කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්

*********************************************

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක්

(23.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් පෙන්නුම් කෙරෙනවා.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (22) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 428 දෙනාගෙන් 101 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

පෙරේදා (21) දිනයේදී ද කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ කොරෝනා ආසාදිතයන් 101 ක් පමණයි.

කෙසේ වෙතත්, පසුගිය දිනවලට සාපේක්ෂව රට තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේ ද අඩුවීමක් ගත වූ දින දෙක තුළ පෙන්නුම් කෙරෙනවා.

පසුගිය 19 වනදා පී.සී.ආර්. පරීක්ෂණ 15,961 ක් සහ 20 වනදා මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 17,233 ක් සිදුකර තිබෙනවා.

එහෙත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික නිවේදනයේ දැක්වුණේ පෙරේදා (21) දිනයේදී පී.සී.ආර්. පරික්ෂණ 13,860 ක් සහ ඊයේ (22) දිනය තුළ පරික්ෂණ 11,672 ක් සිදුකර ඇති බවයි.

රෝගීන් අඩුවෙන් වාර්තා වීමට පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාව බලපා ඇත්ද යන්න සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අද (23) දිනය තුළ ජනතාවට නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ.

මාස කිහිපයකට පසු ඊයේ (22) දිනයේ කළුතර දිස්ත්‍රික්කයෙන් යළිත් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 193 ක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 42 නෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ කොරෝනා පොකුරෙන් වාර්තා වූ 34,377 ක් වන ආසාදිතයන්ගෙන් 25,000 කට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දැමීමට පියවර ගත්තා. පානදුර මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මොරමුදලි මහතා සඳහන් කළේ එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

මේ අතර, කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වූ බවට දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර ඊයේ (22) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (23) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ පැණිය පිළිබද සායනික වාර්තා පිළිබඳ දැනුවත් කිරීමක් කළ යුතු බවයි.

මේ අතර, කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය අරමුදල් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වලින් ඉල්ලීමක් කරනවා. ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ (22) පැවති රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

අද (23) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතරක (24) කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි සිටි විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයන් 277 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් යානා 12 කින් මෙම පිරිස පැමිණ ඇති අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටව ගිය බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරිවරිය ප්‍රකාශ කළේ. එසේම ශ්‍රී ලංකාවට එංගලන්තයේ සිට පැමිණි අවසන් ගුවන් යානය ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපලේ සිට ඊයේ (22) දහවල් 01:30 ට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු සිට තිබෙනවා.

+++++++++++++++++++++++

(23.12.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙනවා.

පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

එම කර්මාන්තශාලාවේ කාන්තාවකට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ අනෙකුත් සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් පසුවයි 80 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ ෴

++++++++++++++++++++++

(23.12.2020 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තාවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු ඒ අනුව හඳුනාගත් බවයි.

එහි පර්යේෂණ මධස්ථානයක සිටින හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට සහ නඩත්තු නිලධාරීන් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා චිලී රාජ්‍යය වෙත පිටත්කර ඇති බව සඳහන්.

මේ හේතුවෙන් එහි සියලුම පර්යේෂණ ව්‍යාපෘති නවතා දැමීමටද කටයුතු කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(23.12.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද (23) පෙරවරුවේ නිහඬ විරෝධතාවයන් දෙකක් (2) සංවිධානය කර තිබුණා.

ඉන් එක් විරෝධතාවක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ අතර, ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.

මේ, එම නිහඬ විරෝධතාවයෙන් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, කබීර් හෂීම් සහ මනෝ ගනේෂන් අදහස් දක්වා සිටියා.

එමෙන්ම, භූමදානයට අවසර ලබාදීමට විරෝධය පළ කරමින් ‘අපේ ජන බල පක්ෂය’ අනෙක් විරෝධතාව සංවිධානය කර තිබූ අතර, ඊට එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් එක්ව සිටියා.

මේ අතර භූමදානයට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව අද (23) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රැස්වුණා. කෙසේ වෙතත්, එහිදී ගනු ලැබූ තීරණය පිළිබද මෙතෙක් නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.

+++++++++++++++++++++

(23.12.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වල හිඟ විදුලිබිල්පත් ගෙවීම සඳහා ලබාදී තිබූ කාලය ලබන වසර අවසානය දක්වා දීර්ඝ කර තිබෙනවා.

කොරෝනා වසංගතයත් සමඟ මීට පෙර මේ වසරේ හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා 2021 වසරේ සැප්තැම්බර් දක්වා සහන කාලයක් ලබාදී තිබූ අතර එම කාලය ලබන වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ වසරක කාලය තුළ සමාන වාරිකවලින් හිඟ බිල්පත් පියවීමට හැකි බව එම අමාත්‍යාංශය කියා සිටියා ෴

+++++++++++++++++++++++

(23.12.2020 – 14:56 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 582 ක් අද (23) දිනයේදීත් සුවය ලබා රෝහල් වලින් පිටව යෑමත් සමඟ සමස්ත සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 30,000 ට ආසන්න වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 29,882 ක් ලෙස මේ වන විට දැක්වෙන බවයි.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 7994 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අද (23) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38,059 ක් ෴

++++++++++++++++++++++

(23.12.2020 – 15:40 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රීපාද වන්දනාවේ ආරම්භක සති කීපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවදානම් තත්වයක් නිසා මෙම ඉල්ලීම සිදු කරන බවයි එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන 29 වනදාට යෙදෙන උඳුවප් පෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතයි.

====================================

(23.12.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල තීන්දු කළා.

බුවනෙක අළුවිහාරේ, එස් තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ දින තුනක් (3) අදාළ පෙත්සම විභාගයට ගැනුනු අතර, අද (23) සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති බුවනෙක අළුවිහාරේ මහතා දැනුම් දුන්නේ පෙත්සම් සියල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව ඇතිව ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.

2019 වසරේ උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්වූ සිසුන් 42 කු මෙම පෙත්සම් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා එහි සභාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

තමන් ගණිතය, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා විෂයන් යටතේ පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත්වූ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා නිකුත් කළ කඩඉම් ලකුණු, නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවයි පෙත්සමෙන් දක්වා තිබුණේ.

මේ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන ලෙසත් විෂය නිර්දේශ දෙක සඳහා සමාන හෝ සාධාරණ කඩඉම් ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසයි පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ ෴

***************************************

(23.12.2020 – 11:44 +0530 – hirunews.lk/sinhala)

බිළිඳුන් තිස්දෙනෙකු (30) මුදලට අලෙවි කරමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට මාතලේ උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම ජාවාරම්කරු පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් බිළිඳුන් රුපියල් ලක්ෂ එකහමාරත් (1½) තුනත් (3) අතර මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

අතවරයට ලක්ව ගැබිණියන් වන කාන්තාවන්ගේ සහ දරුවන් හදා වඩා ගැනීමට නොහැකි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ගැබිණියන්ට සහන සලසන බව කියමින් අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇති මෙම සැකකරු අලුත උපන් බිලිඳුන් තෙවන පාර්ශවයකට විකුණා මිනිස් ජාවාරමක් සිදු කර ඇති බවටයි අනාවරණය වුණේ.

මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශණ සිදු කරන අතර එහි නිලධාරින් පසුගිය 08 වනදා මොහු විසින් පවත්වාගෙන ගිය මොරටුව ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන්ට නවතැන් දුන් ස්ථානවලට ගොස් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

එහි නිලධාරිණියක සඳහන් කළේ එම අවස්ථාවේ ගැබිණි කාන්තාවන් 12 දෙනෙකු, බිළිඳුන් 02 කු සහ දරුවන් ලද මව්වරුන් 5 දෙනෙකු එහි සිටි බවයි.

ඒ අතර මානසික ආබාධ සහිත ගැබිණි මව්වරුන් දෙදෙනෙකු (2) ද සිටි බවද ඇය සඳහන් කළා.

එම සිද්ධියට නීතිඥවරුන් දෙදෙනෙකු (2) ද ආධාර අනුබල දී ඇති බව විමර්ශණවලදී හෙලිව ඇති බවයි එම නිලධාරිණිය කියා සිටියේ.

එසේම සැකකරු අදාළ ජාවාරම පවත්වාගෙන ගිය ස්ථානයේ ගබ්සා කිරීම්ද සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව ඇය සඳහන් කළා.

දරුවන් ලබා ගැනීම සඳහා ඇතැම් දෙමාපියන් මුදල් වලට අමතරව රූපවාහිනී යන්ත්‍ර සහ ශීතකරණ වැනි උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයද මෙම ස්ථානයට ලබාදී ඇති බව හෙළිව තිබෙනවා.

2020 මැයි මාසයේ සිට සැකකරු මෙම කටයුත්ත සිදු කර ඇති අතර මොහුගෙන් දරුවන් ලබාගත් දෙමාපියන් ද ගෙන්වා ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණිය කියා සිටියේ. සිද්ධියට අදාල නඩුව ජනවාරි මස 04 වනදා යළි කැදවීමට නියමිතයි ෴

බේබි ෆාම් වේසිපුත්‍රයා

***************************************

(23.12.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා ඉගෙනීම් කටයුතු සිදුකිරීමට දුරකථන සංඥා සොයා කිලෝමීටර ගණන් පයින් ඇවිද යන පාසල් සිසු දරුවන් පිරිසක් පිළිබඳව බලංගොඩ – මොලමුර – වදවුල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන මෙම දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීම සඳහා රාත්‍රී කාලයේදී පවා කඳු ප්‍රදේශයකට නැගීමට සිදුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් පාසල් දරු දැරියන් 200 ක් පමණ දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් සිදුකරන අවස්ථාවේදී ‘වට්ස්ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන සිසුන්ගේ ජංගම දුරකථන වෙත එවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක දරුවන් 50 දෙනෙකුට පමණ මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන ලැබී ඇති අතර, අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් ෴

***************************************

(23.12.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර තුළ ඇතිවන කැරළි නැවැත්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද (23) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනෙනවා.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ගැටූම්කාරී තත්ත්වයක් ඇතිවුණේ පසුගිය මස 29 වැනිදායි.

ඒහිදී රැඳවියන් 11 දෙනෙකු ජීවත්ක්ෂයට පත්වූ අතර බන්ධානාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබුවා.

අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය 18 වැනිදා අධිකරනය නියෝග කළේ, සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 7 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද (23) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට විභාග වෙමින් පවතිනවා.

මේ අතර අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්චාවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරවල කැරළි ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරන බවයි.

***************************************

(23.12.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවත් රැඳවියන් 4 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද (23) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදියි. ඔවුන්ගේ මෘත ශරීර භූමදාන කිරීම හෝ ආදහනය කිරීම පිළිබඳ තීන්දුව ලබන 30 වනදා ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර රැඳවියන් හතරදෙනෙකුගේ (4) මරණ පරික්ෂණ අවසන්වීමෙන් අනතුරුව අදාළ දේහ ආදාහනය කළ අතර, මහර සිද්ධියට අදාළව තවත් රැඳවියන් තුන්දෙනෙකුගේ (3) මෘතදේහවල පශ්චාත් මරණ පරික්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය මස 29 වනදා මහර බන්ධනාගාර සිද්ධියෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පසුව අනාවරණ වූයේ ඉන් අටදෙනෙකුට (8) කොරෝනා ආසාදනය වී ඇති බවයි ෴

***************************************

(23.12.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සම්බන්ධයෙන් පියවර ගනු ලබන්නේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටු දෙකෙහි (2) වාර්තා අනුව බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සහ ආයෝජන සැලසුස මේ දිනවල දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබද මතුව ඇති ගැටලුකාරී ත්ත්තවය පිළිබඳ වරාය අධිකාරියේ සභාපතිවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කළා.

***************************************

(23.12.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇතැම් කර්මාන්ත ශාලාවලින් සිදුවෙන මුදාහැරීම් හේතුවෙන් පාරිසරික ගැටළුවක් මතුව තිබෙනවා.

එම අපද්‍රව්‍ය ඇල මාර්ග ඔස්සේ කැළණි ගගට මෙන්ම, සීතාවක ගගට ද මුසුවීමේ අවධානමක්ද පවතිනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයයි මේ.

මේ වනවිට මෙහි කර්මාන්ත ශාලා 26 ක් පමණ ක්‍රියාත්මක වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මෙහි ඇති ඇතැම් කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන රසායනික මෙන්ම අනෙකුත් අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදාහරින බවයි.

අපනයන සැකසුම් කලාපයෙන් ටිපර් රථවලින් මෙලෙස රැගෙන යන අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස මුදාහරින්නේ මෙලෙසින්.

මෙලෙස මහා පරිමානයෙන් අපද්‍රව්‍ය මුදාහරින ලද විවෘත භූමි දක්නට ලැබෙන්නේ මේ ආකාරයටයි.

අපනයන සැකසුම් කලාපයට අයත් කදු සහිත උස් ස්ථානයකට මෙම අපද්‍රව්‍ය බැහැර කෙරෙන බැවින් වැසි දිනවලදී මේවා කැළණි හා සීතාවක ගංගාවන්ට මුසුවීමේ අවදානමක්ද පවතිනවා.

අක්කර ගණනාවක පරිසරය මේ වනවිටත් දැඩි ලෙස දුෂණය වී අවසන් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළුවලට අතවනන මේ අක්‍රමිකතාව පිළිබදව වගකිව යුතු බලධාරීන්ගේ වහා ක්‍රියාත්මක විය යුතු බව අපගේ විශ්වාසයයි.

***************************************

(23.12.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මරුවා පෙනි පෙනී යාමට සිදුවූ ගම්මාන කිහිපයක් පිළිබඳව මීගහකිවුල සහ රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් වාර්තා වනවා.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැවටගොල්ල, උඳුගොඩ, බලගොල්ල ඇතුළු ගම්මානවල ජනතාවට ලොග්ගල්ලා ඔයේ දැවටගොල්ල තොටුපොළ හරහා ගමන් කිරීමට ස්ථිර පාලමක් නොමැති වීම ඊට ප්‍රධාන හේතුවයි.

මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින ප්‍රධාන පාර්ශ්වය වන්නේ පාසල් සිසුන්.

මෙම ජනතාව පෙන්වා දෙන්නේ, දැවටගොල්ල තොටුපොළ හරහා ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙසට පැවති රජයන් කිහිපයකටම දැනුම් දුන්නද මෙතෙක් තම ඉල්ලීම ඉටු වී නොමැති බවයි.

රටක සංවර්ධනයට අධිවේගී මාර්ග ඇතුළු විධිමත් මාර්ග පද්ධතියක් අවශ්‍ය නමුත්, මෙවැනි දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලීමද බලධාරීන් සතු වගකීමක්.

දැවටගොල්ල තොටුපොළට ස්ථිර පාලමක් හිමිවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(23.12.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මාරවිල නගරයේ සිදුකරන ලද මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වටලා තිබෙනවා.

එහි හිමිකරු බව පවසන පුද්ගලයෙකු ඊයේ (22) සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, නිෂ්පාදන සඳහා හා ඇසුරුම් කිරීමට යොදාගත් උපකරණ රැසක් මෙන්ම වයින් මිලිලීටර 40,000 ක්ද නිලධාරින් භාරයට ගැනුනා ෴

***************************************

(23.12.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘අංගොඩ ලොක්කා’ට අයත් මිලිමීටර් 09 වර්ගයේ විදේශ රටක නිෂ්පාදිත නවීන ගිනි අවි දෙකක් (2) අංගොඩ, සැළලිහිණි මාවත ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (23) සොයාගෙන තිබෙනවා.

ඊට යොදන උණ්ඩ 14 ක් සහ මැගසින් 4 ක් ද මෙහිදී හමුවී ඇති අතර, ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේ රැදී සිටියදී මෙම ගිනි අවි සහ උණ්ඩ එවා ඇත්තේ මෙරටට පැමිණි පසු මෙරටට පැමිණි පසු භාවිතා කිරීම සඳහා බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මෙම ඉඩමට යාබදව පිහිටි ඉඩම අංගොඩ ලොක්කා විසින් බලහත්කාරයෙන් ගොඩ කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

මෙම ගිනි අවි ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

***************************************

(23.12.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.

ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ (22) කම්කරු අමාත්‍යාංශයේදී රැස්වූ අතර එහිදී විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

සේවකයෙකුට වයස අවුරුදු 55 දී සිය සේවය අවසන් කොට ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. තැන්පත් ලබා ගැනීමට අවශ්‍ය නම් හෝ අවුරුදු 60 දක්වාම සේවය කිරීමට අවශ්‍ය නම් හෝ ඒ සඳහා ද අයිතිය පවතින බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත්, එම හමුවට එක්වූ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් කියා සිටියේ ප්‍රතිපත්තියක් ලෙස ඊට විරුද්ධ නොමැති නමුත්, ඇතැම් ක්ෂේත්‍රවල අවුරුදු 55 න් පසු සේවකයින් රඳවා තබා ගැනීමේදී ප්‍රායෝගික ගැටළු මතු වන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *