෂඥ කමිටුවක නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම කොවිඩ් මෘතදේහ ආදාහනය කළ යුතු බවට නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එහිදී ද විශේෂඥයින් කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමෙන් සිදුවිය හැකි හානිය විද්‍යාත්මක පදනමක සිට කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ම බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කළේය.

එවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට හැකිදැයි යළි සලකා බලන ලෙස විශේෂඥ කමිටුවෙන් ඉල්ලීමක් කළේය.

එම විශේෂඥයින්ගේ තීරණය ලැබෙනතුරු කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ශිතාගාරවල තැන්පත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපදෙස් දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අද (23) වෛරසවේදය පිළිබද විශේෂඥයින් පමණක් සෞඛ්‍ය අමාත්‍යංශයට රැස්වී සාකච්ඡා කළේය.

මේ අතර කොවිඩ් ආසාදනයෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුර ආදාහනය නොකර කරාපිටිය රෝහලේ ශිතාගාරයක තැන්පත් කිරීමට විරෝධය පලකරමින් කරාපිටිය අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත සියලු සේවකයින් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ සියලු වෛද්‍යවරුන් අද (23) සිය රාජකාරීවලින් ඉවත් විය.

ඔවුන් ඒ බව ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ කටයුතු කරන ලෙසත් ඒ පිළිබදව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ සමග රාජකාරී කටයුතුවලින් ඉවත් වී සිටි සෞඛ්‍ය සේවකයින් සහ වෛද්‍යවරුන් යළි රාජකාරී කටයුතුවලට එළැඹුනු බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

මෙරට තුළ කොවිඩ් ආසාදිත මෘතදේහ භුමදානය කිරීමට උත්සහ දරන පසුබිමක ඩෙන්මාර්ක රජය කොවිඩ් වෛරස ව්‍යාප්තියට හේතු වූ මුගටියන් මිලියන 15 ක් පමණ ඝාතනය කර භූමදානය කළ අතර එම සතුන්ගේ මළසිරුරු පසුගියදා යළි ගොඩගනු ලැබුවේ භූගත ජලයට කොවිඩ් වෛරසය එක්වන බවට පරික්ෂණවලින් තහවුරු වූ පසුබිමකය.

එම සතුන්ගේ මළසිරුරු යළි පුළුස්සා දැමීමට ඩෙන්මාර්ක රජය පසුගියදා කටයුතු කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් කෝවිඩ් – 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයුම් කමිටුවේ, සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කර සිටියේ, “වෛරසවේදීන්ගේ මතය හා ජල භූ විද්‍යාත්මක මතයයි වෙනස් වෙන්න පුළුවන්. වෛරසවේදීන් තහවුරු කරනවා නම් තාම විද්‍යාත්මක සාක්ෂි නැහැ මෙම වෛරසය මියගිය දේහයක මෙන්න මේ කාලසීමාව පමණයි කියන එකට. භූගත ජලය දිනක අපි දුෂණය කළහොත් ඊට පස්සේ අපිට එය පිරිපහදු කිරීමේ කිසිම හැකියාවක් නෑ.” යනුවෙනි.

කැනඩාවේ සිට wattsapp තාක්ෂණය ඔස්සේ ‘අද දෙරණ’ට අදහස් දැක්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන මහතා දැක්වුයේ මෙවන් අදහසකි :

“මිනී භූමදානය කිරීමෙන් පසු නරක්වේගෙන එනකොට ඒකෙන් ඇතිවන ඕජස්වලින් බොහෝ දුරට ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතුවෙන්න පුළුවන්. වෛරසය නිරන්තරයෙන් වෙනස්වන බව අප තේරුම් අරන් ඉන්නේ. අපිට ඉස්සරහට වෙන තත්ත්වය පුරෝකථනය කරන්න බැහැ. ජල භූවිද්‍යාඥයෙක් හැටියට අපිට පේනවා මේක ජල මූලාශ්‍රවලට එකතුවෙන්න පුළුවන් කියලා. ජලයට එකතුවෙලා තියෙන ද්‍රව්‍යයක් ආපසු ශරීරයට එකතුවෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර ආරක්ෂාකර ගැනීම අපිට වැදගත්වෙනවා මහජනතාවගේ ආරක්ෂාව බලද්දි. සම්පූර්ණයෙන්ම පිරිපහදු කරපු ජලය ලැබෙන කැනඩාව වගේ රටක් ගත්තම, ඒ වගේ රටවල තත්ත්වයයි ශ්‍රී ලංකාවේ තත්ත්වයයි සංසන්දය කිරීම වැරදි ක්‍රියාවක්. කිසියම් සැකයක් ඇතිවිට සැකය දුරුවෙනකම් මහජනතාවගේ ආරක්ෂාව බැලිය යුතුයි.”

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජල කළමනාකරණය පිළිබඳ මහාචාර්ය මංගල චතුරංග ද සිල්වා මහතා දැක්වුයේ මවන් අදහසකි :

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා වළ දැමීම හා පිළිස්සීම යන කාරණය රඳා පවතින්නේ, අදාළ රටේ තත්ත්වයන්ට අනුව බව. මෙහිදී වළ දැමීමේ දී සම්මත බොඩි බෑග් එකක් භාවිත කරනවා. එය භූගත ජලමට්ටමට ආසන්නව සිදුනොකළ යුතුබව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.‘මළ සිරුරු දිරාපත් වීමේ දී මළ සිරුරු තුළ පවතින වෛරසය යම්කිසි කාලයකට පෙර ජලයට එකතු නොවේ කියන එක අපට නිගමනය කරන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ අපිට තියෙන හොඳම විකල්පය තමයි පිළිස්සීම.’”

++++++++++++++++++++++

මිනිස් වර්ගයාට තර්ජනාත්මක වෛරස ප්‍රභේද ගැන අනතුරු ඇඟවීමක්

(23.12.2020 – 16:31 +0530 – sinhala.adaderana.lk)

මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වියහැකි රෝග ඇතිකරන වෛරස විශේෂ, ඉදිරියේදී තව තවත් මතුවිය හැකිබව මහාචාර්ය ‘යොන් යාක්ස් මුයෙඹේ ටාම්ෆම්’ පවසයි.

මධ්‍යම අප්‍රිකානු රටවලට තර්ජනයක් වී ඇති ඉබෝලා වෛරසය සොයාගනු ලැබුවේ මහාචාර්ය ටාම්ෆම් විසිනි. ඒ, 1976 දීය. එතැන් සිට මිනිසාට අහිතකර රෝග මතුකළ හැකි වෛරස ප්‍රභේද සොයා ඔහු විසින් විවිධ පර්යේෂණ සිදුකරයි.

මේ වනවිට කොංගෝ රාජ්‍යයේ අගනගරය වන කින්ශාසා හි පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා පැවසුවේ, “සතුන්ගෙන් තවත් බොහෝ රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැකියි,” යනුවෙනි.

එච්.අයි.වී., චිම්පන්සි විශේෂයකින් ඇති වී මේ වනවිට මිනිස් වර්ගයා භීතියට පත්කර තිබේ. එසේම සාර්ස්, මර්ස්, සහ කොවිඩ්-19 ඒ ආකාරයට සත්ත්ව විශේෂවලින් සම්ප්‍රේෂණය වූ රෝග ලෙස හඳුනාගෙන ඇත.

කොවිඩ්-19 චීනයේ වූහාන් නම් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වී ඇතැයි සඳහන් වේ.

සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ පළමු ආසාදනය ලෙස සැලකෙන්නේ, 1901 දී හඳුනාගත් කහ උණ ය. එතැන් සිට මේ දක්වා මිනිසුන් ට රෝග ඇතිකරන වෛරස වර්ග 200 ක් පමණ හඳුනාගෙන ඇත.

විශේෂඥයින් පවසන්නේ පරිසර විනාශය සහ ‘වන සත්ත්ව විශේෂ’ වෙළෙඳාම් කිරීම හේතුවෙන් ඒ ආකාරයට වෛරස විශේෂ මතුවන බවය.

ස්වභාවික වනාන්තර විනාශ වනවිට ‘විශාල සත්ත්ව විශේෂ’ ද එම කලාපවලින් තුරන් වී යයි. නමුත් මීයන්, වවුලන් සහ කෘමි විශේෂ බේරෙයි. එවැනි සත්ත්ව විශේෂ මිනිසා සමගම එම පරිසරයේ ජීවත් වෙයි. එවැනි සත්ත්ව විශේෂ හේතුවෙන් විවිධ රෝග මිනිසාට බෝවන බව පිළිගත් මතය වේ.

දැනට සිදුවන වේගයෙන්, වනාන්තර විනාශය සහ ජනගහන වර්ධනය සිදුවුවහොත් මෙම ශත වර්ෂය නිමවීමට පෙර ලෝකයේ වැසි වනාන්තර බහුතරයක් විනාශ වියහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ හේතුවෙන් සත්ත්ව විශේෂ සහ වෛරස මිනිස් වර්ගයා සමග ගැටෙනු ඇත. එම ඝට්ටනය බොහෝදුරට භයංකාර වනු ඇත ෴

තරුණ ප්‍රජාවට තර්ජනයක් වියහැකි නව කොරෝනා ප්‍රභේදයක්

(23.12.2020 – 14:18 +0530 – sinhala.adaderana.lk)

දෙසැම්බර් මාසයේ ගෙවුණු කාලසීමාවේ දී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60 ක්ම, එරට පැතිරයන නව කොවිඩ් වෛරසය වැළඳුණු පිරිස් බව හඳුනාගෙන තිබේ.

මේ අතර දකුණු අප්‍රිකාව තුළද මෙතෙක් හඳුනානොගත් නව කොවිඩ්කාරක වෛරස ප්‍රභේදයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

VUI-20212/01 නමින් නව කොවිඩ් කාරක වෛරස ප්‍රභේදයක් පළමුවරට පසුගියදා එක්සත් රාජධානියෙන් හඳුනාගැණුණි.

ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කළ සාර්ස් කොව් ටූ වෛරසය විපර්යාසයන් 23 කට ලක්ව බිහිව ඇති මේ නව වෛරස ප්‍රභේදය එහි මූලික වෛරසයට වඩා වැඩි ව්‍යාප්ති ප්‍රවණතාවක් ද දක්වයි.

මේ නව වෛරස කාණ්ඩය හඳුනාගැණුනේ සියලු කොවිඩ් සීමා මධ්‍යයේ පවා එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ ආසාදිතයින් වාර්තාවීම සමීපව නිරීක්ෂණය කිරීමේදී ය.

විද්‍යාඥයින්ගේ මතයට අනුව වෛරසයේ පැතිරීමේ හැකියාව සියයට 70 ක් තරම් ඉහළ ප්‍රතිශයකි.

මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එරට ප්‍රධාන විද්‍යා උපදේශක පැට්‍රික් වැලන්ස් පැවසුවේ, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පටන් නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානිය තුළ සංසරණය වෙමින් තිබී ඇති බවය.

දෙසැම්බර් මාසයේ ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 60 ක්ම නව ප්‍රභේදයට අයත් වෛරසයට ගොඳුරුවූවන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් රාජධානියේ තත්ත්වයට සමගාමීව දකුණු අප්‍රිකාවේ ද නව ජාන කේතයක් සහිත වෛරසයක් පැතිරයන බවට අනාවරණය වී තිබේ.

රටේ ප්‍රාන්ත කිහිපයක පැතිරයන මේ නව ප්‍රභේදය, VUI-20212/01 ප්‍රභේදයට වඩාත් සමාන නමුත් වෙනස් ලක්ෂණ සහිතය.

එමෙන්ම මේ කාණ්ඩය ඉතා පහසුවෙන් තරුණ ප්‍රජාව අතර පැතිර යන බවත් වාර්තා වේ ෴

23-12-2020

++++++++++++++++++++++

කොරෝනා බෙහෙතට මොකද උනේ – අමිල වෙදමහතා කියන කතාව හිතාගන්නත් බෑ (23.12.2020)

https://www.youtube.com/watch?v=kkq0Ej6wuLg
Sudaa Creation :
මම මඟ ඇරලා නෑ. වෙදා ලෙඩාව දෙන්නෙ නෑ.
කිසිම මඟ හැරීමක් නෑ. මොකද මම කියන දේවල් වලට මම වගකියන්න ඕන. වගකීමෙන් තොර මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ. ඉදිරියේදී බලාගන්න පුළුවන්. මම සියලු දේ හෙළි කරනවා. (24.12.2020)

++++++++++++++++++++

කොවිඩ් ආසාදිත මල සිරුරු අන්තවාදීන් අතට පත්වුවහොත් සිදුවන විනාශය අතිශය බරපතලයි – නීතිඥ චරිත සිරිවර්ධන

(24.12.2020 – 11:35 +0530 – lankaleadnews.com)

කොවිඩ්-19 වසංගතයට ගොදුරු වී මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ගොනු කර තිබූ පෙත්සම්වලට එරෙහිව නීතිඥ චරිත සිරිවර්ධන මහතා ලිඛිත දේශන ගොනු කරණු ලැබීය. එම ලිඛිත දේශනය මගින් සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු තුළ අනිවාර්යෙන්ම කොවිඩ් වෛරසය අඩංගු බැවින් ඒවා අකී‍්‍රය වන දිනයක් හෝ කාලවකවානුවක් සඳහන් කර නොමැති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020.09.04 වැනිදා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින්ම ඒත්තු ගන්වා ඇත්හේ කොවිඩ් ආසාදනය වූ මළ සිරුරු වලින් කොවිඞ් වෛරසය පැතිර යා හැකි බව යැයි නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු සහ පී‍්‍රති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ නීතිඥ චරිත සිරිවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද 2020.04.11 දිනැති අංක 2170 දරන ගැසට් පත‍්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් විය. එහිදී නීතිඥවරයා සිය ලිඛිත දේශනය මගින් දැඩිව අවධාරණය කරණු ලැබුවේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට යම් පාර්ශ්වයක් ප‍්‍රයත්න දරන සැමවිටම රටේ බහුතර ජනතාව තමන්ට එමගින් කොවිඩ් වැළඳේ යැයි භීතියට පත්ව නොසන්සුන්තාවට පත් වන බව යි.

නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනය මගින් මෙම මාරාන්තික වෛරසය නවතම වෛරසයක් වන බැවින් එහි හැසිරීම සහ බෝවීමේ රටාව සම්බන්ධයෙන් දැනට නිශ්චිතව නිගමනය කිරීමට නොහැකි බැවින් ඉන් ආරක්ෂා වීමට උචිත යැයි හැෙඟන ආදාහනය වැනි වැඩිමනත් පියවර ගැනීම වඩාත් හිතකාමී බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින් මනාව පැහැදිලි වන්නේ යැයි ද අවධාරණය කර තිබේ.

අන්තවාදීන්ගේ පාස්කු ප‍්‍රහාරයකට මෑතකදී ගොදුරු වූ රටක් ලෙස එම මළ සිරුරු භූමදානයෙන් පසු අන්තවාදීන් අතට පත්වුවහොත් ඔවුන් ඒවා උපයෝගි කර ගනිමින් කොරෝනා වෛරසය පහසුවෙන්ම මුළු මහත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් එවැනි මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම ජාතික ආරක්ෂාවට පවා බලවත් තර්ජනයක් වන බව තම ලිඛිත දේශනය මගින් පෙන්වාදුන් නීතිඥ චරිත සිරිවර්ධන මහතා එකී මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප‍්‍රශංසාවට ලක්කරණු ලැබීය ෴

++++++++++++++++++++

(24.12.2020 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 තුළ මුව ආවරණ පැළඳ නොසිටි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 35 දෙතෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1740 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(24.12.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරොනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග හැටන් – වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබෙනවා.

පසුගිය දා එම කම්හලෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ආශ්‍රිතයින් 60 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවේ.

ඒ අනුව තවත් සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ (23) තහවුරු වී තිබෙනවා.

මේ වන විට අදාල ඇඟලුම් කම්හලේ සේවකයින් 200 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කේ.කාමදේවන් මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++++++

(24.12.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala)

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

උත්සව සමය ආරම්භවීමත් සමඟ මෙලෙස ප්‍රචාර දියත් වුවද මේ වන තෙක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ තීරණයක් ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, මාස දෙකකට (2) අධික කාලයක් හුදකලා කර තිබූ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය අද (24) අලුයම හයේ (06:00) සිට හුදකලා බවින් නිදහස් කෙරුණු අතර, ත්‍රිකුණාමලය – අබයපුරම් ග්‍රාමනිලධාරි වසම සහ ජින්නානගර් ප්‍රදේශය හුදකලා කිරීමටයි පියවර ගැනුනේ.

මේ අතර, අධිකරණ නියෝගයක් මත කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ කොරෝනා ආසාදනය වී මිය ගිය පුද්ගලයාගේ සිරුර අද (24) ආදාහනය කෙරුණා.

ඒ, ගාල්ල – දඩල්ල ආදාහනාගාරයේදීයි.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම කටයුතු සිදුකෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (23) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 580 දෙනාගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 228ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 108 ක් සොයාගැනුනා.

ඊට මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් 49 දෙනෙකුද අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 68 ක් වාර්තාවන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (23) ආසාදිතයන් 18 ක් වාර්තාවී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) සොයාගැනුනු අතර, එම සංඛ්‍යාව 99 ක්. අද (24) දිනය වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,596 ක් වනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග හැටන් – වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවක් වසා දමා තිබෙනවා.

මාතර – වැලිපිටියෙන් සහ හක්මන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු ඊයේ (23) හඳුනාගෙන තිබූ අතර ඒ හේතුවෙන් ඔවුන් මාතර – කොටවිල සහ හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

මග්ගොන ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තිබූ ප්‍රදේශයක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ආසාදිතයෙකු බවට තහවුරු වූ පුද්ගලයෙකු සොයා සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ ග්‍රාම නිලධාරීවරයා එම නිවසට ගොස් ඇති අතර අදාළ පුද්ගලයා ඒ වන විටත් මුහුදු වෙරළේ මාදැල් අදින ස්ථානයක සිට තිබෙනවා.

පසුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, උත්සව සමය ආරම්භවීමත් සමඟ බස්නාහිර පළාතෙන් පිටවන අයගේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීම ස්ථාන 11 කදී ආරම්භ කෙරුණු අතර, එම පරීක්ෂණවලින් 17 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ, නුගේගොඩ කොට්ඨාසයේ හංවැල්ල, පානදුර කොට්ඨාසයේ කැටකැඩොල්ල, ගම්පහ කොට්ඨාසයේ හැලගල, ගිරිඋල්ල, සමනලබැද්ද, මීගමුව කොට්ඨාසයේ තොප්පුව, බඩල්ගම, කළුතර කොට්ඨාසයේ බෙන්තර, තීනියාවල, අවිත්තාව, සහ කලවාන යන ස්ථානවලදී සිදුකරන ලද පරීක්ෂණවලින්.

මේ අතර, දිවයිනේ බන්ධනාගාර කිහිපයක රදවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කොරෝනා තර්ජනයට ලක්වීමේ ඉඩකඩ පවතින බැවින් ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවට යැවීමට අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය පියවර ගෙන තිබෙනවා.

එහි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එමගින් දක්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින පිරිසෙන් සියයට 90 ක් පමණ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට මෙලෙස බන්ධනාගාර ගත කර ඇති බවයි.

මේ අතර, ගතවු පැය 24 තුළ මුව ආවරණ පැළඳ නොසිටි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 35 දෙතෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1740 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

++++++++++++++++++++++

(24.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගැනීම සඳහා ජාන විද්‍යාත්මක විශ්ලේෂන සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

එවැනි රෝගියෙකු මෙරටින් හඳුනාගතහොත් විශේෂ ආරක්ෂිත ක්‍රමවේද යටතේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සැළසුම් කර ඇති බවයි කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

මේ අතර නව වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා රටවල් රැසක් එරටට සිදුකරන ගුවන් ගමන් සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකාවද ඊයේ (23) අලුයම දෙකේ (02:00) සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් ලන්ඩන් සිට මෙරටට පැමිණි අවසන් මගී කණ්ඩායම පෙරේදා (22) දහවල් 01:30 ට කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

එහිදී යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් මගීන් 26 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ගුවන් තොටුපලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නොමැති බවයි ගුවන් තොටුපල සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 21 වනදාද ලන්ඩනයේ සිට 23 දෙනෙකු මෙරටට පැමිණ තිබුණා.

එම කණ්ඩායම තුළින්ද කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නැහැ.

කෙසේ වෙතත් මෙම සියලුදෙනා දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර, එම නිරෝධායන කාලයෙන් අනතුරුව යළිත් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතයි.

ඉන් අනතුරුවද තවත් දින 14 ක කාලයක් නිවාස නිරෝධායනය සඳහා ඔවුන් යොමු කරන බවයි ගුවන් තොටුපල සෞඛ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

මේ අතර රටවල් රැසක් බ්‍රිතාන්‍යයට සිදුකරන ගුවන් ගමන් අත්හිටුවීමත් සමඟ යුරෝපයේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේද සැළකිය යුතු අඩුවීමක් අද (24) දිනය තුළ පෙන්නුම් කර තිබෙනවා.

ගුවන් තොටුපල කාර්යභාර නිලධාරී ප්‍රකාශ කළේ අද (24) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ ගුවන් යානා පහකින් (5) මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 99 දෙනෙකු පමණක් බවයි.

එමෙන්ම තවත් ගුවන් මගීන් 470 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලින් ජපානයේ නරිටා, දෝහා, සිඩ්නි සහ මෙල්බන් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

======================================

RMV ජාවාරමක් ගැන CID පරීක්ෂණ

(23.12.2020 – 18:49 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලිපිලේඛන සකසා නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර ඇති වාහන 700 ක් ගැන තොරතුරු මේ වන විට සොයාගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ පිළිබඳ අදාළ පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදී ඇති බව ද මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ, “මේකෙදී ඉතාම පැහැදිළිව නොයෙකුත් ව්‍යාජ ලේඛන ඇත්ත වශයෙන්ම ව්‍යාජ ලේඛන කියන්නත් බෑ පරිඝනක පද්ධතියට ඇතුළුවෙලා හරිලේඛන හදලා තියෙනවා ව්‍යාජ විදියට. නියමිත වාහන නොවන වාහන ඇතුළත් කරලා තියෙනවා,” යනුවෙනි.

“හැබැයි මේවා හොයාගන්න පුළුවන්. මේ වගේ රථ වාහන යම් ප්‍රමාණයක් අපි භාරදීලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අංක සහිතව. මේ ව්‍යාජ ලියාපදිංචි කරන අය කරන්නේ වාහන අරගෙන හදලා දෙපාර්තමේන්තුවේ සමහර අයත් එක්ක එකතුවෙලා වෙන පාර්ශ්වයකට විකුණනවා. එතකොට අනෙක් පාර්ශ්වය දෙපාර්තමේන්තුව හරහා තමන්ගේ නමට මේක පැවරුනහම හොර වාහනයක් කියලා හිතන්නේ නෑ. බහුතරයක් මේ වාහන දැන් තියෙන්නේ මුල් අයිතිකාරයා ළඟ නොවෙයි. එතකොට මේ වන්දිය ගෙවන්න වෙන්නේ මේ රථය තියෙන අයට”.

එම පරීක්ෂණවලදී එම වාහන මිලදීගත් පුද්ගලයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු විමසීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් අතර වැරදි කරන නිලධාරීන්ද සිටින බවත් ඔවුන්ට ද ස්ථානමාරු ලබාදීමට ක්‍රියාකළ බව ඔහු පැවසීය.

“පසුගිය කාලසීමාව තුළ අංශ කිහිපයක් ඔස්සේ අපි පරීක්ෂණ පැවැත්වුවා. එහිදී එම ස්ථානය යම් දූෂණ සහ වංචා සිදුවන ස්ථානයක් යන්න තේරුම් ගියා. එක ප්‍රසිද්ධ රහසක්. මේක නිවැරදී කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා අපට වගකීම පැවරුවේ. පහුගිය වර්ෂයක් පුරා අපි ඒ ගැන කටයුතු කරගෙන ගියා. අපි බහුතරයක් නිලධාරීන්ට දැනුම්දීම් කෙරුවා නිවැරදි විය යුතුයි කියන කාරණය. නිවැරදි වුණු තැනුත් තියෙනවා නොවුණු තැනුත් තියෙනවා. නොවුණු තැන් පිළිබඳව අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා”

***************************************

කෑමට පෙර බහුජාතික බූවල්ලාගේ ‘කක්කකෝලා’ බීපියව් ! – ඩෙරණි තී.වී. සංගීතේ (24.12.2020)

***************************************

(24.12.2020 – 09:27 +0530 – hirunews.lk/sinhala)

අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ගොඩගසා ඇති බව වාර්තාවනවා.

මෙලෙස ගොඩගසා ඇත්තේ මියගිය මත්ස්‍යයන් බවයි සඳහන් වන්නේ.

මෙම මත්ස්‍යයන් සුනඛයන් හා කපුටන් රැගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එම මත්ස්‍යයන් ඉවත්කිරීම සඳහා තිරුකොවිල් ප්‍රාදේශිය සභාවේ සභාපති හා ලේකම්වරයා පියවර ගනිමින් සිටින බවයි සඳහන් වන්නේ.

මත්ස්‍යයන් කිලෝග්‍රෑම් 1000 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ගොඩගසා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ.

***************************************

(24.12.2020 – 09:57 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දහසේ (1000) ව්‍යාජ මුදල් නෝට්ටු විස්සක් (20) සමඟ කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු බියගම පොලීසිය අත්ඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම – පිටිපන ප්‍රදේශයේදී ඊයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදා ගත් යන්ත්‍රයක් ද සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් මේ වනවිටත් මුදල් වශයෙන් හුවමාරු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන් ෴

***************************************

(24.12.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2021) පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

‘ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්’ තේමාව යටතේ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව නිදහස් දින සැමරුම පැවැත්වෙන බවයි රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ.

ලබන වසරේ නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 4,325 ක්, නාවික හමුදා නිලධාරීන් 868 ක්, ගුවන් හමුදා නිලධාරීන් 945 ක්, පොලිස් නිලධාරීන් 1,382 ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 ක් මෙන්ම ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු එක්වනු ඇති ෴

***************************************

(24.12.2020 – 12:33 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින දෙක (2) තුළ පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද දිනය (24) තුළත් මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, කලාවැව, රාජාංගණය සහ පරාක්‍රම සමුද්‍රය යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් (2), විවෘතව පවතින අතර, මේ හේතුවෙන් ගල්ලෑල්ල ප්‍රදේශයේ පහත්බිම් තවදුරටත් යටවිය හැකි බවයි එම ජලාශය භාර වාරි ඉංජිනේරුවරයා සඳහන් කළේ.

එමෙන්ම, රාජාංගණය සහ කලාවැවේ ද වාන් දොරටු දෙක (2) බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.

පොළොන්නරුව – නව නගරය – පල්ලියවත්ත ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවීම නිසා එහි ජනතාව දැඩි අපසුතාවට පත්ව තිබුණා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වර්ෂාවේ අඩුවීමක් අපේක්ෂා කළ ද ස්ථාන කිහිපයක අදත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.

සෝමාවතිය පූජා භූමිය වෙත ගමන්ගන්නා මාර්ගය ජලයෙන් යට වීමත් සමඟ භික්ෂූන් වහන්සේ සහ වන්දනාකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

සෝමාවතියේ දළඳා පූජාව වෙනුවෙන් රැගෙන ආ බඩු බාහිරාදිය ද විහාරස්ථානය දක්වාප්‍රවාහනය කිරීමට සිදු වූයේ බෝට්ටුවකින්.

නැගෙනහිර පළාතේද ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා.

***************************************

(24.12.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රදේශයේ මාර්ගයක් අසළ පොහොර උරයක බහා තිබූ කාන්තා මළ සිරුරක් ප්‍රදේශවාසීන් අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

49 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කොට හරත්තමඩම ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගෙනවිත් දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගොල්ල – කලගොල්ලාගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී ඇයට අතවර කර ඝාතනය කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කළා.

පසුව කාන්තාවගේ සිරුර මාර්ගය අසළට ගෙනවිත් දමා ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *