ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක්

ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක්

*********************************************

ගැබිනි මවුවරුන්ට උදේ කෑම නොමිලයේ දෙන අඹුසැමි යුවළක්

(18.12.2020 – gossiplankanews.com)

කොට්ටාව – මාලබේ පාරේ විද්‍යාල හන්දිය අසල ආපනශාලාවක් ගැබිනි මවුවරුන්ට උදේ ආහාරය නොමිලයේ ලබාදෙන බව වාර්තාවේ. මාලබේ, තලාහේන ප්‍රදේශයේ පදිංචි මහේෂ් පෙරේරා සහ ගංගා සේනාරත්න යන යුවළ මේ කාර්යය ඉටු කරන අතර මෙම ආපන ශාලාවෙන් වසර දෙකක (2) පමණ සිට ගැබිනි මවුවරුන්ට උදේ ආහාරය නොමිලයේ දෙන අතර පුජ්‍ය පක්ෂයේ හෝ යාචකයකු පැමිණි අවස්ථාවකදී ද අය කිරීමකින් තොරව ආහාර ලබා දීමට පියවර ගන්නා බව එහි හිමිකරු පැවසීය.

මේ පිළිබඳව ආපනශාලාවේ හිමිකරු මහේෂ් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කීය :

“අපි විවාහ වෙලා අවුරුදු 27 ක් වෙනවා. අපිට දැන් දූලා දෙන්නෙක් (2) ඉන්නවා. මුල් කාලේ ආර්ථික ප්‍රශ්න නිසා අමාරුවෙන් තමයි ජීවත් වුණේ. සමහර වෙලාවට පාන් කෑල්ලක් කාලා අපි දෙන්නා කුස පුරවා ගත්තා. ඒත් අපි කාටවත් බරක් වුණේ නැහැ. මගේත් බිරිඳගේත් උත්සාහය නිසා අද හැකි පමණින් අනුන්ටත් උදවුකරමින් සතුටින් අපේ ජීවිතය ගත කරනවා.

මගේ ව්‍යාපාරය තමයි ආපනශාලා පවත්වාගෙන යාම, ඒ හැම තැනකම මම ගැබිනි මව්වරුන්ට උදේ ආහාරය නොමිලයේ දෙනවා. ඒ විතරක් නෙමෙයි පූජ්‍ය පක්ෂයේ කෙනෙක් යාචකයෙක් ආවත් සල්ලි ගන්නේ නැහැ. ඒක වසර දෙකක (2) ඉඳලා කරගෙන යනවා. මේක අපේ සතුට වෙනුවෙන් කරන දෙයක්. මේ සඳහා මට මගේ බිරිඳත් මගේ සහෝදරියත්, ඇයගේ සැමියාත් උදව් කරනවා.”

මේ පිළිබදව ගංගා සේනාරත්න මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය :

“මීට වසර විස්සකට (20) පෙර මගේ දෙවැනි බබා හම්බවෙන්න රෝහලට යන්න සූදානම් වෙද්දී මුදල් අගහිගකම නිසා ත්‍රීරෝද රථයක් හොයාගන්න පරක්කු වුණා. මට ගොඩක් අමාරු වෙලයි තිබුණේ. කොහොමහරි වාහනයක් හොයාගෙන රෝහලට යද්දී මගේ බබා මිය ගියා. හැබැයි පරක්කු නොවී රෝහලට යන්න තිබුණා නම් දරුවා බේරාගන්න තිබුණා. ඒ තරමටම අපිට ඒ කාලේ ආර්ථික ප්‍රශ්න. මේ අත්දැකීමෙන් මමත් සැමියාත් පුදුම විදියට දුකින් සිටියේ. මේ ගැන කල්පනා කර කර ඉන්නැද්දි මම සැමියාට කිව්වා අපේ බබා වෙනුවෙන් මොකක්හරි කරමු කියලා. ඊට පස්සේ තමයි සැමියා මේ සත්කාරය කරන්න පටන් ගත්තේ.”

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

+++++++++++

***************************************

අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් මුලතිව් කැලෑවක

(18.12.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, තන්නමුරුප්පු – නාගචෝලේ රක්ෂිතයෙන් අනුරාධපුර යුගයට අයත් ඉපැරණි සෙල් ලිපියක් සොයා ගෙන තිබෙනවා.

පුරාවිද්‍යා උරුමයන් සම්බන්ධ ගවේෂක වික්‍රමසිරි පියදාස මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මිනින්දෝරු සහ පුරාවිද්‍යා නිලධාරින් සිදුකළ ගවේෂණයකදී මෙම සෙල්ලිපිය සොයා ගෙන ඇති බවයි.

අනුරාධපුර යුගයේ අවසන් සමය වන ක්‍රිස්තු වර්ෂ 946 සහ 954 යන යුගයේ එහි පාලකයා වූ හතර (4) වන උදය රජුට අයත් ඉපැරණි සෙල් ලිපියක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

අතීතයේ කුරුන්ද විහාරය නමින් හඳුන්වන ස්ථානයක තිබී මෙම සෙල්ලිපිය සොයා ගෙන ඇති අතර, නිදන් හොරුන් විසින් සෙල්ලිපිය පැවති ස්ථානයේ නිදන් ලබා ගැනීම සඳහා කැණීම් සිදුකර ඇති බවද සඳහන්. අදාළ ස්ථානයෙන් කබොක් ගල් වලින් ඉදිකරන ලද ස්ථූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුළුණු සහිත ගොඩනැගිල්ලක්, සඳකඩ පහනක් සහ ශිලාමය උළුවහු කිහිපයක් ද මීට පෙර හමුවුණා.

මෙම පරිශ්‍රය 1933 මැයි 12 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් අක්කර 78 ක පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූවක්.

***************************************

(18.12.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික් සංචාරක සංවර්ධන කලාපය පරිසර හිතකාමීව ක්‍රියාවට නැංවීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් හෙට (19) සහ අනිද්දා (20) ආරම්භ කිරීමට නියමිතයි.

කිතුල්ගල සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළියේ සිට මහනුවර දක්වාත්, නුවරඑළියේ සිට බදුල්ල දක්වාත් විශේෂ සංචාරක කලාපයක් ලෙස මෙහිදී ප්‍රධාන මාර්ග දෙපස දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ගත හැකි වන ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම, නුවරඑළිය තුරඟ තරග පිටිය සංවර්ධනය කිරීම, රම්බොඩ හා තවලම්තැන්න සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීම අනිද්දා (20) දිනයේදී ආරම්භ කෙරෙනවා. ඒ අනුව, නුවරඑළියේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දිගින් කිලෝමීටර් 3.9 කින් යුත් කේබල් කාර් පද්ධතියක් ද සවි කිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනය කළේ.

නුවරඑළියට පැමිණෙන සංචාරකයින් සඳහා මෙවැනි සංචාරක කලාපයක අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට පෙන්වා දී තිබෙනවා. මෙහි ඉදිරි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමති අනුකමිටුවක් ද පත් කිරීමට නියමිතයි ෴

=====================================

(18.12.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 650 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 31,720 ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,874 ක් වන අතර ඊයේ (17) දිනයේදි ආසාදිතයින් 701 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26,353 ක් වනවා.

එසේම, රුසියානු සහ චීන කොරෝනා එන්නත් ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (17) ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අවශ්‍ය ඕනෑම වේලාවක අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *