මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

*********************************************

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රු. කෝටි 6 කට ආසන්න මුදල් සහ හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

(20.12.2020 – 06:42 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක (5,90,00,000) මුදලක් සමඟ හෙරොයින් ග්‍රෑම් 300 ක් සමඟ කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු (3) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ (19) කඩුවෙල, මාළඹේ සහ වැලිවිට ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

එක් සැකකරුවෙකු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා තලංගම – බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

+++++++++++++++

(20.12.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු (3) සමඟ අත්අඩංගුවට ගත් රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක (5,90,00.000) මුදල් සහ හෙරොයින් දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ට අයත් බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයා කඩුවෙල – හේවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගේ නිවසේ තිබියදියි ඊයේ (19) මෙම මුදල් තොගය සහ හෙරොයින් ග්‍රෑම් තුන්සීයය (300) සොයාගනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද මෙහිදී පොලිස් භාරයට ගැනුනා.

කඩුවෙල, මාළඹේ සහ වැලිවිට යන ප්‍රදේශවල මෙම වැටලීම සිදුකරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර, ඔහුට එරෙහිව වැලිගම ඇතුලු පොලිස් ස්ථාන කිහිපයක පැමිණිලිද විභාග වනවා.

මේ අතර තමිල්නාඩුවේදී මියගිය බවට වාර්තා පළවූ සංවිධානාත්මක අපරධකරුවෙකු වන ‘මද්දුමගේ ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෙරටින් සහය ඉල්ලා තිබෙනවා.

අධිකරණ වෛද්‍ය සාක්ෂි ලබාගැනීම සඳහා ඉන්දීය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙරටට ලිපියක්ද යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මද්දුමගේ ලසන්ත පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ පසුගිය ජූනි මස 3 වනදා කොයිම්බතූර් රෝහලකදී මියගිය බවට තොරතුරු වාර්තාවී තිබුණා.

විෂ ශරීරගතවීමෙන් එම මරණය සිදුව ඇති බවට මුලින් වාර්තාවුවද සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ස්වභාවික හේතුවක් මත මරණය සිදුව ඇති බවයි.

අපරාධ රැසකට සම්බන්ධ වූ ‘අංගොඩ ලොක්කා’ ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් ඉන්දියාවට පලාගොස් තිබූ අතර, ‘ප්‍රදීප් සිං’ යන නමින් වසර දෙකක (2) පමණ කාලයක් ඔහු එරට තුළ පෙනී සිට ඇති බවට පසුව කරුණු අනාවරණ වුණා.

+++++++++++++++

(20.12.2020 – 16:12 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක (5,90,00,000) මුදල් සහ හෙරොයින් තොගයක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින කාන්තාව හිටපු පාතාල කල්ලි නායකයෙකු වන ‘අරඹවෙලගේ දොන් උපාලි’ හෙවත් ‘සොත්ති උපාලි’ගේ දියණිය බවට හෙළි වී තිබෙනවා.

කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම කාන්තාව ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා (3) සතියක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය විසින් අද (20) අවසර ලබාදුන් බවයි.

එමෙන්ම, මොවුන් හෙරොයින් කිලෝග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කර ඇති බවට ද හෙළි වී තිබෙනවා.

කඩුවෙල, මාළඹේ සහ වැලිවිට යන ප්‍රදේශවලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ (19) අදාළ කාන්තාව ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, කඩුවෙල – හේවාගම ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවෙකුගේ නිවසේ තිබියදී අදාළ මුදල් තොගය සහ හෙරොයින් ග්‍රෑම් 300 ක් සොයා ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක (5,90,00,000) මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300 දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ට අයත් බවට අනාවරණ වී තිබෙනවා.

++++++++++++++

***************************************

(20.12.2020 – 06:55 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් අතුරුදන්ව සිටි පියාගේ සහ දියණියගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (19) රාත්‍රී එම සිරුරු සොයාගෙන ඇති බවයි.

මියගොස් ඇත්තේ මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 3 හැවිරිදි දියණියයි.

අනතුරින් කැබ් රථයේ ගමන් ගත් 13 හැවිරිදි පිරිමි ළමයෙකු ද මරණයට පත්වූ අතර තවත් 13 හැවිරිදි ළමයෙකු බේරා ගැනුනා.

ඔහු මල්ලාවි රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පවතින වර්ෂාවත් සමග ජලය පිරී ඇති වැව බැලීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇතැයි සඳහන්.

කැබ් රථය වැවට පෙරලීමෙන් පසු යුද හමුදාව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ක්‍රියාත්ම කළ මෙහෙයුමකින් අනතුරුවයි පියාගේ සහ දියණියගේ සිරුරු සොයා ගැනුනේ.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (20) පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ මල්ලාවි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

***************************************

(20.12.2020 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් සමුළුවට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒම සඳහා දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක් ගත් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළා.

ඒ එම සන්ධානයේ සාමාජිකයන් අතර, සාකච්ඡාවක් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ (19) පැවති අවස්ථාවේදීයි.

එහිදී නව ව්‍යවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා ඉදිරිපත් කිරිමට ද තිරණය කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ පෙරේදා හමුවුණා. එහිදී උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි අවධානය යොමුවී ඇති බව වාර්තා වන්නේ.

මේ අතර, ජිනීවා මානව හිමිකම් කොමිසමට දමිල පක්ෂ නියෝජනය කරමින් ලිපියක් යොමු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කළ යෝජනාව තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම ලිපියෙහි දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ලක් රජයට තවත් කල් ලබා දිය යුතු බවට සඳහන් කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සඳහන් කළේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එහි දක්වන්නේ නම් එලෙස අදාළ ලිපිය යොමු කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන බවයි.

දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට ලක් රජය තවදුරටත් ප්‍රමාද වීම තම ජනතාවට කරන අසාධාරණයක් බවත්, එය කඩිනමින් සිදුකර ගැනීමට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල වගකීමක් බවත් සී.වී. විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

(20.12.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවක් හේතුවෙන් නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි ෴

***************************************

(20.12.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3 ක් තුළ සකස් කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ එම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරිම සඳහා පත්කළ විද්වත් කමිටුව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ ගන්නොරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේදී පැවැති සාකච්ඡාවකදියි.

එහිදි විෂය භාර අමාත්‍යවරයා එම විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය මාස 3 තුළ සකස් කරන ලෙසයි ෴

***************************************

(20.12.2020 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – හිඹුටාන ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 106 යි මිලිග්‍රෑම් 680 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (19) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් ෴

කේරළ ගංජා කිලෝ පහක් (5) සමඟ පුද්ගලයෙකු නිට්ටඹුව – හිඹුටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කේරළ තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු සමඟ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ.

මොහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක් ෴

***************************************

(20.12.2020 – 10:02 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් කහ කිලෝ 1900 ක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධීව රැගෙන විත් තිබු මෙම කහ තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

උර 59 ක අසුරා තිබු මෙම කහ ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා තිබී ඇති අතර එහි වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවටයි අනාවරණ වී ඇත්තේ.

තම්බපන්නි නාවික කඳවුරේ බුද්ධි ඒකකය මගින් වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරුවන් සහ ධීවර යාත්‍රාව පළාගොස් ඇතැයි සඳහන්.

අදාළ කහ තොගය විමර්ශණ සඳහා රේගුවට භාරදීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශණ ක්‍රියාත්මකයි ෴

***************************************

(20.12.2020 – 10:28 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බවට පවසමින් විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපානයේ රැකියා ලබාදෙන බවට පවසමින් මෙම පුද්ගලයා තරුණයන්ගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් අත්තිකාරම් මුදල් ලෙසට ඉල්ලා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු දෙබරවැව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා භාවිත කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි තිබී රජයේ ආයතන කිහිපයක ලිපි ශීර්ෂ සහිත ලිපි ගොනු ද හමුවී තිබෙනවා.

ලුණම ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට පැමිණි සැකකරු එම ප්‍රදේශයේ තරුණයෙකුට පවසා ඇත්තේ තමා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බැවින් ජපානයේ රැකියා ලබාදිය හැකි බවයි.

එම තරුණයාට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත තවත් පිරිසකගේ සහයෙන් අදාළ අමාත්‍යවරයාට සහ පොලිසියට දන්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ දේවාලය අසලදීයි.

සැකකරු සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

(20.12.2020 – 11:38 +0530 – hirunews.lk/sinhala)

කඳුකරයේ ප්‍රධාන දියඇලි පහක් (5) සහ ජලාශ තුනක (3) ඉහළ ජලධාරා ප්‍රදේශ සංරක්ෂණය සඳහා අක්කර 250 ක රුක් රෝපණය කිරීම පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

කාසල්රි ජලාශයෙන් එය ආරම්භ කර ඇත්තේ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින්.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය කිසිදු මුදලක් වැය නොකරන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

(20.12.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රන්බිම ඔප්පු දස ලක්ෂයක් (10,00,000) දිවයිනපුරා ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වයඹ පළාතේ ඔප්පු බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නීත්‍යානුකූල ඔප්පු 400 ක් බෙදා දුන්නා.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාට උපහාර පිණිස ඉදිකරන බිතු සිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

දඹුල්ලේ ඉදිකර ඇති මෙම පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 100 ක් වැය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, ‘මහාචාර්ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා පුහුණු පාසල’ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වුණා.

පුරාවිද්‍යා කටයුතු සඳහා පර්යේෂණ සිදුකරන දේශීය සහ විදේශීය පර්යේෂකයින්ට මෙය විවෘත වන අතර මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා සීගිරි ව්‍යාපෘතියේ ආරම්භක පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා ද වනවා.

***************************************

(20.12.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන ආනයනය මෙරට තුළ තාවකාලිකව නවතා දමා අදට මාස 06 කට අධිකයි.

මේ හේතුවෙන් වෙළෙඳ පොළේ පවතින ලියාපදිංචි කරන ලද වාහන අධික මිල ගණන්වලට අලෙවි වන අතර ඇතැම් රථවාහන අමතර කොටස් නොමැතිවීමේ තත්ත්වයක් ද මේ වනවිට දැකගත හැකියි.

මේ ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමක්.

***************************************

(20.12.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සම්පත් විකිණීමේ න්‍යාය පත්‍රයක ආණ්ඩුව නොමැති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සම්බන්ධව මතුව ඇති මත්භේදාත්මක තත්ත්වය පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

***************************************

(20.12.2020 – 15:12 +0530 – hirunews.lk/sinhala)

නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අනිද්දා (22) දක්වා දීර්ඝ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මාර්ගගත ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම පසුගිය මස 23 වනදා ආරම්භ කෙරුනු අතර, ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

2019 – 2020 නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 41,500 ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිතව තිබෙනවා ෴

***************************************

(20.12.2020 – 15:22 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාවත් සමඟ නාය යාමේ අවදානමක් හේතුවෙන් නුවර – වලපනේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කර තිබෙනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මලපට්ටාව ප්‍රදේශයෙන් නාය යාමේ අවදානමක් හේතුවෙන් මෙලෙස ගමනාගමන කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බවයි.

මීට පෙර ද අවස්ථාවකදී නාය යාමේ අවදානමක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබුවා ෴

***************************************

(20.12.2020 – 15:47 +0530 – hirunews.lk/sinhala)

යාපනය කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉඳිකොට තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ කඩා වැටී තිබෙනවා.

පැවති අධික සුළං තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් එම කුළුණ මුහුදට කඩා වැටී ඇති බව සිදුකළ පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් තිස්සේ එම කුළුණේ කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවීම හේතුවෙන් එලෙස කඩා වැටී ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රකශ කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

***************************************

(20.12.2020 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා ආයෝජකයින් දිරිගැන්වීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය සංවර්ධනය කිරීම අද (20) ආරම්භ වුණා.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ ප්‍රධානත්වයෙන්.

මෙම මාර්ගය අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක් ද වන අතර, නව සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම මාර්ගය මං තීරු 4 ක් යටතේ ඉඳිකෙරෙනු ඇති.

ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 300 ක් ෴

***************************************

(20.12.2020 – 16:46 +0530 – hirunews.lk/sinhala)

වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (20) පස්වරු තුනේ (03:00) සිට හෙට (21) පස්වරු තුන (03:00) දක්වා මෙම නායයෑමේ අවදානම බලාත්මකව පවතින බවයි ෴

***************************************

(20.12.2020 – 16:58 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේ දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට වට්ස් ඇප් මාර්ගයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ පෞද්ගලික සමාගම් ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 31 හැවිරිදි කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බවයි ෴

=======================================

(20.12.2020 – 06:38 +0530 – hirunews.lk/sinhala)

ඉඳුරුව – තුන්දූව බටහිර සහ තුන්දූව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර නව ආසාදිතයන් 618 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 36,667 ක් දක්වා ඉහළ යනවා.

මොවුන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ 32,998 ක් දක්වා ඉහළ යනවා.

ආසාදිතයන් 8,944 ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 27,552 ක්.

මේ අතර ජනතාව සමඟ නිරන්තරයෙන් ගැවසෙන තමන්ව ද පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කරන ලෙස ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ගන්නා සියලු‍ උත්සහයන්ට සිය සංවිධානයේ ආශිර්වාදය සහ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ ප්‍රකාශ කළා.

ඇය මේ බව සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති හමුවේදියි.

එහිදි මෙරට තුළ ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර ඒ හරහා මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පැවැති බවත් නැවත එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව රාජ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ හමුවේ අවධාරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(20.12.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම මේ දිනවල විවිධ ඖෂධ ඉදිරිපත් කරනවා.

දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ එවන් ඖෂධයක් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මොනවාද ?

අප මේ පිළිබඳව අයුර්වේද දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කමිටුවේ හිටපු සාමාජික ආයුර්වේද වෛද්‍ය එම්.එම්. විතානාච්චි මහතා ගෙන් විමසුවා.

+++++++++++++++++++++++

(20.12.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

දැනටමත් එවැනි එන්නත් හයක් (6) පිළිබඳව සළකා බලමින් සිටින බවට ප්‍රකාශ කළ අමාත්‍යවරයා ලබන සතියේදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-ෆයිව් එන්නත සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි කියා සිටියේ.

මේ අතර කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10 ක ණය මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බවට අද (20) දිනයේ ජාතික පුවත්පතක් වාර්තාකර තිබුණා ෴

+++++++++++++++++++++

(20.12.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය සළකා බස්නාහිර පළාත තුළ දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ උත්සව සමයේ විවිධ මිලදී ගැනීම් සඳහා නගරයට පැමිණෙන පිරිස් සහ ගම්බිම් බලා යන පිරිස් හේතුවෙන් ඉදිරි කාලය අවදානම් බවයි.

දිනක් තුළ කොළඹින් පුද්ගලයන් විසි පන්දහසක් (25,000) පිට පළාත්වලට සංක්‍රමණය වීම හේතුවෙන් පිට පළාත්වලටද වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියා.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අද (20) සිට නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයන් සෙවීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවයි.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 36,667 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 171 ක් ලෙසයි.

ඊයේ (19) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයන් 618 දෙනාගෙන් 241 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් වැඩිම පිරිසක් එනම් 31 දෙනෙකු බොරැල්ල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 3414 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ අලුතින් ආසාදිතයන් 42 කු වාර්තා වීමත් සමඟයි. වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැදවියන් 1901 කු සහ නිලධාරීන් 89 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ආසාදිතයන් 8,944 ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 27,552 ක්.

මේ අතර, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් අලුතින් ආසාදිතයන් 60 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම බල ප්‍රදේශයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 361 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 17 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව ඊයේ (19) හඳුනා ගැනුණු ආසාදිතයන් අතරින් 51 දෙනෙකුම වාර්තා වී ඇත්තේ මග්ගොන – අක්කරමලෙයි ප්‍රදේශයෙන්.

ඒ හේතුවෙන් අක්කරමලෙයි, මග්ගොන – නැගෙනහිර, මග්ගොන – බටහිර යන ග්‍රාම සේවා වසම් තුනට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

කළුතර – දකුණ – හීල් වීදිය, කුරේ පාර, මොස්ක් වීදිය, ධම්මාරාම පාර ප්‍රදේශයට ද ඊයේ (19) රාත්‍රියේ සිට සංචරණ සීමා පනවා ඇති බව පොලීසිය සඳහන් කළා.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හැටන් නගරයේ නිමි ඇඳුම් අලෙවිසැලකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළදසැල තාවකාලිකව වසා දමා එහි හිමිකරු සහ සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඔහු සේවය කළ කර්මාන්තශාලාවේ 118 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ.

අදාළ ආසාදිතයා පසුගිය 11 සහ 12 යන දෙදින හැටන් නගරයේ රාජ්‍ය බැංකුවකට ද පැමිණ තිබූ බැවින් එහි සේවකයන් දෙදෙනෙකු (2) ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

අවිස්සාවේල්ල – සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා 4 කින් තවත් ආසාදිතයන් 29 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම කලාපයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවලට සහය දෙන්නැයි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සභාව මෙරට මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි වැඩබලන මහලේකම් එම්.එස්.එම්. තාසිම් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැද තමාගේත්, තම සමීපතමයන්ගේත් සෞඛ්‍යාරක්ෂාව සලසා ගැනීම සෑම ඉස්ලාම් බැතිමතෙකුගේ යුතුකමක් විය යුතු බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයන් ක්ෂණිකව හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල දෙවන (2) තොගය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොරෝනා පරීක්ෂණ ධාරිතාව පුළුල් කිරීමට සහ වෛරසයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහය ශ්‍රී ලංකා රජය අගය කරන බවයි.

+++++++++++++++++++++++

(20.12.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබන 26 වනදා සිට විදේශ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණිය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

මීට පෙර මෙරටට පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබු අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටියේ ලියාපදිංචි වීම ඉවත් කළ ද මෙරටට පැමිණීමේදී ශ්‍රී ලාංකිකයින් අනෙකුත් සෞඛ්‍ය නීති පෙර පරිදි අනුගමනය කල යුතු බවයි.

මේ අනුව, ඉදිරියටත් දිවයිනට පැමිණෙන ලාංකිකයින් අනිවාර්යයෙන් පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කළ යුතු අතර, දිනකට එම පරීක්ෂණ මෙරට ගුවන් තොටුපල තුළ සිදුකිරීමේ ධාරිතාව පවතින්නේ 3,500 ක්.

ඒ අනුව ලාංකිකයින්ගේ පැමිණීම දිනකට උපරිමය 3,500 ක් විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 26 වනදා සිට රුසියාව, යුක්රේනය සහ කසකස්ථානය යන රටවලින් සංචාරකයින් ගෙන්වීම සඳහා සංචාරක නියෝජිත ආයතනයකට මේ වනවිට අවසර ලබාදී ඇති බවයි.

+++++++++++++++++++++++

(20.12.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 28,000 ඉක්මවා තිබෙනවා.

ඒ, අද (20) දිනයේදී තවත් ආසාදිතයින් 715 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 28,267 ක්.

තවදුරටත් රෝගීන් 8229 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(20.12.2020 – 18:42 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු අද (20) දිනයේදීත් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් කොරෝනා ආසාදිතයන් 36,929 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 171 ක්.

අද (20) දිනයේත් තවත් ආසාදිතයින් 715 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 28,000 ඉක්මවා 28,267 ක් ලෙසයි දැක්වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *