කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි

කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි

*********************************************

කොරෝනා අසාදිත මවකට සිව් (4) නිවුන් දරු උපතක් – වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකු සැත්කමට එක්වෙයි

(17.12.2020 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත මවක් කොළඹ ‘ද සොයිසා කාන්තා රෝහලේ’ දී අද (17) සිව් (4) නිවුන් දරු උපතක් සිදු කළා.

එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගැහැණු දරුවන් දෙදෙනෙකු (2) සහ පිරිමි දරුවන් දෙදෙනෙකු (2) බිහි කළ මව 29 හැවිරිදි මරදාන – කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මව සහ දරුවන් සිව්දෙනා (4) නිරෝගි සුවයෙන් පසුවනවා.

කොරෝනා අසාදිත මවක් මෙරට සිවු (4) නිවුන් දරුවන් බිහි කළ පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම ගැබිණි මව්වරුන් ලක්ෂ 7 කින් එක් මවක් මෙලෙස සිවු (4) නිවුන් දරුවන් බිහි කරනු ලබන අතර මෙම සිසේරියන් සැත්කමේ විශේෂත්වය වන්නේ එය සිදු කිරිමට විශේෂඥ වෛද්‍යවරුන් 7, වෛද්‍යවරුන් 12, හෙදියන් 11 සහ වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සහභාගි විමයි.

දරුවන් සිව්දෙනාට (4) සිදු කළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය නොවී තිබූ බවට තහවුරු වී ඇති අතර පී.සී.ආර්. පරික්ෂණ සඳහා අදාළ සාමිපල යොමු කර ඇති නමුත් එහි ප්‍රතිඵල හෙට (18) ලැබිමට නියමිතයි.

පසුගිය 29 වනදා ඇය ‘ද සොයිසා කාන්තා රෝහලට’ ඇතුළත් වන අවස්ථාවේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එහෙත් සිව් (4) නිවුන් දරුවන් බිහි කිරීමට සිටින නිසා මෙම මවට විශේෂ පහසුකම් සලසා දී ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තා.

‘ද සොයිසා රෝහලේ’දි සිදු වූ එම සිව් (4) නිවුන් දරු උපතේ ඡායාරූප පෙළක් පහතින් :

++++++++++++++

+++++++++++++++

+++++++++++++++++++++++

(17.12.2020 – 18:41 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

(17.12.2020 – 21:27 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 338 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(17.12.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපදවූ එන්නතක් ලබන වසරේ පෙබරවාරි මස දෙවන (2) සතිය වන විට මෙරටට ගෙන්වීමට හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

=======================================

(17.12.2020 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර අද (17) විශේෂ හමුවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි අභිවෘද්ධිය හා සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ එම හමුව පැවැත්වුණේ අම්පාර – හාඩි තාක්ෂණ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදීයි ෴

***************************************

(17.12.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම වන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ ගිවිසුම, අත්සන් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද(17) සිදුවුණා.

උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන් ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබාදෙන ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේ.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ජෙන්හොං සඳහන් කළේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ මෙරට ආර්ථික සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති කැපවීම මෙමගින් පෙන්නුම් කරන බවයි.

***************************************

(17.12.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට එරෙහිව වරාය වෘත්තිය සමිති 23 ක ප්‍රධානීන් කොළඹ වරාය අංක 03 ගේට්ටුව ඉදිරිපිටදී අද (17) නිහඬ විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ඇහැලියගොඩ – තලාවිටිය – වලව්වත්ත ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පැමිණි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.

ඔවුන් ප්‍රකාශ කළේ තම ගම් ප්‍රදේශයේ ජල ගැටලුවලට නොව නගරයට පමණක් එහිදී ජලය සැපයෙන බවයි.

කෙසේ වෙතත්, අදාල ජල ව්‍යාපෘතිය හරහා වලව්වත්ත ගම්මානයට ද ජලය සැපයීමට බලධාරින් පොරොන්දු වීමත් සමඟ විරෝධතාවය අවසන් වු අතර, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල ව්‍යාපෘතිය ආරම්භ කළා.

මේ අතර, ‘ලයිට් කෝස්’‍ ක්‍රමයට ධීවර කටයුතු සිදුකරන ධීවරයින්ට එරෙහිව අද (17) දකුණේ ධීවර සංවිධානය විසින් බලපිටිය – මාදැල් වරායේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊට අදාළ වැටලීම් අඛන්ඩව සිදුකරන බවයි.

මේ අතර, අඛන්ඩව සිදුවන වන අලි ප්‍රහාර වැළැක්වීමට කටයුතු කරන ලෙස අනුරාධපුර, ඉහළගම ප්‍රදේශයේ ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

(17.12.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත්, එම්.සී.සී. ගිවිසුමෙන් මෙරටට ලබාදීමට තිබූ සංවර්ධන ආධාර ප්‍රදානය අහිමිවූවත් රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ මහනුවරදී අද (17) මාධ්‍ය හමුවක් කැඳවමින්.

ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා වී තිබූ සංවර්ධන ආධාර ප්‍රදානය නැවැත්වීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබූ අතර, මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හවුල්කාර රටේ සම්බන්ධවීම අඩු බව හේතුකොට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ඉදිරි පස්වසර (5) සඳහා වන සිය ආධාර වැඩසටහන සඳහා එම්.සී.සී අධ්‍යක්ෂ මණ්ඩලය සියෙරා ලියොන් සහ කිරිබතී රාජ්‍යයන් තෝරාගෙන තිබෙනවා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා නැවත අයකර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480 ක් හෙවත් මෙරට මුදලින් රුපියල් බිලියන 89 ක් සැපයීමට නියමිතව තිබුණා.

එමගින් මෙරට ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස්රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සඳහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදි කාර්යයන් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

දෙවන ව්‍යාපෘතිය ලෙස ඉඩම් ව්‍යාපෘතියක් දියත් වන අතර ඒ අනුව තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබාදීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂා කළා.

කෙසේ වෙතත්, වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ එම්.සී.සී. ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 01 වැනි දින සිව් (4) පුද්ගල කමිටුවක් ද පත් කළා.

***************************************

(17.12.2020 – 21:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය සමයේ ඇතැම් දේශපාලඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව සිදු කළ දේශපාලන දඩයම් පිළිබඳව අදත් (17) විවිධ අදහස් පළවුණා.

***************************************

(17.12.2020 – 22:18 +0530 – hirunews.lk/sinhala)

රටක් ලෙස අප කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර හැර නොමැති බව ආර්ථික පුනර්ජනනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

‘ගම සමග පිළිසඳර’ වැඩසටහන යටතේ ‘වැඩ සමග යළි ගමට’ ව්‍යාපෘතියේ මධ්‍යම පළාත් වැඩසටහනට මහනුවරදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

මිහින්තලය පුරාවිද්‍යා භූමියට යාබදව අනවසර ඉදිකිරීම් රැසක්

(17.12.2020 – 19:29 +0530 – sinhala.adaderana.lk)

මිහින්තලය පුරාවිද්‍යා භූමියට යාබදව අනවසර ඉදිකිරීම් හා අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම් රැසක් පිළිබඳ ව අද (17) මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නා හිමියන්, පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වන ජීවී දෙපාර්ථමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව නිරීක්ෂණය කර තිබේ.

අදාළ ඉඩම් සම්බන්ධයෙන් ආපසු ගැනීමේ පනත හෙවත් තහවුරු කිරීමේ පනත යටතේ නිවේදන නිකුත්කර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් නැවත පවරා ගැනීමටත් කටයුතු කරන බව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළ බව අප වාර්තාකරු පැවසීය.

***************************************

(17.12.2020 – 08:01 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට සහය ලබාදෙන ලෙස අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

තානාපතිධුරයේ වැඩ ආරම්භ කරමින් පැවැති සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාදවලින් පසු තානාපතිවරයා මෙම ඉල්ලීම සිදුකළ බව වොෂින්ටන් DC හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

රවිනාථ ආර්යසිංහ මහතා මීට පෙර රටවල් රැසක තානාපතිවරයෙකු ලෙස සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ අයෙකු වෙයි ෴

***************************************

චන්ද්‍ර පාෂාණ රැගත් චැංජි-5 යානය මොන්ගෝලියාවට ගොඩ බසී

(17.12.2020 – 23:35 +0530 – lankaleadnews.com)

චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි–5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි.

එය මොන්ගෝලියාවේ හිමෙන් වැසුණු තෘණ භූමියකට ගොඩබස්වා තිබේ.

යානය පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හයිනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය.

මෙහෙයුමේ මූලික අරමුණ වූයේ සඳේ මෙතෙක් ගවේෂණය කරනු නොලැබූ ගිනි කඳු සහිත කළාපයකින් පස් රැගෙන ඒමයි.

1970 දශකයෙන් පසු කිසියම් රටක් විසින් චන්ද්‍ර පාෂාණ ගෙනඑනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. මින්පෙර ඇමරිකාවේ ඇපලෝ සහ රුසියාවේ ලූනා මෙහෙයුම් වලින් චන්ද්‍ර පාෂාණ ගෙන එනු ලැබීය. මෙම මෙහෙයුමත් සමග පෘථිවියට චන්ද්‍ර පාෂාණ රැගෙනආ තෙවන (3) රට බවට චීනය පත්වී තිබේ.

සඳෙන් පස් සාම්පල එකතු කිරීම සඳහා යානයට දින දෙකක් (2) පමණ ගතවී ඇති අතර එය පස් කිලෝග්‍රෑම් 2-4 ත් අතර ප්‍රමාණයක් බව චීන විද්‍යාඥයෝ පවසති. කැප්සූලය මගින් රැගෙනආ මෙම සාම්පල විශේෂ රසායනාගාරයකදී පරීක්ෂා කරනු ලැබේ.

චැන්ජි–5 මෙහෙයුම සාර්ථකව නිම කිරීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතයට ආයෝජනයක් බව චීන රජය සඳහන් කරයි ෴

***************************************

ලබන සෙනසුරාදා (19) ‘ජලය අත්හිටුවන’ කොළඹ ප්‍රදේශ මෙන්න

(17.12.2020 – 14:09 +0530 – truenews.lk)

මෙම මස 19 වැනිදා සෙනසුරාදා පෙරවරු 09:00 සිට ඉරිදා (20) අලුයම 03:00 දක්වා කොළඹ 01, 02, සහ 12 යන ප්‍රදේශ වලට ජල සැපයුම පැය 18 ක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මීට අමතරව කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති ෴

***************************************

‘ඔන්ලයින්’ නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට

(17.12.2020 – 22:52 +0530 – lankadeepa.lk)

කොරෝනා වසංගතයත් සමග ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය.

එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම වශයෙන් තත්පර 20 ක හෝ විවේකයක් ගන්නා ලෙසත් ඒ මහතා පාසල් හා සරසවි සිසු සිසුවියන්ට දැනුම් දී සිටී.

විශේෂයෙන්ම මේ දිනවල වමනය, ක්ලාන්තය, ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් වැඩි වශයෙන් තමාගෙන් පෞද්ගලිකව හා රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව කී ඉද්දවෙල මහතා ඒ සෑම අයෙකුගෙන්ම තමා පලමුවෙන්ම විමසන්නේ ඔන්ලයින් පාඩම් වැඩ කරනවාද බවත් ඔවුන්ගේ පිලිතුර ‘ඔව්’ වන බවත්ය.

ඒ අතරින් ඇතැම් දරුවන්ගේ රෝග තත්වය උත්සන්න වී සී.ටී. හා එම්.ආර්.අයි.වැනි මිල අධික වෛද්‍ය පරික්ෂණ වලට භාජනය වී ඇති බවත් පසුව ඔවුන් ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අක්ෂී සායනය වෙත යොමු කරන බවත් ඒ මහතා සදහන් කලේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඉද්දවෙල මහතා මෙසේද කීය :

“මිනිසා වානරයගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ.ඒ නිසා අපේ ඇස් එක දෙයක්ම දිහා එක දිගට බලා ගෙන ඉන්න තරම් හුරුවක් නැහැ. දැන් දරුවන් පැය ගණන් එක දිගට ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා පරිගනකය හෝ ජංගම දුරකතනයේ තිරය දෙස බලා ගෙන සිටීම නිසා දෘෂ්ටි රෝගාබාධ වලට ලක්වී තිබෙනවා. මේ දිනවල මා හමුවට පැමිණෙන පාසල් හා සරසවි සිසු සිසුවියන්ගෙන් සියයකට 60 කට වඩා මේ තත්වය තිබෙනවා.

ලමා අක්ෂී සායනයට එන දරුවන්ගෙන් සියයට 80 කට වඩා මේ තත්වය දැක ගන්න තිබෙනවා. මේක එතරම් හොද දෙයක් නොවෙයි. එම රෝග ලක්ෂණත් සමග ඇතැම් දරුවන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් වෙලා. ඔවුන්ට වෙනදට වඩා කේන්ති යනවා. තරහා යනවා. පවතින තත්වය තුල ඔන්ලයින් අධ්‍යාපනය සිදු විය යුතුයි. හැබැයි ඒ ගැන කවුරුත් දැනුවත් විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙයට කියන්නේ ‘කම්පියුටර් විෂන් සින්ඩ්රොම්’ කියලයි.

පරිගනකයට වඩා ජංගම දුරකතනයේ තිරය පොඩියි. ඒ නිසා ඇස් තවදුරටත් වෙහෙස මහන්සී වෙනවා වැඩියි. ඇසේ වේලීම වැඩි කරනවා. තෙත් ගතිය නැති වෙනවා.

අපේ ඇස ගත්තොත් කාර්යක්ෂම සියුම් පේෂීන් 6 ක් තිබෙනවා. අවම වශයෙන් හැම විටම පේෂීන් 02 ක් 04 ක් වැඩ කරනවා. ලඟ බලන විට 4 ක් සංකෝචනය වෙනවා. එක දිගට එකම තැනක් දිහා බලද්දී ඒ සංකෝචනය දැඩි බවක් ඇති කරනවා. එය මොලයට මෙන්ම ඇහැට ද දැනෙනවා. එහි ප්‍රතිඵලය ඇස් වටේ දැවිල්ල, කදුලු ගැලීම, හිසරදය, වමනය යාම දක්වා වෙන්න පුලුවන්. මේ නිසා ඇතැම් දරුවන්ට ඇස් කණ්ණාඩි පවා නිර්දේශ කරන්න සිදු වෙලා තිබෙනවා.

දැනට කල යුත්තේ විනාඩි 20 න් 20 ට තත්පර 20 ක හෝ විවේකයක් ගැනීමයි. එසේ නොමැති නම් මෘදුකාංගයක් තිබෙනවා විනාඩි 20 න් 20 ට තිරය ‘ඔටෝ ඕෆ්’ වී නැවත දිස්වන. ඔන්ලයින් පන්ති කරන ගුරුවරුන් මේ ගැන දැනුවත් වී දරුවන්ට ඒ ආකාරයට විවේකය ලබා දිය යුතුයි. ඒ වගේම ඔන්ලයින් ඉගෙන ගන්න හැටි දරුවන්ට කියා දීමට රජය මැදිහත් විය යුතුව තිබෙනවා.

සමහර විට තව අවුරුදු හැට හැත්තෑවකින් අපේ ඇහැ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වේවි. නමුත් තවම එහෙම හුරුවීමක් නෑ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් පවා අපේ ගාවට එනවා. ඔවුන් අහනවා එතකොට අපි රැකියාව නොකර ඉන්නද කියලා. එවිට ඔවුන්ට පැහැදිලි කර දීලා පරිගනකයට ඇස විටින් විට විවේකය අරන් හුරු වන විදිය කියලා දෙනවා. කුඩාම දරුවන්ට මේක ඒ තරම් බලපෑමක් නෑ. මොකද ඔවුන් එක දිගම අවධානයේ යොමු කර ගෙන ඉන්නේ නෑ. 06 ශ්‍රේණියෙන් ඉහල තමයි වැඩිපුර තිබෙන්නේ.

ඒ වගේම අපේ ඇසෙන් පැය ගානක් ඒ දිගට බලා ගෙන හිටියත් හොදට මතකයේ තියෙන්නේ අවසන් මින්ත්තු 20 ක ඒවා විතරයි කියලයි නවීන විද්‍යාවේ කියන්නේ. ඒ නිසා පැය දහය දොලහ එක දිගට ඔන්ලයින් වලට යොමු වීමට වඩා ක්‍රමාණුකූලව ඒ ගැන අවබෝධයෙන් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක වේවි.”

***************************************

අධිනීතිඥ නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද – අගවිනිසුරුටත් පැමිණිල්ලක්

(18.12.2020 – epaper.aruna.lk)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අපහාස කළ සාක්ෂිකාරියක ලෙස නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිශාරා ජයරත්න නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු එම කොමිසමෙන් ඉල්ලීමක් කළේය. ඊයේ (17 වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කැඳවා තිබූ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා අදාළ ඉල්ලීම කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වර්ෂයේ දී යොමුකළ ගොනුවකට අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස් වෙනුවෙන් නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට අධිනීතිඥ නිශාරා ජයරත්න කොමිසම හමුවට කැඳවා තිබිණි.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ දී ප්‍රශ්න මගහරිමින් කටයුතු කරන බව චෝදනා කරමින් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අදාළ ඉල්ලීම කළේය. එසේම ප්‍රශ්නය මගහැරීම සහ ප්‍රතිප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් අධිනීතිඥවරියට කොමිසම විසින්ද ඊයේ (17) දැඩි ලෙස අවවාද කරන ලදී.

මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ක්‍රියාවලිය අතරතුර අධිනීතිඥ නිශාරා ජයරත්න විසින් නීති වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් කටයුතු කළ බව පවසමින් මහර සිදුවීමේ දී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලේ දැක්වෙන්නේ 2020-12-16 වැනිදා නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එන්ජීඕ කාරයන් ලෙස සඳහන් කරමින් අධිනීතිඥවරිය වෘත්තීය ගෞරවයට හානිවන අයුරින් කටයුතු කළ බවයි.

වරුණි පෙරමුණ

***************************************

නෙදර්ලන්තයේ හිමි නම ලංකාවේදී ඝාතනය කළා ! – අමථධම්ම හිමි හෙළිදරව් කරයි

(18.12.2020 – FB : TrueNews.lk)

වසර 10 ක් ලංකාවේ වැඩවාසය කළ පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්ථවිරයන් ශික්ෂාකාමී හිමිනමක් බවත්, උන්වහන්සේගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවත් පූජ්‍ය අමථධම්ම හිමි අවධාරණය කර තිබෙනවා.

පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් විසින් නිවේදනයක් නිකුත් කොට මෙම සිද්ධිය සිය දිවි නසා ගැනීමක් බව ප්‍රකාශ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එය සම්පූර්ණයෙන්ම වැරද්දක් බවත් උන්වහන්සේ සදහන් කර සිටියා.

අභිරහස් ලෙස අපවත් වූ පූජ්‍ය අජාන් ජිනවංසෝ හිමියන්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත්, විමර්ශන නිසි ආකාරයට කළ නොහැකි නම් ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියට හෝ බාරදෙන ලෙසත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

පූජ්‍ය අමථධම්ම හිමි ගිහි සමයේ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.

***************************************

පී.බී. ජයසුන්දර තමයි අපිවත් විනාශ කළේ – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙනුත් චෝදනා

(18.12.2020 – am.lk)

අද වන විට මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ දහම් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් බවටද ඔහු චෝදනා කරයි.

දැනටමත් වාහන විකුණන ආයතන වලින් 50% වැසී ගොස් අවසන් බවත් ඉතිරි ඒවාද වැසී යමින් පවතින පවතින බවත් ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වාහන මෙරට නැතැයි ද පවසන ඔහු මුදල් අමාත්‍යාංශය මෙයට වග කිව යුතු යයිද පෙන්වා දෙයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *