පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ

පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ

*********************************************

පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ

(20.12.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ දෙකක් (2) අලුතින් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

හෙට(21) අලුයම 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසමත්, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාරත් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශයත්, පෑලියගොඩ පොලිස් වසමේ ගගබඩ ග්‍රාම නිලධාරී වසමත්, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙනවා.

මේ අතර හෙට (21) අලුයම 5 සිට අලුතින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරෙන්නේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගගබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණකොටුවත්ත මෙන්ම කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවතයි.

එම නිවේදනය පහතින් :

++++++++++++++++++++++

(20.12.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (19) දිනයේදී අලුතින් ආසාදිතයින් 130 දෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

මේ අතර, කළුතර – බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ද අලුතින් ආසාදිතයන් 60 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අක්කරමලෙයි, මග්ගොන – නැගෙනහිර, මග්ගොන – බටහිර යන ග්‍රාම සේවා වසම් තුනට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

කළුතර – දකුණ – හීල් වීදිය, කුරේ පාර, මොස්ක් වීදිය, ධම්මාරාම පාර ප්‍රදේශයට ද ඊයේ (19) රාත්‍රියේ සිට සංචරණ සීමා පනවා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(20.12.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින් ආසාදිතයන් 11 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 311 ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ඇඟළුම් කර්මාන්තශාලාවකින්ද කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගම මහතා ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් එම කර්මාන්තශාලාව වසා දමා ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවයි ඔහු කියා සිටියේ.

කටුනායක ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුටද මේ වනවිට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

එමෙන්ම වත්තල ප්‍රදේශයේ වෙළඳසැලක සේවිකාවන් හත්දෙනෙකු (7) ටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

මේ අතර මාතලේ – යටවත්ත – දුල්ලෑව ග්‍රාම නිලධාරී වසමේ අලකොලඅංග ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පවුලකින් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු (3) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 95 ක් ෴

++++++++++++++++++++++

(20.12.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3414 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ අලුතින් ආසාදිතයන් 42 කු වාර්තා වීමත් සමඟයි.

වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් 1901 ක් සහ නිලධාරීන් 89 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(20.12.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලන්ට සිදුකරන පරීක්ෂණවලින් දිනකට කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු (5) හඳුනා ගැනෙන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ දක්වා රෝහලෙන් කොරෝනා ආසාදිත ළමයින් 70 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

++++++++++++++++++++++

(20.12.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් රැගෙන යමින් සිටි බස් රථයක සිටි අයෙකු බුලත් කෙළ ගැසීම නිසා මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙකු සහ ඔහුගේ නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් අද (20) වාර්තා වුණා.

බුලත් කෙළ වැටීමෙන් කෝපයට පත්වූ අදාළ යතුරුපැදිකරු බැන වදිමින් බසයට ගොඩ වී ඇති අතර, ඒ හේතුවෙන් එම පුද්ගලයා සහ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++

(20.12.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවල ප්‍රතිඵල වෙන වෙනම ඉදිරිපත් කරන ලෙසට කර ඇති ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා ගැටළු රැසක් මතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++++

(20.12.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගොපදේශන වලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෙට (21) දිනයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා අද (20) සඳහන් කළේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් අද (20) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

++++++++++++++++++++

(20.12.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සදහන් කළා.

ත්‍රිකුණාමල නගරයේ කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 330 ක් අද (20) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++++

(20.12.2020 – 22:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරස් ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (20) තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමඟයි.

එම නිවේදනය පහතින් :

====================================

(20.12.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමට තීරණය කරනු ලැබුවේ කෙටි කලක් තුළදී උන්වහන්සේ ඉන් ඉවත් වී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එම ධුරය ලබාදීමේ එකඟතාව මත බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ රතන හිමියන් පාර්ලිමේන්තුවට යැවීමේ තීරණය පක්ෂයේ සියළු දෙනා එක්ව ගත් තීරණයක් නොවන අතර, එය ඥානසාර හිමියන් සහ රතන හිමියන් අතර ඇති වූ එකඟතාවක් බවයි.

කෙසේ වෙතත්, කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ පක්ෂයේ වගකිව යුතු සියළු පාර්ශවයන් හි එකඟතාවයෙන් තමන් පාර්ලිමේන්තුවට නම් කළ බවයි ෴

***************************************

(20.12.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

හිරු බැස යාමෙන් පසු හෙට (21) දින අහසෙහි සෙනසුරු ග්‍රහලෝකය සහ බ්‍රහස්පතී ග්‍රහලෝකය අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමට හැකියාව ලක්වාසීන්ට උදා වනවා.

මෙය ඉතා විරල අවස්ථාවක් වන අතර මෙවන් තත්ත්වයක් මීට පෙර ඇති වූයේ 1623 වර්ෂයේදී, එනම් මීට අවුරුදු 397 කට ඉහත දීයි.

මෙම තත්ත්වය සෙනසුරු සහ බ්‍රහස්පතී අතර ග්‍රහ සම අනුපාතයක් ලෙස ද හඳුන්වනු ලබනවා.

මෙවන් තත්ත්වයක් වසර 20 කට වරක් සිදුවුවද යළිත් මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වන්නේ 2080 වර්ෂයේදී බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *