රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට

*********************************************

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු වස්කඩුවේදී අත්අඩංගුවට

(19.12.2020 – 06:28 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ ‘හැරල්ඩ් රොහාන් ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ නැමැති ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයින් දෙදෙනෙකු (2) ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කළුතර උතුර – වස්කඩුව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවන්හලක රැඳී සිටියදීයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

***************************************

(19.12.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් (1,40,00,000) පමණ වටිනා ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන ගංජා කොලවලට සමාන වියළි කොළ තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ නයිජිරියාවේ සිට ගුවන් තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත ඒවා යොමු කර තිබූ බවයි.

හිසකෙස් කළුපැහැ ගැන්වීම සඳහා භාවිත කරන වර්ණක ලෙසින් මේවා එවා තිබුණේ මහනුවර – අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නමකට බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුව, අදාළ හිමිකරු ද මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය කොල තොගය ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරින් වෙත යොමුකර තිබෙනවා.

එහිදී මෙම කොළ තොගය මත්ද්‍රව්‍ය බවට තහවුරු වුණා ෴

***************************************

(19.12.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මිටියාගොඩ පොලිස් වසමේ නිවාස දෙකක (2) සඟවා තිබූ කඩු 4ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (18) රාත්‍රියේ ඇල්පිටිය, බද්දේගම, තෙලිකඩ, පිටිගල, බටපොල සහ මිටියාගොඩ යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරී කණ්ඩායම් හයක් (6) එක්ව සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ බටපොල සහ මිටියාගොඩ එරනවිල පදිංචි සැකකරුවන් දෙදෙනෙක් (2) ෴

***************************************

(19.12.2020 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ගන්දර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියත් සමඟ අදාළ සැරයන්වරයා වැඩතහනමට ලක්කර මාතර පොලිසියට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(19.12.2020 – 08:54 +0530 – hirunews.lk/sinhala)

උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක් අද (19) අලුයම අපවත් වී තිබෙනවා.

එම සාමණේර හිමිනම අපවත් වී තිබෙන්නේ සිය කුටියේ ඇද වැටීමෙන් බවයි වාර්තා වන්නේ.

ඒ පිළිබඳ විහාරස්ථානයේ වැඩ සිටින හිමි නමක් විසින් හබරාදූව පොලීසියට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විසින් විමර්ශනය ක්‍රියාත්මකයි වනවා.

***************************************

(19.12.2020 – 09:09 +0530 – hirunews.lk/sinhala)

උපරිමාධිකරණ සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් 57 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ විශේෂ පවිත්‍රතා, ආරක්ෂක සහ උපරිමාධිකරණ කාර්ය මණ්ඩල සේවකයින්ගෙන්.

මීට අමතරව ලබන සතිය තුළදී සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමටද බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා ෴

***************************************

(19.12.2020 – 11:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට ස්ථාන කිහිපයක සිදු වූ රන් ආභරණ කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසකට සම්න්ධ ‘පහේ කල්ලිය’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකල්ලියේ සිව්දෙනෙකු (4) මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (18) රාත්‍රියේ, මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදීයි.

ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි දෙකක්, ජංගම දුරකථන සහ කොල්ලකන ලද රන් භාණ්ඩ තොගයක් ද මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සොයා ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, යතුරුපැදි වලින් ගමන් කර මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රං මාල කොල්ලකෑම් , ගෙවල් බිදුම් සහ මිනිස්සුන් බිය වද්දා මුදල් කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු කර තිබෙනවා.

වයස අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන ඔවුන් මහියංගනය, මොනරාගල, වැල්ලවාය සහ කුඩාඔය යන ප්‍රදේශවල පදිංචිකරුන් පිරිසක් බවයි පොලීසිය ප්‍රකශ කළේ.

අදාල සැකකරුවන් අද (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

***************************************

(19.12.2020 – 12:22 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි (3) අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගය ඉදි කිරීමේ කටයුතු අද (19) ආරම්භ වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි මුල්ගල් තැබීමේ කටයුතු අද (19) පෙරවරුවේ සිදුකෙරුණේ කුරුණෑගල – පොතුහැර – වදාකඩ මාර්ගයේදී යි ෴

***************************************

(19.12.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

තම පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ළඟදීම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ රජයේ සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම පිළිබඳව අදහස් දක්වමින්.

එය බරපතල ගැටලු‍වක් බවට එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකළා.

එසේම, සන්ධානගත වීම නිසා තම පක්ෂයට හානි සිදු නොවිය යුතු බව ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යළි ප්‍රකාශ කළා.

***************************************

(19.12.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා එම බන්ධනාගාරයේ නිලධාරින් භාවිත කළ ගිනි අවි 49 ක් රාගම පොලීසිය වෙත භාර දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ටී-56 ගිනි අවි 10 ක්, ටී-87 ගිනි අවි 21 ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 7 ක් සහ රිපීටර් 11 ක් මෙලෙස රාගම පොලීසියට භාර දුන් බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාගම පොලීසියෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ පොලීසිය භාර ගත් සියලු ගිනි අවි වත්තල අධිකරණයට භාර දුන් බවයි.

පසුගිය නොවැම්බර් 29 වනදා රාත්‍රියේ මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියත් සමඟ රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර තවත් 107 දෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධියට අදාළ නඩුවක් ද මේ වනවිට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා.

මේ අතර, ගන්දර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට වෙඩි වැදී තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියත් සමඟ අදාළ සැරයන්වරයා වැඩතහනමට ලක්කර මාතර පොලිසියට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මාතර ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සැරයන්වරයා විසින් එම ගිනිඅවියේ උණ්ඩ පරීක්ෂා කරන අවස්ථාවේදී හදිසියේම උණ්ඩයක් නික්මී තිබෙනවා.

පසුව එය බිම වැදී කෑලී කිහිපයකට කැඩී ඇති අතර, එහි එක් කොටසක් සිරමැදිරියේ සිටි සැකකරුවෙකුගේ පිටෙහි වැදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ස්කෑන් පරීක්ෂාවක් සඳහා අදාළ සැකකරු මාතර රෝහලට ඇතුලත් කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන ඔහු ධීවර රැකියාවේ නිරත වන්නෙකු බවයි එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

=====================================

(19.12.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා මරණ 05 ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මියගිය 05 දෙනාගෙන් සිවු (4) දෙනෙකුම පිරිමි පුද්ගලයින් බවයි.

එලෙස මියගිය පිරිස අතර අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 අයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පංදිචි වයස අවුරුදු 76 ක අයෙක්, මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක අයෙක් සහ වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 86 ක අයෙකු වනවා.

මීට අමතරව ඊයේ (18) වාර්තා වූ මරණවලට අදාළ කාන්තාව මග්ගොන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 86 ක කාන්තාවක බවයි රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුව බවයි සඳහන් කළේ.

නව ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 32,380 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදනයවූවන් 8,828 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඊයේ (18) දිනයේදී 708 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 27,061 ක් වනවා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වූවද වෙනත් රෝගාබාධ සඳහා රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට බිය නොවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, දරුවන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය අදහස් පළ කළා.

එහිදී ඇය කියා සිටියේ කුඩා දරුවන් ස්පර්ශ කිරීම, සිප ගැනීම වැනි ක්‍රියා හැකිතාක් මවට පමණක් සීමා වන ලෙස සිදුකළ යුතු බවයි.

විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේදී මව හෝ පියාට පමණක් එම කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීම අවශ්‍ය වූවද ඒ සඳහා ප්‍රමාණවත් මානව සම්පත් කොළඹ මහනගර සභාව සතු නොවන බවයි.

මේ අතර, පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ බන්දාව ග්‍රාමසේවා වසමට සංචරණ සීමා පනවා ඇති බව පොලිසිය සඳහන් කළා.

ගාල්ල ප්‍රදේශයේ සංචරණ සිමා පනවා තිබු ග්‍රාමසේවා වසම් 7 න් 2 ක් හැර අනෙක් ප්‍රදේශ වල සංචරණ සීමා ඉවත් කර තිබෙනවා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන් කළ බොරැල්ල ප්‍රදේශයේ පිරිසක් මත්තල පිටවීමේ පර්යන්තයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

51 දෙනෙකුගෙන් යුත් එම පිරිස අතර දැනට හුදෙකලාවට ලක්කර ඇති වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඔවුන් සියලු දෙනා යළි බොරැල්ලට රැගෙනවිත් නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති අතර, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරුට සහ හිමිකරුට නඩු පැවරීමට නියමිතයි ෴

++++++++++++++++++++++++

(19.12.2020 – 10:13 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ අද (19) දිනයේ ද සිදුකරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, කොළඹ – පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ ප්‍රදේශයේදීත්, හයිලෙවල් මාර්ගයේ සාලාව ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටඹුව ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

ඊයේ (18) ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ පරීක්ෂණ 451 ක් සිදුකර ඇති අතර ඉන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගත්තා.

තවත් දෙසතියක කාලයක් මෙම ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

++++++++++++++++++++

(19.12.2020 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (18) වාර්තා වූ නව ආසාදිතයින් 662 දෙනාගෙන් 259 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් 164 ක් සහ ගම්පහින් වාර්තා වන ආසාදියින් ගණන 79 ක්.

අනෙක් ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවල වන අතර ඊයේ (18) වාර්තා වූ ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු (2) විදේශ ගතව මෙරටට පැමිණි විදේශීය ජාතිකයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(19.12.2020 – 11:28 +0530 – hirunews.lk/sinhala)

අද (19) පෙරවරු 08:30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් මෙහෙයුම් 15 ක් තුළ විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 750 ක් කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණියා.

එලෙස පැමිණි පුද්ගලයින් අතර, 119 දෙනෙකු කටාර් සිට සහ 48 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, තවත් ශ්‍රී ලාංකිකයින් 600 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා විදේශයන්හි රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++

(19.12.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (18) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් හයසිය හැට දෙදෙනා (662) අතරින් ආසාදිතයින් 259 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් ආසාදිතයින් 44 දෙනෙකු, දෙමටගොඩින් ආසාදිතයින් 33 දෙනෙකු සහ අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 25 දෙනෙකු ඒ අතර වනවා.

ඒ අනුව කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,624 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ (18) වාර්තා වී තිබුණා.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා අවදානම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය ඒ සඳහා යොමුවිය යුතු බවයි.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ අද (19) දිනයේද සිදුකරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, කොළඹ – පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ ප්‍රදේශයේදීත්, හයිලෙවල් මාර්ගයේ සාලාව ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටඹුව ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ සිදුකෙරෙනවා.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන් කළ බොරැල්ල ප්‍රදේශයේ පිරිසක් මත්තල පිටවීමේ පර්යන්තයේදී පොලිස් භාරයට ගැනුණා.

51 දෙනෙකුගෙන් යුත් එම පිරිස අතර දැනට හුදෙකලාවට ලක්කර ඇති වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද සිටි අතර, එම පිරිස යළිත් බොරැල්ල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ඉන් බැහැරව යෑම සඳහා අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *