කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය

කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය

*********************************************

කොවිඩ් සහ දේශීය ඖෂධ භාවිතය

(21.12.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හමුවේ දේශීය ඖෂධ භාවිත කිරීම සහ වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව බොහෝ දෙනා තුළ විවිධ අදහස් හා මතවාද දක්නට ලැබෙනවා.

එවැනි ඖෂධ භාවිතය සහ වෛරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි අප වෛද්‍ය මතය විමසා බැලුවා.

+++++++++++++++++++++++

(21.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම්ට අද (21) සිදුකළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඔහුට වෛරසය ආසාදිත බවට යළි තහවුරු වී තිබෙනවා.

ඔහු සහභාගි වූ මංගල උත්සවයක පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් පසුගිය 16 වන දා සභාපතිවරයා ඇතුළු පවුලේ පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී අනාවරණ වුණේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර නිරෝධායන උපදෙස් නොතකා ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා පසුගිය 17 වන දා පැවති රැස්වීම් කිහිපයකට සහභාගි වී තිබුණා.

එම චෝදනා මත ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි තලවකැළේ – ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණවර්ධන සඳහන් කළේ.

+++++++++++++++++++

(21.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) වාර්තා වූ ආසාදිතයන් 594 දෙනාගෙන් 253 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන් 62 නෙකු බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ආසාදිතයන් 30 දෙනෙකු, බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 27 දෙනෙකු, මට්ටක්කුලියෙන් විසි දෙදෙනෙකු (22), ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 18 දෙනෙකු සහ දෙමටගොඩින් ආසාදිතයන් 17 දෙනෙකු ඊයේ (20) දිනය තුළ හඳුනාගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 124 දෙනෙකු ඊයේ (20) හඳුනා ගැනුණු අතර, ඉන් 30 දෙනෙකු රාගමිනුත්, 24 දෙනෙකු වත්තලින් සහ 23 දෙනෙකු මහර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ (20) අලුතින් ආසාදිතයන් 19 දෙනෙකු, හඳුනාගෙන ඇති අතර, මහර බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති නව ආසාදිත සංඛ්‍යාව 23 ක්.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 37,261 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 176 ක්.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ගතවූ දින තුනක (3) කාලය තුළ සිදු කළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 2180 කින් ආසාදිතයන් 13 දෙනකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ සාලාව, කොච්චිකඩේ සහ දංඕවිට ප්‍රදේශවල මෙම අහඹු පරීක්ෂණ සිදුකර ඇති බවයි.

මේ අතර සංචාරකයින්ට නුවරඑළියේ හෝටල් තුළ නවාතැන් දෙන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහතිකය අනිවාර්ය කර තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ නගරයට කොරෝනා බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.

++++++++++++++++++++++++

(21.12.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු හා ජර්මානු ඒකාබද්ධ නිපැයුමක් වන ‘ෆයිසර් බයෝඑන්ටෙක්’ එන්නත, පරිසර සාධක අනුව මෙරටට නොගැළපෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

කටුනායක ගුවන් තොටුපළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (20) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය කියා සිටියේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගත හැකි බවයි ෴

+++++++++++++++++++++++

(21.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධය අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කළා.

එහි ප්‍රධානී මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා කියා සිටියේ නව ඖෂධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදි සෞඛ්‍ය ප්‍රමිතීන්වලට අනුව සිදු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ කොරෝනා සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ දේශීය ඖෂධ දෙකක් (20 පමණක් තම සභාව වෙත මෙතෙක් ලැබී ඇති බවයි ෴

+++++++++++++++++++++++++

(21.12.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ පුද්ගලයන් 1679 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

හපුතලේ සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් දෙදෙනෙකු (2) අලුතින් හඳුනා ගැනීමත් සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 න් 14 කින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, මීට පෙර ආසාදිතයන් වාර්තා නොවූ සොරණාතොට සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකෙන් (2) ද ආසාදිතයින් පසුගිය දින කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා ආසාදිතයන් වාර්තා නොවන එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ මීගහකිවුල ප්‍රදේශය පමණක් බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා ෴

+++++++++++++++++++++

(21.12.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලබන 26 වනදා සිට නව මාර්ගෝපදේශනය ක්‍රියාත්මක බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අනුව ලක් රජය, විදේශ රටවල සිටින මෙරට දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් මෙරට ශ්‍රමිකයින්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා සියරට පැමිණීමේ ගුවන් ගමන් සංවිධානය කරන බව එහි සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් හෝ මෙරට සම්භවයක් ඇති විදේශිකයන් එනම්, ද්විත්ව පුරවැසිභාවය දරන්නන්, නම් කරන ලද හෝටලයකදී මුදල් ගෙවා නිරෝධායනය වීමට යටත්ව වාණිජ හෝ සිය රට පැමිණීම සඳහා වෙන් නොවූ ගුවන් ගමනකින් මෙරටට පැමිණීම සඳහා අවසර ලබාදෙන බවයි විදේශ අමාත්‍යාංශය කියා සිටියේ.

කෙසේ වෙතත්, ගුවන් යානයට නැගීමට අවසර දෙනු ලබන මගීන් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම ගුවන් සමාගමේ වගකීම වන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(21.12.2020 – 15:49 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 415 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 28,682 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් පුද්ගලයින් 8,403 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 37,261 ක් ෴

++++++++++++++++++++++

(21.12.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 146 දෙනෙකු වාර්තාවී ඇති බව යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 37,407 දක්වා ඉහළ ගියා.

මේ අතර අද (21) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයන් 415 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 28,682 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(21.12.2020 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – දෙද්දූගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ සිරුර ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (21) නියෝග කළා.

ඇය මෙම නියෝගය ලබා දුන්නේ එම මරණය අධිකරණ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් පසුව ආදාහනය කිරීම සඳහා යොමු කරන බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කිරීමෙන් පසු, ඊට එරෙහිව ඥාතීන් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

84 හැවිරිදි මොහු කොරෝනා ආසාදිතව කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබා පසුගිය 17 වනදා නිවසට පැමිණ සිටියදී පෙරේදා මියගොස් තිබෙනවා.

සිරුර කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර එහිදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිරුර ආදාහනය කරන ලෙසට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ.

මියගිය අයගේ පුතෙකු සිරුර බාරගෙන නොමැති අතර ඔහුගේ තවත් පුතෙකු පැමිණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නියෝගය අනුව සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයක තැන්පත් කරන ලෙස ඉල්ලා සිටි බවද පොලිසිය සඳහන් කළා.

එහෙත් එය අවදානම් තත්වයක් විය හැකි අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ එම පහසුකම් නොමැති බැවින් එම මළ සිරුර සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටියේ.

මෙහිදී මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පෙර එය කොරෝනා මරණයක් ලෙස තීරණය කර ඇති බවයි.

මෙය අර්බුදකාරි තතත්වයක් බැවින් කොවිඩ් ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තිරණය කිරීම සඳහා රජය විසින් පත් කර ඇති කමිටුවේ තීරණය ලැබෙනතෙක් මෙම සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයේ තැන්පත් කරන ලෙස නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ රජය පත් කළ කමිටුවේ තීරණය ලැබෙනතුරු මෙම මළ සිරුර කරාපිටිය රෝහලේ අධි ශිතකරණයක තැන්පත් කරන ලෙසටයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉස්ලාම් විද්වතෙකු වන මව්ලවි අන්වර් හකම්දීන් කියා සිටියේ කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ ආදාහන සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විද්වතුන් ලබාදෙන නිගමනයන්ට තමන් එකඟත්වය පළ කරන බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව මිය යන්නන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල – ගුරුතලාව ප්‍රදේශයේදී ඊයේ (20) ඉස්ලාම් බැතිමතුන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.

කොරෝනා මරණ ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ලෝක සම්මතයන්ට පටහැනි බව හිටපු කථානායක කරූ ජයසූරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක තීරණ ගත යුතු අතර අදාළ තීරණය සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ජනයාට කඩිනම් විසදුමක් අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

=======================================

(21.12.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

විදුලි මාෆියාව හේතුවෙන් ඇතැම් පාර්ශ්ව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉවත් කිරීමට තැත් කරන බවට කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා 02 කදී චෝදනා කෙරුණා.

එම ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණේ, මහජන අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ අයිතීන් උදෙසා පාරිභෝගිකයෝ යන සංවිධානයි.

***************************************

(21.12.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව, පුරාණගම – ගිරිතලේ ජනපදයේ සමූපකාර ගොඩනැගිල්ලට අත්ව ඇති ඉරණම පිළිබදවයි අද (21) ‘හිරු රතු මිනිත්තුවෙන්’ අනාවරණය කරන්නේ.

ගිරිතලේ ගොවි සංවිධානයේ සාමාජිකයන් පවසන්නේ ඩී.එස්. සේනානායක මැතිදුන් විසින් ජනතාවට ඉදිකර දී තිබූ මෙම ගොඩනැගිල්ලේ සමූපාකාරයට අමතරව වී ගබඩාවක්ද තිබූ බවයි.

එහෙත් මීට අවුරුදු 30 ක පමණ සිට මෙම ගොඩනැගිල්ල වසා දමා ඇති අතර අද වන විට එය වල් බිහිවී සතුන්ගේත්, විවිධ අපචාර කරන්නන්ගේත් රජ දහනක් බවට පත්ව තිබෙනවා.

***************************************

(21.12.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ සංවර්ධන නිලධාරීන් ලෙස පුහුණුවට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් අද (21) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා සංවිධාන කර තිබුණා.

ඒ, තමන් රැකියා පුහුණුවට බඳවා ගත් දිනයේ සිට ස්ථීර කරන ලෙස ඉල්ලමින්.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සිවිල් සංවිධාන කිහිපයක් අද (21) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූයේ මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවාගැනීමේ ක්‍රමවේදයෙහි ගැටළු පවතින බවට පවසමින් ෴

තමන්, සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් එම ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්‍ය නොවන අන්දමින් සංසරණය වෙමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙහිදී රජය අදහස් කරනු ලැබුවේ ‘විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන්’ ලියාපදිංචි කිරීම බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමඟින් සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම සිදු නොවන බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා ෴

***************************************

(21.12.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පනවා ඇති නායයෑමේ අවදානමද හෙට (22) පස්වරුව දක්වා දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ෴

***************************************

(21.12.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala)

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) එක්වුණා.

එහිදී කොරෝනා වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, උන්වහන්සේ දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර අනුරාධපුර ජේතවන ව්‍යාපෘති කෞතුකාගාරය හා අභ්‍යන්තර මාර්ග පද්ධතියද අද (21) අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.

ප්‍රථමයෙන් ජේතවන චෛත්‍ය වටා ඉදිකර ඇති අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව මාර්ග පද්ධතිය විවෘත කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

***************************************

(21.12.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය ප්‍රදේශයට අද (21) දිනයේ මාළු වැස්සක් ඇති වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ ඇතිවන ටොනාඩෝ තත්ත්වය ඊට හේතුව බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති විය හැකි බව සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

++++++++++++

***************************************

(21.12.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 15 වෙනිදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවු ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා.

ගින්න සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂාවෙන් පසු විදුලිබල මණ්ඩලය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණ සංකීර්ණයේ ඇතිවු ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ විමර්ශනයේ වාර්තාවද මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ සංකීර්ණයේ සේවකයින්ගෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා ෴

***************************************

(21.12.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහස (1000) දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්, වෘත්තිය සමිති සහ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර අද (21) පැවති සාකච්ඡාවේදී උණුසුම් තත්වයක් මතුවුණා.

ඒ, ඊට එක්වූ හාම්පුතුන් වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහස (1000) දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් නොමැති බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.

එම අවස්ථාවට වතු නිවාස හා ප්‍රජායටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා සහ ලංකා ජාතික වැවිලි කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා ද එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *