බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ

*********************************************

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලටත් හසු නොවේ

(22.12.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ඇතැම් ජානමය කොටස් පී.සී.ආර්. පරීක්ෂණවලට පවා හසු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

මෙම වෛරස ප්‍රභේදය මේ වනවිට ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකට ව්‍යාප්ත වී තිබෙනවා.

මේ හේතුවෙන් 40 කට අධික රටවල් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් අත්හිටුවීමටද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

++++++++++++++++++++++++

(22.12.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටවීම හැකිතාක් සීමා කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, පිට පළාත්වලින් මේ වන විට රෝගීන් වාර්තා වෙමින් පවතින්නේ ද බස්නාහිර පළාතේ සිට කොරෝනා ආසාදිත රෝගීන් හා ආශ්‍රිතයන් එම ප්‍රදේශවලට සංචරණය කිරීම හේතුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++++++

(22.12.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන 47 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළා.

කටුනායක – සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ද ආසාදිතයන් 4 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 3 දෙනෙකුම බන්ධනාගාරවලින් මෑත කාලයේ නිදහස් වී පැමිණි පුද්ගලයින් බව සදහන් ෴

+++++++++++++++++++++++

(22.12.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අදත් (22) ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාදිතයන් අතර ඇහැලියගොඩ- මැණික් වෙළදපළේ මැණික් ව්‍යාපාරිකයෙකු සහ බදුවත්ත ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කරන කාන්තාවක් ද වනවා.

මේ අතර කළුතර – කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් 3 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද වාර්තා වුණා.

එමෙන්ම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් රැගත් බස් රථයක සිටි පිරිසක් මාර්ගයට කෙළ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යයට තොරතුරු සැපයූ බණ්ඩාරගම හිරු මාධ්‍යවේදියාට නීතිඥවරයෙකු යැයි කියා ගන්නා අයෙකු තර්ජනාත්මකව බැන වැදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප මාධ්‍යවේදියා පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම, බේරුවල ප්‍රාදේශීය සභාව අද (22) උණුසුම් වුණේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේයි ෴

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 167 ක් වාර්තා වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා ෴

මෙරට තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහල ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

මුස්ලිම් ආගමික අයිතියට ගරු කල යුතුයි . මුස්ලිම් කොවිඩ් මරණ ගැටලුව නිසා සහරන්ලා 1000 ක් නිර්මාණය වේවි … – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් අනතුරු ඇඟවීමක්

(23.12.2020 – am.lk)

පසුගියදා පැවතී මාධ්‍ය හමුවකදී මුස්ලිම් කොවිඩ් මරණ ගැටලුව පිලිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදහස් පල කලා. මෙහිදී උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම ගැටලුවට ආණ්ඩුවෙන් වහාම පිළිතුරක් ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් 83 දෙමල ජාතිවාදී ගැටලුව මෙන් වාර්ගික ගැටළුවක් නිර්මාණය වීමේ ඉඩකඩ වැඩි බව ප්‍රකාශ කොට සිටියා. මුස්ලිම් ආගමික අයිතියට ගරු කල යුතු බවත් එසේ නොමැති වුවහොත් තවතවත් සහරන්ලා 1000 ක් බිහිවිය හැකි බවත් මෙහිදී ප්‍රකාශ උනා. මෙම ගැටලුව මගින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සහ විදෙස් බලවේග අයුතු ප්‍රයෝජන ගත හැකි බවටද උන්වහන්සේ අදහස් පල කලා.

+++++++++++++++++++++

(23.12.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 02 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගියා.

මියගිය එක් අයෙකු අවුරුදු 15 ක් වයසැති පිරිමි දරුවෙක්.

ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව අයි.ඩී.එච්. රෝහලට මාරු කර කෙරුණු අතර එහිදී මෙම දරුවා මියගොස් ඇත්තේ ඊයේ දිනයේයි.

‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වය, ලේ විෂවී සහ උග්‍ර වූ ලියුකේමියා තත්ත්වය මරණයට හේතු වී තිබෙනවා.

එමෙන්ම කොළඹ 7 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72 ක් වයසැති කාන්තාවක් පසුගිය 20 වනදා නිවසේදී මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ‘කොවිඩ් නියුමෝනියා’ තත්ත්වයයි.

මේ අතර ඊයේ (22) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 428 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 38,000 ඉක්මවා තිබෙනවා. එය දැක්වෙන්නේ 38,059 ක් ලෙසටයි.

අවසන් වරට වාර්තාවූ ආසාදිතයන්ගෙන් 392 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර බන්ධනාගාර පොකුරෙන් 35 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි එක් අයෙකු කොරෝනා රෝගීන් බවට හඳුනා ගැණුනා.

තවදුරටත් ආසාදිතයින් 8576 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 29,300 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 15,684 දෙනෙකු වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,111 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිත 2,524 දෙනෙකු වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම කොළඹ මහ නගර සීමාවට අයත් මහල් නිවාස සංකීර්ණ කිහිපයක් තවදුරටත් හුදකලා කර තිබෙනවා.

එලෙස හුදකලා කර ඇති ‘ලක් සඳ’ නිවාස සංකීර්ණයේ ජීවත් වන ජනතාව ඊයේ (22) රාත්‍රියේ විරෝධතාවක නිරතවූයේ තමන් කඩිනමින් හුදකලා බවින් ඉවත් කරන ලෙසට රජයට බල කරමින්.

මේ අතර කොරෝනා ආසාදිතයෙකු වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී වැලිකන්ද නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

මොහු නාරොහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම රෝගියා නැවතත් වැලිකන්ද රෝහලට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අවදානමක් නොමැති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සම්බන්දයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා නිල නිවේදනයක් නිකුත් කළද උපකාරක පන්ති ආරම්භ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය හෙළා දැක තිබෙනවා.

ලක්ෂ තුනකට (3) අධික ගුරුවරුන් මෙන්ම ලක්ෂ තිහකට (30) අධික දරු පරපුරද මෙමඟින් අසාධාරණයට ලක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර විරු අභිමන් කොවිඩ්-19 රක්ෂණාවරණයේ දෙවන (2) අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙම රක්ෂණාවරණයේ පළමු (1) අදියර ක්‍රියාත්මක කරනු ලැබුවා.

කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙම රක්ෂණ ක්‍රමයෙන් ආවරණය සැපයෙනවා.

දෙවන (2) අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයින් මෙම රක්ෂණාවරණය සඳහා දායක කරගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ්-19 නිසා ජීවිතය අහිමිවීමකදී විරු අභිමන් රක්ෂණාවරණයෙන් රුපියල් ලක්ෂයක් (100,000) ප්‍රදානය කෙරෙනවා. රෝහල් ගතවීමේදී ලැබෙන මුදල රුපියල් දහසක් (1000). (දිනකට ?)

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90 ක උපරිමයකට යටත්ව රුපියල් 2,000 ක දීමනාවක් (දිනකට ?) මෙමඟින් පිරිනැමෙනවා.

මේ අතර ඉදිරියේදී කොළඹ ජාතික රෝහල තුළිනුත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි පෞද්ගලික ආයතනයක් විසින් කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (22) පී.සී.ආර්. යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා ෴

+++++++++++++++++++++

(23.12.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමිදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද (23) රැස්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා උපදෙස් ලබා දී තිබුණේ කඩිනමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන ලෙසටයි.

මේ අතර කොරෝනා ආසාදිත දේහ භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට ඇතමුන් පසුගියදා මත පළ කර තිබුණා.

කෙසේ වෙතත් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්විය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවයි ෴

++++++++++++++++++++

(23.12.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ගතවු පැය 24 ක කාළය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටි සහා සමාජ දුරස්ථභාවය තබා නොගත් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්තොම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංගණනය කළ 1705 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

==========================================

(22.12.2020 – 19:45 +0530 – hirunews.lk/sinhala)

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ගේ ගැටළු කඩිනමින් විසඳීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම තැන්පත්කරුවන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත සහ ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ රදගුරු හිමිපාණන් වන දුෂාන්ත ලක්ෂ්මන් රොද්‍රිගෝ ඇතුලු පාර්ශව කිහිපයක් වෙත අද (22) සන්දේශ භාර දුන්නා.

තැන්පතුකරුවන් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව හේතුවෙන් දහසකට අධික පිරිසක් මේ වනවිටත් පීඩාවට පත්ව ඇති බවයි.

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් අද (22), කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරතවූ අතර, ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය, මහ බැංකු අධිපතිවරයාගේ බිරිඳ මෙන්ම රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ බිරිඳ වෙත සන්දේශ භාරදී තිබෙනවා. එසේම ද ෆිනෑන්ස් තැන්පත්කරුවන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද හමුවුණා ෴

***************************************

(22.12.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දේශපාලන වශයෙන් පළිගැනීමේ චේතනාවෙන් ව්‍යාජ ලිපි ගොනු සකසා සිරගත කළ සියලු දෙනාට සාධාරණය ඉටු විය යුතු බව පූජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින් අවධාරණය කරනවා.

***************************************

(22.12.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala)

කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක (2) බැගින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් අවට ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙන්නේ ෴

***************************************

(23.12.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවන බවත් එහි සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති වෙයි.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෴

***************************************

එළවළු ගොවියාට හොඳ කලක්

(22.12.2020 – 21:58 +0530 – sinhala.adaderana.lk)

එළවළු වෙළෙඳාමේ අයථා වාසි ලබන අතරමැදියන්ගේ මාෆියාව නතර කිරීම සඳහා, ගොවියාගෙන් වෙළෙන්දාට සෘජුව එළවළු බෙදාහැරීමේ රජයේ වැඩපිළිවෙළ අද (22) ආරම්භ කර තිබේ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී එය ඇරඹිණි.

අතරමැදියන්ගේ සූරාකෑම් නිසා එළවළු මිල ඉහළ යාම දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව මුහුණ දුන් ගැටලුවකි.

මිල ඉහළ යාමේ අපහසුතාව පාරිභෝගිකයන් මත පැටවෙද්දී එහි වාසිය ගොවි ප්‍රජාවට හෝ වෙළෙන්දාට හිමි නොවූ අතර එහි වාසිය ලැබුණේ ගොවියාත් පාරිභෝගිකයාත් සූරා කන අතරමැදියන් පිරිසකට ය.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව මෙම විශේෂ වැඩපිළිවෙළ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිබිම්වලින් එළවළු මිලදී ගෙන සෘජුවම ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳුන්ට අලෙවි කරනු ලබයි.

ඒ සඳහා අයකරන්නේ ප්‍රවාහන ගාස්තු පමණය.

එම එළවළු සිල්ලර නම් කිලෝවකින් රුපියල් 20 කුත් තොග වෙළෙඳාමේදී කිලෝවකින් රුපියල් 10 ක් ලෙසට ලාභයක් පවත්වාගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය.

***************************************

මහනුවර දරුවන්ට ළඟ ම පාසලේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

(22.12.2020 – 18:06 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ළඟ ම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදයක් මහනුවරින් ආරම්භ කර තිබේ.

එම ක්‍රමවේදය මැණික්දිවෙල මහ විද්‍යාලයේ මේ වන විටත් ක්‍රියාත්මක වේ.

එය නිරීක්ෂණය කිරීමට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසුවේ, ඉදිරි සතියේ දී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කැඳවා එම ක්‍රමවේදය අනෙක් ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන බවය.

මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර ප්‍රායෝගිකව සිදුකළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව තම නිවස ළඟ ම ඇති පාසලට ගොස් ඕනෑම දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවේ.

***************************************

මත්තල ගුවන්තොටුපොළ සේවා කේන්ද්‍රස්ථානයක් කිරීමට අවධානය

(22.12.2020 – 12:06 +0530 – sinhala.adaderana.lk)

මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍ර ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ අතර‍, කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමට පෙර මත්තල ගුවන්තොටුපොළ සක්‍රීය ගුවන්තොටුපොළක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපොළ තුළ සිදුවූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15,039 ක් වන බවත් ගුවන් යානා 396 ක් මත්තලට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව විදේශීකය ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කෘෂිකාර්මික වගාකරුවන් හඳුනාගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කරගැනීම, භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

නව ගුවන් සමාගම් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මත්තල ගුවන්තොටුපොළ ගාස්තු නිදහස් කිරීමට රජය කටයුතු කළේය.

මේ අතර, ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු දෙසැම්බර් 26 වන දා සිට 2021 ජනවාරි 19 වන දා දක්වා කාලය තුළ නිදහස් කර තිබේ ෴

***************************************

(23.12.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව එළඹෙන 30 වනදා භාරදීමට නියමිතයි.

මේ අතර බන්ධනාගරය තුළ ඇතිවූ ගැටුම සැළසුම් කිරීම සඳහා අටදෙනෙකු (8) මූලිකත්වය ගෙන ඇති බවට මේ වනවිටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ඝාතනය කෙරුණු ‘සමයං’ නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකුද මෙම ගැටුම සැළසුම් කිරීමට මූලික වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් හතරදෙනෙකුගේ (4) සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඒවා පසුගියදා ආදහනය කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවත් රැඳවියන් දෙදෙනෙකුගේ (2) මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බවයි. ඒ අනුව තවත් රැඳවියන් පස්දෙනෙකුගේ (5) සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි ෴

***************************************

(23.12.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

දැනට හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාස 302 ක පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

දැනට දිවයින පුරා හදිසි මරණ පරීක්ෂණ කොට්ඨාස 824 ක් ක්‍රියාත්මකයි.

පවතින තත්වයත් සමඟ හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ආරක්ෂක ඇඳුම් කට්ටල ලබාදීම හා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට එම අමාත්‍යාංශයේදී ඊයේ සාකච්ඡාවක් පැවති අතර එහිදීයි විෂය භාර අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදීම සිදු කර ඇත්තේ.

ඒ අනුව අදාළ පුරප්පාඩු ගැසට් පත්‍රයේ පළ කොට කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම් සිදු කරනු ඇති.

මේ අතර සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්.

යාපා ඇතුලු එහි නිලධාරීන් සමගද අධිකරණ අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ ලබාගනිමින් දිවයින පුරා සමථ මණ්ඩල ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

සමථ මණ්ඩලය දැනට රැස්වන්නේ මසකට දින හතරක් වන අතර එය හය දක්වා වැඩි කිරීමටද තීරණය කර තිබෙනවා.

මූල්‍ය ආරවුල් සම්බන්ධයෙන් වන විශේෂ සමථ මණ්ඩල කඩිනමින් ස්ථාපිත කිරීමටද තීරණය කළ බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

දැනට පිහිටුවා ඇති සමථ මණ්ඩල සංඛ්‍යාව 329 ක්. පසුගිය වසර තුළ සාකච්ඡා කර ඇති මුළු ආරවුල් සංඛ්‍යාව එක් ලක්ෂ 55,975 ක් වන අතර, ඉන් විසඳුම් ලබාදී ඇති ආරවුල් සංඛ්‍යාව එක්ලක්ෂ 9,141 ක් ෴

***************************************

(23.12.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

‘මධ්‍යම අධිවේගී මාර්ගය’ ඉදිකිරීමේදී දැනට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට ආවේණික ශාකයක් ලෙස හඳුනාගෙන ඇති ‘කෲඩියා සෙලනිකා’ නැමති ශාකය අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදී ඇති බව පරිසර සංවිධාන අනාවරණ කරනවා.

එම සංවිධාන පෙන්වා දෙන්නේ 2018 වසරේ කරන ලද පරිසර අධ්‍යයනයන් මගින් මෙම ශාකය හඳුනාගනු ලැබූ අතර, පසුව අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී ශාඛය එම ස්ථානයේ ආරක්ෂා වන පරිදි ඉදිකිරීම් සිදු කිරීමට යෝජනා වූ බවයි.

කෙසේ වෙතත් පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අදාළ ආවේනික ශාකය ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබුණා.

ඊයේ (22) අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන (1) අදියරයේ මධ්‍ය රේඛාවේ දකුණු පසට බරව පිහිටා ඇති ‘කෲඩියා සෙලනිකා’ නැමති මෙම ශාඛය හානියක් නොවන පරිදි ඉවත් කර සුදුසු පරිසර පද්ධතියක ප්‍රතිෂ්ඨාපනය කිරීමට විරුද්ධත්වයක් නොමැති බවයි.

එසේම එම කාර්ය සඳහා පෞද්ගලික සමාගමක් වෙත අවසර ලබාදීම සම්බන්ධයෙන්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් දක්වා තිබුණා.

එමඟින් දක්වා ඇත්තේ සුදුසු විද්වත් මණ්ඩලයක අනුමැතිය යටතේ අදාළ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.

කෙසේ වෙතත් පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ යෝජිත මෙම පෞද්ගලික සමාගම මුතුරාජවෙල පරිසර පද්ධතිය ආශ්‍රිතව ව්‍යාපෘති 72 ක් සිදුකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති සමාගමක් බවයි.

එවැනි සමාගමකට මෙවැනි කාර්යයක් පැවරීමේ තීරණයට එකඟ විය නොහැකි බවද එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළා ෴

***************************************

(23.12.2020 – 09:17 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන – කෙතේවැව – මොණරතැන්න ප්‍රදේශයේ වෙල් යායක අතරමංවී සිටි වන අලි පැටවෙකු මොටගොනෑව වනජීවී කාර්යාලයට රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (22) දහවල් 12 ට පමණ මෙම අලි පැටවා ගම්වාසීන් දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට, පොලීසියට සහ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙනු ලැබුවා.

අලි පැටවා අනුරාධපුර – පණ්ඩලුගම උද්‍යානයට භාරදීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *