ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

*********************************************

ජනතාවට අවශ්‍ය මැතිවරණ නොව ගැටළු විසඳීමයි – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

(19.12.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අවශ්‍යවන්නේ මැතිවරණ පැවැත්වීම නොව ජනතා ප්‍රශ්න විසඳීම බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසනවා.

පෙළොන්නරුව කුමාරඇල්ල ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

පො‌ළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ කුමාරඇල්ල ප්‍රදේශයේ පෙතන්ආර විහාරස්ථානයේ සහ එම අවට ආරක්ෂාවට සවිකර ඇති විදුලි වැට මේ වන විට පවතින්නේ අක්‍රීය මට්ටමේයි.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අක්‍රීය විදුලි වැට හේතුවෙන් තමන් දැඩි දූෂ්කරතාවන්ට පත්ව සිටින බවයි.

මෙලෙස අක්‍රීය වී තිබෙන විදුලි වැට නිරීක්ෂණය සඳහා ‘සිංහලේ අපි ජාතික සංවිධානයේ’ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් පැමිණියා.

ඒහි දී පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුලු පිරිස පෙතන්ආර විහාරස්ථානය ආසන්න විදුලි වැට නැවත සවි කිරීමට කටයුතු කළා.

පසුව උන්වහන්සේ ඇතුළු පිරිස කුමාරඇල්ල වනජීවි කාර්යාලයට ගොස් මෙම විදුලි වැටේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සොයාබැලුවා.

***************************************

(19.12.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මොරටුව මහනගර සභාව සහ පොලීසිය දිගින් දිගටම තම වෙළඳාම් කටයුතුවලට බාධා කරන බව පවසමින් ‘ද මෙල්’ මාවතේ පදික වෙළඳුන් පිරිසක් මොරටුව මහනගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

පෙරේදා සිදුකෙරුණු මෙම විරෝධතාව සම්බන්ධයෙන් අප මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ වෙළඳාම් කිරීම සඳහා මහනගර සභාව විසින් වෙළඳපොලක් ඉදිකර තිබියදී අනවසර වෙළඳුන් පිරිසක් මෙලෙස පදික වේදිකාවේ වෙළඳාම් සිදුකරන බවයි.

අවස්ථා කිහිපයකදී ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස දැනුවත් කළ ද ඊට අවනත නොවීම හේතුවෙන් මෙම පිරිස ඉවත් කිරීමට කටයුතු කළ බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ ෴

***************************************

(19.12.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මේ රත්නපුර පොම්පකැලේ රක්ෂිතයේ පිහිටා ඇති ‘අපර් ක්ලබ්’ ක්‍රීඩා සංකීර්ණයයි.

1991 වසරේ රත්නපුර නිතිඥ සංගමයට වසර 30 ක බදු පදනම යටතේ නගර සභාව විසින් මෙය ලබා දී ඇති අතර අද වනවිට එහි තත්වයයි මේ.

ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා දිවා රාත්‍රී සිදුකළහැකි පහසුකම්, උත්සව ශාලාවක් සහ තවත් පහසුකම් රාශියක් ඉටුකරගත හැකි මෙම ක්‍රීඩා සංකීර්ණය ලාභ ඉපයිය හැකි ස්ථානයක් බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ භුමි භාගය අද වන විට නොයෙකුත් අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා සිදුවන ස්ථානයක් බවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

බදු පදනම මත ලබා දී ඇති මෙහි බදු මුදල් ගෙවීම කලක සිට පැහැර හැර ඇති බවට රත්නපුර නගරසභාවේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

පහසුකම් රාශියකින් හෙබි රත්නපුර ‘අපර් ක්ලබ්’ සංකීර්ණය නිසි භාවිතයට නොගෙන අභාවයට යාම පිලිබදව ප්‍රදේශවාසීන්ට ඇත්තේ දැඩි කණගාටුවක්.

මෙම සුන්දර භුමි භාගය විනානශ වී යාමට නොදී බලධාරීන් නිසි පියවරක් ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්

***************************************

(19.12.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

21 වැනි සියවසට ගැලපෙන නව තාක්ෂණයෙන් මෙරට දරු පරපුර සන්නද්ධ කළ යුතු බවට රට කරවන බලධාරීන් පැවසුවත් කොළඹින් දුර බැහැරට තාක්ෂණය නොයෑම හේතුවෙන් අසරණ වූ දරු දැරියන් පිරිසක් පිළිබඳව අප පසුගියදා අනාවරණ කළා.

හිරු පුවත ඵල දරමින් එම දරු දැරියන්ට තාක්ෂණික සහය ගැටලුවකින් තොරව ලබා ගැනීමට ඊයේ (18) සිට අවස්ථාව හිමිවීම සතුටට කරුණක්.

සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත නවගත්තේගම, මොරගහවැව ගම්මානයේ දරු දැරියන් අවදානමක් සමඟින් අකුරු කරනට වෙහෙසෙන පුවතක් අප අනාවරණ කළේ පසුගිය 29 වැනිදායි.

සිය දිවි දෙවැනි කොට අධ්‍යාපන කටයුතුවල නිරත වූ මෙම දරුවන්ගේ පුවත සැලවීමත් සමඟ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ උපදෙස් මත එම කොමිෂන් සභාවේ නිලධාරීන් සහ තවත් පෞද්ගලික දුරකතන සමාගම් දෙකක් (2) පසුගියදා එම ගම්මානයට පැමිණියා.

ඒ අනුව හිරු පුවත ඵල දරමින් අවදානමක් මැද අකුරු කෙරූ මෙම දරුවන්ට මොරගහවැව, ජල ටැංකිය මත සන්නිවේදන පද්ධතියක් ඉදිකර දී තිබුණේ මෙලෙසින්.

මීට අමතරව මොරගහවැව, දංගස්වැව විද්‍යාලයට සන්නිවේදන පද්ධතියක් ලබාදීමත් ඊයේ (18) දිනයේ සිදුවුණා.

එදිනෙදා ජීවිතයේ වැඩ පහසුකර ගැනීමට ඇති තාක්ෂණය තම අනාගතයේ දොරටු විවර කර ගැනීම වෙනුවෙන් නිසි ලෙස සකස් කර දීමට මැදිහත්වීම පිළිබඳව මව්පියන් සහ දරුවන් සිය සතුට වචනවලට පෙරළුවේ මෙලෙසින්.

***************************************

(19.12.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මේ මස පළමුවනදා සිට 17 වනදා දක්වා කාලය තුලදී සිරකරුවන් 7479 ක් ඇප සහ නිදහස ලබා පිටව ගොස් තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිරගත කර සිටියදී නිදහස ලබා පිටව ගිය පිරිමි රැඳවියන් ගණන 551 ක් වන අතර, කාන්තා රැඳවියන් 13 දෙනෙකු ද ඊට අයත් බවයි.

සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිමි රැඳවියන් 6760 ක් සහ කාන්තා රැඳවියන් 155 කු ද මෙලෙස ඇප හා නිදහස ලබා පිටව ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

(19.12.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන හා ග්‍රාම ශක්ති ව්‍යාපෘතින් 3 ක් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සඳහා අවබෝධතා ගිවිසුම් 4 කට අත්සන් තබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා අතරයි.

ව්‍යාපෘතීන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නිවාස සඳහා අත්තිකාරම් වශයෙන් වාරික මුදල් නිකුත් කිරීමට මෙම අවබෝධතා ගිවිසුම් වලින් අවස්ථාව සලසාදෙනු ඇති බවයි කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත සංවර්ධන සහයෝගිතාවය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වනවා.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 560 ක් ලබාදී ඇත්තේ ප්‍රදාන වශයෙනුයි ෴

***************************************

(19.12.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

සංරක්ෂිත සත්ත්ව විශේෂයක් වන මෝරා මත්ස්‍යයින්ගේ වරල් තොගයක් සමඟ ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් සමරනායක මහතා පැවසුවේ ධීවර කටයුතුවල නිරතව සිට වැලිගම – මිරිස්ස ධීවර වරාය වෙත පැමිණි බහුදින යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙලෙස මෝර මත්ස්‍යයින්ගේ වරල් 31 ක් සඟවා තිබියදී සොයා ගත් බවයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා ෴

***************************************

(19.12.2020 – 17:12 +0530 – hirunews.lk/sinhala)

කතරගම ගාමිණීපුර ප්‍රදේශයේදී ගේට්ටුවක් සිරුරට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (19) උදෑසන 07:30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ අවුරුදු 70 ක් පමණ වන අයෙක්.

ඔහු එම ස්ථානයේ පූජකවරයෙකු ළග සේවය කරමින් සිට ඇති අතර අද (19) උදෑසන ගේට්ටුව වැසීමට යාමේදී එය කඩාවැටී තිබෙනවා.

මෙම සිද්ධිය එහි සවිකර තිබූ කැමරාවල ද සටහන් වී තිබුනා.

මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

***************************************

(19.12.2020 – 18:15 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් වව්නිකුලම් ප්‍රදේශයේ වැවකට කැබ් රථයක් පෙරලීමෙන් වයස අවුරුදු 2 ක කුඩා දැරියක් ඇතුලු තුන්දෙනෙකු (3) අතුරුදන්වී තිබෙනවා.

ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අද (19) සවස මෙම අනතුර සිදුව ඇති අතර ඔවුන් එකම පවුලේ පියා පුත්‍රයා සහ දියණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අතුරුදන්ව ඇත්තේ අවුරුදු 38 ක පුද්ගලයෙක් සහ ඔහුගේ අවුරුදු 12 ක පුත්‍රයා සහ අවුරුදු 2 ක දියණියයි.

කැබ් රථයේ සිටි තවත් දරුවෙකු (1) අනතුරින් දිවි බේරාගෙන තිබෙනවා.

මල්ලාවි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

+++++++++++++

***************************************

(19.12.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 142.5 ක පිරිවැයකින් යුත් යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන (3) අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසෙහි ඉදිකිරීම් අද (19) ආරම්භ වුණා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර, මෙරට කතෝලික ජනතාව දුෂ්කරතම අවස්ථාවන්වලදී මනුෂ්‍යා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවුඩය සුරක්ෂිත කර ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ කුරුණෑගල ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ අද (19) පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින්.

***************************************

(19.12.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා වේල්ලට මෙන්ම, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ප්‍රකාශ කළා.

ඒ අදාළ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පර්යේෂණ කණ්ඩායමක් අද වික්ටෝරියා වේල්ල අවට ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විවිධ අවස්ථාවන්වලදී එම ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන සිදුවීමත් සමඟයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරනු ලැබුවේ.

ඊට අමතරව, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ කමිටුවක් ද මෙම භූ කම්පන හා වික්ටෝරියා වේල්ලේ පැවැත්ම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා.

ඒ අනුවයි අද එම පරීක්ෂණ කණ්ඩායම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සමඟ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණේ.

1985 වැඩ නිම වූ මෙරට උසම වේල්ල වන වික්ටෝරියා වේල්ල, ඝණ මීටර් මිලියන 722 ක ජල ධාරිතාවයක් රඳවා ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, භූ කම්පන මගින් වේල්ලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සඳහන් කළේ.

***************************************

(19.12.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් ලබාගැනීම පක්ෂයේ මතය පාවාදීමක් බව එම පක්ෂයේ සම මාධ්‍ය ප්‍රකාශක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා පවසනවා.

ගම්පහදී අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා.

මේ අතර අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

***************************************

(19.12.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ සාධාරණ ලෙස රටතුළ නීතිය ක්‍රියාත්මක නොවූ බවට අදත් (19) විවිධ අදහස් පළවුණා.

***************************************

(19.12.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය වශයෙන් ධාන්‍යාගාර ඉදි කිරීම මගින් සහන මිලට සහල් ලබාදීමට බලාපොරොත්තු වන බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

‘වැඩ සමඟ යළි ගමට’ ව්‍යාපෘතියේ සබරගමුව පළාත් වැඩසටහනට රත්නපුරයේදී එක්වෙමින් ඔහු සඳහන් කළේ ව්‍යවසායිකාවන් බිහි කිරීම මගින් සමුපකාර සේවය ද නගා සිටුවීමට පියවර ගන්නා බවයි.

***************************************

(19.12.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹු උවදුර මර්දනය සඳහා ආනයනය කළ වෛරසය මේ වනවිට ප්‍රදේශ රැසක වගාවන් සඳහා ඉසීමේ කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය W.M.W. වීරකෝන් මහතා පවසනවා.

කෙසේ වෙතත් යළි ව්‍යාප්ත වෙමින් සිටින සේනා දළඹු උවදුරේ බලපෑමට ලක්වූ තවත් ප්‍රදේශ කිහිපයක් අදත් (19) අපට වාර්තා වුණා.

සති කිහිපයක පටන් යළි ව්‍යාප්ත වෙමින් තිබෙන සේනා දළඹු උවදුර හේතුවෙන් දැනට වැඩි බලපෑමක් ඒල්ලවී ඇති වී ඇත්තේ අම්පාර, මොණරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ සේනා දළඹු උවදුර මර්දනය සඳහා අමෙරිකාවෙන් ආනයනය කළ වෛරසය මේ වන විටත් ප්‍රදේශ කිහිපයක් සඳහා යොදාගනිමින් තිබෙන බවයි.

කෙසේ වෙතත් මහියංගනය කොහොඹගොඩයාය ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිගු වගාවකටද සේනා දළඹු උවදුර ව්‍යාප්තව ඇති බව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

ත්‍රීකුණාමලය මොරවැව ප්‍රදේශයේ රලපනාව ගම්මානයේ ද අක්කර 50 ක පමණ වගාබිම් ප්‍රමාණයක් සේනා දළඹු උවදුරට ලක්ව තිබෙනවා.

ඊට අමතරව ගෝමරන්කඩවල ප්‍රදේශයේ අක්කර 180 ක පමණ බඩඉරිගු වගාවන්ද සේනා දළඹු උවදුර හේතුවෙන් මුළුමණින්ද පාහේ විනාශ වී ඇති බව වාර්තා වුණා.

කසේවෙතත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමෙරිකාවෙන් ආනයනය කළ වෛරසය මෙම ප්‍රදේශවලටද ලබාදීමට කටයුතු කර ඇති බවයි.

=======================================

(19.12.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු ඊයේ (18) දිනයේදි හඳුනාගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම සියලු දෙනා පිරිමි රැඳවියන් බවයි.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සංඛ්‍යාව 3,372 ක්.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114 දෙනෙකුද වනවා.

එසේම, මේ වනවිට සුවය ලැබූ මුළු බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,172 ක් ෴

++++++++++++++++++++++

(19.12.2020 – 15:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන වැඩපිළිවෙලේදී වෛද්‍ය පරිපාලකයන් ලබාදෙන සහය අගය කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යාලයීය සභාවේ 27 වන වාර්ෂික සැසිවාරය ඊයේ (18) අමතමින්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර විසඳුම් ලබාදෙන ලෙස මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෛද්‍ය පරිපාලකයන්ගෙන් ඉල්ලා සිටියා ෴

++++++++++++++++++++++

(19.12.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 491 ක් සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් ආසාදිතයින් 8,332 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 ක් ෴

+++++++++++++++++++

(19.12.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 495 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36,544 ක් දක්වා ඉහළ යනවා.

මෙරට වාර්තාවූ ආසාදිතයන්ගෙන් 27,552 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 165 ක් ෴

++++++++++++++++++++++

(19.12.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන උත්සව සමයේදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තැබෑරුම් වසා දැමීමට යෝජනා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

අද (19) දිනයේදී කොරෝනා ආසාදිතයින් 495 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 36,544 ක්.

එසේම, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 491 දෙනෙකුද අද (19) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 27,552 ක් ලෙසින්.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,827 ක් පමණයි.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන කිහිපයක අද (19) දිනයේත් සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 750 ක් අතුරෙන් එක් (1) කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම, අනවශ්‍ය සංචරණයෙන් වැළකී නිවාඩු සමයේ තමන්ගේ නිවෙස්වලට වී ගත කිරීමට කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, මෝදර – රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ සිටි 95 දෙනෙකුගෙන් 45 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කළ 06 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ.

මේ අතර, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටඨාසයට අයත් පූගොඩ කුමාරිමුල්ල ගම්මානයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ එම ගම්මානයට සංචරණ සීමා පනවනු ලැබුවා.

එසේම, ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ – ඉඳුරුව – තුන්දූව ප්‍රදේශයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 327 කින් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, සංචාරක ව්‍යාපාරය සඳහා විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මේ අතර, සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල මහතා සහ එම සංගමයේ කොළඹ බල මණ්ඩලයේ සභාපති නිපුණ කළුපහන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මුහුණ පා ඇති අපහසුතා පිළිබඳව අදහස් පළ කළා.

එසේම, සහන පොලියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය ගත් තීරණයට අනුව ණය ලබාගැනීමට යාමේදී තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළා.

++++++++++++++++++++

(19.12.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් අඩාල වූ පෞද්ගලික උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ණය ලබා ගැනීමට යාමේදී තමන් දැඩි අපහසුතාවලට පත්වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය ගත් තීරණයට අනුව ත්‍රීරෝද රථ හිමියන්ටද සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකි බවට නිවේදනය කර තිබුණා.

ඒ අනුව මසකට රුපියල් 50,000 ට වැඩි වැටුප් හෝ ආදායම්ලාභීන්ට රුපියල් 50,000 ක ණය මුදලක්ල මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 – 50,000 අතර පිරිසට රුපියල් 25,000 ක ණය මුදලක් සහ ආදායම රුපියල් 25,000 ට අඩුනම් රුපියල් 10,000 ක ණය මුදලක් ලබාදීමට යෝජනා කර තිබුණා.

ඒ, ණය මුදල 0.625 % ක මාසික සහන පොලියක් යටතේ මාස 10 ක් ඇතුළත ගෙවා නිම කිරීමේ පදනම මතයි.

කෙසේ වෙතත් මෙම ණය සහනය ලබා ගැනීමට යාමේදී තමන් අපහසුතා රැසකට මුහුණ දුන් බව ජාතික ඒකාබද්ධ ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය මැසිවිලි නගනවා.

+++++++++++++++++++++++

(19.12.2020 – 21:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 6 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 171 ක්. මියගොස් ඇත්තේ කාන්තාවන් තුන්දෙනෙක් (3) සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් (3).

එක් කාන්තාවක් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු 39 ක්. ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා තිබුණා. එහිදී අද (19) ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම සහ කොවිඩ් නිව්මෝනියාවයි.

මියගිය අනෙක් කාන්තාව කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි අයෙක්. ඇය ඊයේ (18) නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවූ හෘදයාබාධයක් හා කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයක්.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක් ද මියගොස් තිබෙනවා. ඇය ද ඊයේ (18) නිවසේදීයි මරණයට පත්වී ඇත්තේ. මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් හා කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයක්.

මේ අතර වීරගුල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගොස් තිබෙනවා. වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඊයේ (18) ඔහු මියගොස් තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ පපුවේ ආසාදනයකුයි ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 77 ක අයෙකු ද මරණයට පත්වුනා. කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ පසුගිය 17 වනදා මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ අධි රුධිර පීඩනය දියවැඩියාව සහ කොවිඩ් නිව්මෝනියාවයි.

මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 76 ක පිරිමි අයෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී පසුගිය 17 වනදා මියගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 නිව්මෝනියාවයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 123 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 618 ක්.

අද (19) වාර්තාවූ මෙම ආසාදිතයන් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 36667 දක්වා ඉහළ යනවා.

+++++++++++++++++++++

දෙවියන් දුන්නැයි කියන බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි…

(20.12.2020 – 03:26 +0530 – lankacnews.com)

බයිබලය සහ කුරාණය පිළිගැනීමට හැකි නම් කාලි මෑණියන් දුන් බව කියන පැණිය පිළිගන්නට නොහැකි මන්දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ අති බහුතරයක් ජනතාව මෙම ආගම් දෙක (2) අදහන බවත් ඔවුනගේ මුල් කෘතීන් වන බයිබලය සහ කුරානය කිසිදු විචාරයකින් තොර පිලිගන්නා බවත්ය.

එම කෘතීන් දෙකෙහිම (2) සටහන් කර ඇත්තේ ඒවා දෙවියන් විසින් පැවසූ බව යැයි උන් වහන්සේ පෙන්වා දෙයි.

දෙරන නාලිකාවේ ‘මොකද උනේ’ වැඩසටහන සමග එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Provincial government elections. Sri lanka is a small country, even smaller than Tamil Nadu. So the central government should be sufficient to administer the entire country from Colombo. If we were to have provincial government then there would be another tier of government, an infrastructure and administrators all of which cost money, as well as introducing conflicts in policy and variations in the policy implementation between provinces. It would also provide a catalyst to ethnic conflicts coming from their desire to be independent. The other problem is the retun to local political gansterism, thuggery, and local mafias, all of which reflected badly on the central governement and the party in charge the previous occasion. There was serious and endemic corruption when the provincial governements were operating. We saw no benefits to the average people, and only the corrupt deshapaluwos and gangsters benefitted. So please abandon these provincial elections and redeclare a unified country free of a wasteful second tier government. Let the people enjoy the benefits of progress and not allow the selected few to hold the nation to ransom.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *