මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට

මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට

*********************************************

මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට

(22.12.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක වූ මුදලට බිළිඳුන් අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරම මෙහෙයවූ පුද්ගලයා මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් ළමා හා කාන්තා කර්යාංශය සිදුකළ වැටලීමකදියි.

( බේබි ෆාම් බල්ලා)

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, අතවරයට සහ විවිධ හේතූන් මත ගැබ්ගත් කාන්තාවන් අන්තර්ජාලයේ පළ කරන දැන්වීම් මගින් ගෙන්වාගෙන ගිවිසුම්ගත වී දරුවන් බිහිකළ පසු තුන්වන පාර්ශවයකට මොහු මුදලට අලෙවි කර ඇති බවයි.

එලෙස දරුවන් තිස්දෙනෙකු (30) පමණ 47 හැවිරිදි මෙම සැකකරු විසින් අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

+++++++++++

ළමයින් විකුණගෙන කෑ ෆේස්බුක් කෙරුමා අල්ලයි

(23.12.2020 – mawbima.lk)

විවිධ හේතූන් මත අතවරයට පත්ව අසරණ වූ ගැබිනි මවුවරුන් නොයෙකුත් ගිවිසුම්වලට කොටුකොට එම මවුවරුන්ට දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තවත් මවුවරුන්ට විකිණීමේ මහ පරිමාණ ජාවාරමක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අනාවරණය කරගෙන ඇත.

යූ ටියුබ් නාළිකාවක හා මුහුණුපොතේ හා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මෙම මවුවරුන් හඳුනාගෙන කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මොරටුව, කල්දෙමුල්ල ප්‍රදේශයේ සී.පී. ද සිල්වා මාවතේ හා ඊට නුදුරු දහම් මාවතේ ස්ථාන දෙකක (2) මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර දින කිහිපයක් තිස්සේ ළමා හා කාන්තා කාර්යාංශය කරන ලද සූක්‍ෂ්ම මෙහෙයුමකින් පසු මෙම ස්ථාන දෙක වැටලීමට හැකිවූ බව ළමා හා කාන්තා කාර්යාංශය කීය.

පසුගිය මාස හයක (6) කාලය තුළ ජාවාරම්කරු මෙම ස්ථාන දෙක තුළ ළමයින් 43 දෙනකු තවත් පාර්ශ්වවලට විකුණා ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය පැවැසුවාය. ඊට අමතරව දරුවන් මිලදී ගැනීම සඳහා එම ස්ථානවලට පැමිණ සිටි තවත් කාන්තාවන් 12 දෙනකුද විමර්ශනයේදී හඳුනා ගත් බව ඇය කීවාය.

මෙම කාන්තාවන් රුපියල් එක්ලක්‍ෂ හැත්තෑ දහසත් (1,70,000), එක්ලක්‍ෂ පනස් දහසත් (1,50,000) වැනි මුදල් ජාවාරම්කරුවන්ට ගෙවා ඇති අතර ඒ හැම මුදලකටම අමතරව දරුවකු ලබා ගැනීම සඳහා මව හා ජාවාරම්කරු අතර ගිවිසුමක් සැකසෙන අතර එම ගිවිසුමට අදාළ නීතිඥවරයකුගේ සහාය ලබාගැනීමට තවත් රුපියල් පනස් හත්දහසක් (57,000) ගෙවිය යුතු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවය සඳහන් කළාය.

‘දරුවන් නැති කරන්න එපා’, ‘දරුවන් අවශ්‍ය නම් අපිට කියන්න’, ‘ළමයි නැහැයි කියන්නේ පාපයක් නෙවෙයි’, ‘අපිට දරුවන් දෙන්න පුළුවන්’ වැනි පාඨ ජාවාරම්කරු ඔහුගේ ෆේස්බුක් ගිණුමට හා යූ ටියුබ්වලට දැමීමෙන් මාස හයකට පෙර සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය සඳහන් කළාය.

මෙම දැන්වීම් ඔස්සේ දුරකථන ඇමතුම් දී සමහර මවුවරුන් ජාවාරම්කරුවන්ගෙන් දරුවන් ලබාගෙන ඇති අතර තවත් සමහර මවුවරුන්ට එම ස්ථාන දෙකට (2) පැමිණ ඉල්ලුම්පත පුරවාදීමෙන් අනතුරුව දරුවන් විකිණීම කර ඇත.

සමහර මවුවරුන් දරුවන් ලබා ගැනීමට පැමිණ ඇත්තේ නීතිඥවරුන්ද සමඟය. එවිට ජාවාරම්කරු නීතිඥ මුදල අයකර නැත.

ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක් හා නිලධාරීන් මෙම ස්ථාන දෙක (2) වැටලීමට වෛද්‍යවරුන්ද එක්කරගෙන ඇත. එම වැටලීමේදී දරුවන් බලාපොරොත්තුවෙන් රැඳීසිටි මවුරුන් 12 දෙනකුද දරුවන් සමඟ සිටි මවුවරුන් තිදෙනකු (3) ද හමුවී ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

දරුවන් ලැබීමට සිටින අසරණ හා ගැබිනි මවුවරුන් කිසියම් ගිවිසුමකට ඇතුළත් කර දරුවා බිහිකිරීමෙන් පසු එම දරුවා අවශ්‍ය කාටදැයි විමසා අන්තර්ජාලයේ දරුවාගේ ඡායාරූප පවා පළකොට එම ඉල්ලුම් අනුව ගිවිසුම් අස්සන් කොට තෙවැනි පාර්ශ්වයට දරුවා භාරදීම මෙම ජාවාරම්කරු කර තිබේ.

විදේශීය රටවල ‘බේබි ෆාම්’ යනුවෙන් හඳුන්වන මෙම ජාවාරම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 306 වැනි වගන්තිය යටතේ බරපතළ වරදකි.

දරුවකු බිහිකිරීමෙන් අනතුරුව මුදලට විකිණීමට කිසියම් අයකු උත්සාහ දරන්නේ නම් එය බරපතළ දඬුවම් ලැබිය යුතු වරදක්ද වේ.

අනාවරණය කරගත් මවුවරුන්ගෙන් ලබාගත් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් නියෝග මත සැකකාර ජාවාරම්කරු ඊයේ (22 දා) මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය සමත් විය. සැකකරු මාතලේ, උකුවෙල පදිංචි 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු ‘සමාජයීය පරිවර්තනයක් සඳහා වූ ජාතික ආයතනයේ’ (CSC) සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

සොයාගත් මවුවරුන් 12 දෙනාගෙන් පස් දෙනකුට (5) ඒ වන විටත් දරුවන් ලබාදී තිබූ බවද පොලිසිය කීය.

මේ පිළිබඳව අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අප රටේ නීතියට අනුව දරුවකු තවත් පාර්ශ්වයකට දෙන්නේ නම් එය දිසා අධිකරණය මඟින් එම ආඥාපනතට අනුව දිය යුතු බවයි. එම ප්‍රතිපාදනවලට පිටස්තරව කිසිම පුද්ගලයකුට මුදල් මත ඉපදීමට සිටින දරුවන් සම්බන්ධයෙන් ගිවිසුම් ගත කිරීමට නොහැකි බවද ඒ මහතා කීය.

මේ අනුව මෙම ගිවිසුම්ලට සම්බන්ධ වූ පුද්ගලයන්, මවුවරුන් හා ඊට අනුබල දුන්නවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කියයි. අන්තර්ජාලය හා ෆේස්බුක්, සමාජජාල ඔස්සේ මෙවැනි දැන්වීම් පළ කරන තවත් ජාවාරම්කරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පවසයි.

ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ කෙරේ ෴

+++++++++++++

***************************************

(22.12.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසම වෙනුවට විකල්ප ක්‍රමවේදයක් නුදුරේදීම ස්ථාපිත කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලසීමාව තුළ විදුලි ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු ඇතුලු මහජන උපයෝගීතා කොමිසමට අදාළ කාර්යයන්හිදී සැළසුම් සහගතව රජයේ කටයුතුවලට බාධා කළ බවට සැක මතුව ඇති බවයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අයථා ගණුදෙනුවලට ඉඩ සැළසීමේ අරමුණින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට රජය උත්සාහ දරණ බවයි.

***************************************

(22.12.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාපතනයත් සමඟ රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක් (2) අද (22) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.

අඩි දෙක (2) බැගින් මෙම වාන් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයට ඝන අඩි 1214 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි ජලාශ භාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

රාජාංගණය ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 77,700 කට ආසන්න වී ඇති අතර, ඊට ඉහළින් පිහිටා ඇති කලා ඔයේ ජල ධාරිතාව ද මේ වන විට අක්කර අඩි 79,450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින වර්ෂාපතනයත් සමඟ දඹුළුඔයෙන් මේ වන විට තත්ත්පරයට ඝන අඩි 8000 ක ජල ප්‍රමාණයක් කලා වැවට එක්වන නිසා අද (22) රාත්‍රිය වන විට එම ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවයි කලාවැව වාරි ඉංජිනේරු කාර්යාලය කියා සිටියේ ෴

***************************************

(22.12.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ 2020 – 2025 දක්වා පස් (5) අවුරුදු මූලෝපායික සැලැස්ම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී අද (22) එළි දක්වනු ලැබුවා.

ඒ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටි අතර, එහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන්නා වන්නේ යුද හමුදාව බවයි.

යුද හමුදාව මේ වසර තුළ සිදුකළ කැප කිරීම් සහ ක්‍රියාන්විතයන් මගින් ඉදිරි වසර 5 ක කාලයක් සඳහා අවශ්‍ය පදනම ලැබී ඇති බව යුද හමුදාපතිවරයා කියා සිටියා ෴

***************************************

(22.12.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය 20 වන දායින් එම කොමිසමේ කාලය අවසන් වූ අතර තවදුරටත් සාක්ෂි විමසීම් සිදු කෙරෙන බැවින් එම තීරණය ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 4 වන දා ආරම්භ කෙරුණා ෴

***************************************

(22.12.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදත් (22) පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

***************************************

(22.12.2020 – 18:14 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ – මාම්පූරි වැල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 2,125 ක් නොරොච්චෝලේ පොලීසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරටට එම කහ තොගය රැගෙන විත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

(22.12.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර යළි මෙරට ව්‍යාප්තවීමත් සමඟ ගලෙන්බිඳුණුවැව – අලුත්දිවුල්වැව ප්‍රදේශයේ වගකරන ලද අක්කර දස දහසක (10,000) බඩඉරිඟු වගාවටද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ගොවීන් සඳහන් කළේ තමන් වගා කරන ලද සියලුම බඩඉරිඟු වගාවන් සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වී ඇති බවටයි ෴

===============================================

(22.12.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමු වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

දකුණු එංගලන්තයෙන් හඳුනා ගත් මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට ද මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා.

ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් මෙන්ම මැදපෙරදිග සහ ආසියානු ඇතුළු රටවල් 40 ක් පමණ මේ වන විට සංචාරක තහනමක් පනවා ඇත්තේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මේ අතර, මෙම කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය පාලනය කළ නොහැකි තත්ත්වයක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැක් හැංකොක් කළ ප්‍රකාශයට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (21) ප්‍රතිචාර දක්වා සිටියා.

එහි හදිසි තත්ත්ව වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය මයික් රයන් ප්‍රකාශ කළේ එය වෛරස් පරිණාමයේ සාමාන්‍ය තත්ත්වයක් බවයි.

එය පැතිරීම අතින් ප්‍රබලත්වයක් පෙන්නුම් කරන නමුත් කොවිඩ් වෛරස් රෝගී තත්ත්වය මරණීය අවදානම අනුව බරපතල මට්ටමක් මෙතෙක් වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

කෙසේ වෙතත්, තවත් වෛරස් ප්‍රභේදයක් පිළිබදව දකුණු ඇමරිකාවෙන් ද හඳුනාගෙන තිබෙනවා.

මෙම වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් හරහා වෛරසය රට තුළට හැකියාවක් පවතින බව රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පෙන්වා දෙනවා.

++++++++++++++++++++

(22.12.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) අලුයම දෙකේ (02:00) සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිතාන්‍යයේ සිට කිසිදු ගුවන් යානයකට හෝ මගියෙකුට මෙරටට ඇතුලුවීමට ඉඩ ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ එරට තුළ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පැතිර යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ වනවිට ඉන්දියාවද ඇතුලුව රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් තහනම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(22.12.2020 – 15:55 +0530 – hirunews.lk/sinhala)

කළුතර – කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් 3 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සඳහන් කළේ පසුගිය දින දෙක (2) තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් එම කොරෝනා ආසාදිත නිලධාරීන් හඳුනා ගත් බවයි.

ඒ අනුව කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කදවුරේ අනෙකුත් සාමාජිකයින් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙන බව ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සඳහන් කළා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 618 දෙනෙකු අද (22) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 29,000 ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 29,300 ක්. තවදුරටත් පුද්ගලයින් 8768 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් ස්ථාන 11 කදී ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ හෙට (23) සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පොලිස් මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අධිවේගී මාර්ගවල පිටවන ස්ථානවලද ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකරන බවයි ෴

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 265 ක් හමුව ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඉන් 35 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බවයි සඳහන් වන්නේ ෴

++++++++++++++++++++

(22.12.2020 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට පවත්නා ක්‍රියා පටිපාටිය අඛණ්ව ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා.

තත්ත්වය යළි ඇගයීමෙන් පසුව, නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරනු ඇති බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

+++++++++++++++++++++++

(22.12.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති සාකච්ඡාවේදී කොරෝනා එන්නත් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.

ඒ අනුව එම එන්නත් පිළිබඳ අධ්‍යයනයකින් පසු මෙරට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණයට කිරීමට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පැවරූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එන්නත් ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කරන අතර, වතු, මහල් නිවාස සහ නේවාසිකාගාර ඇතුලු කොරෝනා වෛරසය පැතිර යාමේ වැඩි අවදානමක් සහිත ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳ දත්ත රැස් කිරීමට රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

කොරෝනා එන්නත මෙරටට ලබාගැනීමට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත හැනා සිංගර් ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද (22) දහවල් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අදාළ සාකච්ඡාව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක රාසියා ෆෙන්ස් සහ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ටිම් සට්න් එක්ව සිටියා.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා තමන් ඇතුලු රජය බැඳී සිටින බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ baby farm. What a terrible country this Dharma Dweepaya, and the demons that live in it. Very soon there will be crooked businessmen that will sell human flesh to willing and paying buyers. Find out what religious faith this crook born into and if which colour deshapaaluwa had been providing him protection until he was caught enabling him to sell at least 2 scores of babies. No wonder Lord Buddha found that the country was occupied by demons but obviously he had not been fully successful in banishing all to Uturukuru Diwayina. Descendants of left over remnants are now causing havoc.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *