තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ

*********************************************

තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම 5 සිට හුදෙකලා කෙරේ

(21.12.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala)

අද (21) අලුයම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසමත්, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාරත් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශයත්, පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමත්, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ.

මේ අතර අද (21) අලුයම 5 සිට අලුතින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන්නේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණකොටුවත්ත සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතයි.

+++++++++++++++++++++

ධම්මික පැණිය බොරුවක් ! හෝමාගම වික්‍රමාරච්චි වෙදමහතා පෙත්ත එළියට දායි ! රජයේ අවධානය පිණිසයි ! (20.12.2020)

https://www.youtube.com/watch?v=ID0SE__pH3E

++++++++++++++++++++++

(21.12.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගියා.

පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව ඉකුත් 18 වන දින මිය ගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමක් හා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

අවුරුදු 52 ක් වයසැති කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද පසුගිය 17 වනදා නිවසේදී මිය ගොස් තිබෙනවා.

කොවිඩ් නිව්මෝනියාව එම මරණයට හේතුව ලෙසයි දැක්වෙන්නේ.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලේ සිට වැලිසර ලය රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව පසුගිය 19 වනදා මියගියා.

කොවිඩ් හේතුවෙන් ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනයක් මරණයට හේතුව ලෙස දැක්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද පසුගිය 19 වන දා මිය ගොස් තිබෙනවා.

හොරණ මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී එම පුද්ගලයා මිය ගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට පිඹුර මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව පසුගිය 19 වන දා මිය ගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇති වූ ලේ විෂවීමක් සහ පිළිකා රෝගී තත්ත්වයක් මරණයට හේතුව බවයි වාර්තා වන්නේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු ඊයේ (20) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 37,000 ඉක්ම වූවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය 37,261 ක් ලෙස දැක්වෙන බවයි.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 38 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර, ආසාදිතයින් 554 දෙනෙකු පෑලියගොඩ පොකුරෙන් වාර්තා වනවා.

එමෙන්ම, විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු ද ඊයේ (20) වාර්තා වූ කොරෝනා රෝගීන් අතර සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (20) දිනයේදී කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 715 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමඟ සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 28,267 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8,818 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කෑගල්ල මහරෝහලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා.

එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූවන් මාවනැල්ල මූලික රෝහල වෙත මාරු කර යැවීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම, අකුරණ සිට පැමිණි ගලෙන්බිදුණුවැව නගරයේ වෙළඳසැල් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම නගරයේ වෙළදසැල් රැසක් තාවකාලිකව වසා දැමීමට ඊයේ (20) කටයුතු කර තිබෙනවා.

එම ව්‍යාපාරිකයින් දෙදෙනා (2) අකුරන ප්‍රදේශයේදී පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වී තිබුණත් එහි ප්‍රතිඵල ලැබීමට ද පෙර ගලෙන්බිදුණුවැවට පැමිණ ව්‍යාපාරික කටයුතු සිදුකරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ ෴

++++++++++++++++++

(21.12.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ මුව ආවරණ නොපැළදි සහ මීටරේ දුර පවත්වා ගෙන නොගිය 41 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔක්තෝම්බර් 30 වන දා සිට මේ දක්වා කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1652 නෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++++++++

(21.12.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින්ට නුවරඑළියේ හෝටල් තුළ නවාතැන් දෙන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහතිකය අනිවාර්ය කර තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් මහතා ප්‍රකාශ කළේ නගරයට කොරෝනා බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි ෴

++++++++++++++++++

(21.12.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර මේ වනවිට හය (6) – එකොළහ (11) ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල නව පාසල් වාරය ලබන වසරේ ජනවාරි 11 වන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

එම පාසල්වල එක (1) – පහ (5) දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ද එදින සිට ආරම්භ කෙරෙන අතර, ඊට සමගාමීව අදාළ ප්‍රදේශවල පිහිටි පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානද ජනවාරි 11 වනදා සිට ආරම්භ කරන බවයි කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට විවෘත කර ඇති පාසල්වල තුන්වන (3) වාරය අනිද්දායින් අවසන් වනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ දරුවන්ගේ උෂ්ණත්වය මැණබැලීම සඳහා යුනිසෙෆ් ආයතනය මගින් උෂ්ණත්ව මාපක 1,393 ක්ද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උෂ්ණත්ව මාපක 1,000 ක්ද පාසල් වෙත ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

පාසල්වල ආපනශාලා විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම තවදුරටත් සළකා බලන බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් නේවාසිකාගාර තුළ ආපනශාලා සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන අයුරින් විවෘත කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි කියා සිටියේ.

කෙසේ වෙතත්, කිසියම් දරුවෙකු, නිවැසියෙකු රෝගීව සිටීනම් හෝ පී.සී.ආර්. පරීක්ෂාවට ලක්ව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී නම් එම දරුවන් පාසල් නොයැවීමට දෙමව්පියන් වග බලා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියා.

=======================================

(21.12.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා වෑන් රථයකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම, අඩමිපන් පොලිසිය විසින් ඊයේ (20) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලද තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී මෙම ගංජා තොගය සොයා ගැනීමට හැකිව ඇති අතර මෙලෙස සොයාගත් ගංජා තොගයේ බර කිලෝ 46 යි ග්‍රෑම් 500 ක්.

එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය මන්නාරම, වෙප්පන්කුලම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු සහ මන්නාරම, අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි විය පසුවන තැනැත්තියක්.

ඔවුන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට

(20.12.2020 – 21:36 +0530 – sinhala.adaderana.lk)

දින ගණනාවක් තිස්සේ කඩුවෙල නගරයේ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරතවූ වයස අවුරුදු 15 ත් 21 ත් අතර යතුරුපැදිකරුවන් 6 දෙනෙකු නවගමුව පොලිස් නිලධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී යතුරුපැදි 4 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී ඉතා වේගයෙන් ධාවනයේ යෙදුණු යතුරුපැදි කරුවෙක් මාර්ගය හරහා යමින් සිටි මවක් සහ කුඩා දැරියන් දෙදෙනෙකු (2) අනතුරට ලක්කිරීමෙන් කුඩා දැරියන් දෙදෙනා මියගියේය.

ඉන් අනතුරුව මහ මාර්ගයේ යතුරුපැදි ධාවන තරඟ පවත්වන පුද්ගලයින් සහ එවැනි කටයුතු සඳහා යොදාගන්නා යතුරුපැදි සොයා වැටලීම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ ෴

***************************************

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම ජනතාවගේ පුද්ගලිකත්වය සමග කරන භයානක සූදුවක් : රසික ජයකොඩි

(21.12.2020 – am.lk)

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීම රටේ ජනතාවගේ පුද්ගලිකත්වය සමග සිදු කරන භයානක සූදුවක් බව සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ය.

සමාජ මාධ්‍ය හරහා කෙරෙන නොයෙක් අකටයුතුකම් වැළක්වීමේ පියවරක් වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමට රජය කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කොට තිබුණි.

“සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕනැම කෙනෙක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම ආරම්භ කරන විට දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය සමාගම සමග ගිවිසුමකට එළඹෙනවා.ඒ අනුව නීති විරෝධී කටයුත්තක් සම්බන්ධ විමර්ශනයක දී හැරෙන්නට අනෙක් සියලු අවස්ථාවන්හි දී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ගේ දත්ත සහ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට එම සමාගම් බැඳී සිටිනවා.යම් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය භාවිතා කොට වැරදි සිදු කරන අවස්ථාවල දී එම සමාගම් සමග සම්බන්ධ වී අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකියාව තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම කපටි යටි අරමුණක් සහිතව කෙරෙන භයානක සූදුවක් මිස වෙනත් දෙයක් නෙවෙයි,” යැයි රසික ජයකොඩි මහතා සඳහන් කළේ ය.

“මෙම ලියාපදිංචිය හරහා එකතු කරන තොරතුරු අවශ්‍ය නම් ආණ්ඩුව අකැමැති මත සමාජ මාධ්‍යවල පළ කරන පුද්ගලයන් දඩයම් කිරීමට යොදාගන්න පුළුවන්. දැනටමත් ඒ වැඩේ පටන් අරගෙන තියනවා. ඒ විතරක් නෙවෙයි, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා වුණත් මේ දත්ත භාවිතා කිරීමේ අවදානමක් තියෙනවා. මේ දත්ත කොහෙද ගබඩා වෙන්නේ? කවුද මේවා පාවිච්චි කරන්නේ? මොන අරමුණකින් ද පාවිච්චි කරන්නේ? මේ වගේ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මේක ජනතාවගේ පුද්ගලිකත්වය සමග කරන ඉතාම භයානක සෙල්ලමක්. මෙහි අවසන් අරමුණ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල මුළුමනින් ම අවහිර කොට චීනයේ භාවිතා වන සමාජ මාධ්‍ය ජාල ලංකාවට හඳුන්වා දීමදැයි කියන සැකය අපට තියනවා. චීනය වැනි රටක ජීවත් වන මිනිසුන්ට පුද්ගලිකත්වය හෝ රහස්‍යභාවය ගැන අයිතියක් නෑ. ඔවුන් කරන කියන හැම දෙයක් ම ආණ්ඩුවේ ඒජන්තයන් බලාගෙන ඉන්නවා. මෙවැනි මර්දනකාරී නීති පැමිණියොත් ලංකාවත් ඒ මර්ගයේ ම ගමන් කරයි” යනුවෙන් ඔහු සඳහන් කළේය ෴

***************************************

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක

(20.12.2020 – colombotoday.com)

පාස්කු බෝම්බකරුවෙකුගේ සොහොයුරිය තම පුතාට විවාහ කර දෙමින්, රාජ්‍ය මාධ්‍ය තුලට අන්තවාදය රිංග වු අහමද් මුනව්වර් නැවතත් අනුශාසක ලෙස පත්වෙමින් සාම්ප්‍රදායික වැඩසටහන් නැවත්වීමට සැරසෙන බව වාර්තා වෙනවා.

පහත දැක්වෙන්නේ අන්තවාදීන් ගුවන් විදුලියට ගෙන් වු බව කියන ඔහුගේම පාපොච්චාරණයකි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය මගින් ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සරය වෙනුවෙන් කොල්ලුපිටිය පල්ලිය තුල දෙසැම්බර් 18 වන දින පැවත් වු වැඩසටහන අතරතුර ඇති වු බහින්බස්වීමක් සම්බන්ධ හඩ ඇමුණුමක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඇමුණුම මුස්ලිම් අංශයේ හිටපු අධ්‍යක්ෂක හා වර්තමාන උපදේශක අහමඩ් මුනව්වර් විසින් 2020 දෙසැම්බර් 19 වන දින සමාජ මාධ්‍ය හරහා ඔහු විසින් මුදාහරින ලදි.

එනම් ගුවන් විදුලි මුස්ලිම් සේවයට අන්තවාදීන් රිංග විම අහුරාලිම සදහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඒ සදහා පත් කල උපදේශණ මණ්ඩලය තුලටද අන්තවාදීන් පත්විමයි.

පත් වු එක් උපදේශකයෙකු විසින් එනම් ජනාධිපති නීතිවේදී රාසික් විසින් එහි එක් උපදේශකයෙකු වෙත චෝදනාවක් එල්ල කර ඇත.

හිටපු මුස්ලිම් සේවා අධ්‍යක්ෂක අහමඩ් මුනව්වර් විසින් මුස්ලිම් සේවය විනාශ කල බවත් ඔහු විසින් අන්තවාදීන්ට වෙළෙඳ ප්‍රාචරනයට මුවා වී වැඩසටහන් ලබා දුන් බවත් චෝදනා කර ඇත.

ඒ නිසා රාජ්‍ය අනුග්‍රහයෙන් රාජ්‍ය ජනමාධ්‍යවලින් අන්තවාදය ව්‍යාප්ත වු බවත් ඔහු විසින් පවසා ඇත.

ඉහත සඳහන් කල උත්සවය සදහා ගුවන් විදුලි අධ්‍යක්ෂක විසින් උපදේශක මණ්ඩලය ලවා, සභාපති තුමා විසින් වාරණය කරන ලද දේශකයෙක් ගෙන්වා දේශණයක් පවත්වා එය ගුවන් විදුලිය ඔස්සේ විකාශය කිරීමටද කටයුතු කර ඇත.

වාරණය වු පූජකයන් පිලිවෙලින් යුසුෆ් මුෆ්ති, ෆලීල් නලීමි, අබ්දුල් හාලික්, මුර්සිඩ් මුලෆ්ෆර්

ඊට පසුව හකම්ඩීන් පුජකයා ලවා සභාපති තුමා වාරණය කල පුද්ගලයන්ගේ නම් කියවා ඔවුන් හොඳ පුද්ගලයන් බවට වක්‍රාකාරයෙන් ප්‍රකාශ කර එයද ගුවන් විදුලිය හරහා විකාශනය කර ඇත.

එසේම ගුවන් විදුලි අධ්‍යක්ෂකතුමාට පක්ෂපාති මහ්රුෆ් මොහිදීන්ට ඉහත වැඩසටහන අතරතුර වැඩසටහන භාර දී එය මෙහෙයවෙමින් සිටි රිසා නම් නිවේදකයාවද අපහසුතාවයට පත් කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ මුස්ලිම් සේවයේ හිටපු අධ්‍යක්ෂ හා වර්තමාන උපදේශකට යම් කතාවක් ලබා දීමයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ වී ඇත.

පසුව සාම්ප්‍රධායික මුස්ලිම් විද්වතුන් විසින් එය සභාපති තුමා වෙත පැමිණිලි කර ඇත. දෙමළ භාෂාවෙන් පැවත් වු එම කතාවල අන්තර්ගතය ඒම කාල වේලාවේදි ඔහුට දැන ගන්නට නොහැකි වි තිබෙන බව දැනගන්නට ඇත.

සම්ප්‍රදායික මුස්ලිම් විද්වතුන් හරහා එය දැන ගන්නට ලැබිමෙන් පසු සභාපති තුමා විසින් ගුවන් විදුලි මුස්ලිම් සේවය සදහා ඉතිහාසයේ ප්‍රථම වතාවට උපාධිදාරි මුස්ලිම් කාන්තාවක් නියෝජ්‍ය අධ්‍යක්ෂක දුරයට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර අන්තවාදීන් සදහා අවකාශ ලබා දෙන අධ්‍යක්ෂක තුමාගේ කුමන්ත්‍රණය වළක්වා තිබේ.

අමාත්‍යවරයා විසින් පත්කර ඇති උපදේශක සභාව :

  1. මුස්ලිම් සලාහුදීන්
  2. අහමඩ් මුනව්වර්
  3. ෆස්ලුල් රහ්මාන්
  4. ෆසාල් මරික්කාර්
  5. රාසික් සරුක්

++++++++++++++++

ගුවන් විදුලියේ මුස්ලිම් සේවයේ කටයුතු ප්‍රශ්නකාරියි – පූජ්‍ය ඥාණසාර හිමියන්ගෙන් පැමිණිල්ලක්

(21.12.2020 – am.lk)

ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ කටයුතු අන්තවාදයට උඩගෙඩි දෙන අයුරින් සිදුවන බවට චෝදනාවක් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් එහි සභාපතිවරයා වෙත අද (21) කර තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා විසින් පොරොන්දු වූ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර මෙවැනි අන්තවාදී පිළිබඳව තමන් වහන්සේ ඇතුළු පිරිසක් අනතුරු ඇඟවූ මුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ගණන් නොගැනීම මතක් කර දුන් උන් වහන්සේ යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීම වගකිවයුත්තන්ගේ වගකීම බවද පෙන්වා දෙයි ෴

***************************************

(21.12.2020 – 07:49 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු මර්දනය සඳහා ආනයනය කර අනුරාධපුර – හිදෝගම ප්‍රදේශයට පසුගිය සිකුරාදා ඉසින ලද වෛරසය සාර්ථක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අමිත් විමලරත්න මහතා කියා සිටියේ ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙම ක්‍රියාවලියෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවට අනාවරණ වූ බවයි.

මේ අතර, අදාළ ගොවිබිම ඊයේ (20) ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් ද නිරීක්ෂණයට ලක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ වෛරසය ඉදිරියේදී ගොවීන් අතර තවදුරටත් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

***************************************

(21.12.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මරණ තර්ජනය කර වායු පිස්තෝලයකින් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ චෝදනාව මත කමාන්ඩර් රෙජිමේන්තුවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මොහු තවත් පුද්ගලයෙකුට මෙලෙස තර්ජනය කර වෙඩි තබා පළා ගොස් තිබූණේ පසුගිය 18 වනදායි.

පසුව මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුවයි ඔහු ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරු පදිංචිව සිටින නිවස ද පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී දුම්බෝම්බයක්, තියුණු කඩුවක් සහ වායු පිස්තෝලයට යොදා ගන්නා උණ්ඩ තොගයක් ද සොයාගෙන තිබෙනවා.

මේ අතර, බකමූණ පොලීසියේ කොස්තාපල්වරයෙකු පැදවූ කැබ් රථයකට යට වීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, බකමූන පොලීසියෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව අනතුරට හේතු වන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි ෴

***************************************

(21.12.2020 – 08:47 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගත වූ කාලසීමාව තුළ හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය 61,300 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ 1605 ක් සහ ගංජා කිලෝ 13,896 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

එමෙන්ම, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 802 ක් ද මෙම වැටලීම්වලදී පොලිස් භාරයට ගත් බවද ඔහු කියා සිටියා ෴

***************************************

(21.12.2020 – 09:09 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ආනයනය කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි කහ කිලෝ 1950 යි ග්‍රෑම් 420 ක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලිය – කැළණිය ගඟ මෝල පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම කහ තොගය සොයාගෙන ඇති අතර, එම තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා මට්ටක්කුලිය පොලිසිය වෙත භාර දී ඇති බව සඳහන් ෴

***************************************

(21.12.2020 – 11:32 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ සම්පත් ගවේෂණ බලපත්‍ර ලබාගෙන අදාළ ගවේෂණයන් සිදුනොකරන පුද්ගලයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පරිසර අමාත්‍යාංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ග්‍රැෆයිට්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා ගානට් යන ඛනිජ ගවේෂණයන් සඳහායි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇත්තේ.

එම බලපත්‍ර ලබාගෙන කිසිදු ගවේෂණයක් සිදුනොකරන පුද්ගලයින් ඒවා වැඩි මිලට විදේශ සමාගම්වලට හා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීම් සිදුවන බවට ලැබී ඇති පැමිණිලි සලකා අදාළ තීරණය ගෙන තිබෙනවා ෴

***************************************

(21.12.2020 – 11:53 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහි සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘තලාහේනේ බඩී’ ලෙස හඳුන්වන මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 150 ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ අත්අඩංගුවට ගත් ‘තලාහේනේ බඩී’ නැමැත්තා පාසල් කාලයේ සිට මිතුරන් බවටයි මේ වන විට හෙළි වී ඇත්තේ.

එමෙන්ම, පසුගිය දා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ‘සොත්ති උපාලි’ගේ දියණිය සමඟ අදාළ ඩුබායිහි සැඟව සිටින පුද්ගලයා විවාහ වී සිට ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

(21.12.2020 – 12:06 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු තුනක් (3) අද (21) දිනයේදී විවෘත කළ බව මහවැලි නිලධාරීන් පවසනවා.

ඒ අනුව ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 2460 ක ජල ප්‍රමාණයක් කලා වැවට මුදා හැරෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඉබ්බංකටුව ජලාශය හරහා කලා වැව දක්වා ජලය රැගෙන යන දඹුලු ඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

එම නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේ තවදුරටත් වර්ෂා පතනය වැඩි වුවහොත් ඉතිරි වාන් දොරටු දෙක (2) ද විවෘත කිරීමට සිදුවන බවයි ෴

***************************************

(21.12.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරු ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) සිදු කෙරුණා.

ගල්ගේ විහාරය උත්තරාරාමයේදී මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම අවස්ථාවට තෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියා.

සොළොස්මස්ථාන පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ සන්නස් පත්‍රය සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදානය කරනු ලැබුවා.

***************************************

(21.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා දැඩි කතාබහට ලක්වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන හා ප්‍රංශ භාෂාවලින් ප්‍රදර්ශනය කර තිබූ දුම්රිය කාලසටහන සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව භාෂා විගණනයක් සිදුකර තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ අදාළ ප්‍රශ්නගත පුවරුව ප්‍රදර්ශනය කර ඇත්තේ වැඩි වශයෙන් පැමිණෙන චීන සංචාරකයින්ගේ සහ ප්‍රංශ භාෂාව භාවිතා කරන සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා බවයි.

කෙසේ වෙතත්, අදාළ පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව අදාළ විගණනයේදී හෙළි වූ බව රාජ්‍ය භාෂා කොමිසමේ සභාපති නීතිඥ ඩී. කලංසූරිය මහතා සඳහන් කළා.

විගණනයෙන් පසු ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇතුලත් කරමින් යෝජනාවලියක් ද රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ගල්කිස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

එමගින් දැක්වෙන්නේ රාජ්‍ය ආයතනවල මහජන ප්‍රදර්ශනය සඳහා ඇති සියළු පුවරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා අනුපිළිවෙලින් සමාන අක්ෂර යොදා පිළියෙල කළ යුතු බවයි.

එම ප්‍රතිපාදනයන්ට අනුව දුම්රිය ස්ථානයේ සියළු පුවරු පිළියෙල කළ යුතු බව ද එමගින් නිර්දේශ කර තිබෙනවා.

එසේම රාජ්‍ය භාෂා කොමිසම දැනුම් දී ඇත්තේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කර ඇති චීන සහ ප්‍රංශ භාෂාව ඇතුළත් පුවරුව, ප්‍රදර්ශනය කරනු ලබන අවශ්‍යතාවය චීන සහ ප්‍රංශ භාෂාව කතා කරන සංචාරකයින්ගේ දැන ගැනීම සඳහා පමණක් බව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඇතුළත් සටහනක් මගින් එම පුවරුව මත ප්‍රදර්ශනය කළ යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *