හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය

හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය

*********************************************

හිරු CIA හෙළිකරගත් පොතුවිල් – තිබිරිගොල්ල රක්ෂිතයේ පුරාවිද්‍යා විනාශය

(22.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නැගෙනහිර පළාතේ තිබිරිගොල්ල රක්ෂිතය තුල මේ වනවිට මහා පරිමාන පුරා වස්තු විනාශයක් සිදුවෙමින් පවතිනවා.

අද (22) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බක්මිටියාව තිබිරිගොල්ල රක්ෂිතයයි.

ලාහුගල අඩවි වන නිලධාරී කාර්යාලය මගින් පාලනය වන මෙම රක්ෂිතය තුල මහා පරිමානයෙන් පුරා වස්තු විනාශයක් සිදුකරන බව ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු අනාවරණය කර ගත්තා.

ඒ අනුව අදාල ප්‍රදේශයට ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට දක්නට ලැබුනේ නිදන් සොරුන් විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් මෙලෙස විනාශ කර දමා ඇති බවයි.

සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ‘සිංහලේ අපි’ සංවිධානයේ සභාපති පුජ්‍ය ජඹුරේවෙල ඡන්දරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය අදාල ස්ථානයට වැඩම කළා.

එම නිරීක්ෂණයේදී හෙළිවුණේ මෑතකාලයේ දිගින් දිගටම මෙම ස්ථානය නිදන් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි.

***************************************

(22.12.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමේ විරල අවස්ථාව ලෝකවාසීන්ට ඊයේ (21) උදා වුණා.

මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සුදානම් කර තිබුණා.

ඉතා විරල අවස්ථාවක් වන මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති වූයේ අවුරුදු 397 කට ඉහත දී 1623 වර්ෂයේදීයි.

මෙම අවස්ථාව සෙනසුරු සහ බ්‍රහස්පති අතර ‘ග්‍රහ සම අනුපාතයක්’ ලෙස ද හඳුන්වනවා.

මෙම සුවිශේෂි ග්‍රහ පිහිටීමත් සමඟ සුළි කුණාටු වැනි කාලගුණික විපර්යාසයන් ඇති වන බවට පැතිර යන කට කතා අසත්‍ය බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා පවසා සිටියා.

***************************************

(22.12.2020 – 12:01 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අනිද්දා (24) දක්වා අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිව්, කිලිනොච්චිය පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තරමක තද සුළං ඇති විය හැකියි.

අද (22) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 150.7 ක වර්ෂාපතනයක් මඩකලපුව නගරයෙන් වාර්තා වී තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

නව කාන්තන්කුඩි, නාවට්කුඩා ආරයන්පති, වෙලාවේලි, කොක්කඩිචෝලේ, කිරාන් සහ වාකරේ යන ප්‍රදේශවල ස්ථාන රැසක ජල ගැලීම් වාර්තා වී ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර පොළොන්නරුව සිට මඩකලපුව දක්වා මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා කුඩා මෝටර් රථ ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශය හරහා ගලා බසින මහවැලි ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති අතර, පොළොන්නරුව – දිවුලාන ඇළ පිටාර ගැලීමෙන් නිවාස අටක් (8) පමණ ජලයෙන් යට වුණා.

එමෙන්ම ජලයෙන් යටවීම නිසා සෝමාවති පුදබිම දක්වා මාර්ගය අද (22) දිනයේ වසා තබන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අද (22) උදෑසන ගලේවෙල – වහකෝට්ටේ ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් තුවාල ලැබුවා.

වියලුව – කන්දකැටිය ප්‍රදේශයේ පාසලක ගුරු නිවාසයක් මතට සියඹලාගසක් කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් එහි නිවැසියන් ආරක්ෂක ස්ථාන වෙත යොමු කර ගස කපා දැමීමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

***************************************

(22.12.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ගේ ගැටළු කඩිනමින් විසඳීම සඳහා පියවර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ සහ විපක්ෂ නායකවරයා හමුවී දැනුවත් කිරීමට එම තැන්පත්කරුවන් අද (22) පියවර ගත්තා.

මූල්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව ‘ද ෆිනෑන්ස් සමාගමේ’ බලපත්‍රය අවලංගු කිරීමට මැයි මස 22 වනදා පියවර ගත් අතර රුපියල් ලක්ෂ 6 කට වැඩි මුදලක් එම සමාගම තුළ තැන්පත් කර පොලී මුදලින් ජීවත් වූ දස දහසකට (10,000) අධික පිරිසක් මෙම තීරණය නිසා පීඩාවට පත්ව ඇති බවයි එම තැන්පත්කරුවන් ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔවුන් අද (22) පෙරවරුවේ ‘නත්තල් විලාපය’ මැයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරතවුණා.

අනතුරුව එම පිරිස ගැටළු විසඳීමට මැදිහත්වන ලෙස ඉල්ලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හමුවීමට විජේරාමේ පිහිටි නිල නිවසට පැමිණියා.

අනතුරුව එම පිරිස විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

==========================================

(22.12.2020 – 07:33 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 364 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37,631 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (21) හඳුනා ගත් ආසාදිතයින්ගෙන් 364 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, විදේශ රටවල සිට පැමිණි 6 දෙනෙකු ද කොරෝනා රෝගීන් බවට තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සුඩානයේ සිට පැමිණි 3 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය සහ අයිවරිකෝස්ට් යන රටවලින් පැමිණි එක් අයෙකු බැගින් මෙම පිරිසට අයත් වනවා.

ඊයේ (21) හඳුනා ගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 33,954 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 8773 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 28,682 ක්.

ඊයේ (21) දිනයේ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති අතර, මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 176 ක් ලෙසයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගියා.

ඉන් 36 දෙනෙකුම වාර්තාවී ඇත්තේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, එම කොට්ඨාසයෙන් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 260 ක්.

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටු දෙකකින් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දක්වා එම වාට්ටුවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා යොමුකර නොමැති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භවන ශ්‍රී පාද වන්දනා සමය චාරිත්‍රානුකූලව ආරම්භ කළද ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර කොරෝනා ආසාදිත බවට ඊයේ (21) හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයන් පිරිසක් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(22.12.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළදී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු තැන්පත් කිරීමට ශීත ගබඩා පහසුකම් සහිත බහාලුම් 5 ක් රජය සකස් කර තිබෙනවා.

මුස්ලිම් ජාතිකයෙකු පෞද්ගලික පරිත්‍යාගයක් ලෙසයි මෙම බහාලුම් රජයට ලබාදී ඇත්තේ.

ඒ අනුව එම බහාලුම් තුළ මෘත ශරීර පහක් (5) මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

මීට අදාළ පහසුකම් සලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත් කල්මුණේ, අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රදවා තැබිය හැකි ශීත ගබඩා පහසුකම් සහිත බහාලුම් 5 ක් ලබාදෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබුණා.

මේ අතර, කොවිඩ් ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තිරණය කිරීම සඳහා රජය විසින් පත් කර ඇති කමිටුවේ තීරණය ලැබෙනතෙක් ගාල්ල – දෙද්දූගොඩ ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයෙකුගේ සිරුර ආදාහනය නොකර කරාපිටිය ශික්ෂණ රෝහලේ ශීතාගාරයේ තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ ඊයේ (21) නියෝග කළා.

ඒ, ඥාතීන් ගොනු කළ පැමිණිල්ලක් කැදවූ අවස්ථාවේදියි.

එමෙන්ම, උතුරු ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් පිරිසක් මිලානෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ, කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානයට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

+++++++++++++++++++++++++

(22.12.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ්-19 නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු බවයි රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමයේ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ.

දැනටමත් මෙම වෛරසය පැතිරයාම හේතුවෙන් යුරෝපා රටවල් මෙන්ම දකුණු අප්‍රිකාව, තුර්කිය, ඊශ්‍රායලය මෙන්ම ඉන්දියාවද, බ්‍රිතාන්‍ය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එසේම මෙම නව වෛරස් ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ඇතුලු තවත් රටවල් කිහිපයකින්ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතා වේගයෙන් පැතිරයාම නව වෛරස් ප්‍රභේදයේ විශේෂත්වය බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා කියා සිටියා.

විශේෂයෙන් එංගලන්තය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින්ගෙන් සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

+++++++++++++++++++++++

(22.12.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 5 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු වන අවුරුදු 68 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 17 වන දා බන්ධනාගාර රෝහලේදී මිය ගොස් ඇති බවයි.

මරණයට හේතුව ලෙස ‘කොවිඩ් නිව්මෝනියා’ තත්ත්වය දක්වා තිබෙනවා. එමෙන්ම, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 19 වන දා කොළඹ ජාතික රෝහලේදී මිය ගියා.

‘කොවිඩ් නිව්මෝනියාව’ සහ උග්‍ර වකුගඩු ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දර්ගා නගරයේ පදිංචි අවුරුදු 77 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 18 වන දා නිවසේදී මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමග ලේ විෂවීම සහ හෘද රෝගී තත්ත්වයක්.

එමෙන්ම, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව පෙරේදා මිය ගියා.

‘කොවිඩ් නිව්මෝනියා’ තත්ත්වය මරණයට හේතු වී තිබෙනවා.

මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 19 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, කොරෝනා නිසා ලේ විෂවීම දියවැඩියාව, අධි රුධිර පීඩන තත්ත්වය සමඟ හෘද රෝගී තත්ත්වයක් මරණයට හේතු වී තිබෙනවා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++

(22.12.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 23 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔක්තෝම්බර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයින් 1675 ක් මෙම චෝදනාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

+++++++++++++++++++++++

(22.12.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

ලබන 26 වන දා සිට ජනවාරි 19 වන දා දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් අය කරනු ලබන ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තුවලින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හමුවී තිබෙනවා.

ලබන 26 වන දා විදේශ සංචාරකයින් සඳහා ගුවන් තොටුපළවල් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ නියමු ව්‍යාපෘතිය අදාළ කාලසීමාව තුළ දියත් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙම කාලය තුළ සංචාරක අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය සකස් කරන විශේෂිත කාලසටහන්වලට අනුව ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙහෙයුම් කටයුතුවල නිරතවීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදය හමුවේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙරටට සිදුකරනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් දිරිගැන්වීම සඳහා අදාළ ගාස්තුවලින් නිදහස් කිරීමට තීරණය කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++++

(22.12.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු ගත වූ පැය 24 තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ජර්මනියේ සිට 267 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 48 ක් සහ කටාර් රාජ්‍යයේ සිට 57 ක් එලෙස දිවයිනට පැමිණි බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටාර් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර, ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පසුගිය පැය 24 ක කාලය තුළ පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා ෴

+++++++++++++++++++++++++

(22.12.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය නව කුරුදුවත්ත සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නවකුරුදුවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (21) කටයුතු කර තිබෙනවා.

ඒ, අදාළ වෛද්‍යවරයාට ස්වයං නිරෝධානයට යොමු වන ලෙසට, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලබාදුන් උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය ඊයේ (21) විවෘත කර රෝගින් පරික්ෂා කර ඖෂධ නිකුත් කර තිබීම හේතුවෙන්.

එම වෛද්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යයවරයෙකු බවත්, නාවලපිටිය පල්ලේගම කොවිඩ්-19 වෛරසය අසාදනය වී දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වන බවත්‍, නාවලපිටිය නව කුරුදු වත්ත සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අදාළ වෛද්‍යවරයාට උපදෙස් දී ඇත්තේ, විවෘත කර තිබු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා තවදුරටත් ස්වයං නිරෝධනයේ යෙදෙන ලෙසයි.

++++++++++++++++++++++++++

(22.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදාන කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන ලෙස සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ, අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම ලෝක තත්වයන් හා සෞඛ්‍ය තත්වයන් ගැන අවධානය යොමු කර ඉදිරියේදී ඒ පිළිබඳව තීන්දුවක් ලබාගන්නා බවයි ඔහු සඳහන් කළේ.

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ මාලදිවයිනට රැගෙන යාම පිළිබඳව සහ ඇතැම් දේහයන් අධිශීතකරණවල තැන්පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඔහු කියා සිටියේ කොරෝනා මෘත දේහයන් මාලදිවයිනට රැගෙන යාම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර නිරෝධායනය වෙමින් පවතින නිවසක පුද්ගලයෙකු හදිසියේ මියයාමත් සමඟ එම මෘතදේහය හොර රහසේම වළ දමා ඇති බවට පළවන වාර්තාවල පරස්පර භාවයක් පවතින බව බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු කියා සිටියේ චීනකොටුව ප්‍රදේශයේ නිවසක 78 හැවිරිදි කාන්තාවක් පසුගිය 16 වන දින මියගොස් ඇති අතර, අදාළ දේහය එදිනම භූමදානය කර ඇති බවයි.

කෙසේ වෙතත්, එම නිවසේ පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට ලද තොරතුරකට අනුව සෞඛ්‍ය නිලධාරීන් එම නිවසට පිටත් කර හැර තිබෙනවා.

පසුව 17 වන වන දා අහඹු ලෙස පුද්ගලයින් හතරදෙනෙකුගේ (4) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵලවලට අනුව පුද්ගලයින් තුන්දෙනෙකුට (3) කොරෝනා ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉන් අනතුරුව පසුගිය 19 වන දින සිට එම නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් මියගිය කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් අනාවරණ වී නොමැති අතර, අදාළ සිරුර සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බවයි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ෴

++++++++++++++++++++++++

(22.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 5 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකු වන අවුරුදු 68 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 17 වන දා බන්ධනාගාර රෝහලේදී මිය ගොස් ඇති බවයි.

මරණයට හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියා තත්ත්වය දක්වා තිබෙනවා.

එමෙන්ම, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 19 වන දා කොළඹ ජාතික රෝහලේදී මිය ගියා.

කොවිඩ් නිව්මෝනියාව සහ උග්‍ර වකුගඩු ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දර්ගා නගරයේ පදිංචි අවුරුදු 77 ක් වයසැති පිරිමි පුද්ගලයෙකු පසුගිය 18 වන දා නිවසේදී මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමග ලේ විෂවීම සහ හෘද රෝගී තත්ත්වයක්.

එමෙන්ම, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව පෙරේදා මිය ගියා.

කොවිඩ් නිව්මෝනියා තත්ත්වය මරණයට හේතු වී තිබෙනවා.

මග්ගොන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක් පසුගිය 19 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, කොරෝනා නිසා ලේ විෂවීම දියවැඩියාව, අධි රුධිර පීඩන තත්ත්වය සමඟ හෘද රෝගී තත්ත්වයක් මරණයට හේතු වී තිබෙනවා.

ඊයේ (22) අලුතින් හඳුනා ගැණුනු ආසාදිතයන් 370 දෙනාගෙන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් 43 දෙනෙකු රත්මලානෙන් වාර්තා වී ඇති අතර සාලමුල්ල ප්‍රදේශයෙන් 7 දෙනෙකුත්, බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් 6 දෙනා බැගිනුත් ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 67 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 46 දෙනෙකු වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, අටළුගමින් සහ රත්නපුර යන ප්‍රදේශවලින් තවදුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

දැනට හුදෙකලා කර ඇති අටළුගම ප්‍රදේශයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් මේ වනවිට 931 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශයේ ආසාදිතයින් ප්‍රතිකාර සඳහා බස් රථයකින් රැගෙන යමින් සිටි අවස්ථාවේදී පිරිසක් ජනෙල් විවෘත කර මාර්ගයට කෙළ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ද ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර බුලත්සිංහල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයින් සිය දෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් හමුවී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 445 ක්.

වේයන්ගල්ල සහ බුලත්සිංහල නැගෙනහිර යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

රත්නපුර නගර සභා බල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයින් 76 දෙනෙකු වාර්තා වුණා.

මීට අමතරව පවුල් 159 ක් නිරෝධායනයට ද යොමු කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා ආසාදනය වී සිටි ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඊයේ (22) පස්වරුවේ යොමු කෙරුණා.

සභාපතිවරයා සහභාගි වූ විවිධ උත්සව සඳහා එක්වූ අනෙකුත් පිරිස් ද මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා රෝගින් රඳවා සිටින වාට්ටු දෙකකින් (2) ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් එම වාට්ටු දෙක (2) තාවකාලිකව වසා දමා ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 37,631 ක් ලෙස සටහන් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8768 ක්.

එමෙන්ම ආසාදිතයින් 28,682 ක් මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, නත්තල් දේව මෙහෙයන් සඳහා සහභාගි වන පිරිස් 50 දෙනෙකුට සීමා කරන ලෙස දැනුම් දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *